ප්‍රේමකීර්ති ඝාතනයේ සැඟවුණු රහස්


ඔහු උපන්නේ 1947 ජූනි 1 වැනිදාය. අද ඔහු හිටියා නම් වයස අවුරුදු 78 කි. එහෙත් ඔහු 1989 ජූලි 31 වැනිදා ඝාතනයට ලක් වී ය. “මාළුවා නහින්නේ කට නිසා” යැයි කියන්නේ කට පරිස්සම ගැන වුවත් මේ පුද්ගලයා ඝාතනයට ලක් වූයේ ද ඔහුගේ චතුර කථිකත්වය, නිර්මාණශීලී වාග් ශෛලිය, නොඑසේ නම් “කට” නිසාය.

මෙයින් වසර 53 කර පෙර මේ කියන පුද්ගලයාගේ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවක් නිකුත් විය. 1972 ඔක්තෝබර් 04 ඔහු පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අනුව ඔහුගේ උස අඩි 4 අඟල් 10කි. බර රාත්තල් 102 කි. ආශ්වාස කළ විට පපුවේ වට ප්‍රමාණය අඟල් 31 ක් වන අතර, ප්‍රශ්වාස කළ විට අඟල් 30කි. නාභි මට්ටමේ දී උදරයේ ප්‍රමාණය අඟල් 27 කි.

මේ කියන තැනැත්තා මෙලොව ජීවත් වූයේ වසර 42 ක් පමණි. දැන් ඔහු මළවුන් ළඟට ගොස් වසර 36 කි. ඔහුගේ ඝාතන අබිරහස ගැන ලබන අගෝස්තු 27 වැනි බදාදා ගවේශනාත්මක කෘතියක් එළි දැක්වේ. කෘතියේ නම ‘“ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල” ය. ග්‍රන්ථ කර්තෘවරයා “ධර්මන් වික්‍රමරත්න”යි. මේ කෘතියට පාදක වන්නේ 1947 ජූනි 3 වැනි උපන් 1989 ජූලි 31 වැනි දින ඝාතනයට ලක් වූ සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ගේ ඝාතනය ගැන වසර 36 කට පසු කෙරෙන හෙළිදරව්වකි. 

ප්‍රේමකීර්ති ද අල්විස් කියූ සැණෙකින් අපේ මතකයට එන්නේ ගුවන් විදුලියෙන් සැරිසර පුවත් සඟරාව’, රූපවාහිනියෙන් ‘අඳුන’, එමෙන්ම රූපවාහිනියේම ‘ආයුබෝවන්’ වැනි අපූරු වැඩසටහන් මෙහෙයවා අතිශයින් ප්‍රේක්‍ෂක හදවත් ඩැහැගත් නිර්මාණශීලි නිවේදකයෙකි. ගීත රචකයෙකි. ඊටත් වඩා සහෘදයෙකි. 

විජය කුමාරතුංග ජීවත් වූයේ වසර 42 කි. රෝහණ විජේවීර ජීවත් වූයේ වසර 46 කි.  එමෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස් ජීවත් වූයේ වසර 42 කි.

මෙතරම් කෙටි කාල වකවානුවකදී මොවුන් පසුකල ජීවන ගමන් මග විමසුමට ලක් කරන විට අපට දැනෙන්නේ විස්මයාර්ථයකි. ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල කෘතිය අධ්‍යනයේ දී පෙනී යන්නේ ‘ප්‍රේමකීර්ති තරම් රේඩියෝ සිලෝන් එකෙන් දඩ කා ඇති හා වැඩ තහනමට ලක් වූ ගුවන් විදුලි ශිල්පියෙකු නොමැති බවය. 

1969, 1971, 1973 , 1975  වැනි වසරවල ප්‍රේමකීර්ති ලොකු පොඩි වැරදි කිහිපයකට ගුවන් විදුලියෙන් දඩ කා තිබේ. 

ඔහු දේශපාලන පළිගැනීමකට ලක්වෙන්නේ ඉන් පසුවය. 1977 එජාප රජය බිහි වීමෙන් පසු 1977 අගෝස්තු 12 ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ඩී.ඩී. පීරිස් දන්වා සිටියේ ප්‍රේමකීර්තිව එදින සිට අනිවාර්ය නිවාඩු මත තබන ලද බවය. එයට අදාළ ලිපිය නුගේගොඩ, දේවාල පාරේ, අංක 46 දරන පදිංචි ලිපිනයට යොමු කොට ඇත.

තව ද, 1977 දී ප්‍රේමකීර්ති තවත් ලෙඩක් දාගෙන තිබේ. මේ අනුව බලන විට පෙනී යන්නේ ප්‍රේමකීර්ති රේඩියෝ සිලෝන් එකේ  ’‘දබර කීර්ති’ චරිතයක් ද රඟපා ඇති බවය. එහෙත් ඔහු ඉදිරිපත් කළ විවිධ වැඩ සටහන් හා මැයි රැලි ආදිය ගැන ගුවන් විදුලියෙන් නිකුත් කළ ප්‍රශංසනාත්මක ඇගයීම් නිසා ඔහුගේ මේ සියලු ‘’දබර’ යටපත් වී ප්‍රේමකීර්ති ද අල්විස් නමැති නිර්මාණශීලියා ගුවන් විදුලියට නැතුවම බැරි චරිතයක් විය.

මේ අතර භීෂණ සමයේ විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 දහවල් 12.20 ට ජවිපෙ කැරලිකරුවන් විසින් ඝාතනය කරන ලදී. එදිනම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දහවල් 12.45 ප්‍රවෘත්ති විකාශනයේ දී විශේෂ ප්‍රවෘත්තියක් ලෙස දහවල් 12.51 එය විකාශනය විය. විජය ඝාතනය ප්‍රථම වරට ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශනයෙන් රටට කියා සිටියේ ප්‍රේමකීර්ති ද අල්විස් ය. 

මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ද්‍රවිඩ මාධ්‍යවේදියෙකු වූ පසු කලෙක තිනකරන් කර්තෘවරයා වූ එස්. තිලෙයිනාදන් විසින් ‘50 වසරක පාර්ලිමේන්තුව වාර්තාකරය’ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත. “කොළඹ මහ රෝහලේ රෝගියෙක් බැලීමට ගිය මා එහි හදිසි අනතුරු ඒකකයේ කලබලයක් දැක එයට ඇතුළු වුණාම විජය කුමාරතුංගට වෙඩි වැදී මැරී තිබුණ බව දැක්කා. මම එවකට සේවය කළේ ගුවන් විදුලියේ. සිද්ධිය ගුවන් විදුලියට කියන්න ඕන නිසා පාර පැනලා පරාක්‍රම රේඩියෝ ආයතනයට ඇතුළු වුණා. එතකොට වෙලාව 12.38 පමණ මම කෙළින්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හිල්ටන් පෙරේරාට මේ ඝාතනයට ගැන දැනුවත් කළා. ඔහු මගෙන් කීප විටක් ප්‍රශ්න කරලා තොරතුරු ඇත්ත කියලා තහවුරු කලාට පසු ඔහු අතින්ම ප්‍රවෘත්තිය ලියාගෙන ප්‍රවෘත්ති කියන ස්ටූඩියෝවට දුවගෙන ගියා.”

“හිල්ටන් පෙරේරා ප්‍රවෘත්ති කියන ස්ටූඩියෝවට ඇතුළුවන විට එදින ප්‍රවෘත්ති නිවේදක වන ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රවෘත්ති සිරස්තල කියවලා ඉවර වෙලා ප්‍රධාන ප්‍රවෘත්තිය කියන්න සූදානම් වන විට හිල්ටන් පෙරේරා තමා ලියපු කොළය දීලා මෙය කියවන්න කියලා ඔහුට නියෝග කළා.”

ප්‍රේමකීර්ති ද අල්විස් ගුවන් විදුලියේ දහවල් ප්‍රවෘත්ති විකාශනයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක විජය කුමාරතුංග මහතා අද දහවල් සිය නිවෙසේ දී සිදු වූ වෙඩි තැබීමකින් මරණයට පත් විය.” මෙම ප්‍රවෘත්තිය කඩිනමින් ලබාදීම පිළිබඳ ගුවන් විදුලි අධ්‍යක්ෂ ජනරාල් විසින් අප තිදෙනාට ප්‍රශංසා කරමින් ලිපි ලබා දුන්නා.” 

1988 දෙසැම්බර් 15 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එරෙහිව එය තහනම් කරමින් එයට නියෝග පහක් පනවමින් ජවිපෙ විසින් ඇඳිරි නීතිය පනවන ලදී. ඡන්දය දමන ප්‍රථම පස් දෙනා මරා දමන බවට කැරලිකරුවන් විසින් නියෝග කරන ලදී. ජනාධිපතිවරණය සමයේ සිදු වූ දේශපාලන ඝාතන සංඛ්‍යාව 681 කි. ඉන් 63 දෙනෙක් ඡන්ද රාජකාරිවල නිරත වූ රජයේ සේවකයන් ය.

1989 ජූලි 28 මූලස්ථානයෙන් එවන ලද නියෝගයක් වූයේ තහනම් නියෝග කඩ කරමින් ගුවන් විදුලියේ සේවය කරන ප්‍රේමකීර්ති ද අල්විස් ඉවත් කළ යුතු බවය.

ජනාධිපතිවරණය වර්ෂ 1988 දෙසැම්බර් 19 පැවති අතර, එජාප අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස ඉන් ජයගත්තේ ය. පසුදින එනම් 1988 දෙසැම්බර් 20 දහවල් 11ට ජනාධිපති ජයවර්ධන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර, මහා මැතිවරණය 1989 පෙබරවාරි 15 පැවැත්වෙන බව නිවේදනය කළේය. ජවිපෙ 1989 ජනවාරි 01 නිවේදනයක් නිකුත් කරමින් 1989 පෙබරවාරි මස පැවැත්වෙන මහ මැතිවරණය ද වර්ජනය කරන්නැයි, නිවේදනයක් නිකුත් කළේය. 

රටේ පාලන කටයුතු අඩපණ කරමින් ආයුධ බලයෙන් රජය අල්ලා ගැනීමට කැරලිකරුවන් කටයුතු කිරීමට එරෙහිව රජය මගින් දැඩි ක්‍රියා මාර්ගයක් වශයෙන් ප්‍රවෘත්ති පාලනයක් 1989 ජූලි 07 සිට ඇති කළ බව කැබිනට් ප්‍රකාශක වන රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න විසින් ප්‍රකාශයට පත්කරන ලදී. 

මධ්‍යකරුවන් දඩයම

කැරලිකරුවන්ගේ තර්ජන සහ නියෝගවල ප්‍රතිඵලයක් වශයෙන් ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිව් දෙනෙක් 1989 ජූලි 23 සිට සැප්තැම්බර් 13 දක්වා දින 52 ක් තුළ ඝාතනයට ලක් වූහ. ස්වාධීන රූපවාහිනි සේවයේ නිසි බලධාරී තේවිස් ගුරුගේ 1989 ජූලි 23 දින ඝාතනයට ලක් වූ අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති වැඩසටහන් අංශයේ සිංහල වැඩසටහන් නිෂ්පාදක ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජූලි 31 ඝාතනයට ලක් විය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ කුලසිරි අමරතුංග 1989 අගෝස්තු 13 මරා දමන ලදී. එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකා සාගරිකා ගෝමස් 1989 සැප්තැම්බර් 13 ඝාතනයට ලක් වූවාය. 

1989 ජූලි වන විට රට පුරා භීෂණය වඩ වඩාත් උත්සන්න වෙමින් පැවතුණි. 1989 වසරේ මැද භාගයේ සිට එනම් 1989 ජුනි මස අවසානයේ සිට ආණ්ඩුවේ රූපවාහිනී සහ ගුවන් විදුලියේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම වාගේ අඩපණ කිරීමට කැරලිකරුවෝ සමත් වූහ. එම මාධ්‍ය ආයතන හමුදා පාලනය යටතට ගත් අතර, ගුවන් හමුදාවේ ගුවන් කොමදොරු ආනන්ද සමරකෝන් එහි නිසි බලධාරියා බවට පත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි නිවේදකයන් ඇතුළු සේවකයන් කීපදෙනෙක් ම කැරලිකරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින් වූහ. ප්‍රවෘත්ති වැඩ සටහන් සිංහල අංශ පාලක පාලිත පෙරේරා, සිංහල වැඩ සටහන් අංශයේ නිෂ්පාදකවරුන් වන වසන්ත ලංකාතිලක, ප්‍රේමකීර්ති ද අල්විස් සහ හේමසිරි කුලරත්න ඉන් කිහිප දෙනෙකි.

ප්‍රේමකීර්ති 1989 ජූලි වන විට සේවය කළේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වැඩ සටහන් අංශයේය. වසර 1982 ආරම්භ වූ එම අංශයේ එවකට පාලකයා වූයේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක සහ ක්‍රිකට් නිවේදක පාලිත පෙරේරා ය. 

මේ අතර - 1989 ජූලි මස මූල් සතියේ සිකුරාදාවක සුපුරුදු පරිදි ගුවන් විදුලියේ කාර්යාල සහායක මිත්‍රපාල විසින් ප්‍රවෘත්ති වැඩ සටහන් අංශයට පෙරවරු 11ට පමණ අදාළ නිලධාරීන්ගේ නමට ලැබුණු ලිපි ඔවුන්ගේ මේසය මත වෙනදා මෙන් තබා යන ලදී. වැඩිම ලිපි සංඛ්‍යාවක් සුපුරුදු පරිදි ලැබී තිබුණේ ප්‍රේමකීර්තිට ය. 

ඝාතනය සිදුවූ තැන අද

එදින පස්වරු 1 ට පමණ ප්‍රේමකීර්ති වැඩ සටහන් අංශයට පැමිණි අතර, තමාට ලැබුණු ලියුම් කිහිපයක් විවෘත කර බැලු අතර, කැරලිකරුවන්ගේ තර්ජනාත්මක ලිපිය ද ඒ අතර විය.

ප්‍රේමකීර්ති තමාට ලැබුණු තර්ජනාත්මක ලිපිය කියවා තම මේසයෙන් ඉවත් කර ගැනීමෙන් පසු - පාලිත, වසන්ත මෙන්ම හේමසිරි කුලරත්න ඔහු ගෙන් ඇසුවේ “ආ. . . පොඩි මාස්ටර්ටත් ලියුමක් ආව ද?” කියාය. එමෙන්ම ඔවුහු ප්‍රේමකීර්තිට කියා සිටියේ තමන් තිදෙනාට ද එවැනි ලිපි ලැබුණු බවය.

ප්‍රේමකීර්ති සිනාසෙමින් ඔවුන් අසලට පැමිණ කියා සිටියේ “මට මේ ළමයි මුකුත් කරන්නේ නෑ. බයවෙන්න එපා. පාලිතව මම ගෙදර යන ගමන් බස්සන්නම්” කියාය. දින දෙක තුනක් සිය නිවෙසට යන අතරතුර ප්‍රේමකීර්ති ඔහුන් රථයෙන් පාලිතව කොට්ටාවෙන් බස්සවා ගියේය. පාලිත පෙරේරා නෑකමින් ප්‍රේමකීර්තිගේ බාප්පා බව බොහෝ දෙනා දැනුත් නොදනි.

මේ අතර 1989 ජූලි මාසයේ දී ප්‍රේමකීර්ති ද අල්විස් නමැත්තාගේ ජීවිතය ගැන දේශප්‍රේමීන් තීරණය කර හමාරය. එදා කැරලිකරුවන්ගේ පණිවුඩ හුවමාරුවේ සම්බන්ධීකරණ ස්ථානයක් වූයේ බොහෝ විට කඩ සාප්පුය. ඉන් ප්‍රමුඛත්වය ලැබුණේ මිනිසුන් වැඩි වශයෙන් ගනුදෙනුකරුවන් ලෙස නොපැමිණෙන වීඩියෝ, ඇඳුම් මසන ස්ථාන, ස්ටූඩියෝ, ගෘහ උපකරණ සහ විසිතුරු භාණ්ඩ අලෙවි සල්, ජංගම අලෙවි රථ වැනි ස්ථානයන් ය. එම ස්ථානයන්හි සේවකයෙකු හරහා යම් සබඳතාවක් ගොඩනඟාගෙන කැරැල්ලේ සෙසු ක්‍රියාකාරිකයෙකුට කෙටි වචන කිහිපයක පණිවිඩයක් ලියා හමු විය යුතු ස්ථානයක් සහ දිනයන් එහි සටහන් කර එම ස්ථානයන් හි කිසිවකුට නොපෙනෙන රහසිගත ස්ථානයක තබා යයි. දෛනිකව එම ස්ථානයට පැමිණෙන අදාළ පුද්ගලයෝ තමන්ට පණිවිඩයක් තබා ඇත්දැයි සොයා බලති.

ප්‍රේමකීර්ති ජීවත් වූ හෝමාගම වසමේ මෙවැනි තුණ්ඩු තබන/පණිවිඩ හුවමාරු කරන සහ ඉඳහිට පැමිණ සාකච්ඡා කරන ස්ථාන කිහිපයක් තිබිණි. ඉන් එකක් ටේලර් සාප්පුවකි. එය පිහිටියේ බෙල්ල කපාපු හන්දිය යනුවෙන් හඳුන්වන මන්චි බිස්කට් ආයතනයට නුදුරින් ය.  ජවිපෙ 2 වැනි කැරලි සමයේ දී තුණ්ඩු බෙදීමට සහ හමුවීම සඳහා එහි සිටි සේවකයන් කිහිප දෙනෙකු කැරැල්ලේ හිතවතුන් වූ බැවින් එය රහසිගතව සිදු වූ බව කියැවේ.

තවත් ස්ථානයක් වූයේ හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් ඉදිකර ඇති හෝමාගම පොදු වෙෙළඳ සංකීර්ණයේ දෙවන මහලේ වම් පස තිබූ මාලි ස්ටූඩියෝ ඡායාරූප ශාලාවය. වර්තමානයේ එම ස්ථානයේ එය දක්නට නොමැත. 

හෝමාගම වසමේ තුණ්ඩු බෙදන සහ හමුවීම් අනෙක් ස්ථානය වූයේ හෝමාගම හයිලෙවල් පාරේ අංක 64 දරන ස්ථානයේ 1983 සිට 1989 මැද භාගය දක්වා පවත්වාගෙන ගිය දුලානි ලර්නර්ස් ය. එය පිහිටා තිබුණේ හෝමාගම හන්දියේ සිට හයිලෙවල් දෙසට යන විට දකුණුපස ගොඩනැගිල්ලක දෙවන මහලේය. එහි හිමිකරු වූ සිරිසේන අබේසිංහ පේරාදෙණිය සරසවියෙන් 1971 දී ජවිපෙට එක් වූ අයෙකි. සිරිසේන අබේසිංහ, මාකස් අබේ හෙවත් විජේදාස ලෙසින් ද හඳුන්වනු ලැබීය. 

ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතන නියෝග හෝමාගම පොලිස් වසමේ සන්නද්ධ නායකයා වන එගොඩගේට ලැබුණේ 1989 ජූලි 28 වැනිදා උදෑසනය. සාකච්ඡාව මෙහෙය වූයේ එගොඩගේ ය. සෑම දිනකම වාගේ උදෑසන 10ට පමණ වසමේ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරකයන් වන වික්‍රම හෙවත් උදයනන්ද සහ මිලින්ද හෙවත් ඒකනායක යන අය සමග හෝමාගම වසමේ සන්නද්ධ නායකයා වන එගොඩගේ අතර හමුවක් පැවතිණි. දෛනිකව සිදුවන එම සාකච්ඡාවේ දී පෙරදින සිදු වූ ජාතික සහ ප්‍රාදේශීය ක්‍රියාකාරකම් ඉදිරි දිනයන්හි සිදුකරන සැලසුම් සමාලෝචනය කිරීම සිදුවිය. 

1989 ජූලි 28 මූලස්ථානයෙන් එවන ලද නියෝගයක් වූයේ තහනම් නියෝග කඩ කරමින් ගුවන් විදුලියේ සේවය කරන ප්‍රේමකීර්ති ද අල්විස් ඉවත් කළ යුතු බවය. අදාළ නියෝග ලිපිය ප්‍රේමකීර්ති විසින් ඉරා කෙළ ගසා විසිකර ඇති බව දේශප්‍රේමී කැරැල්ලට හිතැති සංස්ථාවේ සේවකයෙක් විසින් මූලස්ථානයට දන්වා ඇතැයි ද එගොඩගේ අවධාරණය කළේය. ප්‍රේමකීර්තිගේ බිරිය විසින් ද මරණ පරීක්ෂණයේ දී කියා සිටියේ ඝාතකයන් ඒ බව ප්‍රේමකීර්තිට කියූ බවය. 

එම හමුවෙන් පසු මිලින්ද සහ උදයනන්ද හෝමාගම මාලි ස්ටුඩියෝ වෙත ගොස් එය කලාකරුවන් යන එන තැනක් බැවින් ප්‍රේමකීර්තිගේ නිවෙස ඇති ඉසව්ව දැන ගත්තේය. ඉන්පසු දෙදෙනාම පාපැදියකින් වෙන්දේසි වත්ත දෙසට ගමන් කර ඇත. අනතුරුව හමුවන දේවාල පාර ආසන්නයේ සිල්ලර කුඩා කඩයක බඩු වෙළෙඳාම් කරමින් සිටි වැඩිහිටි කාන්තාවක ගෙන් ප්‍රේමකීර්තිගේ නිවෙස පිළිබඳ විමසන ලදී. එවිට වේලාව පස්වරු 2 කට පමණ ඇත.

වෙළෙඳස​ෙල් සිටි කාන්තාව එවිට ඒ අසලින් ගමන් කරමින් සිටි පාසල් නිල ඇඳුමින් සැරසී සිටි වයස අවුරුදු 09 පමණ ධම්ම නමැති පාසල් සිසුවකු පෙන්වා කියා සිටියේ, ඔහු ඒ අසල පදිංචිකරුවකු බවය. අවශ්‍යතාව කුමක්දැයි ඇය විමසූ විට ඔවුහු කියා සිටියේ ගුවන් විදුලි වැඩ සටහනක් සඳහා පරීක්ෂණයකට යන තම පවුලේ අයකුට උදව්වක් ප්‍රේමකීර්ති ගෙන් ලබා ගැනීමට අවශ්‍ය බවය. 

එවිට උදයනන්ද විසින් මිලින්දව පාපැදියෙන් බස්සවා කුඩා දරුවා පාපැදියේ බාර් එකේ නංවා අදාළ නිවස පිහිටි ස්ථානයට රැගෙන යන ලදී. පසුව සිසුවා ඔහුගේ නිවස අසල බස්සවා යළි වෙළෙඳසල අසලට පැමිණ මිලින්දව පාපැදියට නංවා ගෙන හෝමාගම දෙසට යන ලදී. පසුදින එනම් ජූලි 29 උදෑසන එගොඩගේ හමු වූ අවස්ථාවේ දී ප්‍රේමකීර්තිගේ නිවස පිහිටි ස්ථානය දැනගත් බව දැනුම් දෙන ලදී. ඒ අවස්ථාවේ එගොඩගේ පවසා ඇත්තේ ජූලි 30 වනදා දියගම ප්‍රදේශයේ සන්නද්ධ අංශයේ වැඩක් ඇති බැවින් තිදෙනාම එයට සහභාගි විය යුතු බැවින් ප්‍රේමකීර්තිගේ ‘ඉවත් කිරීම 31 වනදා සිදුකළ යුතු බවය. 

1989 ජුලි 31 වනදා වික්‍රම හෙවත් උදයනන්ද විසින් ගම්වැසියකු වූ සමන් ප්‍රියංකරට පණිවුඩයකින් දන්වන ලද්දේ රාත්‍රී 7ට පමණ වැඩකට යාම සඳහා සූදානම්ව සිටින ලෙසය. වර්තමානයේ අධිවේගී මාර්ග පිවිසුම අසල ඇති නියඳගල පාර අසලට පස්වරු 6.00 ට පමණ පැමිණි වික්‍රම හෙවත් උදයනන්ද සහ මිලින්ද හෙවත් ඒකනායක නියඳගල පාර අසල  ලක්ෂ්මන්ගේ බෝඩිම පිහිටි සුභසාධක මාවතේ සුදු අයියාගේ කාමරයේදී එක් විය. උදයනන්ද අත තිබූ බෑගයේ ෂොට්ගන් එකක් සහ පිහියක් ද විය. පසුව එම ස්ථානයට රංජි හෙවත් ප්‍රේමසිරි ද, පොඩි මල්ලි හෙවත් ජගත් ද, ශිරෝමන් හෙවත් නිමල් ද එක් වූහ. එහෙත් වික්‍රම සහ මිලින්ද හැර සෙසු සිව්දෙනා ප්‍රේමකීර්තිගේ නිවස අසලට යන තෙක් ’සන්නද්ධ අංශයේ ‘රාජකාරිය’ කුමක් දැයි දැන සිටියේ නැත. ඒ අංශයේ සන්නද්ධ ක්‍රියාකාරීන්ගේ විනය අනුව අවසන් මොහොත දක්වා වැඩේ කුමක් දැයි ඇසීම තහනම් වූ බැවිනි. 

පසුව පිරිස වර්තමානයේ නියඳගල පළමු පටුමග හරහා විද්‍යාකීර්ති ප්‍රාථමික විද්‍යාලය අසලට පැමිණ ඒ හරහා යාබදව ඇති වෙලේ නියර උඩින් ශ්‍රී ධම්මාලංකාර මාවතේ පිහිටි සමන් ප්‍රියංකර ගමගේ ගේ නිවෙස අසලට යන ලදී. මාගම්මන පුරාණ විහාරස්ථානය ඉදිරිපිට ශ්‍රී ධම්මාලංකාර මාවතේ සමන්ගේ නිවෙස පිහිටා තිබුණි.

හෝමාගම වසමේ සන්නද්ධ අංශයට අයත් ගැමියන්ගෙන් පැහැරගත් බෝර තුවක්කු සඟවා තිබූ එක් ස්ථානයක් වූයේ සමන් ප්‍රියංකර දන්නා තැනකය. ඉන් තුවක්කු දෙකක් සහ පතොරම් සමන් ප්‍රියංකර ගෙනැවිත් කණ්ඩායමේ නායකයාට භාරදෙන ලදී. මේ අතර වික්‍රම හෙවත් උදයනන්ද අත ෂොට්ගන් එකක් තිබුණි. 

අවසන් හෝරාව

කණ්ඩායමේ පිරිස 6 කි. ඉන් හෝමාගම පදිංචිකරුවකුව සිටියේ සමන් ප්‍රියංකර පමණි. සෙසු පස් දෙනාගේම තිබුණේ අන්වර්ථ නාමයන් ය. එමෙන්ම ඔවුන්ගේ පදිංචි ස්ථානයන් ද කිසිවකු නොදනී. ඔවුන් සියලු දෙනාම 2 වැනි කැරැල්ලේ ක්‍රියාකාරිකයන් බව කියනු ලැබේ. 

අනතුරුව ඔවුහු ප්‍රේමකීර්ති අල්විස්ගේ නිවෙස අසලට ගියහ. පසුපස දොර විවෘත කර තිබිණි. වික්‍රම සහ මිලින්ද පසුපස දොරෙන් නිවසට ඇතුළු වූහ.

එවිට වේලාව පස්වරු 8.15 පමණ විය. නිවෙස තුළ සිටියේ ප්‍රේමකීර්තිගේ බිරිය මාස 11 ක් වයසැති පුතු සහ වයස 16 ක් පමණ වන ගැහැනු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ඔවුනට දැකගත හැකි විය. කණ්ඩායමේ සෙසු සිව්දෙනා නිවස ඉදිරිපිට සහ ඒ අවට රැඳී සිටියහ. අත දරුවකු සහ ළමුන් දෙදෙනෙකු සිටි නිසා නිවස තුළදී ඔවුන් ඉදිරිපිට දී ප්‍රේමකීර්ති වෙඩි තබා ඝතනය කිරීමට ඝාතකයන්ගේ කැමැත්තක් දැක්වූයේ නැත.

සන්නද්ධ කැරලිකරුවන් දෙදෙනා විසින් සිය ව්‍යාපාරයේ නියෝග කඩකර අදාළ ලිපිය ඉරාදමා කෙළ ගැසූ වේ මන්දැයි එහිදී ප්‍රේමකීර්ති ගෙන් විමසා සිටින ලදී.

1989 අගෝස්තු 14 ප්‍රේමකීර්ති මහේස්ත්‍රාත් පරීක්ෂණයේ මූලික සාක්ෂි විභාගය කොට්ටාව අධිකරණයේ දී හෝමාගම දිසා විනිසුරු ආර්.සී. හෑගොඩගේ මෙහෙය වීමෙන් පැවැත්විණි.

එහිදී මරණකරු ගේ බිරිය වන එදිරිමුණි නිර්මලා ද අල්විස්, දිසා විනිසුරු ඉදිරියේ සාක්කි දෙමින් මෙසේ පැවසුවාය. 

“එදින රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති නරඹා මහත්තයා නිදා ගැනීමට ගියා. මම දරුවාට කිරි දීම සඳහා ගියා. දරුවාට කිරි දෙන අවස්ථාවේ සාලය දෙසින් පිරිමි කටහඬක් ඇසුණා. ඇඳිරි නීතිය වෙලාවේ කතා කරන්නේ කවුදැයි සිතූ මම ළමයත් සමග නැගිට්ටා. ඒ වෙලාවේ දෙදෙනෙකු කාමරයට ආවා. මම දන්නා තරමින් ඒ දෙදෙනා අත තුවක්කු තිබුණා. නිවෙසට පැමිණි අය ‘’කෝ ප්‍රේමකීර්ති’ කියලා ඇසුවා. එවිට මම ඔවුන් ගෙන් ඇසුවා ‘’ඇයි මල්ලී’ කියලා. ‘’අපට ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා.’ කියලා ඔවුන් කිව්වා. එම අවස්ථාවේ සැමියා නැගිටලා ආවා. අපි දෙදෙනාම ගෙයි සාලයට ආවා. ’අපි කියපු අණ නොතකා  ඇඳිරි නීතිය දවස් දෙකේ රැකියාවට ගොස් තියෙනවා.’ යැයි ඔවුන් කිව්වා. එවිට මහත්තයා ඒ අයට කිව්වා ’මම වරදක් කරලා නැහැ’ කියලා. ’අපි එවපු ලිපියකට ප්‍රසිද්ධියේ කෙළ ගසා විසිකර තිබෙනවා’ යැයි ඔවුන් මහත්තයාට කියපු වෙලාවේ ‘’නැහැ’ කියලා ඔහු කිව්වා. ‘’තමන් වැරැද්ද පිළිගන්න ඕනෑ’ කියලා ඒ අය කිව්වා. කතාවෙන් පසුව පැය තුනකට බෝඩ් එකක් එල්ල ගෙන ඉන්න තියෙනවා කියලා ඔවුන් මහත්තයාව හෝමාගම හන්දියට එක්ක ගෙන ගියා. ‘’පැය තුනකට එළියට එන්න එපා’ කියලා ඒ අය දොරවල් වහගෙන ගියා. ‘’පැය තුනකට කලින් ආවොත් කරදර කරනවා’ යැයි ඔවුන් කිව්වා.”

“ඊට පසු හරියටම පැය තුනකට පසුව මම මහත්තයාට අවශ්‍ය කෑමත් රැගෙන හෝමාගම හන්දියට පැමිණ බැලුවිට මහත්තයා හිටියේ නැහැ. හෝමාගම හන්දියේ මුර සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හමු වී එම සිද්ධිය කී විට වහාම පොලිසියට යන ලෙසට ඔහු කිව්වා.”

කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ දී සරමක් හැඳ සිටි ප්‍රේමකීර්ති අත්දිග කමීසයක් ද ඇඳගෙන කමිස අත නවා ගත්තේය. රන් මෙන් දිළිසෙන දම්වැලක් ප්‍රේමකීර්තිගේ කරේ විය. එය ගලවා බිරියට දෙන්නැයි කැරලිකරුවන්ට පවසා සිටින ලදී. එම සයදෙනාගෙන් යුත් කැරලිකරුවන් කණ්ඩායම කටුවාන දේවාල පාරේ හැරෙන තැන දක්වා කිලෝ මීටර් 1/4 ක් පමණ පයින්ම පැමිණ තිබේ. තිදෙනෙකු අත වූයේ ෂොට්ගන් එකක් සහ බෝර තුවක්කු දෙකක් ය.

එම ස්ථානයේ නතර වූ විට ප්‍රේමකීර්ති අසා සිටියේ තමාට කතා කිරීමට අවස්ථාවක් දිය හැකි ද කියාය. එවිට කැරලි නායකයා කියා සිටියේ වරදක් කර ඇති බවට නියෝගයක් ලැබී ඇති බවයි. ෂොට්ගන් එකෙන් පළමු වෙඩිල්ල ශරීරයේ උඩ කොටසට නිකුත් වී තිබේ. පළමු වෙඩිල්ල වැදුණු පසු ප්‍රේමකීර්ති අඩි කිහිපයක් ඉදිරියට විසි වී ගොස් ඇද වැටුණි. 

ඉන්පසුව තවත් කැරලිකරුවන් දෙදෙනෙකු විසින් සිය අත තිබූ බෝර තුවක්කු දෙකෙන් වෙඩි තබන ලදී. එවිට ප්‍රේමකීර්ති එම ස්ථානයේම මරුමුවට පත් විය. පිරිස විසින් ආයුධ ටික ප්‍රවේසම් කර තබන ලෙසට සමන් ප්‍රියංකරට දෙන ලදී. ෂොට්ගන් එක අරගෙන සිය බෑගයේ දමා උදයනන්ද විසින් යළි ගෙන යන ලදි. සමන් ප්‍රියංකර හැර අන් සියලු දෙනාම නියඳගල හන්දිය දෙසට පැමිණ විසිර ගියහ. සිය නිවෙසින් රාත්‍රී 8.45 ට කැමැත්තකින් තොරව රැගෙන ගිය කැරලිකරුවන් විසින් ඝාතනය කරන ලද ප්‍රේමකීර්තිගේ සිරුර 1989 අගෝස්තු 01 වැනිදා වනදා අලුයම 1.10 ට කටුවන දේවාල පාරේ දී හමු විය.

පොලිස් පරීක්ෂණ අවසානයේ 1990 මැයි 06 වනදා ප්‍රේමකීර්ති ඝාතනය කළ බව කියන සමන් ප්‍රියංකර ගමගේ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට එරෙහිව 1992 දෙසැම්බර් 17 වනදා මහාධිකරණයේදී අධිචෝදනා ඉදිරිපත් කොට නඩු පවරනු ලැබීය. 

අනතුරුව මහාධිකරණ විනිසුරු විසින් 1994 මාර්තු 18 වනදා විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තීරණය කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබීය. එයට එරෙහිව විත්තිකරු විසින් අභියාචනා පෙත්සමක් 1994 අප්‍රේල් 04 ඉදිරිපත් කළේය. එහෙත් අභියාචනාධිකරණය 2000 ජනවාරි 13 නිෂ්ප්‍රභා වූ තීන්දුව සමග මුල් වාර්තාව මහාධිකරණයට යොමු කළේය. ඒ අනුව චූදිතයා 2000 පෙබරවාරි 03 වනදා සිට ජීවිතාන්තය දක්වා සිරගත විය.

අනතුරුව සමන් ප්‍රියංකර වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයට අනුයුක්තව සිරදඬුවම්වලට යොමු කෙරිණි. වසර 18 ක් පමණ සිරගත වූ සමන් ප්‍රියංකර යහපත් කල් ක්‍රියාව සහ 2 වැනි කැරලි සමයේ කැරලිකරුවන් පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුවලට ඉදිරිපත් කළ අභියාචනයන්හි ප්‍රතිඵලයක් වශයෙන් වසර 18 කට පමණ පසු නිදහස් විය. 

2014 ජූලි 31 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අසල මාර්ගය ප්‍රේමකීර්ති ඝාතනය වී වසර 25 ක් පිරීම නිමිත්තෙන් ප්‍රේමකිර්ති ද අල්විස් මාවත ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නම් කරන ලදී.

ප්‍රේමකීර්ති ද අල්විස් මාවත විවෘත කිරීමේ දී ප්‍රේමකීර්තිගේ වැන්දඹු බිරිය නිර්මලා ද අල්විස් එම ස්ථානයට පැමිණි අතර, පසුව ජනාධිපතිවරයා අසලට පැමිණ උද්වේගකර ස්වරූපයෙන් - ‘’ජනාධිපතිතුමනි, ඝාතකයා සිටින්නේ ඔබ සමඟයි’ යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදී. 

2014 අගෝස්තු 12 ප්‍රේමකීර්ති මරණය සම්බන්ධයෙන් නිර්මලා ද අල්විස් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් පුවත්පත් දෙකක අපහාසාත්මකව පළවීමෙන් තමාට සිදු වූ කීර්ති නාමයට හානියක් වශයෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා හඩ්සන් සමරසිංහ සිය නීතිඥ සංජය ෆොන්සේකා මගින් එන්තරවාසියක් යවන ලදී.

නිර්මලා අල්විස්ගේ ප්‍රකාශයට එරෙහිව හඩ්සන් සමරසිංහ විසින් පැවරූ නඩුව කොළඹ දිසා අධිකරණයේ දී කොළඹ පූර්වගාමී ප්‍රධාන විනිසුරු හර්ෂ සේතුංග ඉදිරියේ 2017 ඔක්තෝබර් 02 කැඳවනු ලැබීය. පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා සහ විත්තිය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් පෙනී සිටියෝය.

එම නඩුවේ දී දිසා අධිකරණය නිකුත් කළ නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලේ නීතිඥවරු බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණයට ගියහ. වසර 4 කට ආසන්න කාලයක් එකී ප්‍රතිශෝධන අයදුම් පත විභාග කළ සිවිල් අභියාචනා මහාධිකරණය එම වන්දි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නැවත පවත්වන ලෙසට කොළඹ දිසා අධිකරණයට නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මීට වසර 6කට පෙර 2019 නොවැම්බර් පැවැති ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂක සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට සහාය පතා ‘ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව’ නමැති සංවිධානයේ මෙහෙයවීමෙන් 2019 ඔක්තෝබර් 20 කොළඹ මහජන පුස්තකාලයේ පැවැති රැස්වීමේ දී නිර්මලා ද අල්විස් ආරාධිත කථිකයෙකු වශයෙන් එක් වෙමින් කියා සිටියේ - “ප්‍රේමකීර්ති ඝාතනය කළේ ජවිපෙන් නොවන බවය.”  එම අවස්ථාවේ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ නිර්මලා ද අල්විස් කතාබහක යෙදී සිටින අන්දම ද පුවත්පත් වාර්තා කොට තිබුණි. 

හඩ්සන් සමරසිංහ විසින් නිර්මලා ද අල්විස්ට එරෙහිව පවරන ලද වන්දි නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ හමුවේ 2025 මාර්තු 18 යළි විභාගයට ගෙන, 2025 ජූලි 25 නැවත විභාග කෙරුණු අතර – එහි දී ප්‍රකාශයට පත් වූයේ, පෙත්සමේ විත්තිකාරිය ලෙස නම් කර තිබූ නිර්මලා ද අල්විස් 2025 ජූලි 22 වැනිදා මිය ගොස් ඇති බැවින් වන්දි නඩුව පෙත්සම්කරු විසින්ම ඉල්ලා අස්කර ගනු ලබන බවය.

7එම ජූලි 22 දිවංගත ප්‍රේමකීර්තිගේ බිරිය නිර්මලා ද අල්විස් (69) රෝගී තත්ත්වයකින් පසු අභාවප්‍රාප්ත වූ අතර, අවසන් කටයුතු 2025 ජූලි 24 වැනිදා මහනුවරදී සිදු කරන ලදී. නිර්මලා ද අල්විස් ලබන අගෝස්තු 27 වැනිදා තෙක් ජීවත් වූවා නම් - “ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල” ග්‍රන්ථය ගැන ඇගේ ප්‍රතිචාරය දැන ගැනීමට හැකිව තිබුණි. නමුත් අවසානයේ නිර්මලා ප්‍රේමකීර්ති සොයා සුරලොව ගියේ - ප්‍රේමකීර්තිගේ ඝාතනය සම්බන්ධයෙන් අවසන් වකවානුවේ ඈ දැරූ ස්ථාවරය වැරදි ද? නිවැරදි ද? යන්න ගැන මෙම කෘතිය ද පරිශීලනය කොට ප්‍රතිවිමර්ශනයක් කිරීමට ඈට තිබූ ස්වර්ණමය අවස්ථාව හිස් අවකාශයකට මුදා හරිමිනි. 

මහින්ද රණවීර