මහද්වීප තුනක් පරදවා කේක් කප් එක ගත් ලංකාවේ අශිනි


 
ශ්‍රී ලාංකීය කාන්තාවක වන අශිනි විජයනෙත්ති වත්මනෙහි ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේය. පහුගියදා එංගලන්තයේ පැවති Cake international - 2025 තරගාවලියේදී ශ්‍රී ලංකා ධජය ලෙළ දෙන්නට පටන් ගත්තේය. ඒ අශිනි විසින් තරගාවලියට ඉදිරිපත් කරන ලද කේක් නිර්මාණය ජයග්‍රහණය කිරීමත් සමඟය. ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවද ඇය නියෝජනය කළේ අපේකමය. යුරෝපා රටක ජීවත් වුවද, යුරෝපා රටක තරගාවලිය පැවැත්වුවද අශිනි එංගලන්තයේ Birmingham වල පැවති තරගාවලියේදී සැරසිලි ප්‍රදර්ශනය Decovrative Exhibits නම් අංශයෙන් රන්පදක්කමක් දිනා ගත්තාය.
 
අශිනි ජීවත් වූයේ මීගමුවේය. පවුලේ වැඩිමල් දියණිය වූ ඇයට කුඩා කල සිටම ආදරය නොඅඩුව ලැබිණ. මවගේ ගම වූ මාතලේ ගත කළ තම ළමා කාලය ඇයට අදටත් මතකය. පාසල් නිවාඩු කාලයේදී මාතලේට ගිය ඇය කුඩා කල සිටම චිත්‍ර කලාවට ඇලුම් කළාය. අත්කම් නිර්මාණය කළාය. තම ආච්චි අම්මා මුළුතැන්ගෙයි ඉඳිආප්ප පිසිද්දී ඇයට කුඩා පිටි ගුළියක් දෙයි. ඇය එයින් පිටි මිනිසුන්, පිටි සතුන් නිර්මාණය කළාය. අශිනිගේ කුඩා දෑත්වලින් නිර්මාණය වුණු එවැනි නිර්මාණ පසු කාලයේදී ඇය අපූරු කේක් නිර්මාණ ශිල්පිනියක බවට පත් කළේය. අශිනිගේ පියා චිත්‍ර, මූර්ති, සංගීතය වැනි කලාවන්ට දක්ෂයකි. ඒ නිසාම පියා ඇඳි චිත්‍ර දෙස අශිනි පැය ගණන් බලා සිටියාය. පියා චිත්‍රයක් අඳිද්දී ඇයද පින්සලක් ගෙන සුදු කොළයක තමන්ට හිතැති චිත්‍රයක් ඇන්දාය.
 
අශිනිගේ ළමා කාලය හරි අපූරුය. තම බාල සහෝදරිය සමඟ ඇය බොහෝවිට සෙල්ලම් ගෙවල් දැම්මාය. කඩදාසි බෝනික්කන් සාදා අපූරු ඇඳුම් නිර්මාණ කරමින් ඒවායින් කඩදාසි බෝනික්කන් හැඩ කළාය. මේ දෙදෙනා මැටිවලින් සෙල්ලම් සතුන් නිර්මාණය කළහ.ඔවුහු කෙසෙල් කොළ වේලා ඒවා වර්ණ කළහ. එ් සුන්දර ළමාකාලය අෂිනිට පසු කාලයේදී කේක් නිර්මාණවලටද හොඳ තෝතැන්නක් විය.
 
වර්තමානය වන විට අශිනි ඔස්ට්‍රේලියාවේ "Cherry On To Cake" නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.
 
අශිනි විජයනෙත්ති අධ්‍යාපනය ලැබුවේ මීගමුව නිවුස්ටඩ් බාලිකාවේය. පාසලේ හය වසරේ චිත්‍ර ඉගැන්වූ මොරින් විජේසේකර ගුරුතුමියගේ මග පෙන්වීම යටතේ පාසල් මට්ටමෙන් පැවති චිත්‍ර තරගවලින් බොහෝ ජයග්‍රහණය අත්පත් කරගන්නට ඇයට හැකි විය. ඇගේ මව රෙදි පින්තාරු කලාව, පිඟන් භාණ්ඩ පින්තාරු, මල් සෑදීමේ කලාව, දරුවන්ට කියා දුන් ගුරුවරියකි. අශිනිගේ ගෙවුණු ළමා කාලයේ  උපන්දිනවලදී මව ඇයට උපන් දින කේක් සාදා දුන්නාය. ඒ මතක තවමත් ඇයට ඇත. තම මව කේක් නිර්මාණය කරද්දී ඇය අසල සිට ඒ අපූරු නිර්මාණ දෙස බලා සිටියාය. මුහුණ පුරා පිටි තවරා ගනිමින් මවට උදව් කළාය. අවසානයේ මව උදුනින් පිටත ගන්නා කේක් දෙස ඇසි පිල්ලමක් නොගසා බලා සිටි අතීතය ඇයට අදටත් මතකය.
 
 
ඇයට කුඩා කල සිටම සිහිනයක් තිබිණ. ඒ ගෘහනිර්මාණ ශිල්පිනියක වීමය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇය අන්තර්ජාලය ඔස්සේ සොයා බැලුවාය. බාහිර ක්‍රියාකාරකම් මෙන්ම පාසලේ දී ඇය අධ්‍යාපනයටද දක්ෂ ශිෂ්‍යාවක වූවාය. ඒ නිසාම ඇය උසස් පෙළ සඳහා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුවාය. නමුත් මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය වැඩිදුර හැදෑරීම සඳහා ඇයට අවස්ථාව නොලැබිණ. ඒ නිසා ම දෙවැනි වරට ඇය භෞතික විද්‍යාව වෙනුවට චිත්‍ර විෂය හැදෑරුවාය. පළමුවර වෙනත් විශ්ව විද්‍යාල සඳහා යාමේ අවස්ථාව ඇයට තිබුණද ඇයගේ හිත නතර වූයේ මොරටු විශ්ව විද්‍යාලයේ ය. ඒ නිසාම ඇය දෙවැනි වරත් එම අභියෝගය භාරගත්තාය. විශ්ව විද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණයේදී ඇය නිර්මාණ අංශයට තේරී පත්වූවාය. එය තම ජීවිතයේ ලද විශාල ජයග්‍රහණයක් ලෙස ඇය හඳුන්වයි. ඒ අනුව ඇය මොරටු විශ්ව විද්‍යාලයෙන් විලාසිතා, ආභරණ, සෙරමික්‌, ගෘහභාණ්ඩ විලාසිතා, ඉගෙන ගත්තාය. මෙහිදී ඇය ග්‍රැෆික් විලාසිතා විශේෂ උපාධියක් ලෙස ඉගෙන ගත්තාය.
 
"මගේ අම්මා අනෝමා අත්තුඩාවගේ. ඇය චිත්‍ර ගුරුවරියක්. දැන් විශ්‍රාමිකයි. තාත්තා ප්‍රේමලාල් විජයනෙත්ති. හිටපු ඉංග්‍රීසි ගුරුවරයෙක් සහ චිත්‍ර ශිල්පියෙක්. මගේ නංගී තිලිණි විජයනෙත්ති. මොරටු විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණ උපාධිය හදාරා මේ වන විට චිත්‍ර ගුරුවරියක් විදියට සේවය කරනවා. එමෙන්ම ඇය Esa Boutique නමින් බතික්‌ ව්‍යාපාරයක් ද පවත්වාගෙන යනවා. කුඩා කල සිටම මම පොත්පත් කියවමින්, චිත්‍ර අඳිමින්, සෙල්ලම් කරමින්, නිදහසේ කාලය ගත කළා. මම හරිම ධනාත්මකව හිතන කෙනෙක්. මට හොඳ ළමා කාලයක් තිබුණත් ආර්ථිකය බින්දුවටම වැටිලා හිටපු කාලයක් තිබුණා."
 
අශිනි විජයනෙත්ති ඉරිදා ලංකාදීපයට තම අතීතය ආවර්ජනය කළාය.
 
2012 වසරේදී අශිනි විවාහ වූවාය. ඇයගේ සහකරුවා වූයේ තිලංක දිසානායකය. විවාහ වීමත් සමග මොවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියහ. මාස කීපයක් ඇතුළත ඇය  Fair Fax Media ආයතනයේ සේවයට එක් වූවාය. අශිනි ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කළද තිවංකට වසර දෙකක් යන තුරු රැකියාවක් ලැබුණේ නැත. මේ නිසාම අමතර ආදායම ලබා ගැනීමට තම රැකියාවට අමතරව රෙදි පින්තාරු ශිල්පිනියක් ලෙස ඔන්ලයින් ක්‍රමයට ඇය සේවය කළාය. එමෙන්ම තම ඕස්ට්‍රේලියා හිත මිතුරන්ගේ උපන්දින උත්සව සඳහා කේක් නිර්මාණය කළාය. දිනෙන් දින ඒවාට හොඳ ඉල්ලුමක් ලැබුණි. 2018 වසරේදී ඇය Cherry on top cakes නමින්  තම ව්‍යාපාරය  ලියාපදිංචි කළාය.
2019 වසරේ දී ඇය ඕස්ට්‍රේලියාවේ පැවති කේක් තරගයට ඉදිරිපත් වූවාය. එයින් ඇය පළමු ස්ථානය මෙන්ම මුළු තරගාවලියේම Peoples choice තරග ඉසව්වෙන් මුල් ස්ථානය දිනා ගත්තාය. කේක් තරගයකට සහභාගි වූ මුල්ම අවස්ථාව එය විය.
 
ඇය එහිදී නිර්මාණය කළේ ගිනි නිවන හමුදා භටයකු වලසකු ඔසවාගෙන ඉන්නා උඩුකයකි. ඕස්ට්‍රේලියාවේදී මෙම කේක් නිර්මාණයට බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාරයක්‌ ලැබුණි. 2022 වසරේදී ඇය ඇබෝර්ජිනල් ගෑනු ළමයෙකුගේ කේක් නිර්මාණයක් ඉදිරිපත් කළාය. එයද පළමු ස්ථානය හා peoples choice සම්මානය දිනා ගත්තේය. 2023 වසරේදී ඇය මුවෙකුගේ පිට යන කුමාරිකාවකගේ කේක් නිර්මාණයක් තරගයට ඉදිරිපත් කළාය. එයින්ද ඇය පළමු ස්ථානය දිනා ගත්තාය.
 
2024 වසරේදී Australian woman small business champion Aword bakery / cake decovating අංශයෙන් ඇයගේ ව්‍යාපාරය පළමු ස්ථානය දිනා ගත්තේය. එයට අමතරව 2022, 2023, 2024 වසරවල Australian cake decovating network මගින් වාර්ෂිකව පවත්වනු ලබන Industry Awards හි Modelling Artist of the year Children and Novelty cake award, decovarator of the year awards දිනාගෙන ඇත.
 
ඇය Australian Communiity Media ආයතනයේ ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක ලෙස සේවය කරයි. රැකියාවත් සමඟ කේක් නිර්මාණය කිරීමද ඇයට විශාල අභියෝගයකි. තම රැකියා ආයතනයෙන්ද සැමියාගෙන්ද ලැබෙන සහයෝගය හේතුවෙන් ඇය තම ව්‍යාපාරය අද වනවිට සාර්ථකව පවත්වාගෙන යයි. 
 
මේ වන විට  තිවංක ඕස්ට්‍රේලියාවේ ගොඩනැගිලි පරීක්ෂකවරයෙක් ලෙස සේවය කරයි. අශිනි නිර්මාණය කරනා කේක් හරි පරිස්සමට අදාළ ස්ථානයට ප්‍රවාහනය කරන්නේද තිවංකය. අශිනි රූ නොනිදා කේක් නිර්මාණ කරද්දී ඇගේ තේ කොප්පය පවා ළඟින් තබන්නේද තිවංකය.
 
ඔහුගෙන් ලැබුණු ඒ අපූරු සහයෝගයත් සමග ඇය මෙවර ඔස්ට්‍රේලියාවෙන් බැහැරව අන්තර්ජාතික කේක් තරගයකට සහභාගි වූවාය. ඒ වසරක් පාසා පවත්වන Cake International නමින් ලොව ඇති විශාලතම කේක් තරගාවලියයි. 
 
චීනය, ඇ​ෙමරිකාව, රුසියාව, ඇතුළු බොහෝ දැවන්ත නිර්මාණකරුවන්ගෙන් සමන්විත කේක් අටසීයක් පමණ මෙයට එක් කොට තිබුණි. එහිදී සැරසිලි ප්‍රදර්ශනය (Decovrative exhibits) අංශයෙන්, තේරිපත් පත්වූ කේක් අට අතරට අශිනිගේ කේක් නිර්මාණය ද එක් විය.  එහිදී ඇය රන් සම්මානයෙන් පිදුම් ලැබුවාය.
 
"ලංකාවේ සංස්කෘතිය හරි ලස්සනයි. ලංකාවේ වෙස් මුහුණු කලාවේ ආරම්භය කියාපාන කතාව මම ඉදිරිපත් කළා. අසතුටින් සිටින මැණික්පාල බිසව සහ රජු නාග සහ ගුරු වෙස් නැටුමක් නරඹද්දී යක් මුහුණට බය වුණු අණ බෙරකරු පඩිපෙළින් වැටෙද්දී බිසවට සිනා පහළ වෙන සිදුවීමක් මං කේක් නිර්මාණයට යෙදෙව්වා. ඊට පසුපසින් කවුරුත් දන්නා නොංචිවත් එක් කර ගත්තා. මෙය සම්පූර්ණයෙන්ම අතින් කළ නිර්මාණයක්. මේ නිර්මාණය Birmingham රැගෙන ඒම ලොකු අභියෝගයක් වුණා."
 
අශිනි එසේ පවසයි. අපේ සිංහ ධජය එංගලන්තයට ගෙන ගිය අශිනිට සුබ පැතුම්!
 
දිශානි ජයමාලි කරුණාරත්න