දියවඩන නිලමේ තේරීමේ මෙහෙයුම


අවුරුදු දහයකට වරක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දියවඩන නිලමේ පත් වෙන්නේ 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥාපනත අනුවය. සබරගමු මහ සමන් දේවාලයේ මෙන්ම රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස සිටියදී ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ 19 දියවඩන නිලමේ ලෙස 2005 දී පත්වුණේය. ඒ ඔහුගේ පියා වන ඩික්සන් සරච්චන්ද්‍ර දෑලගේ එකම අභිප්‍රාය වූ තම පුතා එක වරක් හෝ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ කරලීමේ අවශ්‍යතාව මතය.

2005 දී පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව නිලංග දෑලට එරෙහිව ජනාධිපතිවරියගේ සමීප ඥාතියකු වන එවකට මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධුරය හෙබවූ මොහාන් පානබොක්ක දියවඩන නිලමේ තරගයට ඉදිරිපත් කළේය.

එවකට ආණ්ඩුව විසින් මහාචාර්ය මහනාම දිසානායකයන් මගින් ලබාගත් සමීක්ෂණ වාර්තාවක් අනුවද බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තා අනුවද නිලංග දෑල මෙහි පෙනෙන තෙක් මානයක නොවීය.
ඒ තත්ත්වය පසුව වෙනස්වූ බව දැනගත් ආණ්ඩුව ඔහු තරගයට පැමිණීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරිය කැඳවන සුනාමි සහන මණ්ඩලයේ සාකච්ඡාවක් මුවාවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ගෙන්වා නිලංග දෑලට ඡන්දය නොදෙන ලෙස දැන් වූ බවද වාර්තා විය.

මහනුවර ප්‍රභූන් බොහොමයක් මොහාන් පානබොක්ක දියවඩන නිලමේ කිරීමේ තරගය සමග අත්වැල් බැඳගෙන සිටි අතර රත්නපුරේ දෑල සිට පැමිණි නිලංග දෑලට නුවර පිරිස නැති තරම් විය.

ඔහුගේ සහායට සිටි පුද්ගලයන් අතර සූරියගොඩ හාමුදුරුවෝ, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ හිටපු විදුහල්පති සේනානි හේවගේ, කෝසල රත්නායක, එවකට ගඩලාදෙණිය විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ආනන්ද හීන්කෙන්ද ආදී කීප දෙනෙක් වූහ.

නිලංග දෑල 2005 ජූලි 01 දින මහනුවරදී පැවැති දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්ද 199 ක් ලබාගෙන ජයග්‍රහණය කළ අතර එහිදී ඊට පෙර දියවඩන නිලමේ ධුරය හෙබවූ නෙරන්ජන් විජේරත්නට ඡන්ද 44 ක් හිමි විය. ජනාධිපතිවරියගේ ඥාති සහෝදරයා වූ මොහාන් පානබොක්කට ඡන්ද 42 ක් ලැබිණ. 

දියවඩන නිලමේ ධුරය අහිමි වූ අයගෙන් නිලංග දෑලට එරෙහිව විවිධ අපවාද මෙන්ම චෝදනාද එල්ලවිය. නිලංග දෑල වෙත නිර්මාණය කර එල්ල කරන ලද චෝදනා බොහොමයකට ඔහු විසින් ගත් අධිකරණ ක්‍රියාමාර්ගවලදී සාධාරණය ඉටු විය. 

දෙවැනි වර 

2015 සැප්තැම්බර් 8 වැනි දින පැවති දියවඩන නිලමේ ඡන්ද විමසීමට ඉදිරිපත් වෙන්නට නිලංග දෑල තීරණය කළේ කීපදෙනෙකු විසින් එල්ල කරන ලද අසත්‍ය චෝදනාවලට නිර්දෝෂ වීමට අවශ්‍ය නිසා බව ඔහුගේ සමීපතමයන්ගේ අදහස විය. එවකට පැවැති යහපාලන ආණ්ඩුව නිලංග දෑලට දියවඩන නිලමේ ධුරයට තරග කිරීමට එපා යැයි බලපෑම් කළද ඔහු එය ගණන් ගෙන තිබුණේ නැත. ඔහු ඡන්දයට ඉදිරිපත් විය.

එම ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 205 ක් ලබාගෙන ජයග්‍රාහකයා විය. ඔහු පරද්දන්නට යහපාලන ආණ්ඩුව විසින් ගෙන එන ලද හිටපු දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්නට ඡන්ද 31 ක් හිමි වූ අතර එවකට මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ වූ ගයාන් හීන්කෙන්දට ඡන්ද 53 ක් හිමි විය.

නිලංග දෑලගේ දෙවෙනි ධුර කාලය අවසන් වීමට වසර 2කට පමණ පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පෙර චෝදනාම අලුත් ආකාරයකින් ඉදිරිපත් විය. එය 2025 මුල් කාලයේදී ඉතා වේගවත්ව කළ අතර එයට ප්‍රතිචාර ලෙස ඒ සියල්ලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයන් 23 දෙනෙකුට පමණ අධිකරණය විසින් වාරණ නියෝග, අතුරු තහනම් නියෝග මෙන්ම රිට් ආඥාද නිකුත් කෙරිණ.

තෙවැනි වර

නිලංග දෑලගේ දෙවැනි ධුර කාලය අවසන් වන තරුම දියවඩන නිලමේ ධුරයට සුදුසු පුද්ගලයකු සොයා ගැනීම මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ට මෙන්ම විහාර දෙකේ හාමුදුරුවරුන්ටද ගැටලුවක්ව පැවතිණ. ඒ නිසාම නිලංග දෑලට දියවඩන නිලමේ තරගයට පැමිණීමට මුල්ම ආරාධනාව ආවේ මල්වතු අස්ගිරි විහාර දෙකෙන්මය. පවතින රජයද නිලංග දෑලට ඇති චෝදනා පිළිබඳ තක්සේරුවක යෙදිණ.

ඒ චෝදනාවල ගත හැකි කිසි දෙයක් නොමැති බව නීති අංශ තහවුරු කිරීමෙන් පසුව ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් විය. නිලංග දෑල සල්ලි දීලා දිනනවා යැයි සමාජගත වූ කාරණාවෙහි සැබෑ තත්ත්වය සොයා බැලීමට අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක විශේෂ වැඩපිළිවෙළක් යොදවා තිබුණු බවද වැඩි දෙනා දන්නා කරුණකි. 

වැඩ බැලීම

2025 සැප්තැම්බර් දින නිලංග දෑලගේ අවුරුදු 20ක දියවඩන නිලමේ ධුරයේ නිල කාලය අවසන් විය. වැඩ බලන දියවඩන නිලමේ ධුරයට කෙනෙකු පනතට අනුව පත් කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට පැවරෙන වගකීමක් විය. 

එය එසේ වුවත්, මල්වතු - අස්ගිරි මහ නායක හාමුදුරුවන් ඒ සඳහා කරන නිර්දේශය සලකා බැලීමටද බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ට අනිවාර්යයෙන් සිදුවේ.

මෙහිදී පළමු යෝජනාව වූයේ, සතර දේවාල බස්නායක නිලමේ කෙනෙකු ඒ සඳහා පත් කිරීමටය. නමුදු, මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශ වූයේ මේ සඳහා පළපුරුදු  නිලංග දෑලම වැඩ බලන දියවඩන නිලමේ විදිහට පත්කිරීමටය. මේ කටයුතු සියල්ලම සිදු වූයේ රහසිගතවය. ලිපිය සැප්තැම්බර් 04 දා නිකුත් කෙරෙන බව කියැවුණි. 

මේ බව දැනගත්  රාජ්‍ය නොවන සංවිධානවල සිවිල් ක්‍රියාකාරිකයන්  කණ්ඩායමක් නිලංග දෑලට දළදා මාලිගාවේ වැඩ බැලීමට නොදෙන ලෙස ඉල්ලා විරෝධතාවක් කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපස සංවිධානය කර තිබුණි. ඒ අතරම වැඩ බලන පත්වීම අත්හිටුවීම සඳහා අභියාචනාධිකරණය විසින් පෙත්සමක් සලකා බලන බවද වාර්තා විය.

ඒ නිසාම නිලංග දෑලට වැඩ බැලීමේ පත්වීම් ලිපිය අදාළ දිනයේ උදෑසන ලබාගැනීමට නොහැකි විය. ඒ අතර අභියාචනාධිකරණය විසින් නිලංග දෑලගේ වැඩ බලන පත්වීම අත්හිටුවා ඇතැයි දූෂමාන ආරංචි පැතිරිණි.

ඒ අතරතුර එදින සවස 4.00ට සිය දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් විසින් නිලංග දෑලට දන්වන ලදුව එක් ආරක්ෂකයකු සමග සිය පෞද්ගලික වාහනයකින් පිටත් විය. කාර්යාල වේලාව අවසන් වන තෙක් රැඳී සිටි විරෝධතාකරුවන් 5 දෙනා ඉවත්ව ගොස් තිබූ අතර වැඩ බැලීමේ පත්වීම ඔහු වෙත ලැබුණේ සවස 4.45 ට පමණය. මෙදිනම වැඩ බලන පත්වීම් ලිපිය ලබාගැනීම අත්‍යවශ්‍ය වූයේ පසු දින රජයේ නිවාඩු දවසක් වීමත් ඊට පසුව සෙනසුරාදා හා ඉරිදා දින එළඹීම නිසා නිලංග දෑල දියවඩන නිලමේ ධුරයේ නිල කාලය සැප්තැම්බර් 07 දින අවසන් වන නිසාය.

ඡන්ද ගන්න ගිය ගමන

දියවඩන නිලමේ ධුරයට තරග කරන නිලංග දෑල තම ඡන්ද දායකයන් වන ගරුතර මහා සංඝරත්නය බැහැදැකීමටත් බස්නායක නිලමේවරු, ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම ගිහි භාරකාරවරු හමුවීමටත් සැලසුම් සකස් කළේය. මේ සෑම හමුවීමකදීම බුලත් හුරුල්ලක් පිළිගන්වා තමා එළැඹෙන දියවඩන නිලමේ වරණයට ඉල්ලන බව ප්‍රකාශ කළේය.

පැරණි උඩරට රාජධානියට අයත් දිස්ත්‍රික්ක 16 ක විසිරී සිටින ඡන්දදායකයන් තමා විසින්ම හමුවීමේ අවශ්‍යතාව ප්‍රගුණ කර තිබූ නිලංග දෑල සමස්ත ඡන්දදායකයන් 267 හමුවීම සඳහා එක වටයක් තුළ කිලෝ මීටර දොළොස්දහසකට වැඩි දුරක් වෙහෙස මහන්සිය නොබලා ගමන් කිරීමට සිදුවිය.

ඔහු ඡන්දයට සතියකට පෙර එවැනි ගමන් වාර 4ක් සම්පූර්ණ කර තිබූ අතර සිය ජයග්‍රහණය සහතික බවද ඔහු ඒ වනවිට දැන සිටියේය.

නිලවරණය 

ඡන්දය දිනට පෙර දින (නොවැම්බර් 6) දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි දියවඩන නිලමේ නිල නිෙවස වෙත කොළඹ නාලන්දා විද්‍යාලයේ සිය මිතුරන් මෙන්ම රත්නපුරේ ඔහුගේ හිතවතුන්ද පවුලේ ඥාතීන් මෙන්ම මහනුවර පිරිස්ද බස්නායක නිලමේවරුන් ඇතුළු විශාල පිරිසක් ළඟාවූහ. ඒ සැම දෙනා සමගම ඉතා සුහදශීලීව කතාබස් කරමින් රාත්‍රි ආහාරය ගත් ඔහු එතැනින් පිටත්ව වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා යෑමට තීරණය කර තිබුණි. ඒ පෙර දිනයේදී සිදු කළ ආරක්ෂක සැලසුම් වලට අනුවය.

පසු දින ඔහු සිය ඡන්ද දායකයන් වෙත යැවීමට සකස් කර තිබූ ස්තුතිය පුද කරමින් සැකසූ ලිපි 263 කට අත්සන් තැබුවේ සිනාමුසු මුහුණෙන්ය. තවද ඔහු ළඟ තිබූ සැටලයිට් දුරකථන අංකය මගින් දළදා මාලිගාවේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අමතා “ කවුරු දිනුවත් කමක් නැහැ. කාටවත් රතිඤ්ඤා කරලක්වත් පත්තු කරන්න, කලබල කරන්නවත් ඉඩ දෙන්න එපා ”‍යැයි පැවසීය.

හරියටම පස්වරු 1.39ට දියවඩන නිලමේවරණය පැවති මහනුවර එක්සත් බෞද්ධ බලමණ්ඩල ශාලාව වෙත කිසිවකුට නොදැනෙන පරිදි ඇතුළුවීමට ඔහු පැමිණි අතර ඒ වන විටත් කාලිංග ඉන්ද්‍රතිස්ස, නවීන් මාරපන, කුවේර ද සොයිසා ප්‍රමුඛ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ නන්ද ගුණරත්න, අනුර චන්ද්‍රසිරි, පියුම් පෙරේරා, ජෙරාඩ් නිල්ගිරි, පිටිදූව හේමන්ත, සම්පත් හේවාපතිරණ ආදී නීතිඥ මණ්ඩලයක් ශාලාවෙහි රැඳී සිටියහ.

පස්වරු 2.20 ට පමණ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිලවරණයේ කටයුතු ආරම්භ කරන ලදී.

අපේක්ෂකයන් නම් කරන අවස්ථාවේදී සිරිපාදේ නායක හාමුදුරුවන් විසින් නිලංග දෑලගේ නම යෝජනා කළ අතර ඒ අනුව ඔහුට ඡන්දය පාවිච්චි කිරීමේදී අංක 01 හිමි විය. මහනුවර, කතරගම දේවාලයේ බස්නායක දමින්ද උඩුරාවණට අංක 02 හිමි වූ අතර අංක 3ට යෝජනා වූයේ එස්. බණ්ඩාරනායක මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේය. ඉතිරි අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිලක් සුභසිංහ, ගාමිණී කළුහෙන්දිවල, රොෂාන් ප්‍රියදර්ශන, නන්ද මඩුගල්ලේ යන අපේක්ෂකයන්ගේ නම් යෝජනා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.

ඒ අනුව, ඡන්දය ලබාදීම සඳහා ඡන්ද දායකයන්ගේ නම් කියවීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ පළමු අවස්ථාව මහානායක හාමුදුරුවරුන් දෙනම ඇතුළු හාමුදුරුවරුන්ට හිමි වූ අතර දෙවනුව බස්නායක නිලමේවරුන් ,ගිහි භාරකාරවරුන් ද තෙවනුව ප්‍රාදේශීය ලේකම්වරුන්  වෙතද  හිමිවිය.

දැඩි ආරක්ෂිත රැකවල් යොදා තිබූ මහනුවර එක්සත් බෞද්ධ බල මණ්ඩල ගොඩනැගිල්ල ආසන්නයට විශාල සෙනඟක් රැස්ව සිටියේ දළදා මාලිගාවේ මීළඟ දියවඩන නිලමේ කවුරුන් ද යන වග දැක බලා ගැනීමටය.

සවස 4.45 ට පමණ ඡන්දය ගණන් කිරීම ආරම්භ වූ අතර අංක 01 යටතේ වෙන් කරන ලද ඡන්ද ගොඩ විශාල විය. ඒ අනුව නිලංග දෑල ජයග්‍රහණය කළ බවට ශාලාවෙන් පණිවිඩ ලැබෙන්නට විය. ටික වේලාවකින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් එක් එක් අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණය ප්‍රකාශයට පත් වූ අතර නිලංග දෑල ඡන්ද 195ක්ද දමින්ද උඩුරාවණ ඡන්ද 50 ක්ද සරත් බණ්ඩාරනායක ඡන්ද 13 ක්ද ලබාගෙන තිබුණි. 

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ නිවේදනයෙන් පසු ජයග්‍රහණය කළ නිලංග දෑල වෙත ඡන්දදායකයන් ඇමතීමට පළමු අවස්ථාව ලබා දුන්නද ඔහු එම අවස්ථාව සරත් බණ්ඩාරනායක වෙත ලබා දුන්නේය.

ඉන් අනතුරුව සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිලංග දෑල තෙවැනි වරටත් දළදා හාමුදුරුවන්ගේ ගිහි භාරකාරත්වයට පත් කළ සියලු‍ දෙනාට ස්තුති කළේය. තමා සමග දියවඩන නිලමේවරණයට තරග කළ සියලු‍ අපේක්ෂකයන්ටද ඔහු ස්තුති කළේය. 

සියයට 76 ක ඡන්ද ප්‍රතිශතය 

නිලංග දෑල 2005 ඉදිරිපත් වූ පළවෙනි ඡන්දයේදී සියයට68ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර දෙවැනි වර ඉදිරිපත්වීමේදී සියයට70ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.

මෙවර ඔහුගේ ඡන්ද ලබා ගැනීමේ ප්‍රතිශතය සියයට76 ඉක්මවාලීය. මෙයින් පෙන්නුම් කරන්නේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා ඡන්දදායකයන් ඔහු වෙත තබා ඇති විශ්වාසය අවුරුදු දහයෙන් දහයට වර්ධනය වී ඇති බවය. ඒ අනුව, 2035 වසර තෙක් තවත් දස වසරක් දළදා හාමුදුරුවන්ගේ ගිහි භාරකාරත්වය දැරීමට ප්‍රදීප් නිලංග දෑල වාසනාවන්ත වී සිටී.

නිරෝෂන් ප්‍රේමරත්න