ශ්‍රි ලංකාව සිය තුන්වැනි නැනෝ චන්ද්‍රිකාවද ගගනගත කිරීමට සමත් විය. අනාගත විශ්වය පුරා පැතිර යන ජනාවාස සහිත නව සමාජයේ සරුසාරම ආදායම් උපයන සහ දැනටමත් විශිෂ්ට ආදායම් වාර්තා තබා ඇති ගෝලීය අභ්‍යවකාශ ආර්ථිකයේ සිය කොටස අල්ලා ගැනීම සඳහා අපේම පුද්ගලික අභ්‍යවකාශ කර්මාන්තයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තැබූ කුඩා නමුත් විශිෂ්ට පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
එය ලංකාවේ 3වැනි නැනෝ චන්ද්‍රිකාව “BIRDS-X DRAGONFLY“ ලෙස නම්කර ඇති අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි සිට ඉකුත් 19 දා ශ්‍රී ලංකා වේලාවෙන් 2.15ට මුදා හරින ලදි. ඊට පෙර එය අගෝස්තු 24දා නාසා ආයතනයේ “SPX33“ රොකට්ටුව මගින් මධ්‍යස්ථානය වෙත රුගෙන ගොස් තිබුණි.මේ නැනෝ චන්ද්‍රිකාව සඳහා අපේ රටෙන් කිසිදු පිරිවැයක් වැය නොවීම විශේෂත්වයක් වන අතර මෙරට ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරු දායකත්වය යටතේ නිම වූවකි.
නැනෝ චන්ද්‍රිකා වැනි හවුල්කාර කුඩා පරිමාණ ආර්ථික කටයුතුවල යෙදීම මහා පිරිවැයක් වැය වෙන රොකට් තැනීම වැනි බරසාර කටයුතු වලට අතගසනවාට වඩා අපට වඩාත් පලදායක සහ දැරිය හැකි ආර්ථිකමය ව්‍යායාමයක් ලෙස මේ ගැන කලින් අප හා කළ අදහස් හුවමාරුවකදී ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ (තාරකා විද්‍යාව) සරාජ් ගුණසේකර ලේඛකයා සමග කීවේය. මේ එවන් උත්සාහයක සරු ප්‍රතිපලයකි.
තුන්වැනි චන්ද්‍රිකාවත් නිරුපද්‍රිතව ගගනගත කිරිමට සමත් වීම ද ලංකාව ලත් සුළුපටු ජයක් නොවේ. මෙය දිගු ගමනක ස්ථිර පියවරකි. ඒ ගෝලීය අභ්‍යවකාශ ආර්ථිකයේ අපේ කොටස වෙන් කර ගැනීම සඳහා යන දිගු ගමනයි. එසේ වුවද දැන් මේ ගමනද අපට පෙනී යන්නේ කුට්ටිය අල්ලා ගැනීමට නොව මුට්ටිය ඇල්ලීමට යන ගමනක් ලෙසිනි. සිය අභ්‍යවකාශ ජයග්‍රහණ ගැන දැන් කතා කිරීමට පවා අදාළ ක්ෂේත්‍රවල විද්වත්හු මැලි බවක් දක්වති. ඔවුන්ගේ අනාගත අරමුණු ගැන කතාබහද අඩුය. එය ඛේදයට කරුණකි.මේ දේශපාලනික නරිවාදම් නිසා වැටුණු මුකවාඩම්ය.
මෙම 2025 මුල් භාගය වෙන විට ගෝලීය අභ්‍යවකාශ ආර්ථිකය ඩොලර් බිලියන 613 ක වාර්තාගත වටිනාකමක් කරා ළඟා වී තිබුණි. එය ශක්තිමත්, ස්වාධීන වාණිජ අංශ සහ ප්‍රබල රාජ්‍ය ආයෝජන මගින් මෙහෙයවනු ලැබේ.දැනට එහි ප්‍රධාන වර්ධන ක්ෂේත්‍ර අතරට බ්‍රෝඩ් බෑන්ඩ් සන්නිවේදනය සහ පෘථිවි නිරීක්ෂණ වැනි චන්ද්‍රිකා පාදක සේවා වාණිජකරණය කිරීම මෙන්ම අභ්‍යවකාශ යටිතල පහසුකම් සහ ගවේෂණය සඳහා ආයෝජන වැඩි කිරීම ඇතුළත් වේ. අඛණ්ඩ වර්ධනයක් සමඟ මෙම අංශය වේගවත් නවෝත්පාදන වැඩිවෙන චන්ද්‍රිකා ගගනගත කිරීමේ අනුපාත සහ පුහුණු ශ්‍රමය සඳහා වැඩිවෙන ඉල්ලුමක් ද අත්විඳිමින් සිටී. ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ කර්මාන්තයේ බොහෝ සාර්ථක විභවයන් ඇති අතර 2040 දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 ක වෙළෙඳපොළක් අත් කර ගැනීමේ සරු අවස්ථාවක් පවතී. දැන් අවශ්‍යව ඇත්තේ මේ ආයෝජන ආදායම සාර්ථකව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සහ ආකල්පවල වෙනසකි.
ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ අංශයේ පළමු වැදගත් ජයග්‍රහණය වූයේ 1984 දී ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය පිහිටුවීමයි. රජයේ අරමුදල් සහිත පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් වන එය චන්ද්‍රිකා සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරයි. 1994 දී බීජිංහි පැවති ආසියාවේ සහ පැසිෆික් කලාපයේ සංවර්ධනය සඳහා අභ්‍යවකාශ යෙදුම් පිළිබඳ අමාත්‍ය සමුළුවේදී ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ යෙදුම් සඳහා ජාතික කේන්ද්‍රස්ථානය ලෙස නම් කරන ලදි. එය සිසුන්, වෘත්තිකයන් සහ රජයේ නිලධාරීන් සඳහා අභ්‍යවකාශ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික උපකරණ, චන්ද්‍රිකා සන්නිවේදනය සහ තාරකා විද්‍යාව පිළිබඳ පුහුණු වැඩසටහන් සහ වැඩමුළු ද පිරිනමයි.
ඉන්පසු ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වූයේ 2012 දී චයිනාසැට් 12 දියත් කිරීමය. එයට ශ්‍රී ලාංකික සමාගමක් වන සුප්‍රීම්සැට් (පුද්ගලික) සමාගමට අයත් සුප්‍රීම්සැට්-ෂ ලෙස නම් කරන ලද සන්නිවේදන චන්ද්‍රිකාව ඇතුළත් විය. සුප්‍රීම්සැට්-ෂ යනු චයිනා ග්‍රේට්වෝල් කර්මාන්ත අනුබද්ධ ආයතනය සහ සුප්‍රීම්සැට් (පුද්ගලික) සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයකි.මෙය රට තුළ මහත් කලබැගැනියක් ඇතිකළ බව නොරහසකි.
2019 දී ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව වන “රාවණා-1’ දියත් කරන ලදි. ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් විසින් සංවර්ධනය කරන ලද රාවණා-1, ජපානයේ කීයූෂු තාක්ෂණ ආයතනයේ චන්ද්‍රිකා ව්‍යාපෘතියට ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය සම්බන්ධ වීමේ ප්‍රතිඵලයකි. මෙම ව්‍යාපෘතිය ජපන් රජය සහ අභ්‍යවකාශ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් අභ්‍යවකාශ ගමන් නොකරන රටවල් සඳහා චන්ද්‍රිකා තාක්ෂණ ව්‍යාපෘති සහාය ලබා දීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ දෙවැනි චන්ද්‍රිකාව 2022 දී අභ්‍යවකාශ ගත කෙරිණ. ඒ ජාත්‍යන්තර පාර්ශ්ව 05ක සහභාගිත්වයෙන් යුතුවය. එය “කිට්සුනේ” ලෙස හැඳින්වූ නැනෝ චන්ද්‍රිකාවය. දැන් අපි තුන්වැනි පියවර ද තබා අවසන්ය.
ලංකාව අභ්‍යවකාශ ආර්ථිකයේ මෙවන් සිල්ලර උත්සාහයන්ට නොව මහාපරිමාණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට උපන් වාසානා මහිමය, භුගෝලීය පිහිටීම ඇති රටකි.
මෙයට වසර දෙකකට පමණ පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සමග කළ කතා බහකින් එළිදරව් වූයේ පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ, Sea of Sri Lanka කලාපයේ බව නාසා ආයතනය ඒ වන විට තහවුරු කර තිබුණු බවය.මෙම සොයාගැනීම සිදුකර තිබුණේ, සමස්ත මහ පොළොවේ ජල මූලාශ්‍ර සහ ගුරුත්වාකර්ෂණ වෙනස්කම් පිළිබඳව නාසා ආයතනය සහ ජර්මානු අභ්‍යවකාශ ආයතනය ඒකාබද්ධව චන්ද්‍රිකා යුගලක් යොදා 2002 සිට 2017 දක්වා වසර ගණනාවක් තිස්සේ සිදු කළ “ග්රේස් ක්‍රියාන්විතයේ”(Nasa’s GRACE mission (Gravity Recovery and Climate Experiment) ප්‍රතිඵලයක් ලෙසටය. පර්යේෂණයට අනුව සැකසූ ගුරුත්ව බල සිතියමේ ලංකාව ආශ්‍රිත මේ අඩු ගුරුත්ව කලාපය පැහැදිලිව සටහන්ව තිබේ.
මේ විද්‍යාත්මක තහවුරු කිරීමත් සමඟ නුදුරු අනාගතයේ බිහිවෙන අභ්‍යවකාශ ජනාවාසයන්ගෙන් සමන්විත, අන්තර්-ග්‍රහලෝක සුපිරි විශ්ව සමාජය මගින් ඇතිකරන පෙරළිකාර විශ්ව ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව ඉහළම සුදුසුකම් සපුරා හමාර බව ස්ථිර විය. නාසා ආයතනයේ මේ නව විද්‍යාත්මක සොයා ගැනීම මෙහිදී අනාගත ලෝකයේ හොඳම අභ්‍යවකාශ තොටුපළ -Space port, හෝ ආතර් සී. ක්ලාක් සිය විද්‍යා ප්‍රබන්ධයකින්ද විස්තර කළ අයුරු වඩාත් වාසි දායී අභ්‍යවකාශ සෝපානයක් -Space elevator, හෝ තැනීම මගින් ලංකාව ඒ විශ්ව ගම්මානයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කළ හැකි සමෘද්ධිමත් අදහසකට මඟ පාදා දී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න එදා අවධාරණය කර සිටියේය.
නමුත් අපේ විද්‍යාඥයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ද සිටින්නේ “අනේ අපට එච්චර හරියක් පුළුවන් ද”, “මේ කළා මදැයි” වැනි සංකල්පයකය. රටේ වාසනා ගුණය දැයේ වාසනාව නැංවීමට යොදා ගැනීමට තාමත් මැලිය. ඒ නිසා අපේ අසල්වැසි රටවල් අනෙකුත් රටවල් සමග තරඟ වදිමින් තරු අල්ලන්න යද්දී අපි තවමත් තරු බලමින් සිටිමු.
අභ්‍යවකාශ ආර්ථිකය සහ අභ්‍යවකාශ කර්මාන්තය යනු බොහෝ හේතු නිසා ශ්‍රී ලංකාවේ නොසලකා හරින ලද යෙදුම් විය. නූගත් අදූරදර්ශී නායකයන්ට කිසි විටෙකත් විද්‍යාව හා තාක්‍ෂණ ලෝකයේ කිසිදු වර්ධනයක් හඳුනාගත නොහැකි විය. එමඟින් රට ගෝලීය අභ්‍යවකාශ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස නඟා සිටුවීමට නොහැකි වේ.
රට කුරුවල් කර ඇති එකතැන පල්වෙන නිලධාරිවාදය හැම පඳුරක් ගානේම හොල්මං කරනා නරිවාදම් දේශපාලනය විද්‍යාඥයන්ට සහ නව නිර්මාණකරුවන්ටද විනකර හමාරය. මේ අනවින හදිහූනියම් ඉවත ලා ගමන ඇරඹුව හොත් අපටද කෙටි කලකින් යා හැකි මඟ බොහෝදුරය. එයට හොඳම නිදසුන අපේ ළඟම හිතවතා ඉන්දියාවයි.
මෙයට වසර 46කට පෙර ඉන්දියාව සිය මුල්ම රොකට්ටුව ගගන ගත කිරීමට සැරසුණේ සිය රට ඒ වනවිටද වේගයෙන් වර්ධනය වෙමින් තිබූ ගෝලීය අභ්‍යවකාශ ආර්ථිකය වෙත දායක කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් වෙත ප්‍රවිෂ්ට කිරිමේ උදාර අරමුණෙනි. එවකට 47 හැවිරිදි වියේ පසුවූ ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්,ඒ වනවිට ඇරඹී තිබූ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) වෙනුවෙන් එරට භූමියෙන් චන්ද්‍රිකා දියත් කිරීමට ඉඩ සලසන නව රොකට්ටුවක් සංවර්ධනය කර තිබුණි. ඔහු චන්ද්‍රිකා දියත් කිරීමේ වාහනය (SLV) නමැති ප්‍රථම රොකට්ටුව තැනීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා විය. එය ඉන්දියා අභ්‍යවකාශ ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ දවසකි. ඒ 1979 අගෝස්තු 10වැනිදාය.
“පරිගණක යන්ත්‍ර එපා”කියා කෑ මොර දෙද්දී තනි හිතුවක්කාර තීන්දුවක් ගත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මුල්ම චන්ද්‍රිකා ප්‍රවාහන රොකට්ටුව දියත් කිරීම නිසාය.එදා අහස්ගත වූ ඉන්දියාවේ මුල් රොකට්ටුව නැවතුණේ බෙංගාල බොක්ක පතුළේය. නමුත් අද වෙන විට ඉන්දීය අභ්‍යවකාශ වැඩපිළිවෙළ රටේ ආර්ථිකයටද සරු දායකත්වයක් දෙමින් ලෝකයේම 4වැනි තැනට එසැවී තිබේ.
එදා අබ්දුල් කලාම් ඇතූළු 6 දෙනාගේ රොකට් මෙහෙයුම් කල්ලියේ අසාර්ථකත්වයට එරෙහිව දෙස්- විදෙස් ජනමාධ්‍ය මෙන්ම විවිධ පණ්ඩිත්වරුන්ගේ විවේචන අපහාස උපහාස දෝෂාරෝපණ වැසි වැස්සේය. ඒ දරුණු විවේචන වැස්සේ තෙමී අධෛර්යවත්ව සමස්ත ඉන්දියානු අභ්‍යවකාශ වැඩපිළිවෙළ සහ එහි තරුණ විද්වතුන්ගේ අනාගතය සදහටම දියැවී මැකී යාම වැළැක්වූයේ ප්‍රබල විශිෂ්ටයෙකුගේ මැදිහත් වීමෙනි. එවකට ඉස්රෝහි සභාපතිත්වය දැරුවේ මහාචාර්ය සතිෂ් ධවාන්ය. ඔහු තම කණ්ඩායම රළු මාධ්‍ය සහ අන්තනෝමතික පක්ෂග්‍රාහී විචාරක ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීමට තීරණය කළේය. කෝපයෙන් බුරා පනින මාධ්‍ය හමුවකට තනිවම මුහුණ දුන්නේය. එහිදී තවමත් නවක ආයතනයක් වූ ඉස්රෝහි ප්‍රධානියා වෙන ධවාන් ප්‍රකාශ කළේ, “අපි අද අසාර්ථක වී තිබෙනවා. නමුත් මේ පරාජයෙන් පාඩම් ඉගෙන මගේ තාක්ෂණවේදීන්ට, මගේ විද්‍යාඥයන්ට, මගේ කාර්ය මණ්ඩලයට ලබන වසරේ සාර්ථක වීමට සහාය වීමට මම කැමතියි” යනුවෙනි.
ඔහු කලාම් ඇතුළු පුරෝගාමීන්ගේ කුල-මල,ජාති-ආගම් හෝ දේශපාලන සමාජ සබඳතා හෝ උපාධි මට්ටම් ගැන කතා කළේ නැත.අසාර්ථකත්වයේ වරද ඔවුන් පිට පවරා අත සෝදා ගත්තේ නැත.ඒ වෙනුවට ඔවුන්ගේ පුරෝගාමී දායකත්වය, කැපවීම, උනන්දුව අගය කළේය.සමස්ත ඉන්දියානු අභ්‍යවකාශ ජයග්‍රහණය ගැන පමණක් සිතා කටයුතු කළේය.ඒ අනුව ඔහු කීවාක් මෙන්ම ඊළඟ වසරේ එනම් 1980 ජූලි 18 වැනි දින එම කණ්ඩායම ම දෙවැනි උත්සාහයක් සඳහා කල්ලි ගැසී සිටියහ. නැවතත් ලෝකය සැකයෙන් බලා සිටියේය.
මෙවර කණ්ඩායම ඔවුන්ගේ වැරදි විශ්ලේෂණය කර නිවැරදි කර තිබුණි. මිනිසුන් සිදුකළ ගණනය කිරීම් පරිගණකය ඉදිරිපත් කළ දියත් කිරීමේ ගණිත ක්‍රියාවලියට අනුකූල විය. කිසිදු දෝෂයක් නැත.
මහාචාර්ය ධවාන්ගේ සමස්ත නායකත්වය යටතේ ආචාර්ය කලාම් සහ ඔහුගේ කණ්ඩායම “රෝහිණී ආර් එස්1” නමැති ප්‍රථම ඉන්දියානු චන්ද්‍රිකාව එදා කක්ෂයට සාර්ථකව දියත් කළේය.
එය ඉන්දියාවට සහ එහි අභ්‍යවකාශ ක්‍රියාන්විතයේ ආත්ම විශ්වාසයට යෝධ පිම්මක් විය. නමුත් තිරය පිටුපස ඊටත් වඩා වැදගත් දෙයක් සිදු විය. ඒ මහාචාර්ය ධවාන් ආචාර්ය කලාම් වෙත ගොස් “ඔබ අද මාධ්‍ය හසුරුවන්න, කලාම්” යනුවෙන් පැවසීමය.
“එදා මම ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගත්තා. අසාර්ථකත්වය සිදු වූ විට සංවිධානයේ නායකයා එහි අයිතිය භාර ගත්තා. සාර්ථකත්වය පැමිණි විට, ඔහු එය ඔහුගේ කණ්ඩායමට ලබා දුන්නා. මම ඉගෙන ගත් මේ හොඳම කළමනාකරණ පාඩම පොතක් කියවීමෙන් මට ලැබුණේ නැත. එය පැමිණියේ එම වටිනා අත්දැකීමෙන්” ආචාර්ය කලාම් මේ සිද්ධිය පසුව බොහෝ විට සිහිපත් කළේය.එදා ඇරඹූ අභ්‍යවකාශ ජයග්‍රහණ හඹායාම ඔස්සේ අද ඉන්දියාව බොහෝ දුර ගොසිනි.
ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහන පුද්ගලයන් ගැන හෝ ඔවුන්ගේ කැරුට්ටුව ගැන හෝ නොව සිය රට ගැන මුල් කොට සිතූ අභිලාෂකාමී ක්‍රියාන්විතයක් නොවුණේ නම් ඔවුන් සිටින තැන අද නොමැත. ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ), එහි වසර 50 කට වැඩි ඉතිහාසයේ චන්ද්‍ර ගවේෂණ කිහිපයක්, අඟහරු කක්ෂයට ගිය ගමන් සහ අතලොස්සක් අභ්‍යවකාශ දුරේක්ෂ ගගනගත කිරීම ඇතුළුව සැලකිය යුතු අභ්‍යවකාශ මෙහෙයුම් ජයග්‍රහණ රාශියක් දැනටමත් රුස් කරගෙන තිබේ.
2023 අගෝස්තු මාසයේදී ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහන ප්‍රථම වරට සඳෙහි දකුණු ධ්‍රුවය අසල මිනිසුන් රහිත යානයක් ගොඩබෑමෙන් සිය නම අභ්‍යවකාශ ඉතිහාසයට එක් කළ අතර එය රටේ පළමු සාර්ථක චන්ද්‍ර ගොඩබෑම ද විය. ඉස්රෝ කුඩා පරිමාන සිට මධ්‍යම දක්වා එසවුම් ධාරිතාවකින් යුත් රොකට් සමූහයක් ද ක්‍රියාත්මක කරන අතර, චන්ද්‍රිකා නිෂ්පාදන සේවා සමඟ එහි වාණිජ අංශය වන නිව් ස්පේස් ඉන්දියා ලිමිටඩ් හරහා මෙම චන්ද්‍රිකා දියත් කිරීමේ සේවාද අලෙවි කරයි. ඉස්රෝහි රොකට් මෙන්ම එහි අභ්‍යවකාශ මෙහෙයුම් ලාභදායී බවට ප්‍රසිද්ධ සහ විස්මයජනක ලෙස කාර්යක්ෂම ද වේ.
වර්තමානයේ ඉන්දියානු අභ්‍යවකාශ ආර්ථිකයේ වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක් වෙන අතර එය ගෝලීය අභ්‍යවකාශ වෙළඳපොළෙන් සීයට2ක කොටසකි. 2033 වෙන විට අභ්‍යවකාශ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 44 දක්වා පරිමාණය කිරීමට රජය අපේක්ෂා කරන අතර ගෝලීය කොටසෙන් සීයට …...ක් ඇතුළත් වේ.මේ ගමන මේ දුර ගෙන ආවේ එදා අබ්දුල් කළාම්ගේ වැරදුණු රොකට්ටුවය.ඒ ප්‍රයත්නය ඔහුට ඉන්දියාවේ මිසයිල මිනිසා යන විරුදාවලිය ලබා දුන්නා පමණක් නොව පසුව පක්ෂ භේද නොතකා ජනාධිපති පදවිය දක්වාද ඔසොවා තැබුවේය.ඒ ඉන්දියාවය. අප පියනැඟිය යුතු මගද එයය. ලංකාවේ තුන්වැනි චන්ද්‍රිකාවත් ගගනගත වෙද්දී අප කළ යුතුව ඇත්තේ අහස දෙය බලා “හුරේ’ දැමීම නොව අසල්වැසියාගෙන් පාඩම් අසාගැනීමය.
සුගත් පී. කුලතුංග ආරච්චි