දෙපැත්තට කඹ ඇදීමෙන් හිර වුණු ලිංගික අධ්‍යාපන මොඩියුලය අ2ු3


වර්තමාන සමාජයෙහි, නව යොවුන් වියේ දරුවන් මුහුණ දෙන අභියෝග සංකීර්ණ වෙමින් පවතී. ගෝලීයකරණය, තාක්ෂණයේ දියුණුව සහ මාධ්‍ය භාවිතයේ ව්‍යාප්තියත් සමඟ, ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ තොරතුරු දරුවන් වෙත විවිධ මාර්ග ඔස්සේ ගලා එයි. බොහෝ විට මෙම තොරතුරු වැරදි, අසම්පූර්ණ හෝ ව්‍යාකූල වීම නිසා, දරුවන් නොමඟ යාමේ අවදානම ඉහළ යයි.

මෙවන් පසුබිමක, පාසල් විෂය මාලාවට ඒකාබද්ධ වූ, විධිමත් හා විස්තරාත්මක ලිංගික අධ්‍යාපන සහ එයින් දරුවා ආරක්ෂා වන්නේ කෙසේදැයි කියා මොඩියුලයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙරට පැමිණ ඇත. 

හය වසරේ සිට ඉහළට තම ශරීරය සෞඛ්‍යවත්ව පවත්වාගෙන යෑමට උපදෙස් ලබා දෙමින් හයවැනි ශ්‍රේණියේ සිසුන්ගේ වයසට සුදුසු පරිදි අලුත් මොඩියුලයක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත. 

මෙය, හුදෙක් ජීව විද්‍යාත්මක කරුණු ඉගැන්වීමකට වඩා ප්‍රායෝගික ක්‍රියාවලියකි. එය, දරුවන්ට සිය ශරීරය, හැඟීම්, සබඳතා සහ අයිතිවාසිකම් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීමෙන්, ඔවුන් වගකිවයුතු, සෞඛ්‍ය සම්පන්න සහ ආරක්‍ෂිත පුරවැසියන් බවට පත් කිරීමේ දුරදක්නා දැක්මකි.

එමෙන්ම දරුවන් වයසට සුදුසු පරිදි ආරක්‍ෂා විය යුතු ආකාරය සම්බන්ධයෙන් පූර්ණ දැනුම්වත් කිරීමක් මොඩියුලයෙහි අන්තර්ගත වීමට නියමිතය. මේ හා සම්බන්ධයෙන් නිලධාරින් කිහිපදෙනකු දැක්වූ අදහස් මෙසේය.

අවුරුදු 9 - 11 කාල සීමාවේ සිට ම ලබාදිය යුතුයි

- අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව

“ලිංගික අධ්‍යාපනය දරුවෙකුට අවුරුදු 9-11ත් අතර කාලයේ සිටම ලබාදිය යුතු දෙයක්. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ලිංගික අධ්‍යාපනය හඳුන්වාදීමක් ගැන කිසිදු සඳහනක් නෑ .මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ අවශ්‍ය කාල සීමාවන්වලදී දරුවා ලිංගික හිරිහැරවලින් වගේම අපයෝජනවලින් ආරක්ෂා විය යුත්තේ කේසේද යන්නයි. මේ  වන විට මෙය නව මොඩියුලයක් ආකාරයෙන් හඳුන්වා දීමට යෝජනා වී තියෙනවා. 

මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශය පමණක් නොවේ. කාන්තා හා  ළමා ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකගේ අනුදැනුම මතයි මෙම නව මොඩියුලය 6 ශ්‍රේණියේ සිසුන්ට හඳුන්වා දීමට තීරණය කර තියෙන්නේ. නමුත් මෙය කවදා කොතැනදීදැයි තවම සඳහනක් කර නැහැ.

ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම එක එක වයස් සීමාවේදී ලබා දිය යුතු දෙයක්වත් විෂය නිර්දේශයට අන්තර්ගත කළ කළ යුතු දෙයක්වත් නොවේ. ඒක වෙනම ලබාදිය යුතු දැනුමක්. 

මෙසේ නව මොඩලයක් ඉදිරිපත් කරන්න යෝජනාවීමේ මූලිකම හේතුව තමයි දෙමව්පියන් දරුවන් සමඟ නිසි කාලයේදී එවැනි ලිංගික කරුණු පිළිබඳව කතාබහ නොකිරීම. එයින් වැරදි මාර්ගයට යොමු වෙන්නේ පාසල් යන වයසේ දරුවන්මයි. එයාලා දන්නේ නැහැ තමන්ට සිදුවෙන ලිංගික අපචාර වගේම ලිංගික අපයෝජනවලින් බේරෙන්නෙ කොහොමද කියලා. තම ශරීර සෞඛ්‍ය ගැන මනා අවබෝධයක් ඇත්තෙත් නැහැ. අන්න ඒ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විශේෂඥ වෛද්‍යවරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව මෙම නව මොඩියුලය නිර්මාණය කරන්න තීරණය වුණේ.

වර්තමානයේ දී පාසල් යන වයසේ දරුවන් වැඩිපුරම ලිංගික අපයෝජනයට ලක්වන්නේ ළමයාට නිසි වයසට ලිංගික අධ්‍යාපනයක් වගේම තම ශරීර සෞඛ්‍ය පිළිබඳව මනා අවබෝධයක් නැති නිසා. මෙය බරපතළ ඛේදවාචකයක්. ඒ නිසා රටේ සමස්ත උගතුන් එක්ව විෂය නිර්දේශයන්ට අමතරව 6 ශ්‍රේණියට අදාළ වන මෙවැනි මොඩියුලයක්  සකස් කිරීම ඉතාමත් සුදුසුයි. නුදුරේදීම එය දරුවන්ට ලබාදීමටට නියමිතයි”

ළමයා ලිංගික අපයෝජනවලට ලක්වීම, අඩු වයස් ගර්භණී භාවයන්, ගබ්සා කිරීම් හා ලිංගාශ්‍රිත රෝග වළක්වා ගන්න පුළුවන්

පවුල් සෞඛ්‍ය සේවා අංශයේ ස්ථාන භාර හෙද සොයුරිය, වාට්ටු කළමනාකරණ සහ අධීක්ෂණ ආර්. එම්. එන්. රාජනායක

“සාමාන්‍යයෙන් වයස අවුරුදු නවයත් එකොළහත් අතර කාලසීමාවේදී ගැහැනු දරුවකු වැඩිවියට පත්වීමට පටන් ගන්නවා. නමුත් මේ පිළිබඳව කෙතරම් උගත් දෙමව්පියන් වුවත් සදාචාරාත්මක පසුබිම සහ වෙනයම් හෝ හේතු කාරණා මත තමන්ගේ දරුවත් සමග මේ දේවල් කතා කරන්නේ නැහැ. මේ පිළිබඳව දරුවන් දැන ගන්නේ තමන්ගේ යහළුවන්ගෙන්මයි. එවිට දරුවාට වැරදි දැනුවත් වීමක් වෙන්නත් පුළුවන්. 

වර්තමානයේදී දුරකථනය නිසා බොහෝ දරුවන් නිල් චිත්‍රපට නැරඹීම සහ ඒවායින් වැරදි ලිංගික අර්ථකථනයන් ලබා ගැනීම වැඩි වෙලා තිබෙනවා. ලිංගික අධ්‍යාපනය ලබාගත යුතුම වයසේ දී එවැනි වැරදි අර්ථකථනයන් දරුවාගේ මනසෙහි තැන්පත් වුවහොත් එය නිවැරදි ව සකස් කරන්නට වැඩිහිටියන් විදිහට අපිට බැහැ. ඒ නිසා තමයි මුල් කාලයේ ඉඳලම දරුවාට හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියන්නේ. 

සමහර පාසල් දරුවෝ ඉන්නවා ඔසප් දිනයට සනීපාරක්ෂක තුවායක් (පෑඩ් එකක්)  හරියට ඇඳගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඔසප් දින කිහිපය ගත කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.  අසහනකාර මිනිස්සුන්ගේ ස්පර්ශ තේරුම් අරගෙන ඒවයින් බේරෙන්නේ කොහොමද කියලා දැනුමක් නැහැ. 

එහෙම දෙයක් වුණත් කියන්න තේරෙන්නේ නැහැ. ගැබ් ගන්නේ කොහොමද? ඒක වළක්වන්නේ කොහොමද? කියලා දැනුමක් නැහැ. සමාජ රෝග කියන්නේ මොනවද බෝ වෙන්නේ කෙහොමද කියලා දන්නේ නැහැ. ඔන්න ඔය දේවල් තමයි දරුවන්ට ලබා දිය යුතු ලිංගික අධ්‍යාපනය කියන්නේ.

බටහිර රටවල හතර වසරේදී ඉඳලම කොණ්ඩම් එකක් භාවිත කරන ආකාරය  දරුවාට කියලා දෙනවා. එය වැරදි ක්‍රියාවලියක් නෙවෙයි. ලංකාවේ ඒක දකින්නේ මීනි මරනවා හා සමාන වරදක් ආකාරයට. නමුත් ලිංගිකත්වය ගැන අවුරුදු 11 ඉඳලා හොඳ දැනුමක් ලබා දෙනවා නම් යොවුන් හෝමෝන ක්‍රියාකාරිත්වයේදී ලිංගිකත්වය කියන දේ ඒ දරුවාට අරුමයක් වන්නේ නැහැ. හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට පවතිනවා.

වර්තමානයේ වැඩිම බාල වයස්කාර ගැබ් ගනීම් සිදුවෙන්නේ කොළඹ මහ නගර සභාව ආශ්‍රිතව. බහුතරයක් දරුවෝ අවුරුදු දහය එකොළහ කාලසීමාවෙදි. වැඩිවියට පත් වුණාම ඒ දරුවන් දන්නේ රුධිරය වහනය වීමක් පමණයි. ඉන් එහාට ඔවුන්ට කිසිදු අධ්‍යාපනයක්, දැනුමක් නැහැ. ඒ පිළිබඳව දරුවන් දැනුවත් කරන්න දෙමව්පියන්ට දැනුමක් ඇත්තෙත් නැහැ . දරුවන්ට එවැනි අධ්‍යාපනයක් ලබා දීලත් නැහැ. 

මම දකින විදියට කුඩා කාලයේ සිටම දරුවාට හරියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබා දුන්නා නම් අඩු වයසින් ළමා ගැබ් ගැනීම් සිදුවන්නෙත් නැහැ. ඒකෙ අතුරු ප්‍රතිඵලය තමයි අනවශ්‍යාකාරයේ ඇබෝෂන් කිරීමේ ක්‍රියාවලීන්ට යොමුවීම.  ලිංගික අධ්‍යාපනයක් වයස අවුරුදු 11 සිටම ලබාදීමෙන් ළමයා ලිංගික අපචාරවලට, අපයෝජනවලට ලක්වීම වළක්වා ගන්න පුළුවන්. 

අඩු වයස් ගර්භණී භාවයන් වළක්වා ගත හැකි, ගබ්සා කිරීම් වළක්වා ගන්න පුළුවන්, අනෙකුත් කාරණාව තමයි ඒ හරහා බෝවෙන ලිංගාශ්‍රිත රෝගයන් වළක්වා ගන්න පුළුවන්.

මේ වගකීම පටන් ගත යුත්තේ තමන්ගේ පවුලෙන්මයි. විශේෂයෙන්ම දරුවෙක් අම්මත් එක්ක තියෙන සබැඳියාව ඉතාමත් හොඳ  විය යුතුයි. දරුවාගේ හොඳම යාළුවා අපි කියනවා තමන්ගේ අම්මා වෙන්න ඕනේ කියලා. පවුල් සංස්ථාව බිඳ වැටීම, දරිද්‍රතාව, අඩු ලිංගික අධ්‍යාපනයක් ලැබීම වගේ බොහෝ ගැටලුකාරී තත්වයන් හා දරුවාට හොඳ ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා දරුවා ලිංගික අපචාරයන්ට  ලක්වීමේ ප්‍රවණතාව වැඩි වෙලා තියෙනවා.

දරුවා වැඩිපුරම ලිංගික හිංසනයට ලක්වෙන්නේ පාසල් පද්ධතියෙන්මයි

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

“වර්තමානයේ දරුවා වැඩිපුරම ලිංගික හිංසනයට ලක්වන්නේ පාසල් පද්ධතියෙන්මයි.  එයට ප්‍රධානම හේතුව තමයි ලිංගික අධ්‍යාපනය පිළිබඳ දරුවාට හරි හැටි තේරුමක් නැතිකම. ඇතැම් ළමුන්ට තමාට එවැනි ලිංගික හිංසනයක් සිදු වූවාද කියාවත් තේරෙන්නේ නැහැ. ඒ පිළිබඳව ඔවුන් දැනුවත් නැති නිසා. 

මේ හේතුව නිසා තමයි අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා අධ්‍යාපන ඇමති වී සිටිය කාලයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව පාසල් දරුවන්ගේ පාසල් පෙළපොත් සඳහා ඇතුළත් කරලා පෙළපොතක් මුද්‍රණය කළේ. නමුත් ඇතැම් පාර්ශ්වවල සහ සමාජයෙන් එල්ල වූ දැඩි අත්තනෝමතික බලපෑම් මත එය හකුළා ගන්නට සිදුවුණා. 

එය මුද්‍රණය කළේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නොවේ.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය සහ විශේෂඥ වෛද්‍යවරුන් එකතු වීමෙන් තමයි එම පොත මුද්‍රණය කරන්නට මූලිකත්වය ගත්තේ. ඉන් පසුව ඔවුන් උසස් පෙළ ළමුන් සඳහාත් ලිංගික අධ්‍යාපනය පිළිබඳව පොතක් මුද්‍රණය කරන්නට සැලසුම් කළා. ඒ සියල්ල එතනින් නැවතුණා.

මධූෂා දිල්ෂානි