ජනාකීර්ණ කොළඹ පිටකොටුවේ එහා මෙහා යන දෙනෝ දාහක් මිනිසුන් අතරේ අත්කරත්ත තල්ලු කරගෙන යමින් දිවිය සරිකර ගන්නා මිනිසුන්ගේ ජීවිත සුන්දර නැත.
අව්වට පිලිස්සුණු ඒ ශරීර, දහඩියෙන් තෙත බරිත වෙන කිලිටි වූ ඇඳුම් අතරේ ජීවිතය සොයන මිනිසුන්ට කප්පරක් පොදි බැඳගත් බලාපොරොත්තු නැත. බහුතරයක් මිනිසුන් දවසේ ආදායමෙන් වැඩි කොටසක් වැය කරන්නේ ද බුලත් හා ගංජා, බීඩි, කුඩු, අයිස් වැනි මත්ද්‍රව්‍යවලටය. ඒ ඔවුගේ හැටිය. පිටකොටුවේ කරත්තකරුවන් (නාට්ටාමිවරුන්) යනු රටේ මිනිසුන්ගේ බඩකට පිරවීම පිණිස අනවරත අරගලයක යෙදෙන මිනිස් කොට්ඨාසයකි.
නාට්ටාමිගේ කතාවට වඩා නාට්ටාමි බඩු අදින කරත්තයේ කතාව වෙනස් ය. අද අපේ කතාවේ කථානායකයා වන්නේ කේ. සෙල්වම්ය. නාට්ටාමි පුරවරයේ කරත්ත රජු, සෙල්වම් නොදන්නා කෙනෙක් පිටකොටුවේ නැත. පිටකොටුව නගරයේ එහා මෙහා යන නාට්ටාමි අත්කරත්ත බොහොමයක් ඔහුගේය. නාට්ටාමිවරුන් ඔහු හඳුන්වන්නේ “රජ්ජුරුවෝ” නමිනි. ඒ නිසාම ඇතැමුන් මොහුට “සෙල්වා” අයියා කියද්දී තවත් සමහරුන්ට ඔහු “රාජා” අයියා වන්නේ ය.
සෙල්වම්ගේ වයස අවුරුදු පනස් අටකි. අතීතයේ මේ ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ සෙල්වම්ගේ මෑණියන්ය. නුවරඑළියේ ජීවත් වුණු “දාසම්මා” හෙවත් සෙල්වම්ගේ මෑණියන් කොළඹ ගෑස්පහ හන්දියට පැමිණෙන්නේ අත්කරත්තයක් සාදා බඩු ඇදීමේ නාට්ටාමි රස්සාවටය. නාට්ටාමි රස්සාව කරන අතරතුර ඇය අත්කරත්ත එකින් එක මිලදීගෙන කරත්ත දවස් කුලියට නාට්ටාමිවරුන්ට ලබා දුන්නාය. එකල ඇය කරත්තයක් ලබා දී ඇත්තේ දිනකට සත දහයක කුලියටය.
එකල සෙල්වම් පාසල් යන කොලුගැටයෙකි. ඔහු පාසල් යනවාට වඩා තම මවගේ ව්‍යාපාරය දෙස බලා සිටින්නට කැමති විය. ඒ නිසාම පාසල් යනවාටත් වඩා ඔහු අත්කරත්ත අස්සේ ගැවසීමට ප්‍රිය කළේය. එකල නාට්ටාමි අත්කරත්තවල තිබුණේ විශාල ගල් රෝද ය. සෙල්වම් ඒ විශාල ගල් රෝද අස්සේ වාඩි වී කරත්ත දෙස බලා සිටි වාර අනන්තය. දිනෙන් දින මේ කොලුගැටයා පාසල් පොත අමතක කොට අත් කරත්තයට හිත යෙදෙව්වේ ය. ඒ වනවිට සෙල්වම්ගේ වයස අවුරුදු දොළහකි.
දාසම්මා කාන්තාවක් වූවාට ගෑන්ඩ්පාස් හන්දියේ හැඩි දැඩි පිරිමින් බොහොමයකට රැකියා ලබා දුන්නාය. උදේ පාන්දරින් භාර ගන්නා අත්කරත්ත නාට්ටාමිවරුන් සවසට ඇයට භාර දුන්නේ සත දහයක් සමඟය. යම් හෙයකින් ඇයට යම් වංචාවක් හෝ බොරුවක් කළ නාට්ටාමිවරයෙකුට ඇය බැණ වැදුණේ ඇගේ උපන් දෙමළ භාෂාවෙන් පමණක් නොව සුද්ද සිංහල භාෂාවද එකතු කරමිනි. ඒ නිසාම දාසම්මාට එකල නාට්ටාමිවරු බිය වූහ.
සෙල්වම්ට මේ ව්‍යාපාරය භාරවෙන්නේ රාසම්මා මියයාමෙන් පසුවය. එකල සෙල්වම් අවුරුදු විස්සක ගජ ඉලන්දාරියෙකි. සෙල්වම් නාට්ටාමිවරුන්ගේ රජ්ජුරුවෝ වෙන්නේ එතැන් සිට ය. සෙල්වම් දමිළ මිනිසෙකි. නමුත් ඔහුගේ අත්කරත්තයට ජාති, ආගම්, කුල ගෑවුණේ නැත. ඔහුගේ අත්කරත්තවලින් ජීවිත බොහොමයක කුසගිනි නිවිණ.
“මේ අවුරුදු ගණන පුරා බොහෝ දේශපාලන පක්ෂ මේ රටේ රජ කළා. ඒත් අපිට වෙනසක් නැහැ. ප්‍රේමදාස මහත්තයා නිතරම ගුණසිංහපුරයට ආවා ගියා. නාට්‍ටාමිලා එක්‌ක කතා කළා. මොනවා වුණත් පොඩි මිහිහා එක්ක පොළොවට බැහැලා කතා කරපු මනුස්සයෙක්. මේ මිනිසුන් මේ කරත්ත තල්ලු කළොත් උන්ට වාසියි. මහන්සි වෙලා හම්බකළොත් එච්චරයි. ඡන්ද කාලෙදි හැම පක්ෂයෙන්ම පිට කොටුවට එනවා යනවා එච්චරයි.”
කේ. සෙල්වම්ට දේශපාලනය පිළිබඳ ඇත්තේ එතරම් පැහැදීමක් නොවෙයි.
වර්තමානය වනවිට ඔහු සතුව අත් කරත්ත දෙසීයක් පමණ ඇත. ඔහු සෑම දිනකම උදේ හතරට අවදිවෙන්නේ උදෑසන හතරාමාර පමණ වනවිට ඔහුගේ කරත්ත ගන්නා ගැනුම්කරුවන් පෝලිමේ සිටින නිසාය. සෙල්වම් තැන්පතු මුදල තබා ගන්නේ නැත. පොතක සටහනක්, අත්සනක් තබා ගන්නේද නැත. වසර ගණනාවක් තිස්සේ දිනපතා උදේ සවස ඔහු තමන්ගේ අත් කරත්ත නාට්ටාමිවරුන්ට ලබා දෙන්නේ විශ්වාසයටය. ඒ විශ්වාසය පලුදු කළ අවස්ථා ඔහුගේ ජීවිතයෙහි නැතුවාම නොවෙයි. උදේ රැගෙන ගිය අත්කරත්තය සවස් කාලය වන තුරු භාර නොදුන්, අත්කරත්තේ යකඩ පටි ගලවා යකඩවලට විකුණා මුදල් ගත් නාට්ටාමිවරුන් ගැන ඔහුගේ මතකයේ ඇත. නමුත් ඔහුගෙන් ඔවුන්ට ගැලවීමක් නැත. අතරමග දමාගිය, අස්ථානගත වූ අත්කරත්ත සොයා දීමට වෙනම පිරිසක් සෙල්වම් වටා සිටියි. සෙල්වම්ගේ විශ්වාසය නැති කළ එවැනි නාට්ටාමිවරුන්ට නැවත ඔහුගෙන් අත්කරත්තයක් ලැබෙන්නේද නැත. මේ නිසාම සෙල්වම් ගැන දන්නා අය තමන් රැගෙන යන අත්කරත්තයක් නැවත නියමිත වෙලාවට භාර දෙන්නේ දවසේ කුලියද සමඟය.
වර්තමානයේදී සෙල්වම් අත්කරත්තයක් ලබාදෙන්නේ රුපියල් දෙසීයේ දවස් කුලියටය. ඔහුගෙන් උදේ පාන්දර හතර හමාරට කරත්ත භාරගන්නා නාට්ටාමිවරු කැලේපොළට යති. ඇතැම්හු පිටකොටුවට එන ලොරි වෙත යති. එතැන් සිට ඔවුහු පිටකොටුවේ එහා මෙහා යමින් තම දවසේ ආදායම සොයති. සවස හතරට පහට ඔවුහු තම රැකියාව අවසන් කොට සෙල්වම්ට අත්කරත්ත භාරදෙති. එතැනින් කරත්තයට නිවනක් ලැබෙන්නේ නැත. ඒ කරත්තයම තවත් නාට්ටාමිවරයෙකු සෙල්වම්ගෙන් රැගෙන යන්නේ රාත්‍රි කාලයේදී බඩු ඇදීමටය. පිටකොටුවට කන්ටේනර්වලින් බඩු රැගෙන එන්නේ රාත්‍රි කාලයටය. ඒ දහවල් කාලයේදී නගරයේ ඇති වාහන තදබදය නිසාවෙනි.
කොරෝනා සමයේදී පිටකොටුව නගරයේ වෙනදා පැවති කාර්යබහුලකම නොවීය. ඒ නිසාම වෙනදා තරම් ආදායමක් නාට්ටාමිවරුන්ට තිබුණේ නැත. ඒ කාලයේදී ඇතැම් නාට්ටාමිවරුන් සිටියේ නිරෝධායන කඳවුරුවලය. ඇතැම්හු සෞඛ්‍ය අංශයේ උපදෙස් නිසි පරිදි පිළිපදිමින් නගරයට එන රථවාහනවලින් බඩු භාණ්ඩ එහා මෙහා රැගෙන ගියහ. මේ නිසාම කොවිඩ් කාලයේදී සෙල්වම්ගේ ආදායම් එතරම් සරු නොවුණත් ජීවත් වෙන්නට හැකි මුදලක් ලැබුණි.
“කොවිඩ් කාලයේදී පිටකොටුවට ආපු ලොරිවලින් වෙළෙඳුන්ගේ වාහනවලට බඩු කරත්තවලින් පැටෙව්වා. දෙවියන්ගේ පිහිටෙන් අපිට කොවිඩ් වැලඳුණේ නැහැ. හැබැයි කීපවතාවක්ම පරීක්ෂණ කළා“ සෙල්වම් කියයි.
පිටකොටුවට දවසට එන ලොරි රථ, කන්ටේනර් රථ ආදියෙන් දිනකට නාට්ටාමිවරුන්ට ලැබෙන ආදායම පිළිබඳ අවබෝධයක් සෙල්වම් සතුව පවතී. ඇතැමුන් සෙල්වම්ට කරත්ත භාර දෙන්නේ “අද එච්චර බිස්නස් එකක් නෑ අයියා” කියමිනි. ඔවුන් පවසන්නේ සත්‍යයක්දැයි අසත්‍යයක් දැයි පිළිබඳ අවබෝධයක් මේ වන විට සෙල්වම්ට ඇත.
“හරි හරි කමක් නෑ තියෙන ගානේ දියන්. අද වැඩිය බිස්නස් නෑ කියලා මම දන්නවා “
යැයි පවසන සෙල්වම් තමන්ගේ අතට ලැබෙන රුපියල් සීයෙන් වුවද සෑහීමට පත්වේ. නමුත් තමන් රවට්ටන්නට උත්සාහ කරනවා යැයි දැනෙන විට “බොරු කියන්න එපා මිනිහෝ “කියමින් සම්පූර්ණ මුදල අය කර ගනී.
“අද කරත්ත තල්ලු කරන කොල්ලන්ට හයියක් නැහැ. ඒ කාලේ මුලින්ම අපිට තිබුණේ ගල් කරත්ත. ඒවා කරත්ත ලීවලින් හදලා තිබුණේ. ඒ රෝද හරි බරයි. අද කරත්ත හදලා තියෙන්නෙ යකඩ බටවලින්. අද බර අඩු කරලා හදපු හුළං රෝද කරත්තයි තියෙන්නේ. මේ කරත්ත ශක්තිමත්කමින් අඩුයි. අද කුලී වැඩ කරන මිනිස්සු ඒ කාලේ වගේ ශක්තිමත් මිනිස්සු නෙවෙයි. බොහෝ දෙනා අද මේ රස්සාව කරන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය අරගෙන. සමහරු රස්සාව කරලා ඉවර වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඉතින් දවසින් දවස ඒ අය දුර්වල වෙනවා. ඒ නිසාම සැහැල්ලු ටයර් දාලා මේ අයට පහසුවට කරත්ත හදලා තියෙනවා. අපි ඒ අයට කරත්ත බාර දුන්නට කරත්තේ අලුත් වැඩියා හැම දෙයක්ම අපි කරන්නේ. මායි මගේ සහෝදරයයි තමයි මේ වැඩේ කරගෙන යන්නේ. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි. එක දුවයි. මගෙන් පස්සේ මේ රස්සාව එයාලා ඉස්සරහට කරයි කියලා නම් මම හිතන්නේ නැහැ.
ඒ වගේම තමයි මම මේ කරන වෘත්තිය ගැන මට සතුටු වෙන්න පුළුවන්. කරත්ත රස්සා කරලා දරු පවුල් නඩත්තු කරන තුන් හාරසීයක විතර පිරිසක් මේ පිටකොටුවට එනවා. ඒ අය ඔක්කොම කරත්ත ගන්න එන්නේ මගේ ළඟට. අවුරුදු 30 - 40ක් මගෙන් කරත්ත අරන් රස්සා කරන අය ඉන්නවා. මේ අතරින් රස්සාවට අවංක වෙලා කරන අය වගේම මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච අයත් ඉන්නවා.”
සෙල්වම්ගේ සෑම කරත්තයකම MG ලෙස සලකුණක් සටහන් කර ඇත. සෙල්වම් නතරව සිටින්නේ පිටකොටුවේ අඳුරු ගැසුණු ටයර්වලින් වට වුණ කුඩා කඩ කාමරයකය. දිනකට පවුල් තුන්සීයකටත් අධික පවුල් ජීවත් කරවන්නට අත්වාරුවක් වෙන මේ නිහඬ මිනිසා සැබෑවටම සුන්දර හිත් ඇති අයෙකු බව ඔහු සමඟ දොඩමලු වූ හෝරාවේ හැඟිණ.
සටහන සහ ඡායාරූප
දිශානි ජයමාලි කරුණාරත්න