පිළිකා ප්‍රතිකාරය කලින්ම සොයාගන්න ක්‍රමයක් හැදූ ලංකාවේ දොස්තර


ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති තරුණ විද්‍යාඥයකු පිළිකා ප්‍රතිකාර සම්බන්ධ විශිෂ්ට පර්‌යේෂණයක් සාර්ථකව ලොවට ඉදිරිපත් කිරීමට සමත්ව තිබේ. ඔහු ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ සහකාර මහාචාර්ය අරුත කුලසිංහයි. ඔහුගේ පෙරළිකාර දිගුකාලීන පර්‌යේෂණයක් මගින් පිළිකා රෝගීන්ට දැනට ප්‍රතිකාර කරන ක්‍රමවේදයන්ට නව අරුතක් ලබා දීමට හැකිව ඇත. එය පිළිකා ප්‍රතිකාර ක්ෂේත්‍රය මහා පරිමාණ පරිවර්තනයකට ලක්කිරීමට නියමිතය. 

අප වෙත ප්‍රතිඵල ළඟා වීම පමා වූවාට මේ වෙන විටද නවීන ලෝකයේ වෛද්‍ය විද්‍යාව පෙරළිකාර වෙනසකට ලක්ව හමාරය. ඒ අනුව හැම ලෙඩකටම පැරසිටමෝල් බොනවා වැනි සම්ප්‍රදායික, යල් පැන ගිය, සැමට එකම පොදු ප්‍රතිකාර ක්‍රමවේදය දැන් ප්‍රතික්ෂේප වී තිබේ. ඒ වෙනුවට එක් - එක් පුද්ගලයාට අනන්‍ය වූ සුවිශේෂ වූ අතිශය පෞද්ගලික ප්‍රතිකාර ක්‍රමයක් කරා දැන් වෛද්‍ය විද්‍යාව සංක්‍රමණය වෙමින් පවතී. 

මහාචාර්ය කුලසිංහයන්ගේ නව පර්‌යේෂණයද එබඳු පුද්ගලාරෝපිත ප්‍රතිකාර ක්‍රමවේදයක් සඳහා තැබූ සාර්ථක ඉදිරි පියවරකි.

ඔහුගේ නව පර්‌යේෂණාත්මක එළිදරව්ව මගින් පිළිකා ප්‍රතිකාර  සඳහා වැය වෙන දිගුකාලයත් වැය වෙන විශාල මුදලත් අවම කර ඇති අතර එක්වරක් පමණක් කරන ජෛව පඨක තනි පර්‌යේෂණයකින් එක් - එක් රෝගීයාට වඩාත් ම සුදුසු සහ ඔහුටම අනන්‍ය වූ ප්‍රතිකාරය වඩා ඉක්මනින් හඳුනාගැනීමට මේ ක්‍රමවේදය  විස්මිත ලෙස සමත්වන  බව සනාථ වී තිබේ.මෙය  නවීන විද්‍යාත්මක ශිල්ප ක්‍රමකිහිපයක එකතුවෙන් කළ විස්කමකි.

වැඩියෙන්ම භීතිය දනවන රෝගයට එරෙහිව

අභ්‍යාවකාශයේ ජනාවාස තනන්ට පවා පිඹුරැ පත් සකසන මේ තරම් දියුණු යුගයකද මිනිසා වැඩියෙන්ම තැතිගැනීමට හා භීතියට ලක් කළ රෝගය පිළිකාවයි. මේ ලියන මොහොතේ පවා පිළිකා සම්බන්ධ විවිධ පර්‌යේෂණ දහස් ගණනක් ලොව වටා සිදුවෙයි. පිළිකා බෙහෙතක් සොයාගැනීම ඒ අතර ප්‍රධානය.වෛද්‍ය විද්‍යාත්මක දත්ත අනුව පිළිකා ඖෂධ සඳහා ගෝලීය වියදම 2023 දී ඩොලර් බිලියන 223 දක්වා ඉහළ ගොස් තිබේ. එය  2028 වන විට ඩොලර් බිලියන 409 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

නමුත් තවමත් පිළිකා නිශ්චිතවම නිට්ටාවටම සුව කරන බෙහෙතක් සොයාගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව සමත් ව නැත. දැනට පවතින්නේ  අනාදිමත් කාලයක් තිස්සේ දිගුකාලීනව භාවිත වෙන, කලින් සැලසුම් කළ  බොහෝදුරට අනුමාන ලෙස පෙනීයන දාමයක් බඳු ප්‍රතිකාර රටාවකි. ඒ අනුව පිළිකා රෝගය මුලින්ම හඳුනාගැනීමේ සිට එහි ඒ වනවිට පවතින වර්ධක තත්ත්වයට සුදුසු නිශ්චිත ප්‍රතිකාරයක් සඳහා යොමු කිරීම දක්වා ඇත්තේ දීර්ඝ, වැය අධික වෛද්‍ය පර් යේෂණ ගණනාවකට ලක්විය යුතු දාමයක් බඳු සම්මත ක්‍රමවේදයකි. මහාචාර්ය අරුත කුලසිංහගේ සොයාගැනීම මගින් මේ දීර්ඝ අස්ථීර අනුමාන සම්මත දාම ප්‍රතිකාර රටාව සහමුලින්ම වෙනස් කිරීමට සමත්ව ඇති අතර පිළිකාව හඳුනා ගැනීමෙන් පසු අදාළ රෝගීයා සඳහා වඩාත්ම සුදුසු හොඳම ප්‍රතිකාරය ද කලින්ම හඳුනා​ෙගන ඉක්මනින් ප්‍රතිකාර ඇරඹීමේ හැකියාව දැන් ලැබී තිබේ.

තම සීයා පිළිකා රෝගයට එරෙහිව සටන් කරන ආකාරය කුඩා කාලයේ දුටු කුලසිංහ, ඒ කුඩා කාලයේ සිටම පිළිකා ප්‍රතිකාර පර්‌යේෂණ සම්බන්ධයෙන්  දැඩි ආශාවක් ඇති කර ගත්තේය. කුලසිංහ, සිතට ගත්තේ  “සෑම රෝගියෙකුටම නියම වේලාවට නිවැරදි ප්‍රතිකාර ලැබෙන බවට වග බලාගැනීම.”‍ සිය ඉලක්කය  විය යුතු බවටය.

හොඳම බෙහෙත

ඒ අනුව පවතින ප්‍රතිකාර ක්‍රමවලින් අදාළ රෝගියාට වඩාත්ම සුදුසු ම ප්‍රතිකාරය නොපමාව කලින්ම හඳුනාගැනීම මේ රෝගයෙන් දිවි බේරා ගැනීමට ඇති පහසුම මාර්ගය බව ඔහු සිතට ගෙන තිබුණි. විද්‍යා සහ තාක්ෂණ දියුණුවේ නව පර්‌යේෂණ ක්‍රමවේද නවීන විෂය පද්ධති සහ යාන්ත්‍රික නිෂ්පාදන සමග ගනුදෙනු කරමින් වඩාත් හොඳම බෙහෙත කලින්ම සොයා දීමට හැකි ක්‍රමවේදයක් සකස් කර දීමට ඔහු සමත්ව ඇත.

පසුගියදා නේචර් ජෙනටික්ස්හි ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ නව පර්‌යේෂණයෙන්, පෙණහලු පිළිකා ඇති රෝගීන්ට දෙන මිල අධික ප්‍රතිශක්තිකරණ ඖෂධවලට එම පිළිකා සෛල නිවැරදිව  ප්‍රතිචාර දක්වයි ද නැද්ද යන්න කලින් පුරෝකථනය කිරීමේ ක්‍රමයක් අනාවරණය කර ගැනීමට හැකි ව පවතී. බොහෝවිට මේ මිල අධික අතිසාර්ථක බව කියන  ඖෂධ පවා හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ රෝගීන්ගෙන් සියයට 20 සිට 30 දක්වා පමණ සංඛ්‍යාවකට පමණයි. කුලසිංහයන් සොයාගත් ක්‍රමවේදයට අනුව පිළිකාව වටා ඇති සෛල අතර ප්‍රදේශය අධ්‍යයනය කිරීමෙන්, ප්‍රතිකාර සාර්ථක වේද නැතහොත් පිළිකාව ඒවාට ප්‍රතිරෝධය දැක්විය හැකි ද යන්න පුරෝකථනය කරන ඉඟි හෙවත් -”‍අණුක ඇඟිලි සලකුණු”‍  සොයා ගන්නට හැකිය.

හිස සහ බෙල්ලේ පිළිකා පිළිබඳ තනි රෝහල් ජෛව පරීක්‍ෂණයකින් මෙබඳු ඉඟි සිය ගණනක් සොයා ගත හැකි බව ඔහු ඇතුළු කණ්ඩායම කලකට පෙර පළමු වරට පෙන්වා දී තිබුණි. දැන් ඔවුන් වඩාත් බරපතළ පෙණහලු පිළිකාව සඳහා මෙය භාවිත කළ හැකි බව සනාත කර ඇත. මෙය රෝගීන්ට පිළිකා පරාජය කිරීමේ හොඳම අවස්ථාව ලබාදීම සඳහා ප්‍රතිකාර පුද්ගලීකරණය කිරීමට වෛද්‍යවරුන්ට ඉඩ සලසනු ඇති.

ප්‍රතිශක්තිකරණ චිකිත්සාව

කුලසිංහ සහ ඔහුගේ කණ්ඩායම ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය පුරා රෝගීන් 250 කට ආසන්න සංඛ්‍යාවක පෙණහලු පිළිකා, බයොප්සි හෙවත් ජෛව පරීක්ෂණ විශ්ලේෂණය කළ අතර අවකාශීය ජීව විද්‍යාව නමැති උසස් අන්වීක්ෂීය දැනුම සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සෑම පිළිකා සාම්පලයකම සෛල මිලියන ගණනක් සිතියම් ගතකර තිබුණි.

අවකාශීය ජීව විද්‍යාව යනු අණු, සෛල සහ පටක ඒවා අන්තර්ගත 2ෘ හෝ 3ෘ අවකාශය තුළ සංවිධානය වී අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳ අධ්‍යයනයයි.  එය පටකයක අවකාශීය ගෘහ නිර්මාණ ශිල්පය සහ එහි සෛලීය ක්ෂුද්‍ර පරිසරය තේරුම් ගැනීම සඳහා ප්‍රෝටීන සහ ඍභ් වැනි ජීව විද්‍යාත්මක අණුවල පිහිටීම සිතියම්ගත කිරීමට විවිධ තාක්ෂණ ශිල්පීය ක්‍රම භාවිත කරයි. 

ඔවුන්ගේ පර්‌යේෂණ මගින් ප්‍රතිශක්තිකරණ සෛල සහ පිළිකා සෛල අන්තර්ක්‍රියා කරන ආකාරය පෙන්වන රටාවක් -“අණුක ඇඟිලි සලකුණක්”‍ - හෙළි කර ගත හැකි වූ අතර එමඟින් රෝගියෙකුට ප්‍රතිශක්තිකරණ චිකිත්සාවෙන් ප්‍රතිලාභ ලැබිය හැකිද යන්න කලින්ම  පෙන්නුම් කළ හැකි විය.  

මෙම සොයාගැනීම මඟින් වෛද්‍යවරුන්ට වසරකට ඩොලර් මිලියන භාගයක් දක්වා වැය විය හැකි සහ සමහර විට දරුණු අතුරු ආබාධ ඇති කළ හැකි ප්‍රතිකාර නියම කිරීමට පෙර රෝගීන් පරීක්ෂා කිරීමේ ඉඩ සැලසේ.  එය ලොව පුරා රෝගීන්ට නව බලාපොරොත්තුවක් ගෙන එයි.

විවිධ ප්‍රතිකාර ක්‍රමවලට පිළිකා සෛල ප්‍රතිචාර දක්වන ආකාරය පුරෝකථනය කිරීමට මෙම ක්‍රමය සංවර්ධනය කිරීමෙන් පසු, වඩාත් සුලභ ආකාරයේ පෙණහලු පිළිකා ඇති පුද්ගලයන්ට වඩාත් ඵලදායී, පුද්ගලාරෝපිත ප්‍රතිකාර ලබා ගත හැකිවනු ඇත.

අවකාශීය ජීව විද්‍යා ක්ෂේත්‍රයේ අරුතගේ මේ කාර්යයට මෑත කාලීනව මෙන්ම  වසර ගණනාවක් තිස්සේ පදනම් අරමුදල් ලැබී ඇති අතර, ඔහු එම අරමුදල් භාවිත කරමින් බහුවිධ පිළිකා වර්ග සඳහා  අවකාශීය ජීව විද්‍යාව භාවිතා කරමින් ඒවා ගැන  ගවේෂණය කර තිබේ. 2024 දී  ලද අරමුදල් මඟින් අරුතට ඔහුගේ ක්ෂේත්‍රයේ  දැවැන්ත දත්ත ප්‍රමාණයන් සම්පාදනය කර පරිවර්තනය කිරීම සඳහා AI භාවිත කිරීම දන්නා  දත්ත විද්‍යාඥයෙකු බඳවා ගැනීමට ඉඩ සැලසී  තිබුණි. “AI සහ අවකාශීය ජීව විද්‍යාව භාවිත කරමින්, ඖෂධ ප්‍රතිකාර සඳහා පිළිකා සෛලයන්හි  ප්‍රතිචාරය තේරුම් ගැනීමට සහ පුරෝකථනය කිරීමට අපි  එම සෛලයෙන් සෛලයට සිතියම්ගත කළෙමු.” යැයි මහාචාර්ය කුලසිංහ පැවසීය. “ගූගල් සිතියම්’ බඳු මෙම ප්‍රවේශය මඟින් ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන සහ ප්‍රතිරෝධී වන පිළිකා ඇති ප්‍රදේශ හඳුනාගත හැකි අතර එය පෙණහලු පිළිකා ප්‍රතිකාර වඩාත් කාර්යක්ෂම කිරීමට සමත්විය.

ලොව පුරා පිළිකා මරණ සඳහා ප්‍රධානතම හේතුව පෙණහලු පිළිකා වන අතර, වාර්ෂිකව මරණ මිලියන 1.8 ක් සිදුවන බවට ඇස්තමේන්තු කර ඇත. කුඩා සෛලීය නොවන පෙණහලු පිළිකා සියලු‍ම රෝගීන්ගෙන් සියයට 85 ක් පමණ වේ. පෙණහලු පිළිකාව ශ්‍රී ලංකාවේ ද  සැලකිය යුතු සෞඛ්‍ය ගැටලු‍වක් වන අතර එය පිරිමින් අතර දෙවනුවට බහුලව දක්නට ලැබෙන පිළිකාවයි.  දැන් එහි සිදුවීම් අනුපාතය ඉහළ යමින් පවතී.

පිටරටවල මෙම පිළිකාව සඳහා වන ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර වෙනුවෙන් වසරකට රෝගියෙකුට ඩොලර් 400,000 - 500,000 අතර මුදලක් වැය වන බව කියයි. එහෙත් එය රෝගීන්ගෙන් සියයට 20-30 ක් තුළ පමණක් ඵලදායී වේ. මේ නිසා ප්‍රතිකාරයට දක්වන සැබෑ ප්‍රතිචාරය කලින් හඳුනාගැනීමෙන් රෝගියාට සිදුවන මුදල් හානිය වළක්වා ගැනීම මෙන්ම  අසාර්ථක ප්‍රතිකාරය මගින් සිදුවිය හැකි අතුරු ආබාධවලින් වැළැකී   වටිනා ජිවිත කාලය රුක ගනිමින් නොපමාව සුදුසුම ප්‍රතිකාරය වෙත යොමු වීමේ හැකියාව ද ලැබේ.

නව හඳුනාගැනීමේ ක්‍රමවේදය භාවිතයෙන් වෛද්‍යවරුන්ට දැන් තනි ජෛව පරීක්‍ෂණයකින් සලකුණු සිය ගණනක් පරීක්ෂා කර හිස සහ බෙල්ලේ පිළිකා ඇති රෝගීන් සඳහාද ප්‍රතිශක්තිකරණ චිකිත්සාව, රසායනික චිකිත්සාව හෝ විකිරණ චිකිත්සාව වැනි ප්‍රතිකාර අතරින් එක් එක් පුද්ගලයාට වඩාත් හොඳින් ක්‍රියාත්මක වන ප්‍රතිකාරය කලින්ම  සොයා ගත හැකි වන  බව මහාචාර්ය කුලසිංහ පෙන්වා දෙයි.

සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි