බුදුදහම ලෝකයට ගෙනයන්න හදන ගැටහැත්තේ ඉංශ්‍රීසි පිරිවෙණ


මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ඇතිවූ නවමු බෞද්ධ ප්‍රබෝධය මත අපේ රටේ ව්‍යාප්ත වූ ආරාමික අධ්‍යාපනයේ ඉතිහාසය දෙස බලද්දී මහාවංශය වැනි මූලාශ්‍රවල අනුරාධපුර මහා විහාර පිරිවෙණ නම් වූ භික්ෂු වාසස්ථාන රැසක් හා රුහුණේ තිස්ස විහාරය ආශ්‍රිත එවැනි පිරිවෙන සිය ගණනක් තිබුණු බව සඳහන් වන අතර එයින් භික්ෂු අධ්‍යාපනය නගා සිටුවීමෙහිලා මහා මෙහෙවරක් වූ බවද පැහැදිලි වන කාරණාවකි. ඒ අනුව බලන කල මහා වංශයේ සඳහන් පරිදි මහාවිහාර පිරිවෙණ, මයුර පිරිවෙණ, කාලාපාසාද පිරිවෙණ, අභයගිරියේ උත්තරෝළහ පිරිවෙණ ප්‍රමුඛ වූ බව ද සඳහන් ය.

අනුරාධපුර යුගයේ පැවැති පිරිවෙණවල මූලික වශයෙන් ත්‍රිපිටකය හා අර්ථ කථා ඉගෙනීම, ඒවා ප්‍රගුණ කිරීම හා සජ්ඣායනා කිරීම වැනි අධ්‍යාපනික කටයුතු දියත් කෙරුණු අතර භික්ෂූහු සිය ජීවන ප්‍රතිපදාව ඒ අධ්‍යාපන රටාවලින් සකස් කරගනිමින් තම විමුක්තිය ලබාගැනීම මූලික අරමුණ කරගනිමින් ධර්ම ප්‍රචාරණයේද නියැළුණහ.

ඒ ආරම්භයත් සමග බුද්ධ ශාසනය ගම් නියම්ගම් ඔස්සේ පැතිර යද්දී දිගින් දිගටම බුද්ධ ශාසනයට සාමණේර හිමිවරුන් එකතුෙවද්දී ඔවුන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රටේ හැමතැනකම පාහේ පිරිවෙන් බිහිවීම ආරම්භ වන්නේ භික්ෂුවටද  අධ්‍යාපනයේ යා හැකි දුර බොහෝ බැව් අවබෝධයෙනි.

ගිහියකුට මෙන්ම බෞද්ධ භික්ෂුවකටද තම ජීවිතය ගොඩනැගීමට මෙන්ම සමාජ සංස්ථාවට මහා අත්වැලක් වීමට නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක් බැව් වටහාගනිමින් දවසින් දවස ගොඩනැගෙන පිරිවෙන් අධ්‍යාපනයේ නවමු මානයක් අද දවසේ දකින්නට හැකිවීම කළුනික  සෙවීමක් වුවද බොහෝ පිරිස් ගරාවැටීමට ලක්ව ඇතැයි සිතූ එම අධ්‍යාපන ක්‍රමයේ නව මානයන් කරා යාමද අපේ රටේ බෞද්ධ භික්‍ෂුවගේ වාසනා මහිමයකි. ගමන උඩුගම් බලා වුවද ප්‍රතිඵලය සැනසිලිදායකය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ බෝපැත්ත ගැටහැත්ත ග්‍රාම සේවා වසමේ ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහ පිරිවෙණ සාමණේර භික්ෂුන් වහන්සේලාගේ නැණ නුවණ පාදන්නට ගොඩනැංවූ කදිම මෙන්ම නවමු තෝතැන්නක් වී ඇත්තේ එහි වූ විශේෂ අධ්‍යාපන ක්‍රමවේදය නිසා. ඒ එහි සිටින සියලු‍ම සාමණේර හිමිවරුන් අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බැවිනි.

පාසල් අධ්‍යයනයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම අද දවස වෙද්දී සාමාන්‍ය කාරණයක් වුවද පිරිවෙන් අධ්‍යාපනය මවු භාෂාවෙන් එපිට ගිය ඉංග්‍රීසි භාෂාවෙන් හැදෑරීම සුවිශේෂ වන්නේ පිරිවෙණක හදාරන ගණිතය, සිංහල විෂයන් හා පාලි, සංස්කෘත ආදී විෂයන්ද ඉංග්‍රීසි භාෂාවෙන් හැදෑරීම තුළිනි. මේ අපූරු සංකල්පයෙන් සාමණේර භික්ෂුවගේ ජීවිතයට නවමු ආකල්ප එක් කරමින් භික්ෂු අධ්‍යාපනයට නව අරුතක් එක් කරන්නට කැපවන්නේ රාස්සගල චන්දකිත්ති හිමියන්ය.

‘මම විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ පාලි විශේෂවේදී උපාධියක් සමඟ. ඒ හරියටම 2011 වසරේ. මට එතැනදි හිතුණු දෙයක් තමයි අපේ සාමණේර භික්ෂුවගේ අධ්‍යාපනය වෙනුවෙන් මොනවා හරි වැඩපිළිවෙළක් පටන් ගන්න ඕනෑ කියලා. ඒකට හේතුව වුණෙත් ඒ වෙද්දි මම දැකලා තිබුණා අපේ තරුණ භික්ෂුන් වහන්සේලා සිවුරු  හැර යනවා. ඒකට හේතුව තමයි බොහෝ අයට දැනුම, ආකල්ප නැතිකම. ඒවා පුරුදු පුහුණු කරවන්න තැන් නැතිකම. එතැනදි තමයි මට වඩාත්ම තේරුම් ගියේ මේ සාමණේර හිමිවරුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව තියෙන දැනුම අල්පයි කියා. සාමණේර හිමිවරුන් ඉංග්‍රීසි ඉගෙනගත්තොත් බුදු දහම ලෝකයට ව්‍යාප්ත කරන එක මහ වැඩක් නොවෙයි කියන කාරණාවත් එක්ක මට ඕන වුණා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් උගන්වන්න පිරිවෙණක් ආරම්භ කරන්න. ඒක තමයි මේ පිරිවෙණේ මුල්ම ආරම්භය’.

චන්දකිත්ති හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහ පිරිවෙණ ආරම්භ වන්නේ හරියටම 2012 වසරේ දෙසැම්බර් 3 දාය. ඒ සාමණේර හිමිවරුන් දෙදෙනකුගෙනි. පර්චස් අසූවක් පමණ වූ පන්සල් බිමේ භාවිතයට තිබුණේ එක් වැසිකිළියක්, දාන ශාලාවක් හා අවම පහසුකම් යටතේ ආවාසයක් පමණි. වසරින් වසර සාමණේර හිමිවරුන්ගේ සංඛ්‍යාව ඉහළ යද්දී ඒ හිමිවරුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම මහත් අභියෝගයක් වූ අතර කුමන බාධා පැමිණියත් උත්සාහය අත්නොහරින බව උන්වහන්සේ තරයේ සිතා ගත්තේ එහි දිනෙන් දින ඇතිවන ප්‍රගතිය දැකීමෙනි.

චන්දකිත්ති හිමියෝ මෙසේද පැවසූහ.

‘දෙදෙනකුගෙන් ආරම්භ කළ පිරිවෙණේ මේ වෙද්දි ශිෂ්‍ය සාමණේර හිමිවරුන් 68 දෙනකු අධ්‍යාපනය ලබනවා. ඒක විශාල සතුටක් වගේම මේ ප්‍රදේශයට ආලෝකයක්. මොකද අපේ රටේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පිරිවෙන් තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩු සංඛ්‍යාවක් නිසා. මේ තරම් දුර මේ පිරිවෙණ ඉදිරියට ගෙනයන්න හයියක් වුණේ ගමේ දායක පිරිස සහ මේ ගැන විස්තර දැනගෙන පිට ප්‍රදේශවලින් පැමිණි දායකයො. ඔවුන් පුළුවන් තරම් දායතක්වය දුන්නා මේ තරමට කරගෙන යන්න පහසුකම් දීලා. ඒකට ගොඩක්ම මුල් වුණේ ලේක්හවුස් ආයතනයේ මහත්මයෙක්. ඔහු මේ පිරිවෙන ගැන විවිධ පුවත්පත්වල පළ කළ නිසා අපට උදව් කරන ලොකු පිරිසක් එක්වුණා. ඒවගේම තමයි සාමණේර හිමිවරුන් වැඩි වනවිට අපිට දානය පිළිබඳව ගොඩක් ගැටලු‍ එනවා. ඒ වෙලාවෙදි ලේක්හවුස් එකේ රෝහිත මහත්තයා ඔහු ඉතිරිකරගත් මුදලකින් අපිට මුළුතැන්ගේ උපකරණ  රැසක්  අරන් දුන්නා 2015දී පමණ. ඒක විශාල හයියක් වුණා. ඒ විදියට තමයි මේ පිරිවෙණ ගොඩනගාගෙන ආවේ‌’

පිරිවෙණක් පවත්වාගෙන යාමට නම් රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යය. මන්ද පාසල් පද්ධතිය සේම පිරිවෙන් අධ්‍යාපනයද පවතින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ බැවිණි. සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් පාසලකට සේම පිරිවෙණට අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරදීම එහි කාර්යභාරයයි.

‘මේ පිරිවෙණ ආරම්භ කරලා අනුමත කරගන්න මම අධ්‍යාපන අමාත්‍යාංශයට සිය පාරකට වඩා යන්න එන්න ඇති. ඇත්තටම හරිම කනගාටුයි, කුඩම්මගේ සැලකිල්ලටත් වඩා අඩු සැලකිල්ලක් තමයි මේ පිරිවෙණට ලබාදුන්නේ. සාමාන්‍යයෙන් පිරිවෙණක් අනුමත කරන්න ශිෂ්‍ය හිමිවරුන් පහළොස් නමයි අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පිරිවෙණ අනුමත කළේ 2019දි. එතකොට ශිෂ්‍ය හිමිවරුන් 52ක් හිටියා. ඒ අනුමැතිය ගන්න මම මොනතරම් වෙහෙසක් ගත්තද කියලා දන්නේ මම විතරයි. ඒ වගේම තමයි විසඳාගතයුතු ගැටලු‍ රාශියක් තියෙනවා. මොකද මේ පිරිවෙණ පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා. අපට විෂය නිර්දේශය එන්නේ සිංහලෙන්. එවා ඉංග්‍රීසියට හරවා ගන්න ඕන. අනෙක් කාරණය තමයි අපට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරු දීලා තියෙන්නෙ හතයි. දැන් උසස් පෙළත් ඉංග්‍රීසි භාෂාවෙන් අරඹා තිබෙන නිසා තව ගුරුවරුන් පහක්වත් ඕන. ඒ නිසා අපි ඒ අඩුව පුරවා ගන්නේ පිටින් ගුරුවරු අරගෙන. මොකද පාලි, සංස්කෘත, ගණිතය වගේ විෂයක් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සංකීර්ණයි. ඒ සඳහා හොඳ දැනුමක් ඇති  ගුරුවරු තමයි ඕනෑ. මොකද මෙතනට එන බොහෝ සාමණේර හිමිවරුන් ඈත ගම්බද ප්‍රදේශවලින් එන්නේ. ඒ අයට ඉංග්‍රීසි භාෂාව මුල සිටම හරියට කියා දිය යුතුයි’

  • සාමණේර හිමිවරුන් අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසියෙන්
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ගන්න සිය පාරකට වඩා යන්න එන්න ඇති
  • අධ්‍යාපනයක්, හික්මීමක්, හැදෑරීමක් නැති භික්ෂුවක් පන්සලක විහාරාධිපතිකමට පත්වීමෙන් ගමට, රටට වන විනාශය සුළුපටු නෑ
  • සාමණේර හිමිවරුන් පිරිවෙණට ඇතුළත් කරගන්න කියලා ඉල්ලීම් ආවත් දැන් තියෙන පහසුකම් මදි

 

පිරිවෙණට බාහිරින් පැමිණෙන ගුරුවරුන්ට පඩි නඩි ගෙවීම පිරිවෙණේ පවතින විශාලම අර්බුදයයි. ඒ සඳහා විකල්පයක් ලෙස   කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වාදී ඇති අතර පරිත්‍යාගශීලින්ගේ නොමසුරු දායකත්වයෙන් අපහසුවෙන් වුවද මෙම කටයුතු පවත්වගෙනයාම තුළින් උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ රටේ සුබ සිද්ධිය උදෙසා නැණවත්, ගුණවත්, සුපේෂලකාමී භික්ෂු පරපුරක් දායාද කිරීමය.

‘අපේ රටේ හිමිවරුන්ට ගුණ යහපක්කම් උගන්වන එකම තැන තමයි පිරිවෙන් අධ්‍යාපනය. ඒවගේම තමයි ඒ පිරිසට ධර්මය විතරක් උගන්වලා හරියන්නේ නැහැ. අනෙක් සෑම විෂයක් පිළිබඳවම අධ්‍යාපනය ලබාදිය යුතුයි. එහෙම අධ්‍යාපනය ලබන භික්ෂුවකගෙන් මේ රටට සමාජයට කවදාවත් අවැඩක් වෙන්නේ නෑ. දොස්තර කෙනෙක් හරියට ඉගෙනගන්නෙ නැතිව රෝහලක සේවය කරන්න ආවොත් එතැනින් වෙන විනාශයට වඩා භයානකයි නිසි අධ්‍යාපනයක්, හික්මීමක්, හැදෑරීමක් නැති භික්ෂුවක් පන්සලක විහාරාධිපතිකමට පත්වීම. ඒ තුළින් ගමට, රටට වෙන විනාශය සුළුපටු නෑ. මොකද බාහිරින් දේවල් රැස් කරනවා විතරයි. අධ්‍යාපනික දැනුමක් නෑ. මේ ක්‍රමවේදය නැතිකරන්නයි පිරිවෙන් අධ්‍යාපනය දියුණු කරන්න ඕන. මේ පිරිවෙණෙන් බිහිවන භික්ෂූන් වහන්සේලා සුපේෂලකාමීව රටට මෙන්ම ලෝකයටම මහා මෙහෙවරක් කරාවි කියන විශ්වාසය තියෙනවා’

ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය මහ පිරිවෙණේ අධ්‍යාපන ලබන සාමණේර හිමිවරුන්ගෙන් ඒ කාර්යය මනා ලෙස සිදුවේයැයි විශ්වාසය තබාගත හැකි බවට හොඳම උදාහරණය වන්නේ මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට මේ වනවිටත් හිමිවරුන් කිහිපනමක්ම සුදුසුකම් ලබා ඇති බැවිනි. මේ වනවිට උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටීමට තවත් හිමිවරු කිහිපනමක්ද සූදානම්ව සිටිති.

‘මේ ප්‍රදේශයේ සෑම දෙනකුගෙන්ම මේ හිමිවරුන් ප්‍රශංසා ලබනවා. අද වනවිට ඉංග්‍රීසියෙන් ධර්ම දේශනා කරන මට්ටමට පවා මේ හිමිවරුන් පත්ව තිබෙනවා. එය අපේ බුදුදහම ජත්‍යන්තරයට රැගෙන යන්න ලොකු අවස්ථාවක්. ඒ වගේම ප්‍රදේශයේ පවත්වන සෑම ආගමික උත්සවයකටම ආරාධනා බලන්නේ මේ සාමණේර හිමිවරුන්. ඒ ගැන තිබෙන්නේ අප්‍රමාණ සතුටක්

ඒ වගේම තමයි අද වෙද්දි විශාල වශයෙන් දිවයින පුරා විහාරස්ථානවලින් කතා කරනවා සාමණේර හිමිවරුන් මෙම පිරිවෙණට ඇතුළත් කරගන්න කියලා. නමුත් ඇත්තටම අපට තියෙන පහසුකම් මදි. සාමාන්‍යයෙන් එක කාමරයක සිටිය යුතු හිමිවරුන් දෙනමයි. නමුත් ඉඩකඩ ප්‍රශ්නය නිසා එක කාමරයක සිව්නමක් පවා වැඩ සිටිනවා. වැසිකිළි පහසුකම් පවා දැන් අවශ්‍යයි වැඩිපුර. මෙතැනට එන සාමණේර හිමිවරුන්ට මුලින්ම මලලසේකර ශබ්ද කෝෂය දෙන්න ඕන. ඊට පසුව ඔක්ස්පර්ඩ් ශබ්ධ කෝෂය අරගෙන දෙන්න ඕන. හැම දෙයක්ම ඉංග්‍රීසියට පරිවර්තනය කර ගන්න නිසා මුද්‍රණ පහසුකම් ඕන. මේවා තියෙන්නේ සීමිතව. අපි දානමය කටයුත්තකදී අට පිරිකර, වෙන පිරිකර පවා ඉල්ලන්නේ නැහැ. හිමිවරුන්ට ඉගෙනීමට අව්‍යශ දේවල් තමයි හැම වෙලාවකම බලාපොරොත්තු වන්නේ. මොකද මේ විහාරයේ හරියට වැඳුම් පිදුම් කරන්නවත් තැනක් නැහැ. චෛත්‍යයක් නැහැ. මා හිතන්නේ ඒ දේවල් ගොඩනඟනවාට වඩා මේ සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම මූලික අරමුණ කරගෙනයි මම වැඩ කරන්නේ. ඒ ටික හරියට කරලා මේ විනය හා දැනුම එක්ක මේ හිමිවරුන් සමාජගත වීමෙන් මේ රටට වන සේවය සුළුපටු නෑ’

සමාජයක ප්‍රගමනය වෙනුවෙන් හිමිවරුන්ට කළ හැකි මෙහෙවර සුළුපටු නොවේ. ඒ වෙනුවෙන් දියත්වන කර්තව්‍යය සඳහා ගිහි සමජයෙන් සවිමත් අත්වැලක් ලබාදීම ද උතුම් වූ කර්තව්‍ය්‍යක් වන අතර ඒ ලබන අත්වැලෙන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙන්ම රටට සමාජයට යුතුකම් වගකීම් මැනවින් ඉටු කිරීමටද සංඝ සමාජය අවබෝධ කරගත යුතුව ඇත.

සුජිත් ප්‍රසංග