මහනුවර මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ
ඔබේ සම්පූර්ණ නම
දමින්ද බණ්ඩාර උඩුරාවණ
අධ්‍යාපනය හැදෑරූ පාසල කුමක් ද?
මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පසුව මම ඖෂධ අලෙවි නියෝජිතයකු වශයෙන් කටයුතු කොට එම ආයතනයේ විධායක නිලධාරි වශයෙන් පත් වුණා.
ඔබගේ පවුල් පසුබිම කෙසේ ද?
මගේ අත්තා එච්.බී. උඩුරාවණ. එතුමා 1964 සිට 1975 දක්වා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය හෙබවූවා. මගේ තව අත්තා කෙනෙක් හිටියා සමරකෝන් බණ්ඩාර උඩුරාවණ කියලා. ගනේගොඩ, කතරගම දේවාලයේ බස්නායක නිලමේ පදවිය හෙබවූවා. තවත් අත්තා කෙනෙක් හිටියා ජයතිස්ස බණ්ඩාර උඩුරාවණ කියලා එතුමා ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය හෙබවූවා.
ඔබේ බස්නායක නිලමේ භූමිකාව ආරම්භ වන ආකාරය කෙසේ ද?
පළමුවෙන් බස්නායක නිලමේ ධුරයකට මා පත් වන්නේ 2017.03.14 දා පස්ගම ශ්‍රී නාථ දේවාලයට. 2022.05.20 වැනිදා එම දේවාලයේ නැවතත් බස්නායක නිලමේ වශයෙන් නිතරගයෙන් පත්වෙනවා. 2023.01.23 මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් පත්වෙනවා.
මා පළමුවෙන් පත් වූ පස්ගම ශ්‍රී නාථ දේවාලය ඒ වනවිට ඉතාමත් අබලන් තත්ත්වයකයි තිබුණේ. එම දේවාලය මාගේ පෞද්ගලික මුදලින් සම්පූර්ණයෙන් ප්‍රතිෂ්ඨාපනය කොට පෙරහර යන මාර්ගය පවා කාපට් කොට ප්‍රතිසංස්කරණය කළා. ඒ වාගේම දේවාලයේ දේවාභරණ මාලිගය ඇතුළු පෙරහර පවත්වන මාලිගය මහ දේවාල, පල්ලේ දේවාල යන සියලු ස්ථාන තවත් සියවස් ගණනාවක් පවතින ආකාරයට ප්‍රතිසංස්කරණය කළා.
දැන් ඔබ ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා ද?
මාගේ ව්‍යාපාර කටයුතුවල මේ වන විට යෙදෙන්නේ මාගේ බිරිඳයි. මාගේ දරු තිදෙනාත් ඊට සම්බන්ධ වෙනවා. මා හට ඒ සඳහා වේලාව නොමැති නිසා ඔවුන් එම කටයුතු කරගෙන යනවා.
ඔබ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුර අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කොට ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමක්ද සඳහන් වන්නේ ?
මාගේ ප්‍රධාන බලාපොරොත්තුව එම උත්තරීතර පදවියට පත්වීමෙන් පසු භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට නැවතී ප්‍රතිකාර ලබාගත හැකි ආකාරයේ රෝහලක් ස්ථාපිත කිරීම. එය මහනුවර ජාතික රෝහලට ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට කටයුතු කරනවා. මෙරට විහාරස්ථාන දහතුන්දාස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් දියවඩන නිලමේ ධුරය සඳහා ඡන්දය ලබාදීමේ හැකියාව ඇති විහාරස්ථාන තිබෙන්නේ එකසිය පනස් තුනයි. නමුත් එම සියලු විහාරස්ථානවල හිමිවරුන්ගේ මුදුන්මල්කඩ ශ්‍රී දළදා මාලිගාවයි. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඇතිවයි එහි සියලු කටයුතු සිදු කෙරෙන්නේ. උන්වහන්සේලාගේ අනුශාසනා පරිදි අනෙකුත් පිටිසරබද විහාරස්ථානවල මහා සංඝරත්නයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.
එම රෝහල ඉදිකිරීම සඳහා මේ වන විටත් විදේශීය දානපතියන් ඉදිරිපත් වී සිටිනවා. අප ඔවුන්ගෙන් මුදල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සහයෝගයයි බලාපොරොත්තු වන්නේ.
ශ්‍රී දළදා මාලිගාවේ ඉඩම් සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රාශියක් මතුව තිබෙන බව සඳහන් වෙනවා. විවිධ පාර්ශ්වවලින් එම චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඔබගේ පාලන කාලයෙහි එම ගැටලු විසඳන්නේ කොයි ආකාරයට ද?
අප අලුත් යුගයකටයි පා තබමින් තිබෙන්නේ. එවැනි දේ සිදුවී තිබෙනවා නම් නීතිමය පැත්තෙන් සිදුවිය යුතු දේ වෙයි. අපගේ මුදුන් මල්කඩ ශ්‍රී දළදා වහන්සේයි. එම ස්ථානයේ පැවැත්ම සඳහා රාජ රාජ මහා අමාත්‍යයන් විසින් පූජා කොට ඇති දේවල ගැටලු තිබේ නම් ඒවා රටේ නීතිය අනුව විසඳෙයි.
දැනට පවත්වාගෙන යන ශ්‍රී දළදා මාලිගාවට අනුයුක්ත සිබා විශ්වවිද්‍යාලය මගින් පිරිවෙන්වල අධ්‍යාපනය හදාරන භික්‍ෂූන් වහන්සේලා සඳහා නේවාසික පරිගණක පාඨමාලා පවත්වා එම හිමිවරුන්ට අවශ්‍ය පරිගණක දැනුම ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
එසේම එම ආයතනයෙන් උඩරට නර්තන ශිල්පය පිළිබඳව පවත්වාගෙන යනු ලබන පාඨමාලා තව තවත් වැඩි දියුණු කොට පෙරහර මංගල්‍ය සඳහා අවශ්‍ය කලා ශිල්පීන් අවශ්‍ය පරිදි පුහුණු කිරීමට පියවර ගනු ලබනවා.
ථෙරවාදී බුදුදහමේ මූලස්ථානය බවට ශ්‍රී දළදා මාලිගාව පත්කරනවා.
ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවස රාජකාරි කටයුතු සඳහා පමණයි මා භාවිතා කරනු ලබන්නේ. එසේම එහි නිල වාහන මාගේ නිල ගමන්වලට පමණයි භාවිත කිරීමට බලාපොරොත්තු වන්නේ. මාගේ බිරිඳටවත් ඒවා භාවිත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.
විදේශ තානාපතිවරුන්ගේ හමුවීම් වෙනත් ලෝක බෞද්ධ නායකයන් හමුවීම වැනි අතිවිශේෂ කටයුතුවලදී එම නිල නිවස භාවිත කළත් මා එහි පදිංචියට යන්නේ නැහැ. එවැනි විශේෂ පුද්ගලයන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා පමණක් එම නිල නිවස භාවිතා කරනවා. මාගේ අත්තා දියවඩන නිලමේ ධුරය දරන කාලයේත් ඒ කිසිවක් භාවිතා කොට නැහැ. මාගේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රී දළදා මාලිගාවට සිදු කළ යුතු දෙයක් තිබෙනවා නම් ඒ දේත් මා සිදු කරනවා.

දියවඩන නිලමේ ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට චෝදනා එල්ල වෙමින් පවතිනවා ඡන්දදායකයන්ට විවිධ අල්ලස් දීමනා ලබා දෙනවා කියලා. ඔබත් එසේ ද?
මා සම්ප්‍රදානුකූල බුලත් අත සියලු ඡන්දදායකයන්ට පිළිගන්වනවා. එය අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක්. නමුත් සිංහල බෞද්ධයන් වශයෙන් යම් තැනකට යනවිට නිකම්ම යන සංස්කෘතියක් අපේ හෙළයන්ට නෑ. ඔය යන කිසිදු අපේක්ෂකයෙකුත් එහෙම යන්නේ නැහැ. කිසියම් සිහිවටනයක් හෝ ලබාදීම සිදු කරනවා.
ඔබගේ පාලන කාලයෙහි ශ්‍රී දළදා මාලිගාව තුළ මොන ආකාරයටද සංවර්ධන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ?
ශ්‍රී දළදා මාලිගාව ලොකු කුඩා සියලු දෙනාට විවෘත කළ යුතුව තිබෙනවා. එම කටයුතු මල්වතු අස්ගිරි මහානා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේලා සමඟ සාකච්ඡා කොට සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී දළදා මාලිගාව ඇතුළු දේවාලවල පෙරහර මංගල්‍යයන් සිදු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය අලි ඇතුන්ගේ සොයා ගැනීමේදී ගැටලු රුසක් මුහුණ දී ඇති බව සඳහන් වෙනවා. එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඔබ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ?
දළදා පෙරහරේ අලි ඇතුන් සියය එකසිය පනහ ගමන් කළා යයි සඳහන් වෙනවා. නමුත් මේ වන විට අලි ඇතුන් සියයක් සොයා ගැනීමත් ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙය 2005 වසරේ සිට සාකච්ඡාවට භාජනය වූ කාරණාවක්. නමුත් ඊට පිළියම් ලැබිල නැහැ. බොහොමයක් අලි මේ වන විට වයෝවෘද්ධ වී හෝ මිය ගොසින්. ඉදිරියට එය තවත් බලපෑම් එල්ල කරයි.
ඒ හා සම්බන්ධ ආසියානු රටවල විවිධ ගිවිසුම් තිබෙනවා. එසේම මෙරට වනඅලින් මොනතරම් ඝාතනය වනවාද. රාජ්‍යය නොවන සංවිධාන කතා කරනවද. දිනපතා අලි ප්‍රහාරවලින් මිනිසුන් දෙතුන් දෙනෙක් මිය යනවා. එසේම වන අලිනුත් ඒ හා සාපේක්ෂව මිය යනවා. නමුත් ඒවා ගැන කතා නොකරන රාජ්‍ය නොවන සංවිධාන පෙරහරක අලියෙක් ගෙන යාම ගැන කතා කරනවා.
අද වන විට මෙරට වනඅලි සංචිතයේ දහ අටදහසකට අධික සංඛ්‍යාවක් සිටින බවට වාර්තා වෙනවා. මේ වන අලි බොහොමයක් කෑම බීම ඖෂධ නොමැතිව ඉතාමත් අපහසුවෙන් සිටින බව සඳහන් වෙනවා. නමුත් මෙරට හීලෑ අලි ඇතුන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව සිටින බවට පශු වෛද්‍ය වාර්තාවලින් සනාථ කොට තිබෙනවා.
අතීතයේ වනඅලින් හීලෑ කොට ඇති කළා මිස විදේශ රටවලින් අලි ඇතුන් ආනයනය කළේ නැහැ. මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ ඉහළ තන්ත්‍රය සමඟ සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට පියවර ගත යුතුව තිබෙනවා.
දියවඩන නිලමේ ඡන්දය සඳහා අවශ්‍ය කටයුතු කොයි ආකාරයට ද සිදු වෙමින් පවතින්නේ?
මා දැනට ගමන් කළ ස්ථානවල බොහෝ දෙනා තීරණය කොට තිබෙනවා, මේ පුද්ගලයට ඡන්දය දිය යුතුද නොමැතිද කියා. දැනටම ඔවුන් එය තීරණය කොට හමාරයි. නොවැම්බර් 07 වැනිදා දෙක හමාරට පමණ ඡන්දය ආරම්භ වෙනවා. සවස 5.30 පමණ වනවිට කුමක්ද සිදුවී තිබෙන්නේ ද කියා බලා ගත හැකියි. ඒකාන්ත ලෙස අපගේ ජයග්‍රහණය සුරක්ෂිතයි. මිනිසුන් වපුරපු දේයි අස්වැන්න වශයෙන් ලැබෙන්නේ කියා පමණයි පැවසීමට තිබෙන්නේ.
එසේම මහනුවර ඓතිහාසික පෙරහර මංගල්‍යය සජීවීව විකාශය කිරීමේ අවස්ථාව සියලු මාධ්‍ය නාලිකාවලට විවෘත කොට ශ්‍රී දළදා මාලිගාවේ සියලු ස්ථාන ද ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.
ෂේන් සෙනෙවිරත්න


