මම සල්ලි දෙන්නෙත් නෑ එහෙම දෙන්න සල්ලිත් නෑ


කතරගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ අදිකාරම් වලව්වේ සරත් බණ්ඩාරනායක

ඔබගේ සම්පූර්ණ නම

අදිකාරම් වලව්වේ සරත් බණ්ඩාරනායක

බස්නායක නිලමේවරයෙකු වශයෙන් ඔබ කොතරම් කාලයක් කටයුතු කරනව ද?

මම පළමුව බස්නායක නිලමේවරයෙකු වශයෙන් පත්වුණේ මාතලේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයට. ඒ 2005 වසරේ දී. එම පදවිය මා 2015 වනතුරු දැරුවා. ඉන් අනතුරුව 2015 වසරේදී ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට පත්වුණා. ඒ තනතුර මේ වන තුරු දරමින් 2022 වසරේදී ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තනතුරට පත් වුණා.

දියවඩන නිලමේ තනතුර සඳහා ඉදිරිපත්වීමට තීරණය කළේ ඇයි?

එම තනතුරට මීට පෙරදීත් මට තරග කිරීමේ හැකියාව තිබුණත් ඒ වන විට එම තනතුරුවලට මා ආධුනිකයෙක්. දියවඩන නිලමේ ධුරය කියන්නේ භාරධුර තනතුරක්. එම තනතුර දැරීමට දැකපුරුදු, කළපුරුදු, පළපුරුදු තිබිය යුතුයි. මා වසර විස්සක බස්නායක නිලමේ ධුර කාලයෙහි ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ වී සියලු‍ රාජකාරි කටයුතු ඇස්වලින් දැකලා කරලා දැකපුරුදු, කළ පුරුදු, පළපුරුදු තිබෙන නිසා මෙවර මේ නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කළා.

දියවඩන නිලමේ තනතුරට ඉල්ලනවා කියූ විට ඔබට විරෝධතා මතු වුණේ නැද්ද?

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වසර විස්සක කාලයක් එම තනතුර දරමින් සිටිනවා. ඔහු නැවතත් තනතුරට ඉල්ලන බව දැනුම් දී තිබෙනවා. එවැනි වාතාවරණයක් තුළ මමත් තරගයට ඉදිරිපත් වීමට තීරණය කළා. මේක බෞද්ධ සිද්ධස්ථානයක්. මට කිසි කෙනෙකු සමග තරහක්, වෛරයක් නැහැ. ඒවට එන්නේ සැදැහැ සිතින් වැඩ කිරීමටයි. අද තාක්ෂණය බොහෝ දියුණුයි. ඒවා යොදාගෙන ඇතැම් අය විවිධ මඩ ව්‍යාපාර දියත් කරමින් සිටිනවා. ඒවා එතරම් ගණන් ගත යුතු නැහැ.

දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් ඡන්දදායකයන්ට විවිධ අල්ලස් වරප්‍රසාද වැනි දේ දෙනවා කියා චෝදනාවක් තිබෙනවා ඔබත් එසේ ද?

මා ප්‍රතිපත්තියක් හැටියට එවැනි මුදල් බෙදීමක් සිදු කරන්නෙත් නෑ .මට එහෙම දෙන්නත් නැහැ. මම අනිත් අය ගැන දන්නේ නැහැ. ඡන්දය හිමි විහාරවල භාරකාර හිමිවරුන්ටත් නිලමේවරුන්ටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ගිහි භාරකරුවන්ටත් ඒ අයට මගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කොට සාම්ප්‍රදායානුකූලව, චාරිත්‍රානුකූලව දෙන බුලත් අත පමණක් මා ලබා දෙනවා. එහෙම නැතුව අල්ලස් දී මේ උත්තරීතර පදවියට පත්වීම සුදුසු නැහැ.

ඡන්ද ව්‍යාපාරය සඳහා ඔබ කොතරම් මුදලක් වෙන්කොට තිබෙනවා ද? 

මේ ඡන්ද ව්‍යාපාරය කන්ද උඩරට රාජධානියට අයත් දිස්ත්‍රික්ක දාසයක සිදුකළ යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 30,000ක කමණ දුරක් ගමන් කිරීමට තිබෙනවා. ඡන්දයට ඉදිරිපත් වන අයකු සාමාන්‍යයෙන් තුන් වරක් හෝ ඡන්ද දායකයන් හමුවිය යුතුව තිබෙනවා. ඒ ගමන්වලට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. 

ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කොට තිබෙනවාද එහි අඩංගු කරුණු මොනවා ද?

ඔව් මම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත්කොට තිබෙනවා. එහි මූලික වශයෙන් සඳහන් වන කරුණු කිහිපයක් තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාව කියන්නේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි මූලික වශයෙන් පාලනය වන ස්ථානයක්. මට පෙනෙන ආකාරයට ශාසනික වශයෙන් ඉටුවිය යුතු සමහර දේ ශ්‍රී දළදා මාලිගාවෙන් සිද්ධ වෙලා නැහැ. 

දුෂ්කර ප්‍රදේශවල ඇති බෞද්ධ පන්සල්වලට උදව් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. එම පන්සල්වලට අවශ්‍ය මූලික පහසුකම් සලසා දිය යුතුයි. 

මේ දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් මෙරට සියලු‍ විහාරස්ථාන සමඟ ඒකාබද්ධ වී බෞද්ධ වෙහෙර විහාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් භික්ෂූන් වහන්සේලා උදෙසා පිරිවෙන් හා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ආධාර උපකාර කිරීමේ වෙනම ඒකකයක් ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා.  මෙරට පිහිටි විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා උදෙසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රක්ෂණයක් ලබා දීමේ කටයුත්තක්ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා උත්සව හා විපත්වලදී ඒවා සොයා බලා ඒ සඳහා මාලිගාව මගින් අවශ්‍ය උදව් උපකාර කිරීමට සම්බන්ධ කරනවා. 

බුද්ධ ශාසනය වෙනුවෙන් කුලදරුවන් සසුන්ගත කිරීමට ජනතාව යොමු කර ඒ සඳහා උදව් උපකාර කිරීම හා උසස් අධ්‍යාපනය දක්වා උදව් කිරීමටත් ශ්‍රී දළදා මාලිගාවේ නිත්‍ය වැඩසටහනක් ආරම්භ කරනවා. එසේම ඒ කුල දරුවන් ශාසනයට පූජා කරන දෙමව්පියන්ට උපකාර කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දළදා මාලිගාව වන්දනාමාන කර ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලා උදෙසා ගිලන්පස දානය සඳහා විශේෂ ස්ථානයක් ස්ථාපිත කර ඒ සඳහා සොයා බලා කටයුතු කිරීමට වැඩ කටයුතු ආරම්භ කරනවා.

දේශීය හා විදේශීය ධර්ම ප්‍රචාර කටයුතු කිරීම වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව මූලික කරගෙන බෞද්ධ රටවල් සමග දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. එසේම සුදුසු ස්ථානයක් තෝරාගෙන වයෝවෘද්ධ භික්ෂූන් සහ රෝගාතුර වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය සායනයන් සහ රෝහලක් ආරම්භ කරන්න අපි හිතලා තිබෙනවා. විනාශ වෙමින් යන බෞද්ධ විහාරස්ථාන සොයා බලා ඒවා ගොඩනඟා භික්ෂූන් වහන්සේලා ස්ථාපිත කර ඒවායේ අඩුපාඩු සොයා බලා ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 

සසුන්ගත වී ඇති මෙහෙණින් වහන්සේලා උදෙසා ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රකරගෙන වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දළදා මාලිකාව සතුව පවතින නිශ්චල, චංචල දේපොළ රුකීමත් ඒවා සුරක්ෂිත වන පරිදි අවශ්‍යතාව මත හා විනිවිද භාවයකින් කටයුතු කිරීමට ඒකකයකුත් අපි ආරම්භකරනවා. මේ වන විටත් අහිමි වී ඇති ඉඩකඩම්, දේපොළ සොයා බලා ඒවා නීති මගින් ආපසු ලබාගෙන ඒවා නැවත ශ්‍රී දළදා මාලිගාව සතු කර ගැනීමේ වැඩපිළිවෙළකුත් දියත් කරනවා.

ආදායම අඩු පිටිසර දේවාලවල පෙරහර මංගල්‍යය කිරීමට දළදා මාලිගාව මූලික වී කටයුතු කරන වැඩපිළිවෙළකුත් ආරම්භ කරනවා. 

පෙරහර මංගල්‍යයන් සිදුකිරීමේදී විශාල ගැටලු‍වක් වී තිබෙන අලි ඇතුන්ගේ හිඟය මගහරවා ගැනීම සඳහා රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි සෑම වසර හතරකටම වරක් දළදා දැක්මක් පැවැත්වීමට සැලසුම් කරනවා. එය සංවිධානය කිරීමේදී දින ගණන් බැතිමතුන් පෝලිම්වල සිටිමින් දුක් විඳ අපිරිසිදුව දළදා වඳින ක්‍රමවේදයෙන් බැහැරව එය සැලසුම්සහගත ආකාරයට සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙනවා. වසරකට වරක් පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය සජීවීව විකාශය කිරීමේ අවස්ථාව සියලු‍ මාධ්‍යවලට ලබාදෙනවා.

ෂේන් සෙනෙවිරත්න