
යටත් විජිත සමයේ අපේ රටේ දුම්රිය ආරම්භ විය. උඩරට දුම්රිය සේවය බණ්ඩාරවෙල දක්වා දීර්ඝකරනු ලැබුවේ 1899 වසරේදීය.බදුල්ල දක්වා දුම්රිය සේවය දිර්ඝවූයේ 1924 අප්‍රේල් මස 5 වැනිදාය.
එම ඓතිහාසික සිදුවීමට වසර 100 ක් පිරීම නිමිත්තේ විශේෂ කැලිප්සෝ දුම්රියක් ධාවනය එක් කිරීම සිදුවූයේ 2024 අප්‍රේල් මස 5 වැනිදාය.
මෙම විශේෂ දුම්රියේ විවෘත මැදිරියක්, නව ආරක විශේෂ මැදිරි සහ මත්පැන් සහිත ආපනශාලාවක් ද සමග කැලිප්සෝ සංගීත කණ්ඩායම සංගීතයද යොදවා තිබුණි. එහෙත් දැන් දැන් කැලිප්සෝ සංගීතය නතරවී තිබේ.
ඒ කෙසේ වෙතත් සාමාන්‍ය ජනයාට දැරිය නොහැකි මිලකට බදුල්ල බණ්ඩාරවෙල අතර ධාවනය වන මෙම කැලිප්සෝ දුම්රියේ ගණන් ඉස්සීම නිසා එම දුම්රිය ගමනද එක පන්තියකට පමණක් සීමා විය.
මෙසේ කා අතරත් කතා බහට ලක්ව ඇති මේ කැලිප්සෝ දුම්රියට පුද්ගලයකු යටවී සිදුවීමට ගිය ජීවිත හානියක් 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකයේ දක්ෂතාව නිසා වළක්වා ගැනීමට හැකිවීමේ සිද්ධියක් මේ දිනවල කතාබහට ලක්ව තිබේ. ඉරිදා ලංකාදීපයේ අපි සෙනුකි හියාරා නමැති මෙම දියණිය සොයා බණ්ඩාරවෙලට ගියෙමු.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානට නුදුරින් හපුතලේ මාර්ගයේ පිහිටි එම නිවස සෙනුකිලාගේ මහ ගෙදරය.
සෙනුකි සහ සයෝන් නමැති 5 හැවිරිදි මල්ලී, ආච්චි සහ සීයා සමග ජීවත්වන්නේ මෙම නිවෙසේය. සෙනුකි බණ්ඩාරවෙල ආකිමිඩිස් ජාත්‍යන්තර පාසලේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර මල්ලී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

දුම්රිය ස්ථානාධිපති නලින් සමග
අම්මා කටාර් රාජ්‍යයේ ශ්‍රිලංකා තානාපති කාර්යාලයේ රැකියාව කරන බවත් පියා ප්‍රංශයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව කරන බවත් පැවසූ සෙනුකි අදහාගත නොහැකි තරම් විස්මිත ඒ කතාව අපට කිව්වේ මෙලෙසිනි.
“මට ලොකු ආශාවක් තිබුණා දුම්රියෙන් දෙමෝදරට යන්න. මම ආච්චිට ඒ බව කිව්වම ආච්චි කැමති වුණා. මමත් මල්ලිත් ආච්චි එක්ක බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ගියා. එතකොට කැලිප්සෝ දුම්රිය නතර කර තිබුණා. මමයි මල්ලිය දුම්රිය වේදකාවේ දුව පනිමින් සිටින අතර මට නිකමට වගේ කෝච්චියේ යට කොහොමද කියල බලන්න හිතුණා.මම පහත්වෙලා බලනකොට රෝද අතරින් දැක්ක අංකල් කෙනෙක් රේල්පීල්ලට බෙල්ල තියාගෙන ඉන්නවා.කෝච්චිය ගියොත් එයා යටවෙන බව මම දැන්ගත්තා. මම “මාමා නැගිටින්න” කියල කියනකොට එයා මා දෙස රවලා බැලුවා.
ආච්චි බලන් ඉන්දෙද්දි මම කෑ ගහගෙන දුවල ගිහින් දුම්රිය ස්ථානධිපතිතුමාට මේ බව කිව්වා. අන්කල් කෙනෙක් රේල් පීල්ලෙ බෙල්ල තියාගෙන ඉන්නවා අනේ ඉක්මනට බේරගමු කියලා. එතකොට කට්ටිය හනිකට දුවල ඇවිත් බෙල්ල තියාගෙන හිටිය කෙනා නැගිට්ටවලා දුම්රිය ස්ථානය ඇතුළට ගත්තා.”
“ඒ අංකල්ව බේරා ගැනීමට හැකිවීම ගැන මට හරිම සතුටුයි. ඊට පස්සේ අපි කැලිප්සෝ කෝච්චියෙන්ම බදුල්ලට වෙනකල් ගියා. ආරුක්කු නමය පාලම සහ දෙමෝදරත් දැක්කා” සෙනුකි සිනාසෙමින් කීවාය.
සෙනුකිගේ මල්ලි වන සයෝන් පැවසුවේ අක්කා සමග සෙල්ලම් කරමින් සිටිද්දි ආක්කා එකවරම කෑගසමින් දිව ගිය බවයි. සෙනුකිගේ මිත්තනිය වන කාන්ති වනිගසූරිය සිය දෑස් පනාපිට සිදුවූ මේ සිද්ධිය පැවසුවේ මෙසේය.
“මේ දරුවෝ දෙන්නා දුව පැන සෙල්ලම්කරමින් සිටියා. එක පාරමට සෙනුකි දුවගෙ ඇවිත් කිව්වා කෑගහල කිව්වා කව්දෝ මාමා කෙනෙක් කෝච්චියට බෙල්ල තියාගෙන ඉන්නවා කියල. “අනේ කවුරු හරි එන්න එයා බේරගනිමු” කියමින් සෙනුකි ස්ටේෂන් මාස්ටර් ඉන්න කාමරයට දිව්වා.

සෙනුකි සහ මල්ලි
මම කෝච්චිය ළඟට ගිහින් බලනකොට දැක්කා ඒ මනුස්සයා රේල් පාරේ බෙල්ල තියාගෙන ඉන්නවා. දුම්රිය නිලධාරීන් එකතුවෙලා එයා උඩට ගත්තා. සෙනුකි දුව කළේ ලොකු හපන්කමක්.”යැයිද අත්තම්මා කීවාය. සීයා වන විමල් ආරියවංශ මහතා පැවසුවේ මිණිබිරිය ගැන ආඩම්බර වන බවයි.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) නලින් වෙරංග පැවසුවේ මෙම දැරිය නොසිටින්න එම පුද්ගලයා දුම්රියට යටවී ජිවිතක්ෂයට පත්විමට ඉඩ තිබූ බවයි.
‘‘මේ දැරිය කෑගහගෙන දුවගෙන ආවා’’ අනේ උදව් කරන්න අන්න අන්කල් කෙනෙක් කෝච්චියට බෙල්ල තියන් ඉන්නවා කියල කියන කොට අපි දුවල ගිහින් බැලුව. එයා ඒ විදියටම හිටියා.
![]() |
දුම්රිය රියදුරු සේරම් |
අපි දුම්රිය රියැදුරු පී.එස්. ද සේරම් ටද සවන් දුනිමු.
එදා කැලිප්සෝ දුම්රියේ ප්‍රධාන නියාමක විදියට කටයුතු කළේ ප්‍රියංකර මහත්තයා. අපේ අවසාන ගමන් වාරය තිබුණේ බණ්ඩාරවෙලින් පිටත් වෙලා බදුල්ලට එන්න. සියලු සැකසීම් කරලා ප.ව.2.55 ට අපි සියලු කටයුතු සුදානම් කරලා දුම්රිය ස්ථානයේම තියෙන කැන්ටිමේ ඉඳන් දවල් කෑම කෑවා. ඒ වෙලාවේ මම දැක්කා ආච්චියි කුඩා දරුවෝ දෙන්නයි ඉන්නවා. කෑම අරගෙන ඉවරවෙලා කෝච්චිය පිටත් වෙන්න විනාඩි 10 ක් විතර තියලා එනකොට මේ දරුවා නොසන්සුන් ලෙසින් ඒ මේ අත දුවනවා. මම ඇහුවා ඇයි කියලා. අනේ අන්කල් කෙනෙක් කෝච්චිය යට බුදියගෙන ඉන්නවා කියලා. කිව්වා අපේ කට්ටිය දුවල ගිහින් ඒ මනුස්සය උඩට ගත්තා කෝච්චියේ මැද හරියෙ එහා පැත්තෙන් බෙල්ල තියාගෙන හිටිය නිසා කවුරුවත් දැක්කෙ නැහැ. මේ දුව හොඳ වෙලාවට මේක දැකල තිබුණා. ඒ ජීවිතය බේරාදීමේ ගෞරවය මෙයාට හිමි වෙනවා.”
මේ වගේ තීක්ෂණ බුද්ධියෙන් විමසිලිමත්ව කටයුතු කළ සෙනුකි හියාරා දැරිය අනෙක් දරුවන්ටත් ආදර්ශයක් බවද හෙතෙම පැවසීය.
අපි බණ්ඩාරවෙල පොලිසියෙන් සිදුකළ විමසුමකදී අනාවරණය වූයේ කෝච්චියට බෙල්ල තැබූ 42 හැවිරිදි පුද්ගලයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පවුල් ආරවුල් නිසා සිත් තැවුලට පත්ව මෙසේ සිය දිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවයි.
සටහන සහ ඡායාරූප : බදුල්ලේ
පාලිත ආරියවංශ