කුඩා දරුවෝ ඇතැම්විට විවිධ හැසිරීම් රටා ඉදිරිපත් කරන අවස්ථා දක්නට ලැබේ. එවන් ඇතැම් හැසිරීම් දෙමාපියන්ගේ මවිතයටද හේතු වේ. කුඩා දරුවන්ගේ එවැනි ඇතැම් හැසිරීම් රටා පෙර භවයට සම්බන්ධ සාක්ෂි බවට ද පත් වී ඇත. මීට වසර කිහිපයකට ඉහත පෙර භවය හෙළි කළ දරුවකුගේ හැසිරීම් රටාවක් ඔහුගේ පෙර භවයේ මරණය සිදුවී තිබූ ආකාරය නිරූපණය කිරීමක් ලෙස දක්නට ලැබිණ.
එම දරුවා ඉපදී සති කිහිපයක් යනවිට ඔහුගේ හැසිරීම් රටාවේ වෙනසක් මවට දක්නට ලැබිණි. බොහෝ විට ඔහු නිදාගැනීමට උත්සාහ කළේ සිරුර යටිකුරුව තබාගෙන වීම එම විශේෂත්වය විය. වසර දෙකක් පමණ වන විට එම තත්ත්වය තදින්ම ක්‍රියාත්මක විය. සිරුර යටිකුරුව දෙපා හකුළුවාගෙන ගුළි වී නිදාගැනීම ඔහුගේ සිරිත විය. මව විසින් එම තත්ත්වය වෙනස් කර සිරුර ප්‍රකෘති තත්ත්වයේ තැබීමට උත්සාහ කළත් එය නිෂ්ඵල විය.
එසේ නිදාගන්නා දරුවා බොහෝ විට බියපත් වී අවදි වීමද සිරිතය. නින්දෙන් කෑගැසීමද නොකඩවා සිදුවිය. දරුවාගේ මෙම බියපත් වීම පිළිබඳව දෙමවුපියෝ ද අවධානය යොමු කර සිටියහ. කුඩා දරුවන් නින්දෙන් බියපත් වන ගතිලක්ෂණ අනුව තම දරුවා ද එලෙස බියපත් වන්නේදැයි මව සිතුවාය. එහෙත් එම දරුවාගේ බියපත් වීම කිසියම් විශේෂත්වයක් ලෙස ද ඇය සිතුවාය. මේ වන විට ඔහු බහ තෝරන වියට පත්ව සිටියේය. සිරිත් පරිදි බියපත් වී කෑගැසූ දරුවා වෙත ගිය මව “ඇයි පුතා බය වුණේ... ඇයි කෑගැසුවේ...” යැයි විමසීමක් කළාය. එයට පිළිතුරු දුන් දරුවා “අම්මා මාව එළවගෙන ආවා. මම දුවගෙන ගියාම ළිඳේ වැටුණා.” යැයි පැවසීය.
ඒ වන විට තම දරුවාට කිසිවිටෙක කෝටුවකින් පහරදීමක් හෝ එවැනි බියපත් කිරීමක් මව විසින් සිදුකර නොමැති බැව් ඇයට පැහැදිලිය. එසේනම් දරුවා එලෙස බියපත් වන්නේ ඇයි?
“අම්මා එළවගෙන ආවා... ළිඳේ වැටුණා” යන දරුවාගේ ප්‍රකාශය ඇය සිය සැමියාටද හෙළි කර සිටියාය. ඔහුට ද දරුවාගේ ප්‍රකාශය ගැටලුවක් විය.
තවත් දිනක් මව ඇමතූ දරුවා එහෙ ගෙවල්වලට යන පාරේ පොල්ලෙලි වළවල් තිබුණා. මම ඉස්කෝලෙ ගියා... යනුවෙන් ද වදන් කිහිපයක් අනාවරණය කළේය. මේ වනවිට තම පුත්‍රයා කිසියම් පෙර ජීවිතයක් හෙළි කරන්නේද යන්න දෙමවුපියන්ට සැක පහළ වී තිබුණි. එහෙත් ඔවුහු ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමකින් තොරව අවධානය යොමුකර සිටියහ.
අජිත් නිදාගත් අයුරු
මේ අතර තවත් දිනක් පියා ඇමතූ ඔහු “මට මොකුත් කියන්න එපා. මම එක පාරක් ළිඳේ වැටිල ආපු මිනිහෙක්...” යැයි පැවසීය. දරුවාගේ මෙම ප්‍රකාශයෙන් පසු නියත වශයෙන්ම තම දරුවා කිසියම් පෙර භව ජීවිතයක තොරතුරු අනාවරණය කරන බැව් දෙමවුපියන්ට ස්ථිරවම අවබෝධ වී තිබුණි.
ගුළි වී සිරුර යටිකුරුව නිදාගැනීම අස්වාභාවික සිරිතක් ලෙස සිදුවන්නේ ඇයි ද යන්න දෙමවුපියන්ට ඒ වනවිට ගැටලුවක් විය. ළිඳේ වැටීම පිළිබඳව ඔහු පැහැදිලිව ප්‍රකාශ කළ නමුත් පෙර භවයේ ජීවිත තොරතුරු වැඩි ප්‍රමාණයක් අනාවරණය නොවිණි. පෙර භව තොරතුරු අතර ඔහු පාසල් සිසුවකු ලෙස සිටි බැව් හෙළි කළේය. සොහොයුරකු පිළිබඳව ද ඔහුගේ මතකයේ තිබුණි. නිවෙස පිහිටා තිබූ ප්‍රදේශයේ පොල්ලෙලි තැළීම් සිදු කරන බවක් ද ඔහුට මතක තිබුණි.
ඔහුගේ පෙර භව ජීවිත තොරතුරු පිළිබඳව සොයාබැලීමට දෙමවුපියෝ එතරම් උනන්දුවක් නොදැක්වූහ. එයට හේතුව ඔහු පදිංචිව සිටි ගම් ප්‍රදේශය පැහැදිලි නොවීමය. එහෙත් එම දරුවා කිසියම් පෙර භවයක් ගැන අනාවරණය කිරීමක් සිදු කරන බැව් නෑ හිතමිතුරන් ඇතුළු ප්‍රදේශයේ කිහිප දෙනෙක් පමණක් දැන සිටියහ.
1975 නොවැම්බර් මාසයේදී උපන් එම දරුවා ඒ වනවිට තෙහැවිරිදි වියේ පසුවිය. අජිත් යනුවෙන් නම් ලබා සිටි එම දරුවා ඒ වන විට දෙමවුපියන් සමඟ පදිංචිව සිටියේ අහංගම ප්‍රදේශයේය. අජිත් හෙළි කරනු ලබන මෙම තොරතුරු විමර්ශනය කිරීමට දෙමවුපියෝ එතරම් උනන්දුවක් නොදැක්වූහ. එහෙත් ඔහුගේ මෙම අනාවරණ කිරීම් ළිඳේ වැටී මරණයට පත්වූ ජනක නම් දරුවකුගේ දෙමවුපියන්ටද ඒ වන විට සැලවී තිබුණි.
දිනක් ජනකගේ සොහොයුරෙක් අජිත්ගේ නිවෙස වෙත පැමිණියේය. එහිදී තම සොහොයුරා ලෙස ඔහු විසින් හඳුනා ගැනීමෙන් පසු මෙම පුනර්භව සිදුවීම පිළිබඳව පර්‌යේෂණයක් පැවැත්වීමට අපට ද අවස්ථාව ලැබුණි. ඔහුගේ පුනර්භව පර්‌යේෂණය සඳහා මහාචාර්ය ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේය. අජිත් අනාවරණය කළ පෙර භව ජීවිත තොරතුරු පිළිබඳව පූර්ණ නිරීක්ෂණයක් සිදු කෙරිණි.
මියගිය ජනකගේ මරණය සිදුවී තිබුණේ ඔවුන් පදිංචිව සිටි නිවෙස ආසන්නයේ පිහිටි ළිඳේ වැටීම නිසාය. ළිඳ පිහිටා තිබුණේ නිවෙසේ සිට තරමක් කඳු පාමුලකය. ඔහු පාසල් ශිෂ්‍යයකු ලෙස සිටියේය. ඔහු දිනපතාම සවස් යාමයේ ක්‍රීඩාවල යෙදීම සිරිත වී තිබුණි. බොහෝ විට සවස් වනතුරුත් ක්‍රීඩා කරන දරුවාට ස්නානය කරගන්නා ලෙස උපදෙස් දීම මවගේ සිරිත වූවාය.
එදා 1974 ඔක්තෝබර් 23 වැනිදාය. එදින සවස් වනතුරු මිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවාට ස්නානය කරගෙන එන ලෙස මව පැවැසුවාය. කිහිප විටක්ම පැවසූ නමුත් ඔහු ස්නානයට යන බවක් මවට දක්නට නොලැබුණි. මව කෝටුවක් අතට ගෙන පුංචි තරවටුවක් කර නෑමට යන ලෙස පැවැසුවාය. වහා ළිඳ වෙත යෑමට ඔහු වේගයෙන් දිව ගියේය. තම පුත්‍රයා නෑමට ගිය බැව් මවට ද තහවුරු විය.
අජිත් දරුවා
ඔහු නාගෙන එනු ඇතැයි මව බලා සිටියාය. ක්‍රමයෙන් ඇඳිරි වැටීම ද සිදුවිය. පුත්‍රයා නිවෙසට නොපැමිණියේය. දැන් දැන් ඔහු නිවෙසට එනු ඇතැයි මව මග බලමින් සිටියාය. රාත්‍රී හත පමණ විය. දරුවා නැති බැවින් ඇය ඇතුළු සියලු ඥාතීහු දරුවා සෙවීමේ නිරත වූහ. ඔහු කිසියම් මිතුරකුගේ හෝ නිවෙසකට ගියාද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් විය. ඔහු ළිඳ අසල ද නොසිටියේය. අවට පරිසරය පුරාම ඔහු සොයමින් සිටියදී ඥාතිවරයකුට සැකයක් මතු විය. එනම් ඔහු ළිඳට හෝ වැටීමක් සිදුවීද යන්නය. ඒ වන විට පැය ගණනාවක් ගත වී තිබුණි.
ඔහු කෝටුවක් ගෙන ළිඳ පතුල පරීක්ෂා කළේය. ජනක දරුවාගේ සිරුර ළිඳෙන් මතු විය. සිරුර දක්නට ලැබුණේ යටිකුරුව ගුළි වී ඇති අයුරිනි. ගුලි වී තිබූ සිරුර දෙපා හකුළුවාගෙන සිටියේය. මෙම දරුවාගේ පුනර්භව පර්‌යේෂණයේදී පෙර භව මව ඇතුළු ඥාතීන් කිහිප දෙනකුව හමුවීමට ද අවස්ථාව ලැබුණි. එහිදී ජනකගේ සොහොයුරකුගේ ප්‍රකාශයක් අතිශය ප්‍රබලතම සාක්ෂියක් බවට පත් විය.
එනම් ජනකගේ මරණය සිදුවීම නිසා පවුලේ ඥාතීන් පමණක් නොව අසල්වැසියෝ ද එම දරුවාගේ අකල් මරණය නිසා බලවත් ලෙස කම්පාවට පත්ව සිටියහ. එම දරුවාගේ තුන් මාසයේ පුණ්‍යකර්මය ද සිදු කරනු ලැබීය. ඊට දින කිහිපයකට පසු මියගිය දරුවාගේ සොහොයුරා තම මල්ලිව සිහිනෙන් දුටුවේය.
අහංගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක ඔහු ගමන් ගනිමින් සිටියේය. එම මාර්ගයේ විදුලි කණුවක් අසල නිවෙසක් තිබුණි. එම කණුව අසල තම මියගිය මල්ලි සිටගෙන සිටිනු ඔහු දුටුවේය.
“මල්ලි මොකද මෙහේ?” යැයි ඔහු සිහිනෙන් විමසීමක් කළේය.
සිහිනෙන්ම ඔහුට තම සොහොයුරාගෙන් පිළිතුරු ලැබිණි. එම පිළිතුර වූයේ, “ඇයි අයියා දන්නේ නැද්ද? මම දැන් ඉන්නේ මෙහේ...” යැයි ඔහු කීවේය.
සිහිනෙන් හඬ නැගීම ශ්‍රවණය වී අසල නිදා සිටි මව ඇයිදැයි ඔහුගෙන් ප්‍රශ්න කළේය. තමා දුටු සිහිනය ඔහු මවට හෙළි කළේය. මියගිය දරුවා සිහිනෙන් දුටු පරිසරය දැකගැනීමට මවට ද මහත් ආශාවක් ඇතිවිය. පසුදාම ඇය සිය පුත්‍රයා සමඟ එම පරිසරය බැලීමට ගියාය. දුම්රිය මාර්ගයේ අද්දර කුඩා නිවෙසක් සමඟ විදුලි කණුවක් දක්නට ලැබුණි.
තමා මල්ලිව සිහිනෙන් දුටුවේ එම නිවෙස අසල කණුවට පිටදී සිටියදී යැයි ඔහු මවට පෙන්වා දුන්නේය. ඔවුහු කිසිදු විමසීමකින් තොරව ආපසු පැමිණියහ. වසරක් ගත විය. එම නිවෙසේ සිටි යුවළගේ දරුවකු ලෙස උපත ලබා තිබුණේ පෙර භවයේදී ළිඳේ වැටී මියගිය ජනක දරුවා පිළිබඳව විය. ඒ අනුව සොහොයුරා දුටු සිහිනයක්ද මෙම පුනර්භව සාධකයේ වැදගත් සාක්ෂියක් විය.
පෙර භවයේදී මරණය සිදුවීමේ සිරුර ගුලිවී තිබූ අයුරු නිරූපණය කරමින් නිදාගැනීම අතිශය පුදුම හැසිරීම් රටාවක් ලෙස පර්‌යේෂණවලදී දක්නට ලැබිණි. මෙවැනි පුනර්භව සාධක Physiques, Postures, Gestures and other involuntary moments relate to previous lives යටතේ පර්‌යේෂණ සිදුකෙරේ.
මෙම දරුවා පිළිබඳව ඉන්දීය පුනර්භව පර්‌යේෂකවරියක වූ ආචාර්ය සත්වාන්ද ශ්‍රී ලංකාවට පැමිණ පර්‌යේෂණයක නිරත වූවාය. වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ද අජිත්ගේ පුනර්භවය පිළිබඳව පූර්ණ පර්‌යේෂණයක් පැවැත්වීමෙන් පසු ඔහුගේ පර්‌යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කරනු ලැබීය.
පෙර භවය හෙළි කළ දරුවන්ගේ සිරුරුවල විවිධ පිහිටීම් පෙර භවයට සම්බන්ධ බවට ප්‍රබල සාක්ෂි සනාථ වූ සිදුවීම් රැසක් තිබේ. එහෙත් පෙර භවයේ මරණය සිදුවූ අවස්ථාවේ සිරුර තිබූ අන්දම නිරූපණය කිරීමේ ප්‍රථම පුනර්භව සාධකය අජිත්ගේ කතා පුවත ලෙස පර්‌යේෂණ අතරට එක්වී ඇත. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ද මෙම දරුවා පිළිබඳව සිදුකළ පර්‌යේෂණයේදී ප්‍රමුඛ අවධානය දෙනු ලැබුවේ එම දරුවා පෙර භවයේදී මරණයට පත්වූ අන්දම නිරූපණය වන අයුරු දැක්වූ හැසිරීම් රටාව පිළිබඳවය.
මහාචාර්ය ස්ටීවන්සන් මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව ලියන ලද පර්‌යේෂණ වාර්තාවක කොටසක් මෙසේය.
A boy of Sri Lanka remembered the life of another boy Janaka, who had accidentally drowned in a well when he was 8 years old. Janaka was found missing one day, and members of his family at first thought that he had run away from his home. His body was not found in the well until the following day. When it was pulled out of the well, it was in a flexed position with the knees drawn up toward the trunk and the head flexed forward – virtually in a fetal position. From the age of between 2 and 3 years Ajith began sleeping in a curled up position resembling that of Janaka’s body when it was taken out of the well යනුවෙන් එහි සඳහන් කර තිබේ.
තිස්ස ජයවර්ධන