බෙහෙත් හිඟයි ‘ලෙඩවෙන්නේ බලාගෙනයි’


කාලාන්තරයක සිට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බරපතළම ගැටලු‍‍‍වක් වක් වන්නේ ඖෂධ හිඟයයි. මේ මොහොත වන විටත් ඇත්තේ එම තත්ත්වයයි. රෝහල්වල පවතින ඖෂධ හිඟය රැල්ලක් සේ කලින් කලට වරින් වර නැගෙයි. 

පිළියම් නොමැතිවම තාවකාලික පැලැස්තර දමමින් විටින් විට මතුවන ඖෂධ හිඟය පෙර මෙන්ම මේ වසරේ ද පැන නැගී ඇත. ශ්‍රී ලංකාව ඖෂධ ලබාගැනීමේ අභියෝගයට මුහුණ පා සිටියි. ඖෂධ හිඟය පෙරට වඩා දරැණු ය. නමුත් එම තත්ත්වය පිළිබඳව හාවක් හූවක් නැත. කෙහෙළිය රඹුක්වැල්ලලා, රමේෂ් පතිරණලා මෙන්ම කලින් කලට බලයට පත් වූ ආණ්ඩු කෑවා කෑවා කියුවාට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මොහොතේත් ඇත්තේ ඒ තත්ත්වයේම ය.

ඖෂධ හිඟය යන බරපතළ තත්ත්වය දඩමීමා කර ගනිමින් කාලයකට පෙර සිදු වූ අයථා ටෙන්ඩර ගනුදෙනු මෙන්ම බාල ඖෂධ ගෙන්වීමේ ප්‍රතිපලයක් ලෙස ඇතැමුන්ට මහඋළුගෙදර ලැගීමට ද සිදුවිය. තොරතුරැ තාක්ෂණය කොතරම් දියුණු වුවත් රෝහල්වල ඖෂධ තොග හිඟ වීම කලින් දැනගන්නට තරම් ක්‍රමවේදයක් නොමැති වෛද්‍ය සැපයුම් අංශය සතුව නැත. මේ මොහොත වන විටත් ඖෂධ234 ක් රෝහල්වල හිඟ බවත්, ඉන් ඖෂධ 182 ක්ම අත්‍යවශ්‍ය ඖෂධ බවත් වෛද්‍ය අංශ පෙන්වා දෙයි. 

දැනට රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟයේ ප්‍රතිඵලයක් ලෙස සිසේරියන් සැත්කම්වලට භාජනය වන ගර්භිණී මව්වරුන්ට අදාළ නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ඇතිවන සංකූලතා අඩු කිරීමට ලබා දෙන  IV maxalon, iv ondestorone ඖෂධ දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් රැසක නොමැති වීම නිසා නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ශල්‍යකර්ම අතරතුර දී සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසා සිටී. 

“නිර්වින්දනය කරන රෝගීන්ට සිහි විසඥතාවට පත්වන බැවින් ඔවුන්ගේ ආහාර මාර්ග පද්ධතිය තුළ පවතින ආහාර කැබලි එම තත්ත්වය යටතේ දී ශ්වසන පද්ධතියට ඇතුල්වීමෙන් ශ්වසන පහසුතා ඇති වී මරණයට පත්වීමේ අවදානමක් ඇතිවෙන නිසා එම තත්වය පාලනයට අවශ්‍ය “aspiration ”‍ නැමැති ඖෂධය ලබාදීම සිදු කරනවා. මේ ඖෂධය රෝහල්වල නොමැති කමින් මේ වන විට අදාළ ඖෂධ ලබාදීමකින් තොරව නිර්වින්දන කටයුතු සිදු කිරීමට නිර්වින්දන වෛද්‍යවරුන්ට සිදුව තිබෙනවා. ශල්‍යකර්මයන්ට භාජන වන රෝගීන්ට ශල්‍යකර්ම අතරතුර දී සංකූලතාවයක් මතුවුවහොත් එය කනගාටුදායක තත්ත්වයක් බැවින් මේ තත්ත්වය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් අවධානය යොමු කළ යුතුයි.” 

මීට අමතරව ප්‍රධාන පෙළේ රෝහල්වල භාවිත කරන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ වන “aspiration ”‍  හිඟයද බරපතළ ලෙස වාර්තා වන බවත් රෝගීන්ට ඖෂධ ලබාදීමේ දී රෝහලේ හිඟ ඖෂධ රෝහල් අධ්‍යක්ෂකවරු පිට ෆාමසි වලින් මිලදී ගෙන රෝගින්ට ලබාදීම සිදු කරන බවත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වන බව ද ඔහු පෙන්වා දෙයි.

”‍රෝහල්වල ඖෂධ පෙත්තක්වත් නැති වෙන තරමට හිඟ වෙලා නැහැ. ගැටලුව තිබෙන්නේ රජයේ සැපයුම් අඩාළ වීමයි. රජයේ වෛද්‍ය සැපයුමේ ඖෂධවල ලොකු හිඟයක් තිබෙනවා. ඒ අනුව රෝහල් අධ්‍යක්ෂකරවරු ප්‍රාදේශීය මිලදීගැනීම් වලින් වගේම රෝගින් ලවාම පිටින් ඖෂධ ගෙන්නවා ගැනීමෙන් තමයි පාලනය කරගෙන යන්නේ. මේ ක්‍රියාවෙන් ලොකු මුදල් නාස්තියක් සිදු වෙනවා. උදාහරණයක් ගත්තොත් රුපියල් 5 ට ගන්න තියෙන බෙහෙත එළියේ ෆාමසියෙන් රැපියල් 500 ට විතර ගන්න වෙලා තියෙන්නේ.” 

රට පුරා මිල පාලනයෙන් ගිලිහී ගිය ඖෂධ වර්ග 7000ක්

එමෙන්ම ලංකාවේ පෞද්ගලික ඔසුහල්වලින් ලබාදෙන විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් ඖෂධ 7500කට ආසන්න ප්‍රමාණයෙන් මිල නියාමනයට යටත්ව තිබෙන්නේ ඖෂධ වෙළෙඳ නාම 700කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත්, බාහිරින් ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට එම ඖෂධවල මිල දරාගත නොහැකිව දැඩි ලෙස අසරණතාවට පත්ව ඇති බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි. 

”‍පසුගිය කාලයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ කාණ්ඩ හැටකට ආසන්න ප්‍රමාණයක මිල නියාමනය සඳහා ගැසට් පත් නිකුත් කළා. මෙම ඖෂධ කාණ්ඩ හැට යටතේ විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් ඖෂධ වර්ග 700ක් පමණ මිල පාලනයට යටත්ව අලෙවි වුණා.

එහෙත් මිල පාලනයට යටත් නොවූ තවත් විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් ඖෂධ 700කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා පෞද්ගලික හා රජයේ ඔසුහල්වල මේ වන විට අලෙවි වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට දිගුකාලීනව ඖෂධ ලබා ගන්නා රෝගීන්ට අදාළ ඖෂධ සඳහා මාසිකව දැරිය යුතු පිරිවැය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ නිසා අපි කියන්නේ ඖෂධ නියාමන අධිකාරිය පෞද්ගලික ඔසුහල් හා ඖෂධ සමාගම් අතර එකඟතාවකින් යුක්තව මෙම මිල පාලනය සඳහා කඩිනමින් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ සම්බන්ධව අධිකරණය හමුවේ පවතින අධිකරණමය කටයුතු පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් කඩිනමින් විසඳා ගැනීමට අදාළ පාර්ශ්ව උනන්දු වීම ඉතාම වැදගත්. නමුත් ඖෂධ මිල පාලනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන්නාත් මෙම මිල සූත්‍රය සම්බන්ධයෙන් ඇතිවී ඇති අර්බුදකාරී වාතාවරණය මැද මේ දක්වා ඖෂධ මිල පාලනය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියකට එළැඹීමට බලධාරීන් අසමත් වී  තිබෙනවා. ඇත්තටම වර්තමාන සෞඛ්‍ය අර්බුදයට මුල අකාර්යක්ෂම සහ අදක්ෂ දුර්වල සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්.”

වෛද්‍ය චමල් සංජීව පවසයි.

දැනට දිවයින පුරා පෞද්ගලිකව ඔසුහල්වල ද සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක හිඟයක් ද පවතියි. පිළිකා රෝගීන් අතුළු දිගුකාලීන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ඖෂධ ගෙන්වීම සඳහා විදේශ රටවල්වල පුද්ගලික සහය ලබා ගැනීමට සිදුව ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දැනටමත් මෙරට ක්‍රියාත්මක වූ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් රැසක්ම තම සැපයුම් සහ ඇණවුම් ශ්‍රී ලංකාව වෙත සිදුකිරීම නතර කිරීමයි. ඖෂධ සමාගම් රැසක්ම පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවෙහි මෙහෙයුම් නතර කොට ඇත. 

මෙම ඖෂධ හිඟයට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි පවතින තවත් අර්බුදයක් වන්නේ රෝග පරීක්ෂක සහ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වන යන්ත්‍ර උපකරණ සති මාස අවුරුදු ගණන් අක්‍රිය වීමයි. මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ එම් ආර් අයි යන්ත්‍ර 4 න් තුනක්ම අක්‍රීය තත්ත්වයේ පවතින නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ දී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ පිළිබඳව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මෙසේ පවසයි.

“එම්.ආර්.අයි යන්ත්‍ර4 ම ක්‍රියාත්මක වී තියෙද්දී දිනකට පරීක්ෂණ 70-100ක් පමණ සිදු කළත් මේ වන විට එම්.ආර්.අයි යන්ත්‍ර තුනක්ම අක්‍රිය වීම නිසා පරීක්ෂණ 15- 20 ප්‍රමාණයකට සීමා වී ඇති බවත් පොරොත්තු ලේඛනයේ එම්.ආර්. පරීක්ෂණ සඳහා රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නා බවත්ය. 

”‍ජාතික රෝහලේ එම්.ආර්.අයි මැෂින් 4 ක් තියෙනවා. එම්.ආර්.අයි මැෂින් 4 න් දැනට ක්‍රියාකාරිත්වයේ තියෙන්නේ එක් යන්ත්‍රයයි. ලංකාව පුරාම ගත්තොත් එස්රේ මැෂින් 10 ක් පමණ මේ වන විට අක්‍රිය වෙලා තිබෙනවා. ඒ වගේම ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ සිදු කරන සී.ආම් යන්ත්‍ර 5 ක් අක්‍රිය වෙලා තියෙනවා. 

ඒ වගේම තමයි ජාතික රෝහලේ තිබෙන එම්.ආර්.අයි යන්ත්‍ර 4න් එක් එම්.ආර්.අයි යන්ත්‍රයක් දැන් වසරක කාලයක ඉඳලා සම්පූර්ණයෙන්ම ඉවත් කර තියෙනවා. තව එම්.ආර්.අයි යන්ත්‍රයක් මීට මාස දෙකහාමාරකට කලින් අක්‍රිය වුණා. ඊට අමතරව තව එම්.එම්.ආර්.අයි යන්ත්‍රය ස්ථාපනය කරලා තියෙන කාමරේ වේයන් විසින් හානි කරලා කියලා නැවත අලු‍තෙන්ම අලු‍ත්වැඩි කිරීමට සිදු වෙලා තියෙනවා. තව යන්ත්‍රයක් මීට සති දෙකකට කලින් බිඳ වැටුණා. ඒ යන්ත්‍රය අලු‍ත් වැඩියා කරන්න යන වියදම ඇස්තමේන්තු මිලියන 55 ක්. මෙහි තියෙන බරපතළම ගැටලු‍ව තමයි මේ එම්.ආර්.අයි යන්ත්‍රයේ සේවා ගිවිසුම යාවත්කාලීන විය යුත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී. නමුත් ඒ මාසයේ දී ඒ අදාළ සමාගමත් සමඟ ඒ සේවා ගිවිසුම යාවත්කාලීන කර නැහැ. 

අදාළ කලයේ දී යාවත්කාලීන කළා නම් සිදුවන ඕනෑම දෝෂයකට ඒ සමාගම වග කියනවා. වර්ෂයකට සේවා ගිවිසුමේ මුදල වුණේ මිලියන 15යි. මෙම යන්ත්‍රය අක්‍රිය වෙන තුරුත් සේවා ගිවිසුම යාවත්කාලීන වුණේ නැහැ. යන්ත්‍රය මාස 11ක් ක්‍රියා කළේ සේවා ගිවිසුමක් සහ නඩත්තුව සඳහා වගකීමක් නැතුව. ඒ අදාළ සමාගම හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීමක් ගත්තේ නැහැ. මිලියන 15 කින් සේවා ගිවිසුම් ගත වුණා නම් දැන් ඇස්තමේන්තු කර තිබෙන මිලියන 55 අප දැරිය යුතු නැහැ. ඒ මිලියන 55 හානිය අපට ප්‍රතිපූර්ණය කරගන්න තිබුණා. එහෙනම් ඒ අදාළ ආයතනය විසින් නඩත්තු කිරීම සිදු කරනවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ යන්ත්‍රය නඩත්තු කළ නොහැකි නම් අලු‍ත් එම්.ආර්.අයි යන්ත්‍රයක් මිලදී ගැනීමට යෝජනා කරනවා. නමුත් අපේ මතය නම් තව අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් යන්ත්‍රයක් පැත්තකට දාලා තව කෝටි ගාණක් වියදම් කරලා අපට යන්ත්‍රයක් ගන්න සිදු වෙලා තියෙන්නේ ඒ වගකිව යුතු ඒකක නිසි පරිදි ක්‍රියා නොකරපු නිසා.” 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මිලියන ගණන් අපතේ යන්නේ අකාර්යක්ෂම සහ අදක්ෂ දුර්වල සෞඛ්‍ය පරිපාලනය නිසා ද? 

ලංකාව පුරා සීටී ස්කෑන් යන්ත්‍ර 45 ක් , එම්.ආර්.අයි යන්ත්‍ර13 ක්, හෘද කැතීටර් කරන යන්ත්‍ර 14ක්, එස්රේ යන්ත්‍ර 250 කට වැඩි ප්‍රමාණයක් මැමෝ ග්‍රෑර්ම් යන්න්‍ර 18 ක් , ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 10ක් ක්‍රියාත්මක වෙනවා. මේ යන්ත්‍ර ඕනෑම වෙලාවක අක්‍රිය වෙන්න පුළුවන්. ඒවා යාවත්කාලීන කරන්න නිසි ක්‍රමවේදයක් තිබිය යුතුමයි. මිලියන ගණන් අපතේ යන්නේ සෞඛ්‍ය පරිපාලනයේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා. ලංකාවේ සියලු‍ම රෝහල් පද්ධතිවල යන්ත්‍රවල නඩත්තුවේ කාර්යයන් ඒ වගකීම් පැවරී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තිබෙන ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයට. එතකොට එම්.ආර්.අයි, සීටී වැනි අධි තාක්ෂණික යන්ත්‍රවල මෘදුකාංගවලට හාඩ්වෙයාර්වල ඕනෑම වෙලාවක දෝෂ හටගන්න පුළුවන්. ඒ නිසා මේ සම්පූර්ණම ඒකකයේ නඩත්තුවක් තියෙන්නම ඕන. ඒක පැය 24 පුරාම ක්‍රියාත්මක විය යුතුයි. 

මේ යන්ත්‍රයක පුංචි හෝ දෝෂයක් හටගත හොත් සම්පූර්ණයෙන්ම පරීක්ෂණ හෝ ප්‍රතිකාර සේවා නතර කරන්න සිදු වෙනවා. පරීක්ෂණ සේවා අඩාළ වෙනවාය කියන්නෙම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ඇදදැමීමක්. පරීක්ෂණ නොමැතිව රෝග විනිශ්චයකින් තොරව ප්‍රතිකාර කිරීමේ සහ සැත්කම් කිරීමේ හැකියාව නැහැ. 

දැනට මේ යන්ත්‍ර අක්‍රිය වීම සහ ඒවා නැවත අලු‍ත්වැඩියා කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ලොකු අවදානම් සහගත තැනක අපි ඉන්නවා. මේ තියෙන එම්.ආර්.අයි, සීටි ස්කෑන් යන්ත්‍ර සේවා ගිවිසුම් ගත නොවීම හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා හදිසි බිඳ වැටීමක් වුණොත් ඉක්මනින් යාවත්කාලීන කරන්න බැහැ. සමහර යන්ත්‍ර අතහැර දැමීමට සිදු වෙනවා. 

එතකොට මේ කියන සේවා ගිවිසුම්ගත වීම, නඩත්තුව නිසි පරිදි සිදු නොවීම රෝහල් පද්ධතියම මරණාසන්න තත්ත්වයට ඇද දැමීමක්. මේ වෙනකොටත් යන්ත්‍ර විශාල ප්‍රමාණයක් සේවා ගිවිසුම් ගත වෙලා නැහැ. ඒක ඉතාම බරපතළ තත්ත්වයක්. මේ විධිමත් ක්‍රියාමාර්ගයක් තිබිය යුතුමයි.”

නදීශා අතුකෝරළ