මෙය “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, ණය සහ යහපත් පාලනය” යන මැයෙන් 2025 ජූනි 16 දින දී පැවති සමුළුව පාදක කරගෙන පළ කරනු ලබන ලිපි පහකින් සමන්විත ලිපි මාලාවක සිවුවැන්නයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව දැනට ක්‍රියාත්මක කෙරෙන විස්තීරණ ණය පහසුකම හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ පළමු අර්ධය අවසන් වීම සනිටුහන් කරමින් මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඒකාබද්ධව 2025 වසරේ ජූනි මස කොළඹ දී සමුළුවක් පවත්වන ලදී. එම සමුළුවේ දී යහපත් පාලනයක් සහ දූෂණයෙන් තොර සමාජයක් බිහි කිරීම උදෙසා “විශ්වසනීයත්වය කරා ගමන් මග” යන මැයෙන් පැවති විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිය ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී ජොයෙල් ටර්කෙවිට්ස් විසින් මෙම සැසිය මෙහෙයවන ලදී. හිටපු මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් කේ. බී. රාජපක්ෂ, ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්තාසා ජැෆර්ජි සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මෙම විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිය සඳහා සහභාගී වූහ.
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය ඇතිවීම සඳහා රටෙහි විදේශ ණය තිරසාර නොවන මට්ටමකට පත්වීම මෙන්ම ‘පාලනය (Governance) හා ‘දූෂණය (Corruption) පිළිබඳ ඇතිවූ ගැටලු ද හේතු විය. පාලනය යනු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ක්‍රියාවලිය සහ ආයතනික ව්‍යුහය වේ. මෙහිදී රාජ්‍ය පාලනය පිළිබඳ විශේෂ අවධානය යොමු කරයි. අයහපත් පාලනය යනු රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීමයි.‘ දූෂණය යනු ආයතනික ක්‍රියාවලිය තම පෞද්ගලික වාසි උදෙසා අවභාවිත කිරීමයි. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් සාර්ථකව තිරසාර ලෙස යථා තත්ත්වයට පැමිණීම සඳහා පාලන දුර්වලතා මෙන්ම දූෂණ කටයුතු සිදුවීම වැළක්වීමට තිරසාර ලෙස පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන 2023 වසරේ දී ඇරඹීමත් සමග පාලන දුර්වලතා පිළිබඳව සාකච්ඡා සිදු විය. අතීතයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාලන දුර්වලතා පිළිබඳව විශාල වශයෙන් අවධානය යොමු නොකළ ද, අයහපත් පාලනය යම් රාජ්‍යයක සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි බලපෑමක් ඇති වන පරිදි ක්‍රියාත්මක වේ නම් එම රාජ්‍යයේ යහපත් පාලනයක් ඇති කරලීම උදෙසා කටයුතු කිරීමට හැකි වන පරිදි ජා.මූ. අරමුදල විසින් 2018 වසරේ දී ප්‍රතිපත්ති රාමුවක් සකසන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව තුළ දූෂණය ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි කෙතරම් තීරණාත්මක ද යන කාරණය මෙන්ම දූෂණය මූලික රාජ්‍ය කාර්යයන්ට බලපා ඇති ආකාරය පිළිබඳව ද අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය විය. එහිදී අයහපත් පාලනය සහ දූෂණ කටයුතු සිදුවීම මූලික රාජ්‍ය කාර්යයන්, මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති සහ වෙළෙඳපොළ නියාමනය කෙරෙහි බලපාන ආකාරය මූලික වශයෙන් සොයා බැලුණි. එමෙන්ම ගිවිසුම් හා දේපළ අයිතිවාසිකම් සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද සොයා බැලුණි. තවද සමස්ත පද්ධතියේ සුපිළිපන් බව (Integrity) කෙරෙහි ඇති කරන බලපෑම ද සොයා බැලුණි. එම සොයාබැලීමට අනුව අයහපත් පාලනය සහ දූෂණ අවදානම් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය කෙරෙහි ඍණාත්මකව බලපාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්ණය කරන ලදී. මෙහි දී පාලන දුර්වලතා මෙන්ම දූෂණය සාර්ව ආර්ථිකය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව පමණක් සලකා බලන ලද අතර, එය සාපරාධී ක්‍රියාවක් යන රාමුව තුළ සිට විශ්ලේෂණය සිදු නොකෙරුණි. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තිරසාරව ක්‍රියාත්මක කිරීමට මෙම අනිසි ක්‍රියා ඉවත් කිරීම අත්‍යවශ්‍ය විය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය විසින් මෙම දුර්වලතා සවිස්තරාත්මකව හඳුනා ගැනීමටත් ඒවා සමනය කිරීමට නිර්දේශ ලබාදෙන ලෙසටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින ලදී.
පාලන නිර්ණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම
ඒ අනුව, ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ව්‍යුහාත්මක මිණුම් දණ්ඩක් ලෙස, ගැඹුරින් මුල් බැසගත් දූෂණ අවදානම් සඳහා විසඳුම් ලබාදීමේ පාලන නිර්ණ වාර්තාවක් 2023 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙවැනි වාර්තාවක් ආසියාතික රටක් සඳහා ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම වාර්තාව තුළින් ප්‍රධාන රාජ්‍ය කාර්යයන් තුළ දූෂණ ක්‍රියා සිදුවීමේ අවදානම්, ආයතනවල ස්වාධීනත්වය මෙන්ම වගවීම අවම වීමත්, නීති පද්ධතියේ පවතින දුර්වලතාත්, රාජ්‍ය මූල්‍ය විනය මෙන්ම විනිවිද භාවය අවම බවත් හඳුනා ගන්නා ලදී. තවද තනි පුද්ගලයන් ආයතන පාලනය කිරීමත් රජයේ රැකවරණය එම පුද්ගලයින්ට ලබාදීමත් සිදුවන බවට හඳුනා ගන්නා ලදී.
ඒ අනුව ප්‍රධාන වශයෙන් දූෂණ අවදානම් සහ පාලන දුර්වලතා සාර්ව ආර්ථික වශයෙන් තීරණාත්මක ප්‍රමුඛතා ක්ෂේත්‍රවලට සම්බන්ධ වන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙහිදී (අ) දූෂණ විරෝධී ක්‍රියාමාර්ග, මුදල් විශුද්ධිකරණ විරෝධී සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව සටන් කිරීම; (ආ) මූල්‍ය පාලනය (රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, බදු ප්‍රතිපත්ති සහ ආදායම් පරිපාලනය, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය); (ඇ) මහ බැංකු පාලනය; (ඈ) මූල්‍ය අංශයේ අධීක්ෂණය සහ (ඉ) ගිවිසුම් බලාත්මක කිරීම සහ දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැනි මූලික අංශ කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදී.
මෙම නිර්ණ වාර්තාව මගින් පහත ක්ෂේත්‍ර යටතේ ප්‍රධාන වශයෙන් නිර්දේශ 16ක් ඉදිරිපත් කරන ලදී.
- විනිවිදභාවය පුළුල් කිරීම - රාජ්‍ය මූල්‍ය පාලනය කෙරෙහි අවධානය යොමු කිරීම
- බැඳියාවන් පිළිබඳ ගැටුම් අඩු කිරීම
- ආයතන සහ පුද්ගල වගවීම ශක්තිමත් කිරීම
- නීතියේ ආධිපත්‍යය වැඩි දියුණු කිරීම
- ප්‍රතිපත්ති, භාවිතයන්, ප්‍රතිඵල සහ අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම
මෙහි නිර්දේශ 10ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහනේ මිනුම් දඬු වූ අතර ඉතිරි නිර්දේශ රජයේ මූල්‍ය වැඩ සටහන තුළට ඇතුළත් කරන ලදී. මෙමගින්, මූලික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වගකීම සහ වගවීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, රජයේ භාවිතයන්හි විනිවිද භාවය සහ කාර්ය සාධනය, ගිණුම්කරණය සහ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණ යන අංශ කෙරෙහි අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය යහපත් ලෙස වෙනස් කිරීම සඳහා කළ හැකි වැඩි දියුණු කිරීම් පිණිස කෙටිකාලීන ක්‍රියාමාර්ග මෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක මුලපිරීම් ලබා දීම මගින් රටේ සමාජ හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම නිරේදේශ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලගැන්වීම
2023 වසරේ බලාත්මක කළ නව දූෂණ විරෝධී පනතත් සමගින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (මින් ඉදිරියට කොමිෂන් සභාව) වෙත පුළුල් වගකීම් ලබා දී ඇති බැවින් ඊට ගැළපෙන පරිදි ආයතනික ව්‍යුහය ශක්තිමත් වීම අත්‍යවශ්‍ය විය. නව පනතත් සමග කොමිෂන් සභාවේ ස්වාධීනත්වය වැඩි දියුණු වී ඇති අතර අල්ලස් හෝ දූෂණයට පමණක් සීමා නොවී එහි විෂය පථය පුළුල් කර ඇත. මුදල් විශුද්ධිකරණ ක්‍රියාකාරකම්, පෞද්ගලික අංශයේ අල්ලස්, ක්‍රීඩා ඉසව්වල දී සිදුවන පාලන හා දූෂණ සම්බන්ධ වැරදි, විදේශිකයන්ට අල්ලස් දීම, වෙෙළඳ බලපෑම්, බැඳියාව පිළිබඳ ගැටුම් යනාදිය දක්වා එය ව්‍යාප්ත කර ඇත. තවද රහස් හෙළි කරන්නන් (Whistleblowers) සඳහා ආරක්ෂාවක් ලබාදී ඇත.
කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලැස්ම පැහැදිලි ප්‍රමුඛතා, සන්ධිස්ථාන, අරමුණු සහිතව සහ රජයේ ප්‍රතිසංස්කරණ සමග ද ගළපමින් නිර්මාණය කර ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, විශේෂයෙන් ඉහළ පෙළේ නඩු සහ දූෂණ නඩු කෙරෙහි මෙමගින් අවධානය යොමු කෙරේ. නවක සේවා නියුක්තිකයින් බඳවා ගනිමින් කොමිෂන් සභාවේ කටයුතු ශක්තිමත් සහ වේගවත් කර ඇත. පසුගිය වසර තුළ දී දූෂණ විරෝධී නඩු තාක්ෂණික හේතු මත අධිකරණය මගින් බැහැර කර නොමැත. මෙයට අමතරව, වත්කම් ප්‍රකාශන කළමනාකරණ ඒකකයක් සහ මුදල් විශුද්ධිකරණ විමර්ශන ඒකකයක් ලෙස හඳුන්වන විශේෂ ඒකක දෙකක් ස්ථාපිත කර ඇත. පසුගිය අප්‍රේල් මාසයේ දී කොමිෂන් සභාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම දියත් කෙරුණු අතර නව පනත මගින් ලබා දී ඇති විධිවිධාන සහ බලතල සාර්ථකව ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.
කොමිෂන් සභාව තම කටයුතු ඩිජිටල්කරණය කරමින් පවතී. නඩු කළමනාකරණ පද්ධතිය දැනටමත් ඩිජිටල්කරණ කිරීමට ආසන්නව ඇති අතර වත්කම් ප්‍රකාශ ඩිජිටල්කරණය ලබන වසරේ දී සිදුවනු ඇත. ඒ සමගම අල්ලස් හෝ දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද අතිශයින්ම වැදගත් වේ. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සහ සියලුම රාජ්‍ය සේවකයින් හට සුපිළිපන්බවේ වටිනාකම පිළිබඳව දැනුම්වත් කිරීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත් කිරීමටත් ඉදිරියේ දී වැඩ සටහන් පැවැත්වෙනු ඇත. මෙලෙස කොමිෂන් සභාව බල ගැන්වීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවල සහාය ද ලැබිණි.
මේ දක්වා ලබා ඇති ප්‍රගතිය
පාලන නිර්ණ වාර්තාවේ සඳහන් වන නිර්දේශ සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වී හෝ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වාර්ෂිකව ප්‍රකාශයට පත් කර යාවත්කාලීන කරන රජයේ ක්‍රියාකාරී සැලැස්මක් පවතී. ප්‍රතිපත්ති සහ නීති රාමුවල සැලකිය යුතු දියුණුවක් සිදුවී ඇත. මෙහිදී දූෂණ විරෝධී නීතිය සහ අනෙකුත් පනත් බලාත්මක කිරීම අදාළ වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන ශක්තිමත් කිරීම ද මෙහි ප්‍රමුඛ ස්ථානයක් ගනී. අල්ලස් සහ දූෂණ නඩු සඳහා අදාළ පුද්ගලයින් දැනටමත් නව පනත යටතේ වරදකරුවන් කිරීමට හැකි වී ඇත. රජය වැඩි විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම ද මෙම ක්‍රියාවලිය යටතේ අත්කරගත් ප්‍රගතියකි. ඒ යටතේ, ප්‍රසම්පාදනලාභීන් ප්‍රකාශයට පත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ වත්කම් ප්‍රකාශයට පත් කිරීම දැනටමත් ක්‍රියාත්මක වේ. පසුගිය වසරේ ඉතිහාසයේ පළමු වරට ඉහළ වගකීම් දරන පුද්ගලයන්ගේ වත්කම් සහ වගකීම් ප්‍රකාශන 300කට වඩා වැඩි ප්‍රමාණයක්, රහසිගත භාවයට යටත්ව, ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු පනත 2023 වසරේ දී බලාත්මක කිරීම ද පාලනය වැඩි දියුණු කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයකි. මෙම පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩිදියුණු කෙරුණු අතර ඒ සමඟම මහ බැංකුවේ වගවීම ද වැඩි කරන ලදී. මෙම පනත තුළින් මහ බැංකුව මගින් රජයේ අයවැය හිඟය මූල්‍යනය කිරීම අත්හිටුවන ලද අතර මහ බැංකුවේ කටයුතු පාර්ලිමේන්තුව සහ මහජනතාව වෙත දැනුම්දීමේ ක්‍රමවේදයක් සැකසීමෙන් වගවීම වැඩි කරන ලදී.
ඉදිරි දැක්ම
සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාවට නැංවුවත්, යහපත් පාලනයක් සහ දූෂණයෙන් තොර සමාජයක් ඇති කිරීම සඳහා තවත් විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතුය. මෙහි දී දැනටමත් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කිරීමත් නිර්දේශ වී ඇති නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය සම්පූර්ණ කිරීම මෙහිදී ඉතා වැදගත්ය. වත්කම් හා වගකීම් ප්‍රකාශනය අඛණ්ඩව සිදු කිරීම සහ ලබන වසරේ දී විද්‍යුත්-වත්කම් ප්‍රකාශන පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. විනිවිදභාවය සහ තොරතුරු හුවමාරුව සඳහා කැපවීම පුළුල්කිරීම අත්‍යවශ්‍ය කාර්යයකි. රජය නීතියේ ආධිපත්‍යයට අවනත වනු ඇතැයි යන පාර්ශ්වකරුවන් ගේ අපේක්ෂාවන් ඉහළ නැංවීම ඉතා වැදගත්ය. මෙය විශේෂයෙන් පුද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය සහ තීරණ ගැනීම සම්බන්ධයෙන් වැදගත්ය. සාමාන්‍යයෙන් පාලන ප්‍රතිසංස්කරණ සාර්ථක වූ විට, දූෂණ-ලොල්-වූවන් රාජ්‍යයන් බලයෙන් පහ කිරීමේ උත්සාහයක නිරත වේ. එබැවින් මේ දක්වා සිදුවී ඇති සියලුම පාලන ප්‍රතිසංස්කරණවල පසුබෑමක් සහ අතීත පද්ධති නැවත නිර්මාණය කිරීමට උත්සාහයන් ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ යුතුය. පාලනය වැඩි දියුණු කිරීම සහ දූෂණ මැඩපැවැත්වීම සඳහා අණපනත් පැනවීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමේ දී රජය පුරවැසියන් සමඟ සාකච්ඡා සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය. මෙලෙස සාකච්ඡා නොකිරීම හේතුවෙන් මහජන අයිතිය නැති වීම සහ වැරදි තොරතුරු ලැබීම, නීතිමය අභියෝග මෙන්ම මහජන විරෝධතා ද ඇතිවිය හැකිය. එවැනි මහජන උපදේශනය මගින් බැඳීම් පිළිබඳ ගැටුම්වල ගැඹුර සහ ප්‍රමාණය, අසමාන ලෙස සැලකීම සහ ක්‍රියා පටිපාටික අසාධාරණකම් අනාවරණය කර ගත හැකිය. සමාජයේ සියලු කොටස්වලින් අවශ්‍ය පරිදි සහයෝගය ලැබෙන බව සහතික කිරීම සඳහා ප්‍රමාණවත් උපදේශනයක් සිදුකිරීමට රජය කැපවී සිටී.
සාරාංශය
පාලනය හා දූෂණ අවදානම් පිළිබඳ දුර්වලතා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවීම කෙරෙහි බලපා ඇත. 2023 වසරේ දී ඇරඹි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන තුළින් ගැඹුරින් මුල්බැසගත් මෙම අවදානම් සඳහා විසඳුම් ලබාදීමට නිර්දේශ 16කින් යුත් පාලන නිර්ණ වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. එම නිර්දේශ දැනටමත් ක්‍රියාත්මක කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීම සහ විනිවිදභාවය ඉහළ නැංවීම, දූෂණ විරෝධී පනත සහ අනෙකුත් අදාළ පනත් බලාත්මක කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන ශක්තිමත් කිරීම වැනි ප්‍රධාන ක්‍රියාමාර්ග ගෙන ඇත. විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාවට නැංවුවත්, යහපත් පාලනයක් සහ දූෂණයෙන් තොර සමාජයක් ඇති කිරීම සඳහා තවත් විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුය. එලෙස යහපත් පාලනයක් ඇති කිරීම සහ දූෂණයෙන් තොර සමාජයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටී.
මෙම ලිපි මාලාවේ මුල් ලිපි “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන”, ”ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ආර්ථිකය යළි යථාතත්ත්වයට පත්කර ගැනීම ” සහ ”ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සඳහා මාවත” යන මැයෙන් පසුගිය ජූලි 27, අගෝ. 03 හා 10 දිනයන් හි ඉරිදා ලංකාදීප පුවත්පත්වල පළ විය.