දේපොළ වෙළෙඳාම් අංශයේ උන්නතිය උදෙසා යටිතල පහසුගම් දියුණු කිරීම රජයේ වගකීමක්


 
ශ්‍රී ලාංකේය දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ අංක එකේ වෙළෙඳ නාමය හැටියට ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands Group) ආයතනය හැඳින්විය හැකි ය. දේපොළ වෙළෙඳාම් අංශයේ දශක තුනකට අධික කාලයක් ව්‍යාපාර කටයුතුවල නිරත වෙන ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය ශ්‍රී ලංකාවෙන් බැහැරට එනම් ජාත්‍යන්තරයට දේපොළ වෙළෙඳාම ගෙනගිය ප්‍රමුඛයා ද වන්නේ ය. ශ්‍රී ලංකාව පුරා දේපොළ වෙළෙඳාම් කටයුතු කරන ශාඛා රැසකින් සමන්විත මෙම ආයතනය සතුව ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායිහි ද  ශාඛා තිබේ. 
 
අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය සමගින් ශ්‍රී ලංකාවේ හොඳම දේපොළ වෙළෙඳාම් කරන ආයතනය බවට පත් වූ ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය ඉකුත් 05 වැනි දින තවත් සුවිශේෂ සම්මානයක් හිමි කර ගත්තේ ය. ඒ Developer at the year of the Sri Lanka – Real State Asia Award 2025 සම්මානයයි. ඒ ගැනත් ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය ගෙවුණු දශක තුනේ දී ගොඩනැගුණු ආකාරය ගැනත් ආයතනයේ ඉදිරි ව්‍යාපාර කටයුතු පිළිබඳවත් මේ කතාබහ ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති බ්‍රාහ්මනගේ ප්‍රේමලාල් සහ සම සභාපතිනි සඳමිණී පෙරේරා  සමගය.
 
ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය මෑතකදි සුවිශේෂ සම්මානයකට නිර්දේශ වුණා. ඒ ගැන කරන සඳහනකින් මේ සාකච්ඡාව පටන් ගන්න මම කැමතියි..
 
ප්‍රේමලාල්: Developer at the year of the Sri Lanka – Real State Asia Award 2025 සම්මානය අපේ සමාගමට 05 වැනිදා රාත්‍රියේ දී හිමි වුණා. සිංගප්පූරුවෙ Marina Bay Sands Expo and Convention Centre අපිට ඒ සම්මානය ලැබුණෙ. ප්‍රයිම් ලෑන්ඩ්ස් ව්‍යාපාරය මීට අවුරුදු 30කට කලින් කුඩාවට පටන් ගත් දේශීය ව්‍යාපාරයක්. ඉඩම් සංවර්ධන ව්‍යාපාරයක් හැටියට කුඩාවට පටන් ගත් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම ගෙවුණු අවුරුදු 30 දි දේපොළ වෙළෙඳාම් අංශයේ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වුණා. Real State Asia Award 2025 සම්මානය ලබා දීමේදී දේපොළ වෙළෙඳාම් අංශයෙදි ඒ ඒ සමාගම් ආසියානු කලාපයේ කරලා තියෙන්නෙ මොනවද කියන එක ගැන සලකා බලනවා. දේශ සීමා වලින් ඔබ්බට ගොස් නවෝත්පාදන සමගින් දේපොළ වෙළෙඳාම් අංශයට සිදු කරලා තියෙන දායකත්වය ගැන මේ සම්මානයේදී පුළුල් ලෙස සලකා බලනවා.
 
පසුගිය මාස පහ හයක කාලයේදී අපේ ආයතනයට දේපොළ වෙළෙඳාම් අංශයේ දැවැන්ත වෙනස්කම් කරන්න පුළුවන් වුණා. නූතන දේපොළ වෙළෙඳාම (Modern Real State ) කියන සංකල්පය හඳුන්වා දුන්නෙ අපේ සමාගම. මුලින්ම ගොඩනැගිල්ල හදලා ඉන්පසුව නාන තටාකයක්, කායවර්ධන මධ්‍යස්ථානයක් වගේ නොයෙක් පහසුකම් ලබා දීමටත් එහා ගිය පහසුකම් ලබා දෙන සංකල්පය අපි නිර්මාණය කළා. අපේ සමාගමේ “යෝලො”කියන සංකල්පය යටතෙ තරුණ අයගෙ අනාගත ජීවිතය පහසු කරවන පහසුකම් රැසක් ඇතුළත් වෙනවා. “වැනිසියා” ව්‍යාපෘතිය යටතෙ මීගමුව ප්‍රදේශයෙ සම්පූර්ණ වැනීසියක් හදනවා. “ජැඩෝ” ව්‍යාපෘතිය යටතේ මීගමුව ප්‍රදේශයේ දැනට තියෙන හෝටල්වලට වඩා ඉතා ලස්සන හෝටලයක් හදනවා. මේ වගේ අලුත් සංකල්ප යටතේ අලුත් දේවල් අපි ඉදි කරනවා. අනිත් කාරණය තමයි මේ සම්මාන අපේ ආයතනයට අලුත් දේවල් නොවෙයි. ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය දේපොළ වෙළෙඳාම් අංශයට අදාළ විවිධ සම්මාන දිනා ගෙන තියෙනවා. ඒ වගේම ලංකාවෙ තියෙන වැඩ කිරීමට සුදුසු ආයතන 25 අතර අපේ ආයතනය අඛණ්ඩව වසර පහක් නියෝජනය වෙලා තියෙනවා. ආසියානු කලාපයේ හොඳම දේපොළ වෙළෙඳාම් ආයතන සියය අතරට අපේ ආයතනයත් ඇතුළත් වෙලා තියෙනවා. මේ සම්මානය හිමිවීමෙන් අපේ ආයතනයේ කටයුතු අගය කිරීම ගැන අපි සතුටු වෙනවා.
 
දශක තුනක් වැනි කාලයක් ව්‍යාපාරයක් අල්ලාගෙන ඉන්නවා කියන එක පහසු කටයුත්තක් නොවෙයි. ගෙවුණු දශක තුනක කාලයේදී ආයතනය මුහුණ දුන් අභියෝග සහ ඒවාට සාර්ථකව මුහුණ දුන්නෙ කොහොම ද?
 
ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම පටන් ගන්න කොට අපේ දැක්ම වුණේ මිහිකතෙන් හොඳම තැනක් කියන එක. එය ගෙයක් හදලා දීමෙන් ඔබ්බට ගිය කර්තව්‍යයක්. අපේ ජනතාවගේ වටිනාකම්, දේශීයත්වය, ඇගයීම් මේ දේවල් වලින් තමයි අපේ ව්‍යාපාරය ගොඩ නැඟුණෙ. අපේ ආයතනය ගෞරවයෙන් සලකන කණ්ඩායම් දෙකක් ඉන්නවා. පළමු පිරිස තමයි අපේ ගනුදෙනුකාර භවතුන්. දෙවැනි පිරිස අපේ කාර්ය මණ්ඩලය. ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනයෙ ඉන්නෙ අසාමාන්‍ය හැකියාවන් සහිත වැඩ කළ හැකි සාමාන්‍ය මිනිස්සු. අපි හැම තිස්සෙම හොඳ දෙයක් අපේ පාරිභෝගිකයන්ට දෙනවා. දේපොළ වෙළෙඳාම් අංශයේදී අංක එකට වැදගත්ම දේ තමයි විශ්වාසය. ඒ නිසා තමයි යම් පාරිභෝගිකයෙකුට අපේ ආයතනය හදලා දෙන අපාට්මන්ට් එකක් ඊට වඩා මුදලකට විකුණන්න පුළුවන් වෙන්නෙ. 
 
නිවසක හෝ එපාර්ට්මන්ට් එකක හිමිකාරීත්වයට හීන දකින කෙනෙකු ඇයි ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය තෝරා ගත යුත්තෙ? මේ ආයතනයට එන පාරිභෝගිකයෙකුට ලබා දෙන සුවිශේෂ සේවාවන් මොනවා ද?
 
ඒක හොඳ ප්‍රශ්නයක්. කෙනෙක් ගෙයක් හෝ එපාර්ට්මන්ට් එකක් මිලදී ගද්දි ඒක තියෙන තැන, තට්ටු හෝ කාමර කීයක් තියෙනවද මිල කොපමණ ද යනාදී මේ කාරණා ගැන බලනවා. වට්ටම් දෙනවා නම් ඒවා ගැනත් අහනවා. ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමේ හැකියාව ගැනත් බලනවා. පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන මේ ආදී පහසුකම් තියෙනව ද කියලත් බලනවා. ඒ විදියට බලන්නෙ සංවර්ධනය ගැන. නමුත් හුඟක් අයට අමතක වෙන දෙයක් තමයි මේක කවුද හදන්නෙ කියන එක. ඒ ගැන අවධානය යොමු කිරීමත් ඉතාම වැදගත්. හේතුව තමයි ජනතාව මහන්සියෙන් හම්බ කළ මුදල් ගෙයක් හෝ එපාර්ට්මන්ට් එකක් හැදීම වෙනුවෙන් ආයෝජනය කරන්නෙ ඒවා හදන සමාගමකට නිසා. තමන්ගේ මුදල් සුරක්ෂිත ද සමාගම තමන්ගේ මුදලට සරිලන විදියෙ සේවාවක් ලබා දෙනවාද නැතිනම් ඊටත් වඩා වටිනා සේවාවක් ලබා දෙනවා ද කියන දේවල් ගැනත් පාරිභෝගිකයා සිතිය යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නෙ පාරිභෝගිකයා තමන් මිලදී ගන්න යන ගෙදර සංවර්ධනය ගැන වගේ ම ඒක හදන ආයතනය ගැනත් බැලිය යුතුයි කියලා. අපි එපාර්ට්මන්ට් හදන්න පටන් අරන් අවුරුදු දොළහක් විතර වෙනවා. මේ වෙද්දි 45 වැනි එපාර්ට්මන්ට් එකත් සාර්ථකව හදලා බාර දීලා තියෙනවා. නිවාස ව්‍යාපෘති ගත්තොත් මේ වෙනකොට නිවාස ව්‍යාපෘති 25 කට වැඩි ප්‍රමාණයක් හදලා බාර දීලා තියෙනවා. 
 
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ මේ ආයතනය ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ කොහොම ද? එය අභියෝගාත්මක වුණේ නැද්ද?
 
එතනදි තමයි මූල්‍ය ස්ථාවරත්වය වැදගත් වෙන්නෙ. ආයතනයක් මූල්‍යමය වශයෙන් කොච්චර ශක්තිමත් ද කියන කාරණය විභාග වෙන්නෙ ඒ වගේ අවස්ථාවල. පාස්කු ඉරුදින ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය අපි මේ හැම එකක්ම දැක්කා. ඒ කාලෙත් අපි ගොඩනැගිලි නිවාස හැදුවා. උදාහරණයක් විදියට ඒ කාලෙ රුපියල් මිලියන 48 ක් 50 ක් වැනි මුදලකට අපේ The Grand wordplace ව්‍යාපෘතියෙන් එපාර්ට්මන්ට්ස් මිලදී ගත් පාරිභෝගිකයන්  අද රුපියල් මිලියන 120 ක් වැනි විශාල මුදලකට ඒවා විකුණනවා. ඒ වගේ අර්බුද අවස්ථාවලදි ශක්තිමත්ව පවතින්න නම් ආයතනයකට හොඳ මූල්‍ය විනයක් තිබිය යුතුයි. අපේ ආයතනය සතුව ඒ මූල්‍ය විනය තිබුණ නිසා තමයි අවුරුදු 30ක ගමනක් එන්න පුළුවන් වුණේ. ආර්ථික අර්බුදය කාලයේ අපේ ආයතනය පටන් ගත්ත හැම ව්‍යාපෘතියක් ම පාරිභෝගිකයා අපේක්ෂා කළ තත්ත්වයටත් ඔබ්බට ගිහින් මනා නිමාවකින් යුතුව අවසන් කරන්න පුළුවන් වුණා.
 
ලංකාව වගේ අධික වශයෙන් බදු ක්‍රියාත්මක රටක දේපොළ වෙළෙඳාම් අංශයෙ හඳුනාගෙන තියෙන අභියෝග මොනවා ද?
 
දේපොළ වෙළෙඳාම් අංශයේ රජයට තියෙන ප්‍රතිලාභ තවම රජය හඳුනාගෙන නැහැ. ඒ වගේම රටේ ආර්ථිකයට තියෙන ප්‍රතිලාභ අඳුනගෙනත් නෑ. මහල් නිවාස සංකීර්ණයක් ගත්තොත් ඒක හදන ඉඩම වෙනුවෙන් ගන්න මුදලින් සියයට 4 ක මුද්දර ගාස්තු අපි ගෙවනවා. ඊළඟට මහල් නිවාස සංකීර්ණය විකුණන මුදලටත් වඩා වැඩියෙන් ආණ්ඩුව තක්සේරු කරන මුදලින් සියයට 4 ක් මිලදී ගන්න පාර්ශ්වයෙන් අය කර ගන්නවා. තව සියයට 18 ක වැට් බද්දක් විකුණන මුදලින් ගන්නවා. සියයට 2.5 සමාජ ආරක්ෂණ බද්ද ගෙවනවා. ඊට අමතරව දේපොළ වෙළෙඳ සමාගම් වලින් සියයට 30 ක සමාගම් බද්දක් අය කරනවා. ඒ කියන්නෙ අපි ගොඩනැගිල්ලක් හදලා විකුණන මුදලින් සියයට 35 ත් 40 ත් අතර මුදලක් ආණ්ඩුවට බදු වශයෙන් ලැබෙනවා. නමුත් රජයට ඒ ගැන අවබෝධයක් ඇති බවක් පෙනෙන්නෙ නෑ. ඒ වගේ ම තමයි දේපොළ වෙළෙඳාම් අංශයෙන් විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය වෙනවා. ඒ ඔස්සේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා.
 
රජයට මේ වෙලාවෙ ප්‍රාග්ධන වියදම් කිරීමේ හැකියාවක් නෑ. පෞද්ගලික අංශය ප්‍රාග්ධන වියදම් කරනවා නම් සහ ඒවායෙන් රජයට ආදායමක් එනවා නම් රජය කළ යුත්තෙ මේ අංශය ධෛර්යවත් කරන එක. අපි ඒ දේ තමයි රජයෙන් ඉල්ලන්නෙ.
 
ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය විදේශ රටවල සිදු කරන දේපොළ වෙළෙඳාම් කටයුතු මොනවා ද?
 
සඳමිණී පෙරේරා: ඔස්ට්‍රේලියාවෙ සහ ඩුබායිවල අපේ ශාඛා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ තියෙන ශාඛාව මගින් නිවාස ව්‍යාපෘති සංවර්ධන කටයුතුත් කරගෙන යනවා. අපි වැඩිපුර කරන්නෙ ලංකාවෙ නිෂ්පාදන පිටරටවලට ගිහින් විකුණන එක. අපි විදේශ රටවල අපේ වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු කරද්දි ලංකාව ගැනත් වැඩි වශයෙන් කතා කරනවා. ඒ කටයුතුවලින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමකුත් සිදු වෙනවා. ඒ නිසා අපි විදේශවලදි කරන්නෙ අපේ නිෂ්පාදන විකුණන එක විතරක් නොවෙයි. රටට මොනවාහරි දෙයක් ගේන්න පුළුවන් නම් අපි ඒක අරගෙන තමයි එන්නෙ. මම හිතන්නෙ දේපොළ වෙළෙඳාම් අංශයේ උන්නතිය උදෙසා යටිතල පහසුකම් දියුණු කරන එක රජයේ වගකීමක්.
 
ප්‍රේමලාල්: ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍ය අනුමැතීන් ගන්න විශාල කාලයක් යනවා. හදලා ඉවර වුණාට පස්සෙත් අනුමැතිය ගත යුතුයි. ඒකටත් විශාල කාලයක් යනවා. ඒ සඳහා මාස අටක් විතර යනවා. මේ නිසා දේපොළ වෙළෙඳාම් කරන කෙනාගෙ වියදම් වැඩි වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට පාරිභෝගිකයාගේ වියදමත් වැඩි වෙනවා. ඒ නිසා මේ අනුමැතීන් ගන්න ක්‍රියාවලිය සරල සහ පහසු කරන්න ඕන. ඒ වගේම දේපොළ වෙළෙඳාම අපනයනය කරන්න අපිට පුළුවන්. අපේ ආයතනය මේ දේ කරනවා. 
 
පරිසර හිතකාමී නැතිනම් හරිත සංකල්පය මේ වෙනවිට සෑම ක්ෂේත්‍රයකම දකින්න පුළුවන් දෙයක්. දේපොළ වෙළෙඳාම් අංශයේ දී ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය පරිසර හිතකාමී ඉදිකිරීම් සිදු කරනවා ද?
 
ප්‍රේමලාල්: නාගරික සංවර්ධන අධිකාරිය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේදී සලකා බලන නිර්ණායක සහ සංකල්ප තියෙනවා. Green Building සංකල්පය ඒ අතරින් එකක්. ඒ සංකල්පයට අනුගත වෙමින් අපේ ආයතනය ඉදිකිරීම් කටයුතු කරනවා. අපේ ආයතනයෙන් හදන බොහෝ ගොඩනැගිලි පරිසර හිතකාමීව හරිත සංකල්පය අනුව හදන ඒවා.
 
සඳමිණී පෙරේරා: පරිසර හිතකාමී බව ගහකොළ වැවීමෙන් ඔබ්බට ගෙන ගොස් ආරක්ෂා කරගන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය සමත් වෙලා තියෙනවා. ඒ යටතේ බලශක්තිය ආරක්ෂා කිරීම ස්වාභාවික වාතාශ්‍රය රැඳෙන පරිදි අපි ඉදිකිරීම් කටයුතු කිරීම ආදිය කරනවා.
 
අලෙවියෙන් පසු ලබා දෙන සේවාව මොන වගේ ද?
 
ප්‍රේමලාල්: දේපොළ වෙළෙඳාම් අංශයේ මීට කලින් අලෙවියෙන් පසු සේවාව ලබා දෙන ක්‍රමවේදයක් තිබුණෙ නෑ. අපි තමයි අලෙවියෙන් පසු සේවාව ලබා දීම ආරම්භ කළෙත්. ඒක අපි හැම වෙලාවෙදිම ලබා දෙනවා.
 
සඳමිණී පෙරේරා: ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනයේ ඩී.එන්.ඒ. එක මොකක් ද කියලා කවුරුහරි ඇහුවොත් ඒකට දෙන්න පුළුවන් පිළිතුර තමයි පාරිභෝගිකයාට ලබා දෙන සේවාව. විශේෂයෙන් ම අලෙවියෙන් පසු සේවාව. අපි ගොඩනැගිල්ලක් හෝ ගෙයක් හදලා අලෙවි කළාට පසු එතැනින් ගනුදෙනුව අවසන් වෙන්නෙ නෑ. එතැනින් පස්සෙ තමයි අපේ ආයතනයත් ගනුදෙනුකරුත් අතර සබඳතාව පටන් ගන්නෙ. අපේ කාර්ය මණ්ඩලයටත් අපි නිතරම කියන්නෙ අපේ ගනුදෙනුකරුගේ වටිනාකම ජීවිත කාලයටම අදාළ වෙන එකක් කියලා. හොඳ පාරිභෝගික සේවාවක් ලබා නොදෙන තැනකින් භාණ්ඩයක් මිලදී ගන්න එපා කියලා තමයි අපි කියන්නෙත්. නිෂ්පාදන වගේම සේවාවත් වැදගත්.
සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ