භික්ෂුණී අයිතිවාසිකම්


මීට වසර 6කට පෙර මෙවැනි දුක්ඛිත අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවූ ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට අස්වැසිල්ලක් වන ආකාරයේ ඓතිහාසික තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා ප්‍රකාශයට පත් කරන ලදී.

2013 වසරේ ප්‍රතික්ෂේප කළ ඉල්ලීම

රන්ගිරි දඹුලු සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක වන වැලිමඩ ධම්මදින්නා නම් භික්ෂුණිය 2013 වසරේ මැයි මස31වන දා “භික්ෂුණී පදනම”‍ යටතේ ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළ ද, එම අයැදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කර තිබිණි.

එම භික්ෂුණිය හා එම සංඝ සභාවේ මහනායක - ඉනාමළුවේ සුමංගල මහනායක හිමිපාණෝ විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ රටෙහි සමස්ත භික්ෂුණීන් වහන්සේලාටම අහිමි වූ අයිතිවාසිකමක්  දිනා ගැනීමේ අරමුණ ඇතිව ය.

භික්ෂුණිය ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුව ගොනුකර තිබුණේ - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වරයා විසින් තමාට “භික්ෂුණී” පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර, අවශ්‍ය නම් “සිල් මාතා”‍ පදනම යටතේ පමණක් හැඳුනුම්පතක් නිකුත් කළ හැකි බව ලිඛිතව දැනුම් දීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දී, “භික්ෂුණී” පදනම යටතේ ජාතික හැඳුනුම් පතක් නිකුත් කරන ලෙස ඔහුට නියෝගයක් නිකුත් කර දෙන මෙන් ඉල්ලමිනි.

නඩු විභාගයේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන කරුණු දක්වමින් අර්ථකථන නීතියට අනුව “භික්ෂූන්” යනුවෙන් සඳහන් කරන විට – “භික්ෂුණිය” න් ද ඊට ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නේ ය. එය පිළිගත් පොදු නීතිමය සිද්ධාන්තයක් බව හෙතෙම තර්කානුකූලව පැහැදිලි කළේය.

පෙත්සම් විභාගය අවසානයේ - වැලිමඩ ධම්මදින්නා නම් භික්ෂුණියට “භික්ෂුණී පදනම”‍ යටතේ ජාතික හැඳුනුම් පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා එම භික්ෂුණියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව භික්ෂුණියට භික්ෂුණී පදනම යටතේ හැඳුනුම් පතක් නිකුත් කරන්නැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වරයාට නියෝගයක් ද නිකුත් කරන්නට යෙදුණි.

නඩු විභාගයේ දී අනාවරණය වූ වැඩිමනත් කරුණු හා මෙම සංසිද්ධියට අදාළ පසුබිම් තතු ස්වල්පයක් මෙහි දැක්වීමට අදහස් කළේ - ඩිජිටල්කරණයක් ගැන ලොකු කතිකාවක් ඇති වත්මන් යුගයේ පවා අප රටේ සමාජය ඇතැම් විෂයයන් හා කරුණු සම්බන්ධයෙන් කෙතරම් පසුගාමී තැනක පවතින්නේ ද යන්න පිළිබඳව “ඉරිදා ලංකාදීප” පාඨකයින් ගේ පරිකල්පනයට අමුද්‍රව්‍ය ස්වල්පයක් එක් කරනු රිසියෙනි.

පෙත්සම්කාර භික්ෂුණිය අධිකරණයට කියා සිටියේ රංගිරි දඹුලු සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වන බවත්, තමන් එම සංඝ සභාව යටතේ උපසම්පන්න භාවය ලැබූ භික්ෂුණියක බවත් ය. එම සංඝ සභාවට අනුබද්ධිතව භික්ෂුණී ශාසනයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වෙනත් කිසිදු බොදු පාර්ශ්වයක් විරෝධය පළ කර නොමැති අතර, භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් වෙත පැවරී තිබේ.

භික්ෂුණී ශාසනයක් අරඹා පවත්වා ගෙන යාම බෞද්ධ ක්‍රමවේදයට පටහැනි නම් රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහනායක හිමි වශයෙන් කටයුතු කරන ඉනාමළු‍වේ සුමංගල හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබූ බවත්, මේ දක්වා එවැනි ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවත්, අධිකරණයේ දී අනාවරණය විය.

ඒ අනුව නීතිමය වශයෙන් ගත් කල පෙත්සම්කාරියට ජාතික හැඳුනුම් පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බව අධිකරණයේ දී අනාවරණය වීය. පෙත්සම්කාරිය කාන්තාවක් වීම නිසා මෙවැනි නීතිමය බාධක වලට මුහුණ පෑමට සිදුව ඇති බව හා එය නීතිය ඉදිරියේ වෙනස් කොට සැලකීමක් බව තීන්දුවේ ද සඳහන්ව ඇත. කාන්තාවක නිසාම මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුවීම යනු නීතිය ඉදිරියේ වෙනස් කොට සැලකීමකි.

රංගිරි දඹුල්ල සංඝ සභාව රජය විසින් අනුමත කරනු ලැබ නොතිබීම සහ භික්ෂුණීන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ගේ විෂය පථයට අදාළ නොවීම යන හේතු මත පෙත්සම්කාරිය ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන “නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය”‍ එමගින් පරිච්ඡින්න වෙන බව තේරුම් ගැනීමට කෙනෙක් නීතිඥයෙකු විය යුතු නොවන නමුත්, රාජ්‍ය තන්ත්‍රයේ තවමත් ක්‍රියාත්මක වෙන මෙවැනි යල් පිනූ ක්‍රම පටිපාටීන් අඛණ්ඩව සුරැකිව පවත්වා ගෙන යන්නේ ඇයි ද යන්න මහාචාර්ය වරයෙකුට වත් හැකි දැයි නොදනී.

කෙසේ වෙතත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මීට අදාළව නිකුත් කරන ලද තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ, මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරිය ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බව ය.
ඒ අනුව ඇයගේ පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බව මහින්ද සමයවර්ධන විනිසුරුවරයා සිය සුළුතර තීන්දුවේ සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට මෙතෙක් ජාතික හැඳුනුම්පතක් නිකුත් නොකර තිබීම හේතුවෙන් භික්ෂුණීන් වහන්සේලාට ඡන්දය භාවිත කිරීමට ද අවස්ථාවක් නොතිබිණි. ශ්‍රී ලංකාවේ සිටින 8000කට ආසන්න බෞද්ධ භික්ෂුණීන් වහන්සේලා නිල වශයෙන් පිළිගැනීම බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් ඔවුන්ට ජාතික හැඳුනුම් පතක් ලබාගත නොහැකිව තිබූ බව මීට ඉහත දී බීබීසී සිංහල සේවය අනාවරණය කළේ ය. ඒ අනුව, ඉහත තීන්දුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ප්‍රජාවට සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

ලැබුනු ජයග්‍රහණය ගැන පෙත්සම ගොනු කළ භික්ෂුණිය “ඉරිදා ලංකාදීපය”ට කී කතාවයි මේ.

“ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව ගැන ගොඩක් සතුටුයි. ඔය හැඳුනුම්පත නැති නිසා මමත් ඇතුළු මේ රටේ භික්ෂුණීන් වහන්සේලා ගොඩක් අසරණ වුණා. ජාතික හැඳුනුම්පත නැති නිසා ගොඩක් භික්ෂුණීන් වහන්සේලා උසස් පෙළ විභාගය කර ගන්න බැරුව එතනින් අධ්‍යාපනය නතර කළා. ඒ නිසා මේ රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න තිබුණ භික්ෂුණීන් වහන්සේලාට ඉදිරියට යන්න බැරි වුණා”  

“ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම නිසා විදෙස් ගමන් බලපත්‍රයක් සාදා ගැනීමට නොහැකි වීමෙන් ශ්‍රීලාංකීය භික්ෂුණීන්ට අවම වශයෙන් දඹදිව වන්දනා කිරීමට පවා අවස්ථාව අහිමි වෙලායි තිබුණෙ. මම දඹදිව යන්න ආශාවකින් හිටියේ.  ජීවිතේ ඉතිරි කෙටි කාලය ඇතුළත දඹදිව යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිත කාලයේ මගේ මැදිහත් වීමෙන් වත්මන් අනාගත භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් ලොකු සේවක් ඉටු කිරීමට හැකි වීම ලොකු සතුටක්. ඒ වගේම රන්ගිරි දඹුලු සංඝ සභාවේ මහනායක අති පූජ්‍ය ඉනාමළු‍වේ සුමංගල මහනායක හාමුදුරුවන් වහන්සේ නොවන්නට මේ කටයුත්ත කරන්නට වෙන්නේත් නෑ. උන් වහන්සේට රටේම භික්ෂුණීන් වහන්සේලා පින් දිය යුතුයි.”  

1998 සිට 2004 දක්වා මෙහෙණින් වන්සේලාට ‘භික්ෂුණී’ ලෙස සඳහන් කරමින් ජාතික හැඳුනුම්පත් පවා නිකුත් කෙරිණි. එහෙත් මහා නා හිමිවරුන් ගේ බලපෑම මත එය අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ පියවර ගත්තේය. ඒ අවස්ථාවදී ජාතික හැඳුනුම්පතේ ‘සිල්මතා’ ලෙස සඳහන් කිරීමට මෙහෙණින් වහන්සේලා එකඟ නොවූහ.

එබැවින් ජාතික හැඳුනුම්පත නොමැතිකම නිසා මෙහෙණින් වහන්සේලාට බැංකු ගිණුමක් හෝ විවෘත කර ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි. එමෙන්ම දඹදිව වන්දනාවේ යාමට හෝ ගුවන් ගමන් බලපත්‍රයක් නොලැබුණු අතර, මෙහෙණින් වහන්සේලාට විභාග වලට මුහුණ දීමේ අවස්ථා ද අහිමි වී තිබිණි. පිරිවෙන් සඳහා ලැබුණු අනුග්‍රහය මෙහෙණින් වහන්සේලා අධ්‍යාපනය ලබන මධ්‍යස්ථානවලට හිමිවුණේ නැත. භික්ෂුණීන් වහන්සේලාට රජයේ රැකියා ලබා නොදුන් අතර, ගිහි නම් වලින් ගුරු පත්වීම් ලබා අදටත් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන මෙහෙණින් වහන්සේලා සිටිති.

භික්ෂුණීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රන්ගිරි දඹුලු‍ රජ මහා විහාර සංඝ සභාව විසින් 2009 දී මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කරන ලදී. 2015 අගෝස්තු මාසයේදී එහි තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබිණි.

නමුත් මෙහෙණින් වහන්සේලාට නිසි පරිදි අයිතිවාසිකම් හිමි වූයේ නැත.

ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී ඓතිහාසික තීන්දුව ලබා දුන්නේ එවන් පසුබිමක් පැවතිය දී ය.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස