පුතාව ඉහළට ගේන්න සුරංග දැනහැඳුනුම්කම් පාවිච්චි කළේ නෑ


දුනිත්ගේ මව හැඬූ කඳුළින් පවසන කතාව

ඇයට ඔහු හමු වූයේ ඇයගේ ළමා වියේදීමය. දහමේ අරුත මෙන්ම ජීවිතයේ දැක්ම ගැන පාඩම් කියා දුන් දහම් පාසලේ දී එලෙස හමු වූ ඔවුහු ළමා වියේ මිතුරෝ වූහ. ඒ දැන හැඳිනීම් ඔස්සේ ගෙවූ ජීවිතය යොවුන් වියට සමීප විය. ඒ වන විට දෙදෙනා පාසල් අධ්‍යාපන කටයුතු නිමකර තිබිණි.

ළමා වියේ සිට පැවත ආ මිත්‍රත්වය තුරුණු වියේ දී ඊට එහා ගිය හමුවක් වූයේ, දෙදෙනාට දෙදෙනා නොදැක බැරිව සිටි තරමට වූ හැඟීමක් තිබූ නිසාය. එය ආදරණීය හැඟීමකි. නිකම්ම ආදරණීය හැඟීමක් නොව පෙර භවයේ සිට පතාගෙන කියාගෙන ආ දෙයක් මෙන් විය.

ඇය හැඩකාරය, නුවණක්කාරය. ඔහු ඇයට ආදරය කරන්නට පටන් ගත්තේ ඒ නිසා විය හැකිය. ඇය ඔහුට ආදරය කරන්නට පටන් ගත්තේ නිවුණු, පිරුණු තැන්පත් ගති ඇති සොඳුරු මිනිසකු ලෙස ඇය ඔහු දුටු නිසාය. ඉතින් තවත් බලා සිටිනු කුමකට ද? අපි විවාහ වෙමු. දෙදෙනා තීරණය කළෝය. ඉනික්බිතිව මාපිය ආශිර්වාද මැද සුරංග සහ හර්ෂිනී යුග දිවි ගමන් ඇරඹූහ.

විවාහයට පෙර වූ ප්‍රේමාන්විත බැඳීම් බොහෝ දෙනාට ගෙන දෙන්නේ රස මිහිරකි. එහෙත් විවාහයෙන් පසුව ඒ රස මිහිර නීරස හැඩයක් ගන්නා අවස්ථා ද නැතුවාම නොවේ. එසේ නමුදු මේ දෙදෙනා තව තවත් ආදරය කරන්නට පටන් ගත්තේ විවාහයෙන් පසුවය.

අනේ ඇත්තටම සුරංග මොන තරම් නම් හොඳ සැමියෙක් ද? මේ වගේ සැමියෙක් ලබන්න මම ගොඩාක් පින් කරල තියෙන්න ඇති...’ අනේ මගේ මහත්තයො ඔයා කවදාවත් මට කලින් නම් මැරෙන්න එපා. එහෙම මැරෙනවා නම් මාවත් එක්කම මැරෙන්න.’ ඇය හට තිබුණේ එවැනි සිතිවිල්ලකි.

ජීවත් වීම යනු අපේක්ෂාවක් වුවද ජීවිතය අනපේක්ෂිත වූවකි. උදේ ගහක් ගලක් වගේ හිටපු සුරංග මළහිරු බැස ගිය කළු පාට හැන්දෑවේ යන්නම යන්නට ගියේය. ඒ පසුගිය 18 වැනිදාය. මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවකු වූ ඔහු සුරංග වෙල්ලාලගේය. ඔහු කාගේ කවුද යන්න මේ වන විට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන්නේ ඔහු රටක් ආදරය කරන, ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනා දන්නා, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයකු වන දුනිත් වෙල්ලාලගේ​ පියා වූ බැවිනි.

‘සුරංග’ ගේ මරණය ගැන ලෝකයම වගේ දැන ගත්තේ එදා ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරමින් සිටි නිසාය. ක්‍රිකට් ක්‍රීඩකයෝද, ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය ද මේ පුවත අසා වික්ෂිප්ත වූහ. ඒ සියලු දෙනා දුනිත්ව තනි නොකරනු දක්නට ලැබිණි. දුනිත් මෙන්ම ඔහුගේ පියා ද එකල ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. දන්නා තරමින් සුරංග වෙල්ලාලගේ හට රෝගී තත්වයක් නොතිබිණි.

දුනිත්ගේ අවුරු දෙකේ උපන් දිනයදා...

සුරංගගේ අනපේක්ෂිත මරණය හමුවේ බොහෝ දෙනා සිතුවේ, එදා දුනිත් යැවූ අවසන් පන්දු වාරයේදී පිට පිට හයේ පහර පහක් එල්ල වූ නිසා එම තරගය නරඹමින් සිටි ඔහුගේ පියා හට ඇතිවූ කම්පනය හේතුවෙන් හෘදයාබාධයක් ඇති වීමෙන් යන්නය. නමුදු එහි කිසිදු සත්‍යයක් නොමැත. සුරංග වෙල්ලාලගේ යනු එකල හෂාන්, චමින්ද වාස් වැනි ක්‍රීඩකයන් සමග පාසල් ක්‍රිකට් පිටියේ දී දක්ෂතා දැක්වූ සැබෑ දක්ෂයෙක් විය. ඒ නිසා ජය පරාජය සම සිතින් විඳ දරා ගැනීමේ ශක්තිය ඔහුට තිබිණි. එසේ නම් ඔහු මිය ගියේ කෙසේද?

‘සොඳුරු අතීතයේ නිමල පැතුම වී 
මගේ හද තුළ ඔබ ඉන්න ඇති.
ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති....’

හර්ෂිනී එසේ විශ්වාස කළද පෙර භවයේ සිට පතාගෙන ආ යුවළක යැයි ඇය සිතුවද, සුරංග සඳහටම නික්ම ගියේ තනිවමය.

දරාගත නොහැකි වේදනාවක් ඇති වුවද ඔහු නැතුව ඇයට ජීවත්වීමට සිත් නැති වුවද හර්ෂනී ශක්තිමත් හුස්මක් ගත්තේ පුතුන් වෙනුවෙන්, සුරංග අපේක්ෂා කළ ලෝකය තනා දිය යුතු නිසාමය. ඇයව අස් වසාලීමට බොහෝ හිතවත්හු නිවසට පැමිණෙති. ඒ නිසා ඇය කඳුළු උල්පත් මොහොතකට වසා සිටින්නීය. කෙතරම් සිරකර ගැනීමට, තදකර ගැනීමට උත්සාහ කළ ද හද සොවින් ගලනා කඳුළු ඇයගේ දෑසින් පිටවන්නේ ඉබේටමය.

පිළිගන්න අපේ බලවත් ශෝකය’ අපි පැවසීමු.

ඔබගේ ආදරණීය සුරංග ගැන කියන්න...’ අපි ඇයට කීවෙමු.

‘හොඳම ගුණාංග තිබුණු, පුදුම හොඳ මනුස්සයෙක්. හැමදේටම ඇහුම්කන් දුන්න කෙනෙක්. එයා වගේ කෙනෙක් ලබන්න මම පින් කරලා තියෙන්න ඇති. කොහේ හරි යනකොට මම එයාට වැඳලා තමයි ගියේ. ඊයේත් වැන්දා. ආයෙත් මට එයාට වඳින්න ලැබෙන්නෙ නැති නිසා ඊයේ වඳිද්දි නම් එයාට ඒක පේන්න නැතුව ඇති.’

හර්ෂිනී වචන ගලපන්නට මුමුණන්නට උත්සාහ කළේ එලෙසින්ය. අන්තිම වතාවට ඇය සුරංගට වැන්දේ ‘සුරංගගේ දේහය මිහිදන් කිරීමට පෙරය. ඇය සිහිපත් කළේ ඒ මොහොත ගැනය. එතරම්ම ආදරයෙන් බැඳි වෙලී සිටි දෙදෙනෙකුගෙන් එක් අයකු සඳහටම වෙන්වීම තරම් දුකක්, ශෝකයක් තවත් නැත. හර්ෂිනී කාංචනා මේ අත් විඳින්නේ ඒ සංතාපයයි. ඇයගෙ හිතට ගැම්මක් එනකම්ම ඇයට හඬන්නට ඉඩ හරිමු.

සුරංගගෙ ආදරයට මම හරි ලෝබයි. ඒ ආදරයට මම හරි කෑදරයි. ඒකට හේතුව ඒ තරමටම එයා මට ආදරේ කළ නිසයි. දරුවො මාව දාලා, විවාහ වෙලා එයාලගේ ලෝකවලට ගියත්, මට ඔයා නැතුව නම් ඉන්න බැහැ. මගෙ සුරංගට මම නිතරම කිව්වේ ඒ විදිහටයි. එයා නැති ජීවිතය මට වැඩක් නැහැ. ඒත් ජීවිතාවබෝධය පෙර පින් එක්ක මට ලැබී තිබෙන නිසා, ජීවිතය නැතිකර ගන්න මම කැමති නැහැ. මට ලැබුණේ හොඳම මහත්තයෙක්. මට ලැබී තිබෙන්නෙ හොඳම දරුවො තුන් දෙනෙක්. මගේ අම්මා තාත්තා මට ලොකු සපෝට් එකක් දෙන්නෙ.’

සුරංග සහ හර්ෂිනී යුවළ හට පුතුන් තිදෙනෙකි. ලොකු පුතා දුනිත්ය. දෙවැන්නා පුලිනය. ඔහු උසස් අධ්‍යාපනය ලබන්නේ කැනඩාවේ සිටය. බාලයා චමත්, උසස් පෙළට සූදානම් වෙමින් සිටී,

අපි විවාහ වෙලා අවුරුදු 25 ක් වෙනවා. සුරංග මියෙන තෙක් අපි දෙන්නා කිසිම රණ්ඩුවක් වෙලා නැහැ. විවාහ වූ කාලයේ අපි දෙන්නම රැකියා කළා. ඒ නිසා අපට අගහිඟකම් තිබුණෙ නැහැ. සුරංග ඒ දවස්වල වැඩ කළේ ඇමිකෝ ආයතනයේ පර්චසින් ඔෆිසර් කෙනෙක් විදිහට. මම වැඩ කළේ ආතර් සී. ක්ලාක් ඉන්ස්ටිටියුට් එකේ. වරක් සුරංග තමුන්ගේ හොඳම යාළු​ෙවකුට ජොබ් එක අහිමි වුණාම එයාට ව්‍යාපාරයක් දාලා දුන්නා. ඒත් ඔහුට ඒ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වූ නිසා සුරංග ඒ ව්‍යාපාරය කරගෙන යන්න පටන් ගත්තා. මෙම ව්‍යාපාරය කරන්නට පෙර අපි කළේ ‘රෙස්ටුරන්ට් ව්‍යාපාරයක්. මොන දේ කළත් සුරංග මුල් තැන දුන්නෙ මුදලට නෙවෙයි, එයා හරිම සරලයි. කාගේවත් හිත් රිදවලා නැහැ. එයාගෙ බඩ පුරව ගන්න එක ගැන නෙවෙයි එයා නිතරම හිතුවෙ. අනෙක් අයගෙ කුසගිනි ගැනයි. අපේ දරුවො තුන්දෙනා කවදාවත් දුක් විඳලා නැහැ. දරුවන්ට යුතුකම් ඉටුකල හොඳම තාත්තා කෙනෙක්. අම්මා නිතරම කිව්වෙ අම්මගෙ හිත රිද්දලා නැති රත්තරං පුතෙක් කියලයි.

හර්ෂිනී, හැඟුම්බර වෙමින්, විටෙක හඬමින් ඇයගේ ආදරණීය සුරංග ගැන එසේ පැවසුයේ අතීත මතක, ජීවන සැමරුම් එකිනෙක ලිහා දමමිනි.

දුනිත් දෙමාපියන් සහ සහෝදරයන් සමග

‘මම දැන් ජීවත් වෙන්න ඕනෑ, සුරංග නිසාම ජීවිතයට තවත් අරුතක් දෙන්න ඕනෑ. පුතාලා තුන් දෙනාට මාත් නැති වුණොත් වෙන කවුරුවත් නැහැ. සුරංග කොහේ හරි ඉඳන් අපට ආශිර්වාද කරාවි.’ හර්ෂිනී මේ මොහොතේ හිත හයිය කරගෙන සිටින්නේ එලෙසිනි.

1993 වේල්ස් කුමර විදුහලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේ මේ සුරංග වෙල්ලාලගේය. කඩුලු රකින්නා සහ පිතිකරු භූමිකාව එදා ඔහු නියෝජනය කළේය. සුරංග යනු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපේක්ෂාවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් විය. දක්ෂ ක්‍රීඩකයෙකු වූ නිසාම ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දැන හැඳිනීම් ඔහුට තිබිණි. ඒත් තම පුතු ඉදිරියට දැමීම වෙනුවෙන් ඔහු කිසිවකුගෙන් කිසිදු උදව්වක් ඉල්ලූ අයකු නොවුණි. ‘දක්ෂ නම් සුදුස්සාට’ තැන ලැබේවි. සුරංග හර්ෂිනීට කියා තිබුණේ එහෙමය. දුනිත් ​ ඔහුගේ ගමන ආවේ සැබැවින්ම දක්ෂතාව නිසාමය.

‘එයා මේ දරුවො තුන්දෙනා ගැන බොහොම ආඩම්බර වුණා. හොඳ ගුණ යහපත් දරුවො තුන් දෙනෙක්.’

හර්ෂිනී යළිත් හඬ අවදි කළාය. ඇය දැන් හිත හදා ගන්නේ සුරංග ගැන වූ මතක ගොන්න දිග හරිමින්ය. සුරංග මියගිය බව සැබෑවක් වුවද ඒ අවසාන දවස, අවසාන මොහොත සිහිපත් කිරීමට ඇය මැළි වන්නීය. එහෙත් පිනට ලැදි දහමේ අරුත වටහාගෙන සිටින ඇය යථාර්ථය හඳුනන්නීය. 

සුරංග ජීවත් වූ අවසාන දිනය දක්වා කළ කී දේ ගැන හර්ෂිනී මතක ලිහා දැමුවේ මෙලෙසින්ය.

අපේ ගෙදර සුනඛ සුරතලුන් තුන් දෙනෙක් ඉන්නවා. මේ බලු සුරතලුන්ටත් අපේ පුතාලා තුන්දෙනා තරමටම සුරංග ආදරෙයි කවදාවත් ඒ බල්ලන්ට ඉජු, වර, පල කියලා කතා කළේ නැහැ. මගේ පැටියෝ, එන්න පුතේ කියලා තමයි බල්ලන්ටත් කතා කළේ. ඒ විතරක් නෙවෙයි බල්ලන්ට බත් කැව්වෙත් මෙයාගේ අතින්මයි. මේ සුනඛ සුරතලුන් තුන් දෙනාගෙන්, එක්කෙනෙක් සතියක ඉඳලා හරියට කෑවේ එහෙම නැහැ. එයාගේ ඉරියව් ටිකක් අමුතුයි. ‘හර්ෂිනී බලන්නකො මෙයා ටිකක් අමුතුයි.’ සුරංග එහෙම කීවේ ඔහුට ද අමුත්තක් දැනුණු නිසා විය හැකිය. යම්කිසි විපතක් සිදුවීමට යන වග සමහර විටෙක  ඒ සුනඛ සුරතලාට දැනෙන්නට ඇති.

සුරංගගේ අනපේක්ෂිත මරණය හමුවේ බොහෝ දෙනා සිතුවේ එදා දුනිත් යැවූ අවසන් පන්දු වාරයේදී පිට පිට හයේ පහර පහක් එල්ල වූ නිසා එම තරගය නරඹමින් සිටි ඔහුගේ පියා හට ඇතිවූ කම්පනය හේතුවෙන් හෘදයාබාධයක් ඇති වීමෙන් යන්නය. නමුදු එහි කිසිදු සත්‍යයක් නොමැත. සුරංග වෙල්ලාලගේ යනු එකල හෂාන්, චමින්ද වාස් වැනි ක්‍රීඩකයන් සමග පාසල් ක්‍රිකට් පිටියේ දී දක්ෂතා දැක්වූ සැබෑ දක්ෂයෙක් විය.

‘එදා 18 වෙනිදා සුපුරුදු පරිදි ව්‍යාපාරික ස්ථානය වෙත ගිය සුරංග හැන්දෑවේ ගෙදර ආවා. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය නරඹන්නත් එක්ක  ආවේ. කොහොමටත් එයා සෑම ක්‍රිකට් තරගයක්ම නරඹනවා. එයා ක්‍රිකට් ක්‍රීඩකයකු වූ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට අසීමිතව ආදරය කළා. ක්‍රිකට් හරියට ජීවිතය වගේ කියලා තමයි එයා කිව්වෙ. ඉතින් එදා වොෂ් එකක් එහෙම දාගෙන ඇවිත් වාඩි වුණා. එතකොට ටී.වී. එක දාලා තිබුණෙ. මමයි චූටි පුතයි මැච් එක නරඹමින් හිටියෙ. වෙනදා ටී.වී. එක ළඟට එනකොට සුරංග වතුර වීදුරුවකුත් අරගෙන එන්නෙ. ඒත් එදා ගෙනාවෙ නැහැ.

ඒ අතරේ එක පාරටම නැගිට්ටා... මම හිතුවෙ අවශ්‍යතාවකට වොෂ් රූම් එකට යන්න වෙන්නැති කියලයි. ඒත් එකපාරටම එයාගෙ කකුල පැටලුණා වගේ වුණා. ඒ වෙලාවෙ මට ලොකු අමුත්තක් දැනුණු නිසා මොකද ඔයා වැටෙන්න යනවනේ, කියලා මම සුරංගව අල්ලා ගත්තා. චූටි පුතා හිටියෙ පිටු පස්සෙ. ඒ එක්කම වත්තන් කරගෙන හෙමිහිට මම එයාගෙ ඔලුව බිම තිබ්බා. සුරංග කිසිම කතාවක් නැහැ. මට ලොකු වෙනසක් තේරුණා. චූටි පුතා කවදාවත් කෑ ගහලා අඬලා නැහැ. තාත්තා... ඇයි මේ කියලා එයා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. මගේ මුළු සිරුරම පණ නැතිව ගියා. කෑ ගහන්නද, අඬන්නද කියන දේට වඩා ගත යුතු ඉක්මන් දේ ගැනයි මම හිතුවෙ. ෆ්‍රැන්සිස්කු පෙදෙසෙ ඉන්නෙ ඉතාම යහපත් මිනිස්සු. බොහොම නිශ්ශබ්ද පරිසරයක්. අසිහියෙන් වගේ දුවගෙන ගිහින් මම එහා ගෙදරට තට්ටු කළා.

එහා ගෙදර අයියයි, අනෙක් ගෙදර අංකල් එහෙම දුවගෙන ආවා. සුරංගගෙ මිතු​ෙරකු වන අචල මල්ලිටත් කෝල් කළා. එයා රාවතාවත්තෙ ඉඳලා සැණෙකින් ආවා. එහා ගෙදර අයියා සුරංගව එයාගේ වාහනේට දා ගත්තා. අල්ලපු ගෙදර අංකල් අපේ වාහනය පදවන්නම් කිව්වා. මේ ඔක්කෝම වෙන්න ගත වුණේ විනාඩි කීපයක් විතරයි. චූටි පුතා හොඳටම කලබල වෙලා. අම්මේ ඉක්මන් කරන්නකෝ කියමින් කෑ ගගහා අඬන්න ගත්තා. හරි මගේ රත්තරන් පුතේ අඬන්න එපා.. අපි තාත්තාව බේරා ගනිමු කියලා. මම චූටි පුතාට කිව්වා.’ රෝහලට යන කොටත් එයා මිය ගිහින් කියලයි. වෛද්‍යවරු කිව්වේ’ අනේ මගේ රත්තරන් සුරංග’.

හර්ෂිනීට තව දුරටත් දුක සිරකර ගත නොහැකිය. ඇය ඉකි ගසා හඬන්නට වූවාය. සුරංග සදහටම සමුගෙන ගිය වග ඇය වටහා ගත්තාය. එය ඇත්තෙන්ම කළු පාට හැන්දෑවක්ම විය.

සුරංගට තිබුණෙ අධිරුධිර පීඩනය. ඒක ගැන දැන ගෙනත් අවුරුද්දක් විතර ඇති. ඒ වෙනුවෙන් බෙහෙත් ගත්තා. මෙඩිකල්  රිපෝට් ගත්තාම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පොඩ්ඩක් වීස් එක වගේ නිසා ඒකට ඉන්හේලර් එකක් ටික දවසක් පාවිච්චි කරන්න නියම කරලා තිබුණා. ඒව සාමාන්‍ය දේ කියලයි වෛද්‍යවරු කිව්වේ. සුරංගට කිසිදු මහන්සියක්, තෙහෙට්ටුවක් තිබුණෙ නැහැ. ගහක් ගලක් වගේ හිටපු සුරංග තමයි මේ විදිහට එකපාරටම මිය ගියේ.’

තම ආදරණීය ස්නේහවන්තයා දයාබර සැමියා සඳහටම සමුගෙන ගිය හෝරාවේ. අඳුරු මතක හර්ෂිනී මුමුණේ එලෙසින්ය. එතැණින් එහාට තවදුරටත් වචන ගලපා ගැනීමට ඇයට වාරු නැති  ගානය. සුරංග වෙල්ලාලගේ මියගිය විගස සමාජ මාධ්‍ය ඔස්සේ පල වූ සමහර පුවත් නිවැරදි විය යුතු වග ඇය පවසන්නීය. ඇය ෆේස්බුක් නැතත්, ඇයට දැනගන්නට ලැබී ඇත්තේ සැමියාගේ වයස 54 ක් යනුවෙනි. එහෙත් සුරංග ඉපදී ඇත්තේ 1974 ජූලි 20 වැනිදාය. ඒ අනුව ඔහු මිය යන විට වයස 51 ක් ලෙස නිවැරදි ​ විය යුතුය. තවද ඔහු මියගිය විගස ෆේස්බුක්හි වෙනත් මියගිය පුද්ගලයකුගේ ඡායාරූපයක් කවරෙකු හෝ විසින් යොදා තිබිණි. එයද නිවැරදි විය යුතු යැයි හර්ෂිනී අපට කීවාය.
බොහෝ දෙනා විශ්වාස කළ පරිදි සුරංග මිය ගියේ දුනිත් ක්‍රීඩා කරන අයුරු නරඹමින් සිටි මොහොතේ දී නොවීය. ඊට පෙරය.

දුනිත් මව සහ පියා සමග

සුරංග නම් ඒ සොඳුරු මිනිසා ඉපදුණේ ෆ්‍රැන්සිස්කු පෙදෙසේ පිහිටි මේ ගෙදරය. විවාහයෙන් පසු මියෙන තෙක්ම ජීවත් වූයේ ද ඒ නිවහනේය. බොහෝ දෙනෙකු ඒ නිවසට එන යන වග පෙනේ. ඒ හර්ෂිනී කංචනා සමග දුක බෙදා ගැනීමටය. සුරංග නමැති ආදරණීය මිනිසාට ඇති ගෞරවය දැක්වීම පිණිසය. ඒ මුළු පරිසරයම නිශ්ශබ්දය. පාළු ස්වරූපයක් දිස්වේ. හැමෝටම දැනෙන්නට ජීවත් වී නික්ම ගිය මිනිසකු නැති සොව නිසා එසේ පරිසරය ද වෙනස් වී තිබේ.

ආවොතින් යා යුතුම වූ ජීවිතයේ මේ සිදුවීම් සියල්ලට අපටද මුහුණ දීමට සිදුවේ. සුරංගගේ ආදරණීය බිරිඳ හර්ෂිනී ඒ දහම වටහා ගෙන කටයුතු කරන්නීය.

මගේ මහත්තයා නැති වූ වෙලාවෙ ඉඳලා භූමදාන කටයුතු සිදුවෙන මොහොත දක්වාත් ඉන් පසුවත්, බොහෝ දෙනෙක්, අපට උදව් කළා. අපට ශක්තියක් වුණා. මාත් පුතුන් තිදෙනාටත් එය ලොකු ශක්තියක්. අපට උදවු කළ හැමෝටම බොහෝම පින්.

 සටහන - සඳුන් ගමගේ