පේරාදෙණිය ඉංජිනේරු පීඨය75 වැනි වියට එළැඹෙයි


මෙලොව පැවැත්මට මෙන්ම විනාශයටද හේතුසාධක වන්නේ ඉංජිනේරු විද්‍යාව ඔස්සේ සොයා ගන්නා සොයා ගැනීම්ය. ලොව සුළු කොටසක්වූ ඉංජිනේරුවන් ලෝකයේ විනාශයට සොයා ගැනීම් සිදුකරද්දී බහුතරයක් වූ ඉංජිනේරුවන් ලෝකයේ යහපැවැත්මට සුවිශේෂ වූ දේවල්  සොයා ගනිමින් මෙලොව මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි.

ඉංජිනේරු ක්ෂේත්‍රය ඔස්සේ ලැබෙන සහ ලබාගත හැකි මහා දැනුම් සම්භාරය ලෝකයේ විනාශයට මෙන්ම ලෝකයේ ඉදිරි පැවැත්මට භාවිත කිරීමට හැකි වන්නේ ඒ ඔස්සේ අධ්‍යාපනය ලබන පුද්ගලයාගේ මානසිකත්වය අනුවය.

ඉංජිනේරු විද්‍යාව යනු ලෝකයේ යහපැවැත්මට මෙන්ම ලෝකයේ විනාශයට ද යොදාගත හැකි අපූරු මෙවලමකි.

Cඑවන් තත්ත්වයක් හමුවේ ඉංජිනේරු ක්ෂේත්‍රය ඔස්සේ මුළු ලොවටම වැඩදායක විද්වතුන් බිහිකළ මහා පින්බිමක් තම වජ්‍ර ජයන්තිය ජූලි මස පළමුවැනිදා සැමරීමට නියමිතය.

මහනුවර දිස්ත්‍රික්කයට ආභරණයක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය එසේ තම 75 වැනි දියමන්ති ජුබිලියට සමගාමීව වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් සහ ක්‍රියාත්මක වීමට නියමිත බව එම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක කියයි.

මෙම 75 වැනි දියමන්තිය ජුබිලියට සමගාමීව මෙරට ප්‍රථම කෘත්‍රිම බුද්ධි අධ්‍යාපන උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා පළමු කණ්ඩායම වශයෙන් සිසුන් 50 දෙනෙකු ඇතුළත් කර ගනු ඇත.

මෙම ඉංජිනේරු විද්‍යා පීඨය දෙපාර්තමේන්තු අටකින් සමන්විත වන අතර සිවිල් ඉංජිනේරු විද්‍යාව, රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව, පරිගණක ඉංජිනේරු විද්‍යාව, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ ඉංජිනේරු ගණිත සහ ඉංජිනේරු කළමනාකරණය පිළිබඳව උපාධිය යන උපාධි පිරිනමින් ලොවට වැඩදායක මහා විද්වතුන් මෙම ආයතනය මගින් බිහි කරනු ලබයි.

දෙස් විදෙස් සරසවි අතර 

දෙස් විදෙස් විශ්වවිද්‍යාල අතර ඉතාමත් මනරම් දැකුම්කලු‍ පාරිසරික පිහිටීමක පිහිටා ඇති විශ්වවිද්‍යාලයක් වශයෙන් සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වත්මනේ පිහිටි පින් බිමේ ස්ථාපිත කොට ඇත්තේ 1964 වසරේදී වුවත් එය යුනිවර්සිටි ඔෆ් සිලෝන් යන නමින් සිසුන් 25දෙනෙකුගෙන් යුතුව කොළඹදී 1942 ජූලි මස 01 වැනි දින ආරම්භ වී තිබේ.

ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්ගේ මූලිකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ වීමෙන් පසුව විශ්වවිද්‍යාල භූමියේ මහවැලි ගඟෙන් මෙපිට ගම්පොළ නුවරඑළිය මාර්ගයට සමගාමීව අක්කර 15 ක මනරම් භූමි භාගයක පිහිටා ඇති මෙම ඉංජිනේරු විද්‍යා පීඨයේ මේ වන විට කණ්ඩායම් පහක් වශයෙන් සිසුන් 2275 දෙනෙක් ලොවට දායාද වන ඉංජිනේරුවන් වශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටිති.

යුනිවර්සිටි ඔෆ් සිලෝන් වශයෙන් කොළඹදී සිසුන් 25දෙනෙකුගෙන් මෙම ඉංජිනේරු පීඨය ආරම්භ වුවද මහාචාර්ය ඊ. ඕ. ඊ. පෙරෙයිරාගේ මූලිකත්වයෙන් මෙම ඉංජිනේරු පීඨය පේරාදෙණියේ නිර්මාණය වෙද්දී ඒ එක් කණ්ඩායමක් සඳහා සිසුන් 150 දෙනෙකුට පහසුකම් සැලසීමට අවශ්‍ය ගොඩනැගිලි සහ ඉඩ පහසුකම් ඇතිව මෙම පීඨය නිර්මාණය වී තිබේ.

වසරෙන් වසර එක් කණ්ඩායමකට සිසුන් බඳවා ගැනීමේ සීමාව වැඩි වෙමින් පවතිමින් මේ වන විට පීඨයේ එක් කණ්ඩායමකට බඳවා ගැනෙන සිසුන් ප්‍රමාණය 455 දෙනෙකු දක්වා ඉහළ නැංවී තිබෙන අතර මේ වනවිට කණ්ඩායම් පහක් ඔස්සේ සිසුන් 2275 දෙනෙක් අධ්‍යාපනය හදාරමින් සිටිති.

එම සිසුන් වෙනුවෙන් 115 දෙනෙකුගෙන් යුතු ආචාර්ය මණ්ඩලයක් සිටින අතර ඔවුන්ගෙන් සීයට90කට වැඩි පිරිසක් පී. එච්. ඩී. උපාධිධාරීන් වීම විශේෂත්වයකි.

නවීකරණ රැසක් 

මෙම පීඨයේ 75 වැනි දියමන්ති ජුබිලියට සමගාමීව නවීකරණ කිහිපයක් සිදුවී ඇති අතර ඒ සඳහා පීඨයේ ආදි විද්‍යාර්ථීන් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් පරිත්‍යාග කොට ඇති බව පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක කියයි. එම නවීකරණ අතරට සුහුරු දේශන ශාලා, අධ්‍යාපන පහසුකම් වැඩි කිරීමට අවශ්‍ය  දෑ, ගොඩනැගිලි අලු‍ත් වැඩියා කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, මල්ටි මීඩියා ප්‍රොජෙක්ටර පහසුකම්, පර්‌යේෂණාගාර පහසුකම් වැඩි කිරීම ඇතුළු අංශ ගණනාවක් වැඩි දියුණු කිරීමට ආදි විද්‍යාර්ථීන් තමන් පෝෂණය කළ පින් බිමට කෘතවේදිත්වය පළ කොට තිබේ.

මේ වන විට නවීන දේශන ශාලා හා දියුණු රසායනාගාරවලින් සන්නද්ධ මෙම ඉංජිනේරු පීඨය 1970 වන විට ස්වභාෂා විෂය ධාරා ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ලැබී ඇති අතර පසුව එය ද්විභාෂා අධ්‍යාපනය බවට පත් විය.

1971 වසරේදී මෙම පීඨය දැවැන්ත පියවරක් තබමින් පරිගණක විද්‍යාවට අත්පොත් තබමින් එවකට පරිගණක විෂයෙහි දැවැන්තයෙකු වූ අයි.බී.එම්. ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් අනෙකුත් විශ්වවිද්‍යාල සහ කර්මාන්ත සඳහා පරිගණක පාඨමාලා ඇතුළු සේවා සැපයීමටද සමත් වී තිබේ.

1972 වන විට පීඨය නව ආචාර්ය උපාධි කාර්ය මණ්ඩලයකින් සන්නද්ධ කරමින් නවීන පාඨමාලා ඔස්සේ අධ්‍යාපන ගමන් මඟක නිරත වෙමින් ගෝලීය පර්‌යේෂණ වැඩසටහන්වල අති දක්ෂ නිර්මාණ ඉංජිනේරුවන් බිහිකිරීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ ඉදිරියෙන්ම සිටින මෙම ආයතනයෙන් ඉංජිනේරු විද්‍යා තාක්ෂණයේ ඉහළටම ගිය විද්වතුන් අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඇතුළු ලෝකයේ විවිධ රටවල ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල මෙන්ම ආයතනවල මහා විශේෂඥ ප්‍රාඥයන් ලෙස කටයුතු කරමින් සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ගෞරවයක් ගෙන දෙමිනි.

දිනෙන් දින දියුණු වන ලොව නවීන විද්‍යාවට සමගාමීව මෙම ඉංජිනේරු පීඨයේ ඉංජිනේරු විද්‍යාව ගෝලීය නවීකරණයට භාජනය කිරීමේ සිතියමක් එළිදැක්වීමට නියමිත අතර එය මෙම මහා විද්‍යා පීඨයේ වසර සියය සම්පූර්ණ වන විට සිදු කිරීමට නියමිත අධ්‍යාපන නවීකරණයන් සම්බන්ධයෙන් වූ මාර්ග සිතියමකි.

මෙම පීඨයේ ශත සංවත්සරය යෙදෙන 2050 වසරේ දී ඉදිරි අධ්‍යාපන සැලසුම්, උපාය මාර්ග, අධ්‍යාපනයේදී ගෝලීය වශයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු දිසා ආදිය සම්බන්ධයෙන් මෙන්ම එම කාලය වන විට ලෝකයේ පවතින විද්‍යාවේ දියුණුවට සමගාමීව අධ්‍යාපනයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානය යොමු කරමින් එම වැඩසටහන ඉදිරිපත් කොට තිබේ.

191991 වසරේදී ඉංජිනේරු පීඨයේ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා තිබෙන අතර එය ආදි සිසුන් සහ වත්මන් සිසුන් අතර සම්බන්ධතාව ගොඩනැගීමට විශාල පිටුවහලක් වී තිබේ.

ඉංජිනේරු ප්‍රදර්ශනය 

පීඨයේ දියමන්ති ජුබිලියට සමගාමීව සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ ඉංජිනේරු ප්‍රදර්ශනය ඉවත් වීමට නියමිත අතර 2000 වසරේ දී ස්වර්ණ ජයන්තියට සමගාමීව පවත්වන ලද ඉංජිනේරු ප්‍රදර්ශනය කොයි කාගේත් සිත් නෙත් දිනා ගැනීමට සමත් විය.

මෙම පීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන්ට සිවිල් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ විදුලි ඉංජිනේරු විද්‍යාව යන විෂයයන් ඔස්සේ මුල් ආරම්භයේදී උපාධි ලබා දුන්නද පසුව රසායන ඉංජිනේරු විද්‍යාව සහ 1985 වසරේ දී පරිගණක විද්‍යා උපාධිය ලබාදීමට පියවර ගැනිණ. ලොව දියුණුවත් සමඟ පෙරමුණට පැමිණ ඇති කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ලබාදෙන උපාධිය මෙරට පළමුවරට ලබාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පියවර ගැනීමද විශේෂත්වයකි.

පීඨයේ දියමන්ති සැමරුමට සමගාමීව සමාජයට දැනුම ලබාදීමේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක වීමට නියමිත අතර පාසල් සිසුන්, වෘත්තිකයන්, මෙන්ම මහජනතාවද ඇතුළත් වන පරිදි මෙම දියමන්ති ජුබිලි දේශන මාලාව දැනුම සහ අවබෝධය ලැබෙන ආකාරයට පැවැත්වීමට නියමිතය.

මෙම දේශන මාලාව  සඳහා ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවන්, වෘත්තීය දැනුම ඇති දේශකයන් හා ශාස්ත්‍රඥයන්ගෙන් සන්නද්ධ දේශන මෙන්ම වත්මන් ලොවේ මහත් කුතුහලයට ලක්ව ඇති කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුම ඇති දේශකයන්ද සහභාගි වීමට නියමිතය.

ඊට සමගාමීව පාසල් සිසුන් අතර රොබෝ විද්‍යා තරගයක්ද පැවැත්වීමට නියමිතය.  ඒ සම්බන්ධයෙන් පාසල් සිසුන්ට විශේෂ දැනුම ලබා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සඳහා ලොව පුරා සිටින ඉහළ දැනුම සහිත මෙම ආයතනයේ විද්‍යාර්ථීහු සහභාගි වෙති.

මෙම වැඩසටහන්වලට සමගාමීව පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති භාග්‍ය ධර්මදාස මෙම ඓතිහාසික සැමරුමට තම සිසු සගයන් පෙළ ගස්වමින් අවශ්‍ය සියලු‍ සහයෝගය ලබාදෙමින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඉංජිනේරු ප්‍රදර්ශනයට ඔවුන්ගේ උපරිම ධාරිතාව ලබාදීමට පෙළ ගැසෙමින් සිටීමද සතුටට කාරණාවකි.

මෙම අග්‍රගන්‍ය ආයතනයේ අනාගත අභිලාෂය වන්නේ නවෝත්පාදනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ස්ථිර කැපවීමකින්  වර්තමාන සහ අනාගත පරම්පරාවේ අභිලාෂයන් ඉදිරියට පැමිණවීමයි.

ෂේන් සෙනෙවිරත්න