ශ්‍රී ලංකාව දිගු කලක පටන් කාර්යක්ෂම සහ නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීම අතින් ලොව පිළිගත් රටවල් අතරට එක්ව තිබෙයි. එහෙත්, වර්තමානයේ රෝහල්වල පවතින්නා වූ අර්බුද අතර හෙද හෙදියන්ගේ දැඩි හිඟය, ඖෂධ හිඟය මෙන්ම, යම් යම් පර්‌යේෂණ සඳහා යොදා ගැනෙනා යන්ත්‍රවල හිඟයද සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන කනගාටුදායක තත්ත්වයක් බවට පත්ව ඇත.
මේ වන විට පිළිකා රෝගීන් සඳහා ඉතා වැදගත් වෙන දියුණු පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර සූත්‍රවල හිඟයක් මෙන්ම මිලදී ගැනීමේදී පවා ගැටලුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ. මේ ඒ පිළිබඳව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ගෙන් කළ විමසුමකදී ඔහු ලබාදුන් පිළිතුරුය.
"ලංකාවේ රෝග හඳුනා ගැනීමට ඇති ප්‍රධානතම ක්‍රමවේදය තමයි විකිරණ ක්‍රමවේදය. දැනට ලංකාවේ රෝහල් පද්ධතියටම විකිරණ යන්ත්‍ර තියෙන්නේ දහයයි. එයින් අපේක්ෂා රෝහලේ යන්ත්‍ර පහක්, මහනුවර ජාතික රෝහලේ දෙකක්, කරාපිටිය, මඩකලපුව සහ යාපනය යන රෝහල්වල තුනක් බැගින් තියෙනවා. ඒ යන්ත්‍ර දහයෙන් නවයක්ම ස්ථාපනය කළේ පළමු අදියර යටතේයි. දෙවැනි අදියර 2013දී ක්‍රියාත්මක වෙන්න තිබුණා. නමුත් යම් යම් දේශපාලන සහ අනෙකුත් කාරණා මත ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. දෙවැනි අදියර යටතේ බදුල්ල, හම්බන්තොට හා අනුරාධපුර යන රෝහල් සඳහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර පහක් යොදවන්න තමයි අපේ බලාපොරොත්තුව තිබුණේ.
නමුත් ඉදිකිරීම් කටයුතුවල අඩාළ වීම් සහ ණයවර ලිපිවල අවශ්‍යතාව මත එම මිලදී ගැනීම් කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එය පසුගිය සතිය වන තුරුමත් යථා තත්ත්වයට පත්වෙලා තිබුණේ නැහැ. ඒ වගේම එයට එන්.එම්.ආර් එකේ අනුමතියත් අවශ්‍යයි. ඒ සඳහා ජනවාරි මාසෙ ඉඳලම මේ ගැන කතා කළත් පසුගිය සතිය වෙනකන්ම පිළිතුරක් ලැබුණේ නැහැ.
ඒ වගේම අපේක්ෂා රෝහලේ පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර පහෙන් හතරක් පමණයි ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. එහි තිබෙන පැරණි යන්ත්‍රය කිසි සේත්ම භාවිතයට ගන්න බැහැ. ඒ වගේම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනය මාස පහකට ආසන්න වෙලා තියෙනවා. කරාපිටිය රෝහලේ මාස හතරක පමණ, මහනුවර රෝහලේ මාස තුනකට හතරකට පමණ, යාපනය රෝහලේ මාස දෙකක විතර පොරොත්තු ලේඛනයක් තියෙනවා. මඩකලපුවේ ගැටලුවක් තියෙනවා.
අනුරාධපුර සහ බදුල්ල රෝහල්වල දැනට ලීනියස් ස්කෙලරේටර් යන්ත්‍ර නැහැ. තියෙන්නේ කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර. එය ඉතා පැරණි ප්‍රතිකාර ක්‍රමවේදයක්. ඒ යන්ත්‍ර දෙකත් මේ වෙද්දි යල් පැනගිය තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. එහිදී අපි භාවිතයට ගන්න කොබෝල්ට් විකිරණ මූලය මේ වෙනවිට ක්ෂය වෙලා. ඒ නිසා විකිරණ ප්‍රතිකාර සඳහා භාවිතයට ගත නොහැකි මට්ටමට පත්වෙලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා මාසයක් දෙකක් ඇතුළත එහි ප්‍රතිකාර නවත්තන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාද වීම නිසා ඒ රෝහල් දෙක බරපතළ අර්බුදයක පවතින්නේ. හම්බන්තොට, රත්නපුර සහ කුරුණෑගල රෝහල් පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ආරම්භ නොකරපු රෝහල් තුනක්. එම රෝහල් සඳහා තමයි 2013දී අපි සැලසුම් කළේ යන්ත්‍ර ලබාදෙන්න.නමුත් තවමත් යන්ත්‍ර මිලදී ගන්න හැකියාවක් ලැබී නොමැතිවීම ප්‍රධානතම ගැටලුවක්.
ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව යටතේ දැනට තියෙන යන්ත්‍රවලට අවශ්‍ය අමතර උපාංග මිලදී ගැනීමට සිදුවෙනවා. එම අමතර උපාංග මිලදී ගැනීම ආසියානු සංවර්ධන බැංකුව යටතේ තමයි සිදුකරන්න තිබුණේ.නමුත් තාක්ෂණික ඇගයීම් කටයුතු තවම නිසි පරිදි අවසන් කර නැහැ.ඒකෙත් බරපතළ ප්‍රමාදයක් පවතිනවා. මේ හේතුවෙන් මේ අවුරුද්දේ දෙසැම්බර් තිස් එකට කලින් ඒ කටයුතු නිමා කර ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කරන්න ඕන. මේ විදියට ප්‍රමාද වීම් සිදුවුව හොත් මේ අවුරුද්දට සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ණය ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලබන අවුරුද්දෙත් අපට බලාගෙන ඉන්න සිදුවෙනවා.
ඒ අනුව යමින් විකිරණ යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා ක්‍රියාකරුවන් අපට අවශ්‍යයි .විකිරණ තාක්ෂණවේදීන් සහ විකිරණ ප්‍රතිකාරක තාක්ෂණවේදීන් ලෙස දෙකොටසක් ඉන්නවා.ඒ අයගේත් හිඟයක් මේ වෙද්දි ලංකාව පුරාම පවතිනවා. හැට අටක වගේ ප්‍රමාණයක් සීමා වාසික පුහුණුවේ ඉන්නවා. ලබන අවුරුද්දේ ජනවාරි වෙද්දි තමයි අපට ඔවුන් සේවාවට යොදවන්න සිදුවෙන්නේ. ඒ කාලය වෙන තුරු ජාතික රෝහල් , ශික්ෂණ රෝහල් මෙන්ම මූලික රෝහල්ද මෙම සේවක හිඟය හේතුවෙන් බරපතළ අර්බුදයක පවත්වාගෙන යන්නේ. අපිට බලාගෙන ඉන්න තමයි සිදුවෙලා තියෙන්නේ.
අනෙක් පැත්තෙන් ගත්තොත් යන්ත්‍ර සූත්‍ර බිඳ වැටීම් යාවත්කාලීන නොවීම කියන එක බරපතළ ගැටලුවක්. ලංකාව පුරාම තියෙන රෝහල්වල විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර වගේම සීටී ස්කෑන් යන්ත්‍ර එම්.ආර්. අයි යන්ත්‍ර බිඳ වැටීමත් ගැටලුවක්. ඒ යන්ත්‍ර දෙකම රෝගියෙකුගේ පිළිකාවක් කල්තියා හඳුනා ගන්න පුළුවන් යන්ත්‍ර දෙකක්. නමුත් එම යන්ත්‍රත් නිසිපරිදි ක්‍රියා නොකිරීම නිසා රෝග කල්තියා හඳුනා ගැනීමට නොහැකිවී තිබෙනවා"
විකිරණ යන්ත්‍ර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය යන්ත්‍රෝපකරණ සම්බන්ධව මෙවැනි ගැටලු දිගින් දිගටම පැවතුණ හොත් පිළිකා රෝගීන්ගේ මෙන්ම අනෙකුත් රෝගීන්ගේ ජීවිත අනතුරේ බව නොරහසකි. ඔහු තවදුරටත් කියා සිටියේ ලංකාවේ බොහොමයක් රෝගීන් සඳහා ප්‍රතිකාර සපයන්නා වූ කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි යන්ත්‍ර හතරෙන් තුනක් බිඳ වැටී ඇති බවත් අනුරාධපුර බදුල්ල මොණරාගල යන රෝහල් තුනේම සී . ටී ස්කෑන් යන්ත්‍ර තුනද බිඳවැටී ඇති බවත් ය.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මාස හයක කාලයක සිටම සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉල්ලා සිටියද තවමත් එය ඉටු නොවූ බව ඔහු ප්‍රකාශ කළේය.
පිළිකා විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙසේ ප්‍රකාශ කළේය.
"මෙරට පිළිකා රෝගීන් සඳහා දියුණු පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමට භාණ්ඩාගාරය සහ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රමාණවත් තරම් ආධාර මුදල් වෙන් කොට ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. අදාළ යන්ත්‍ර මිලදී ගැනීමේ යාන්ත්‍රණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකයේ ඉංජිනේරුවරුන්ගේ උපදේශක හා තාක්ෂණික කමිටු නිර්දේශ සහ ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ සමහර උපකරණ වර්ග අනුමත කිරීම ප්‍රමාද කර තියෙනවා.මෙය දැඩි අර්බුදකාරී තත්ත්වයක්.
මෙම පිළිකා නාශක විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේ සිට දැඩි ලෙස ප්‍රමාදයට පත් වූ අතර මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තටද චෝදනා එල්ල වුණා.
පසුව මෙම යාන්ත්‍රණය කඩිනම් කිරීම සඳහා මෙරට පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ආයතනය වර්තමාන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සමග සාකච්ඡා කර අදාළ ගිවිසුම් පත්‍ර කඩිනමින් අත්සන් කිරීමට කටයුතු කළත් මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව ඉංජිනේරු විද්‍යා තාක්ෂණික කමිටුව මගින් නිසි පරිදි අදාළ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන නොමැති වීම නිසා ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය ප්‍රමාද වෙන අතර එම මුදල් මෙරටට අහිමි වීමේ අවදානමක් පවතිනවා.
අනෙක් ගැටලුව තමයි මෙරට භාණ්ඩාගාරයෙන් වෙන් කරන ලද මුදල් මත දැනට පවතින පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර නව මොඩල මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිත වෙන අතර එම නව මොඩල සඳහා ඖෂධ නියාමන අධිකාරිය මේ දක්වා අනුමතිය ලබා නොදීම.
පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මාසිකව වැඩිවෙනවා. ගුණාත්මක පිළිකා රෝග වෛද්‍ය ප්‍රතිකාර සඳහා නව වෛද්‍ය උපකරණ කඩිනමින් මෙරටට ගෙන්වා ලබාදීමට ජනාධිපතිවරයාගේ ඉක්මන් අවධානය යොමු කළ යුතු යි.
මදූශා දිල්ශානි