• බළපිටියේ දර්ශන ළිඳේ කණුවේ ලියූ නම වැලිගම ඉන්දික හඳුනාගෙන
• පිළියන්දල ස්වර්ණා මීරිගම ගුරුවරියගේ සටහන් පොත හඳුනාගෙන
පෙර භවය හෙළි කළ දරුවන් පිළිබඳව සිදුකළ පුනර්භව පර්‌යේෂණ අතර තම අත්අකුරු හඳුනාගත් දරුවන් රැසක් සිටිති. පෙර භවයේ නිවෙසට ගොස් ඔවුන් භාවිත කළ පොත් හඳුනාගෙන ඒවායේ තිබුණු අත්අකුරු සහ සටහන් ලියූ අයුරු ද පෙන්වා දුන් ඇතැම් දරුවෝ එම පොත් ඉමහත් ආදරයෙන් වැලඳ ගත්හ. තවත් ඇතැම් දරුවෝ පෙර භවයේ කිසිවකු හෝ නොදුටු ස්ථානවල නම ලියා ඇති බැව් ප්‍රකාශ කර ඒවා පෙන්වා දෙනු ලැබුවේ පෙර භව ඥාතීහු පවා මවිතයට පත් කරවමිනි.
එම දරුවන් අතරින් අතිශය පුදුම අයුරින් පෙර භව අත්අකුරු හඳුනාගත් දරුවන් තිදෙනකු බළපිටිය, පිළියන්දල සහ වැලිගම දී උපත ලබා තිබුණි. වැලිගමදී උපත ලද ඉන්දික නම් දරුවා අනාවරණය කරනු ලැබුවේ පෙර භවයේදී බළපිටියේ ජීවත්ව සිටි බවය. ඔහු අනාවරණය කළ පුනර්භවය පිළිබඳ පර්‌යේෂණ සඳහා වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන්දික නම් එම දරුවා පෙර භව නිවෙසට පැමිණි දිනයේ ඔහු විසින් පෙර භවයේදී තම නම ලියා තිබූ ස්ථානය පෙන්වාදෙන තුරු පෙර භවයේ කිසිදු ඥාතියකු එය නොදැක සිටීම අතිශය වැදගත් සාක්ෂියක් විය.
ඉන්දිකගේ උපත සිදුවූයේ 1972 වසරේදීය. ඔහු පෙර භවය පිළිබඳව තොරතුරු හෙළි කිරීම ආරම්භ වූයේ බහතෝරන වියේ සිටය. පෙර භව තොරතුරු හෙළි කරමින් ඔහු ප්‍රකාශ කළේ බළපිටිය ප්‍රදේශයේ ජීවත්ව සිටි බවය. එහිදී පාසල් ගිය බවත්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ තිබූ එම පාසලට ඔහු ගියේ දුම්රියෙන් බවත් හෙළි කළේය. ඉන්දික අනාවරණය කළ පෙර භව ජීවිත තොරතුරු පර්‌යේෂණයට ඇතුළත්ව තිබූ අයුරින් මෙසේය.
පෙර භවයේදී ඔහුව අමතන ලද්දේ බේබි මහත්තයා ලෙසය. පෙර භවයේදී සොහොයුරියක් සිට ඇත.
අම්බලන්ගොඩ පාසලට ගියේය.
එම නිවෙසේ විදුලිය තිබී ඇත.
නිවෙස පිහිටා තිබුණේ දුම්රිය ස්ථානය අසලය.
පාසලේ සිව්වැනි පන්තියේ ඉගෙනීම ලැබීය.
පියා කලිසම් ඇඳි අයෙකු විය.
නැන්දා කෙනකු සිටියාය.
මේ අයුරින් පෙර භවයට සම්බන්ධ කරුණු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ඉන්දික විසින් අනාවරණය කළේය.
එම තොරතුරු අනුව ඔහුගේ පෙර භවය ලෙස බළපිටියේ පදිංචිව සිටියදී හදිසියේ මරණයට පත්වූ දරුවකු පිළිබඳව සොයා ගැනීමට හැකිවිය. එම දරුවා වූයේ එවකට අම්බලන්ගොඩ පාසලක ඉගෙනීම ලැබූ දර්ශන නම් පාසල් ශිෂ්‍යයෙකි. ඔහු මරණයට පත්වී තිබුණේ හදිසි රෝගී තත්ත්වයක් ඇතිවීම නිසාය. ඔහු රෝගීවීමට මසකට පමණ පෙරදී තාප්පයක් මත සිට වැටීම නිසා හිස තුවාල වී තිබුණි. එම අනතුරෙන් ඒ අවස්ථාවේදී රෝගී තත්ත්වයක් ඇති නොවිණි. එහෙත් මසක් ගතවීමත් සමග ඔහුට අධික උණ ගැනීමක් සිදුවිය. දිනක් ගතවීමේදී සමග ඔහු සිහිසුන් විය. වහාම ඔහු රෝහල්ගත කෙරිණි. දින තුනක් රෝහල්ගතව සිටි ඔහු සිහි නොලබාම මරණයට පත්විය. මරණයට හේතුව ලෙස (Viral Encephalitis and Cardio Respiratory Failure) යනුවෙන් සඳහන් කර තිබුණි. දර්ශන නම් වූ එම දරුවා මියයන විට 11 වැනි වියේ පසුවිය.
දර්ශනගේ නිවෙස හමුවීමෙන් පසු පෙර භව නිවෙසට පැමිණීමට ඉන්දිකට අවස්ථාව ලැබුණි. එදා ඉන්දික පෙර භව නිවෙසට පැමිණි අවස්ථාවේ හඳුනාගැනීම් රැසක් සිදුවිය. එම හඳුනාගැනීම් අතර පියා හඳුනාගැනීම, ඥාතිවරියක් හඳුනාගැනීම, සොයුරිය හඳුනාගැනීම ප්‍රධාන හඳුනාගැනීම් විය.
මෙහිදී සිදුවූ අතිශය වැදගත්ම හඳුනාගැනීම වූයේ ඔහුගේ අත්අකුරින් පෙර භව නම ලියා තිබීම පෙන්වා දීමය. ඉන්දික එදා පෙර භව නිවෙසට පැමිණ ගෙවත්තේ ඇවිදින විටදී නිවෙසේ ළිඳ පිහිටා තිබූ සිමෙන්ති කානුවක් මත නතර විය. ඒ වනවිට ඔහුගේ පෙර භව ඥාතිවරයෙක් ද ඒ අසල සිටියේය. ඉන්දික එක් පාදයකින් එම සිමෙන්ති කානුවේ එක් ස්ථානයක් පිරිමැද මගේ නම මෙතන ලිව්වා යැයි පැවැසීය. එම ස්ථානය පිරිසිදු කර පරීක්ෂා කිරීමට අපට අවස්ථාව ලැබුණි. එහි මැකී ගිය අකුරු කිහිපයක් මතුවිය. එය පරීක්ෂා කිරීමේදී එහි සඳහන් වූයේ ඔහුගේ පෙර භවයේ නම වූ දර්ශන යන අකුරු හතරය. එහි තිබූ අතිශය වැදගත් කරුණ වූයේ එම දරුවා එය පෙන්වාදෙන තුරු නිවෙසේ කිසිවකු හෝ එය නොදැන සිටීමය.
දර්ශන යනුවෙන් එදා එම සිමෙන්ති කණුව ඉදිකළ දිනයේ ඉරටුවකින් ඔහුගේ නම ලියා එම වර්ෂය ද එහි සඳහන් කර තිබූ බැව් දක්නට ලැබුණි. එහි සඳහන් වූ අත්අකුරු දර්ශනගේ අත්අකුරු ලෙස පිළිගැනීමට සිදුවිය. මෙම අත්අකුරු පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ පර්‌යේෂණය ඔහුගේ පර්‌යේෂණ වාර්තාවක ඇතුළත් කර ඇත්තේ මෙලෙසිනි.
(Recognition of Dharsana’s name written on the wall of concrete drain at a house, Indika was observed to be going around a house. He then pointed to the name Dharsana and the date 1965 that had been scratched into the concrete wail It was still soft (My associated and I also saw the writing on the concrete)
පෙර භවයේ අත්අකුරු හඳුනාගත් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කළ තවත් දරුවකු වූයේ පොල්ගහවෙල රෝහලේදී 1972 වසරේදී උපත ලද වසන්තය. එම දරුවාගේ දෙමව්පියෝ ගොවිතැන් කළ වෙල්යායවල් හිමි අය වූහ. වසන්ත බහ තෝරන වියට පත්වී සිටියදී දිනක් මව වී කෙටීම සඳහා වී ගෝනියක් හිස මතට ගත්තාය.
එදෙස බලා සිටි වසන්ත, ‘අපේ අම්මා නම් වී කොටන්න ගෙනියන්නේ කාර් එකේ’ යැයි කීවේය. තම පුත්‍රයාගේ එම වදනින් මව මවිතයට පත් වූවාය. එහෙත් ඒ පිළිබඳව විමසීමක් නොකළාය. නැවතත් දිනක් මව පොල්අතු වියනු බලා සිටි වසන්ත, ‘අපේ අම්මා නම් පොල්අතු වියන්නේ නෑ’ යැයි කීය. ඒ අයුරින් පෙර භවය හෙළි කළ වසන්ත ඔහුගේ පෙර භව තොරතුරු අනාවරණය කරන්නට විය. පෙර භවයේ ජීවත්ව සිටි ප්‍රදේශයත් පියාගේ නමත් වසන්ත අනාවරණය කළේය.
පියාට කාරයක් සහ ට්‍රැක්ටර් රථයක් තිබුණු බව පැවසූ ඔහු පෙර භවයේදී මරණයට පත්වූ අයුරු අනාවරණය කළේය. “දවසක් හවස අපිට වෙඩි තිබ්බා” යැයි පැවසූ ඔහු “මගේ පපුවට වෙඩි වැදුණා. තාත්තගේ කකුලටත් වෙඩි වැදුණා. ඊට පස්සෙ තාත්තගෙ කකුල කපල තිබුණා” යැයි ද කීවේය. ඔහුට සොහොයුරියක් සිටි බවද ඒ වනවිට ඔවුන් පදිංචිව සිටියේ විශාල නිවෙසක බවද පැවැසීය.
මේ අයුරින් පෙර භව තොරතුරු අනාවරණය කළ එම දරුවා එහිදී සොහොයුරන් දෙදෙනකු සිටි බව කියා ඔවුන්ගේ නම් ද සඳහන් කළේය. ඔහු මියයන විට වයස අවුරුදු හතක් පමණ බවද පැවසූ ඔහු ඒ වනවිට පාසල් ශිෂ්‍යයකු ලෙස සිටි බැව් ද කීය. තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ බව ද ඔහුට මතක තිබිණි. වසන්ත හෙළි කළ පෙර භව ජීවිත තොරතුරු අනුව ඊට වසරකට උඩදී වෙඩි පහරකට ගොදුරු වී මරණයට පත්වූ ෂෙල්ටන් නම් පාසල් දරුවකුගේ ජීවිත තොරතුරු සමාන බවක් දක්නට ලැබුණි. ඒ අනුව පෙර භව ඥාතීන් හමුවීමට වසන්තට අවස්ථාව ලැබුණි.
වසන්ත මියයෑමෙන් පසු දුන් දානය පවා ඔහුගේ මතකයේ රැඳී තිබුණේ පුදුමාකාර අයුරිනි. දානමය පින්කම සිදුවන අවස්ථාවේ ඔහු ඒ අසල සිටි බවද ඔහු පැවැසීය. ඔහු පෙර භවයේ සිටියදී දැනට උපත ලැබූ ප්‍රදේශය පිළිබඳව දැනුමක් තිබුණේද යන්න නිරීක්ෂණය කිරීමට මෙම පුනර්භව පර්‌යේෂණයේදී අවධානය යොමු කෙරිණි. ඒ පිළිබඳව විමර්ශනයේදී ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.
ප්‍රශ්නය -ඔයා එහෙ ඉන්නකොට මෙහෙ ඇවිත් තියෙනවද?
පිළිතුර - නැහැ
ප්‍රශ්නය - එතකොට මේ අම්මව කොහේදිවත් දැකල තිබුණද?
පිළිතුර - නැහැ
ප්‍රශ්නය - මේ අම්මව මුලින්ම දැක්කෙ කොහේදිද?
පිළිතුර - ඉස්පිරිතාලෙදි.
ප්‍රශ්නය - අම්මව කොහොමද දැක්කෙ?
පිළිතුර - අම්මා ඇඳේ නිදාගෙන හිටියා.
ප්‍රශ්නය - ඔයා මැරෙනකොට කොච්චර විතර ඇතිද?
පිළිතුර - හතක් විතර ඇති.
ප්‍රශ්නය - ඉස්කෝලෙ ගියේ කොහේටද?
පිළිතුර - දෑලිවල.
ප්‍රශ්නය - ඔයා ඉගෙන ගත්තෙ කොයි පන්තියෙද?
පිළිතුර - තුනේ පන්තියෙ.
ප්‍රශ්නය - ඉස්කෝලෙ ගියේ තනියමද?
පිළිතුර - නැහැ. අක්කත් එක්ක.
ප්‍රශ්නය - අක්කා එතකොට කීයෙ පන්තියෙද?
පිළිතුර - අක්කා දහයෙ පන්තියෙ.
වසන්ත එදා පෙර භව නිවෙසට ගිය දිනයේ ඔහුගේ පාසල් පොත් බෑගය ගැන ද විමසා සිටියේය. ඒ වනවිට ඔහුගේ පොත් බෑගය ගෙහිමියන් විසින් ආරක්ෂා කර තබා තිබුණි. එය ඔහුට පෙන්වූ සැණින් “ඒ මගේ බෑගය තමයි” යනුවෙන් පැවසූ ඔහු එහි තිබූ පොත් පරීක්ෂා කළේය. අනතුරුව එහි තිබූ එක්සයිස් පොතක් පෙරළා බැලුවේය. එක් පිටුවක් පෙරළුෑ ඔහු “මේ තියෙන්නෙ මම අන්තිමට ලිව්ව පාඩම” යැයි ඔහුගේ අත් අකුරු වලින් ලියූ පිටුව පෙන්වා දුන්නේ රැස්ව සිටි පිරිස මවිතයට පත් කරවමිනි.
ඉන්දික හඳුනාගත් අත්අකුරු
තම පෙර භවයේ අත්අකුරු හඳුනාගත් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කළ තවත් දැරියක වූයේ පිළියන්දල ප්‍රදේශයේදී උපත ලද ස්වර්ණා නම් දැරියකි. ඇය හෙළි කළේ මීරිගම ප්‍රදේශයේ ජීවත්ව සිට මියගිය පාසල් ගුරුවරියකගේ ජීවිත තොරතුරුය. මෙම දැරියගේ පුනර්භව සාධකය පිළිබඳව ද වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් පූර්ණ පර්‌යේෂණයක් පවත්වනු ලැබීය. අනතුරුව පර්‌යේෂණ වාර්තාවක් ඔහුගේ ග්‍රන්ථයකට ද ඇතුළත් කරනු ලැබීය.
ස්වර්ණා ඉතා පැහැදිලිව ඇගේ පෙර භවයේ නමත් පදිංචිව සිටි ප්‍රදේශයත් නිවැරදිව අනාවරණය කළාය. මවක් ලෙස ජීවත්ව සිටියදී ඇය පාසල් ගුරුවරියක්ව සිටි බවද පැවැසුවාය. ඉගැන්වීම් කළ පන්ති පිළිබඳව ද ඇගේ මතකයේ තිබුණි. පාසල පිහිටා තිබූ ප්‍රදේශය ද ඇය අනාවරණය කළාය.
ඇයට තිබූ රන් ආභරණ ගැන ද හෙළි කළ දැරිය නිවෙසේ තිබූ භාණ්ඩ ද හෙළි කළාය. ළිඳ අසල වැටීම නිසා උරහිස ප්‍රදේශය තුවාල වූ බැව්ද අනතුරුව අධික උණක් සෑදී රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වූ බවද ඇය මතකයෙන් හෙළි කළාය. පෙර භව නිවෙසට යෑමට ඇයට ද අවස්ථාව ලැබුණි. එහිදී පෙර භව ඥාතීන් කිහිප දෙනකුවද හඳුනාගැනීමට ඇයට හැකි වූවාය. ඇය පරිහරණය කළ සටහන් පොතක් ද දැරිය විසින් හඳුනාගනු ලැබුවාය. එම සටහන් පොතේ ඇගේ අත්අකුරු ඇය පෙන්වා දුන්නේ රැස්ව සිටි අය මවිතයට පත් කරවමිනි. අනතුරුව ඇගේ පාසල් සටහන් පොත ඇය විසින් ඉල්ලා නිවෙසට රැගෙන එනු ලැබුවාය.
තිස්ස ජයවර්ධන