ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ටත්වය විදහාපාමින් ලංකාවේ මුහුද තීරයේ අපේ සූදානම පිළිබිඹු කරන දැවැන්ත නාවික හමුදා අභ්‍යාසය වන ‘TRINEX 25’ (ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025) ජුලි 22දා සිට 27දා දක්වා ත්‍රිකුණාමලය මුහුදු කලාපයේදී සාර්ථකව නිමාවට පත් වූ අතර නාවික අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව ජුලි මස 27දා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ දී පැවැත්විණි.
ලෝකයේ සියලුම රටවල් වරින් වර තම නෞකාවල ශක්තිය, වෘත්තීයභාවය, සූදානම්වීම පිළිබිඹු කිරීම මෙවැනි අභ්‍යාස හරහා සෙසු රටවලට ප්‍රදර්ශනය කරයි. ‘TRINEX 25’ නාවික අභ්‍යාසය අපේ සම්පත්වලින් අපේ තිබෙන සූදානම, වෘත්තීයමයභාවය, පිළිබිඹු කරනු ලැබුණි.
එසේම මෙවර පැවති ‘TRINEX 25’ නාවික අභ්‍යාසයේ සුවිශේෂීත්වය වන්නේ නාවික හමුදා නිලධාරිනියන් හා කාන්තා නැවියන්ද පළමු වරට ගජබාහු නෞකාවේ සිට මෙම නාවික අභ්‍යාසය සඳහා සක්‍රීයව සිය දායකත්වය සැපයීමයි. ජාතික සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්ෂණ කටයුතු හා මෙහෙයුම්, ගුවන් හමුදාව සමඟ එ්කාබද්ධ ප්රවේශයකින් සිදුකිරීමේදී අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමත්, නාවික හමුදා නෞකා බළඇණිය ජාත්‍යන්තර සමුද්‍රීය අභ්‍යාස සඳහා සහභාගිවීමේදී අවශ්‍ය ශිල්පීය දැනුම, වෘත්තීයභාවය සහ හැකියාවන් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් මෙම අභ්‍යාසය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මෙවර අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වේග ප්‍රහාරක යාත්‍රා, නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණය, මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා එක්විය.
කලාපීය සමුද්‍රීය ස්ථාවරත්වය සඳහා නාවික හමුදාවේ උපායමාර්ගික සූදානම සහ කැපවීම පිළිබිඹු කෙරෙමින් පැවැත්වුණු මෙම නාවික අභ්‍යාසය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් අධීක්ෂණය කිරීම ජූලි මස 25 සහ 26 දෙදින ගජබාහු නෞකාවේ සිට සිදුකෙරිණි.
එසේම ජුලි මස 27 වැනි දින ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසයේ අවසානය සනිටුහන් කෙරුණි. මෙම නාවික අභ්‍යාසයේ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු අණදෙන නිලධාරී කපිතාන් සාගර උදයංග ප්රමුඛ ගජබාහු නෞකාවය.
මේ පිළිබඳව අදහස් විමසීමට අපි මුලින්ම ගජබාහු අණදෙන නිලධාරී කපිතාන් සාගර උදයංග සම්බන්ධ කර ගතිමු.
“‘TRINEX 25’ වාර්ෂික අංගයක් ලෙස නාවික හමුදාවේ ප්‍රධාන තැනක් ගන්නා නාවික අභ්‍යාසයක්. නාවික හමුදාවේ තිබෙන ප්‍රධාන කර්තව්‍යයක් තමයි අපගේ නාවික කලාපයේ ආරක්ෂාව සහ ආවේක්ෂණ කටයුතු සම්පූර්ණ කිරීම. ඒ සඳහා අවශ්‍ය මූලික පසුබිමක් ලෙස නාවික හමුදාව සතු සියලුම නෞකා උපරිම ලෙස සහභාගි කරවලා මේ TRINEX 25 නාවික අභ්‍යාසය වාර්ෂිකව ත්‍රිකුණාමල මුහුද ආසන්නයේ සිදු කරනු ලැබුවා.
ජුලි 23දා ආරම්භ කරලා ජුලි 26දා දක්වා ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් මුහුදේ දී මෙම ක්‍රියාකාරකම්වල යෙදුණා. මෙම අභ්‍යාසය සඳහා අවශ්‍යකරන සියලුම සැලසුම් අපි 22දා සාකච්ඡා කරලා 23 දා මුහුදට ගිහින් අභ්‍යාස ඇරඹුවා. පළමු දිනයේදී නැගෙනහිර ප්‍රදේශය භාර අාඥාපතිතුමන් විසින් මෙම උත්සවයේ සමාරම්භය සටහන් කරනු ලැබුවා. ඉන් පසුව මම විසින් අණ දෙනු ලබන ශ්‍රී ලංකා නෞකා ගජබාහු නෞකාව මෙම අභ්‍යාසයේ දී ජ්‍යෙෂ්ඨතම නෞකාව ලෙසින් ධජ නෞකාව ලෙසින් කටයුතු කරනු ලැබුවා.
නමුත් ඒ අභ්‍යාසවලදී යම් ආකාරයක දුෂ්කරතාවකට මුහුණ දෙන්න සිදුවුනේ අනපේක්ෂිත ආකාරයේ මුහුදේ රළු ස්වභාවයක් ඇති වූ නිසයි. නමුත් අපේ සියලුම නෞකාවන් සහ එම නාවිකයන්ගේ සහයෝගය මත රළු මුහුදු තත්ත්වයක් තිබුණත් අපි බලාපොරොත්තු වූ සියලුම අභ්‍යාසයන් ඒ ආකාරයෙන්ම සිදුකරගන්න ලැබුණා. අභ්‍යාසයන් සිදුකරන අතරේ ජුලි 25 වැනිදා නාවික හමුදාපතිතුමන් අපගේ නෞකාවට පැමිණියා. ඒ අනුව එතුමන්ගේ අධීක්ෂණය යටතේ එම අභ්‍යාසයන් අපි නැවත් වතාවක් සිදුකළා.
ඒ වගේම අභ්‍යාසයේ අවසන් දිනය වූ ජුලි 26දා නාවික හමුදාපතිතුමා නැවතත් අපේ නෞකාවට පැමිණියා. එම අවස්ථාවට නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර ප්‍රදේශය භාර සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නෞකාවට පැමිණුනා. අවසාන වශයෙන් එම අභ්‍යාසවල කරන ප්‍රධානම එකතුවක් ලෙස සිදුකරන සියලුම අභ්‍යාසයන් සිදුකළා.
අවසාන වශයෙන් නාවික හමුදාපතිතුමා විසින් සහභාගි වූ සියලුම නෞකාවලට අාචාර කිරීමක් සිදු කරලා මුහුදේදී සිදු කරන අභ්‍යාසය අවසන් කළා.
මේ ක්‍රියාකාරකම් සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ භූ ගෝලීය වශයෙන් දූපත් රාජ්‍යයක් ලෙස අපට අයත් සීමාවන් (මෙරිටයිම් බවුන්ඩ්රිස්) ආරක්ෂා කරගැනීමයි. මේ රාජකාරී විශිෂ්ට ලෙස සිදුකරගැනීමට නම් අපේ නෞකා තුළ ඒ අවශ්‍ය හැකියාව, දැනුම දියුණු කර ගන්න ඕනි. ඒක මෙවැනි අභ්‍යාසයක් හරහා අපි වාර්ෂිකව වැඩිදියුණු කරගැනීමක් තමයි සිදු කළේ. ඒ සඳහා මෙම අභ්‍යාසය මහත් රුකුළක් වුණා.
TRINEX 25 අභ්‍යාසය සඳහා මූලික වශයෙන් ප්‍රධාන නෞකා 4ක් සම්බන්ධ වුණා. ඒ ගජබාහු, සිඳුරළ, සයුර හා උදාර යන නෞකායි. ඊට අමතරව ගන් බෝට්ස්, ඩෝරා හා සාමාන්‍ය දුරක් යාහැකි නෞකා රැසක් සම්බන්ධ වුණා. ඒ වගේම එම නෞකාවල හා යාත්‍රාවල සේවය කරන සියලුම නිලධාරීන් හා නාවිකයන් මෙම අභ්‍යාසය සඳහා සම්බන්ධ කර ගත්තා. උදාහරණයක් ලෙස ගජබාහු නෞකාවේ නාවිකයන් 120ක් හා නිලධාරීන් 14ක් සම්බන්ධ වුණා. ඒ වගේම මගේ යාත්‍රාව තුළ ගුවන් හමුදා හා විශේෂ යාත්‍රා බළගණයේ පිරිසුත් සහයෝගයෙන් කටයුතු කළා.
ලැබුණු අත්දැකීම
නාවික හමුදාවේ වසර 28ක පමණ සේවා කාලය ගත කළ මා අවසාන අණ දෙන නිලධාරී ක්‍රියාකාරකම තමයි සිදු කළේ. නමුත් මමත් මෙතනදි අලුත් දේවල් රැසක් ඉගෙනගත්තා කියන හැඟීම මා තුළ තිබෙනවා. අවසාන අදියරේ අණ දෙන නිලධාරීන්ටත් එසේ දැනෙනවා නම් අපගේ සියලුම නාවිකයන්ට හා සියලුම නිලධාරීන්ට අලුත් දේවල් රැසක් ඉගෙන ගන්න ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස ‘TRINEX 25’ නාවික අභ්‍යාසය හඳුන්වන්න පුළුවන්. සංකල්පමය දියුණුව, තාක්ෂණික දියුණුව සහ රට රටවල නාවික හමුදාවල අලුතින් එකතුවන දේවල් අභ්‍යාස කිරීමට මෙය මහත් රුකුලක් වුණා.
ඒ වගේම මෙහි ඇති සුවිශේෂීම කාරණය වන්නේ නාවික හමුවේ නවතම සංකල්පයක් ලෙස නෞකා සඳහා කාන්තා නාවිකයන් හා කාන්තා නිලධාරීන් සම්බන්ධ කර ගන්නවා. ඒ අනුව අපට තිබෙන පහසුකම් අනුව නෞකා 2ක් සඳහා කාන්තා නාවිකයන් හා නිලධාරිනියන් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි වසර 2ක කාලයක් තිස්සේ මෙම කටයුත්ත කරගෙන යනවා.
මෙතැනදී ඉතා සංතෝසයෙන් කිව යුතු කාරණය වන්නේ එම කාන්තා නැවියන් හා නිලධාරිනියන් පිරිමි නාවිකයන් හා නිලධාරීන් සමග කරට කර සිටලා අවශ්‍ය සියලුම කටයුතු සඳහා සිය දායකත්වය ලබා දුන්නා. මේ නිසා නෞකාවක අණ දෙන නිලධාරියෙකු ලෙස මට ඉතා විශ්වාසයෙන් කිය හැකි කාරණය වන්නේ අනාගතයේදී නෞකාවල රාජකාරී කිරීමට නාවිකයන් හා නිලධාරිනියන් බිහිවේවි. ඒ වගේම මෙම වසරේ සිට විධායක අංශයේ නිලධාරිනියන් පුහුණු කිරීමත් අපි ආරම්භ කළා. ඒ අනුව කැඩෙට් නිලධාරිනියන් මූලික පුහුණුව ලබාගෙන තිබෙනවා. ඒ අනුව අනාගතයේදී නෞකාවන් කාන්තා අණදෙන නිලධාරිනියකට බාරදිය හැකි වේවි.
‘TRINEX 25’ නාවික අභ්‍යාසයේදී අපේ කාන්තා නැවියන් හා නිලධාරියන් සිදු කළ මෙහෙය නාවික හමුදාපතිතුමාගේත් ඇගයීමට ලක්වුණා”.
‘TRINEX 25’ නාවික අභ්‍යාසයේදී අපේ කාන්තා නැවියන් හා නිලධාරියන්ගේ කාර්ය භාරය වැඩි වශයෙන් කතාබහට ලක්වෙන පසුබිමක නාවික අභ්‍යාසය සඳහා සක්‍රීය දායකත්වය දුන් නිලධාරිනිය හා කාන්තා නැවියන් පිරිස සමගද අපි කතා බහක නිරත වූවෙමු.
නෞකාවක සේවය කරමින් දැවැන්ත නාවික අභ්‍යාසයකට එක්වීමෙන් පසු කාන්තා නැවියන් හා නිලධාරිනියන් සිය අත්දැකීම් අප හා බෙදා හදා ගත්තේ මේ අයුරිනි.
ලුතිනන් යූ. පී. ඒ. එස්. ඩී. කරුණානායක (26) : “මම නාවික හමුදාවට සම්බන්ධ වුණේ 2019 දීයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාවේ සැපයුම් නිලධාරිනිය ලෙස තමයි මම සේවය කරන්නේ. මාත් සමග කාන්තා නාවිකයෝ 06 දෙනෙක් මෙම නෞකාව තුළ සේවය කරනවා.
TRINEX නාවික අභ්‍යාසයේදී නාවික හමුදා නෞකා සහ යාත්‍රා සමග මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග විවිධ ක්‍රියාකාරකම් සිදු කළා. එතනදි මම කටයුතු කළේ ‘ලෑන්ඩ් සේෆ්ටි ඔෆිසර්’ ලෙසයි. එතනදි මට කරන්න තිබුනේ ගුවන් හමුදාවේ නියමුවන් සමග සහ නෞකාවේ නැවිගේටර් ඔෆිසර් සමග සම්බන්ධ වෙලා අපේ නැවේ ඩෙක් එකට චොපර් එක විවිධ අවස්ථාවල ලෑන්ඩ් කරන විට ආරක්ෂක ක්‍රියාමාර්ග (Safety Position) නිරීක්ෂණය කර අවශ්‍ය කටයුතු කිරීමයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරිනියක් මෙවැනි කටයුත්තක නිරත වූ පළමු අවස්ථාව මෙය කියලා මම හිතනවා. කාන්තාවක විදිහට හා නිලධාරිනියක ලෙස මා යටතේ සිටි කාන්තා නිලධාරියනුත් පිරිමි නාවිකයන් සමග උරෙන් උර ගැටී ඔහුන් සමග සහයෝගයෙන් ඉටුකරන්න අපට හැකියාව ලැබුණා.
මෙවැනි අභ්‍යාසයකට මම මීට පෙර සහභාගි වෙලා නෑ. පළමු අත්දැකීම විදිහට මෙවැනි දැවැන්ත අභ්‍යාසයකට සහභාගිවීමට ලැබීම සුවිශේෂී භාග්‍යයක් ලෙස මම සලකනවා. ගුවන් යානයක් යනවා දැකලා තිබුණත් යානා සම්බන්ධ වෙන අත්දැකීම් නොතිබුණ පසුබිමක මෙතනදි මම ගුවන් යානයක් ආරක්ෂාකාරිව ගොඩබෑම හැසිරවීමට දායක වුණා. ඒ අත්දැකීම ගැන ලොකු සතුටක් සහ නාවික හමුදාව වෙනුවෙන් එවැනි කටයුත්තක නිරතවීමට ලැබීම ආඩම්බරයක් ලෙස දකිනවා.
සමාජයේ ඇතැමුන් තුළ මතයක් තියෙනවා කාන්තාවකට පිරිමි අය හා සමානව ගැටිලා
වැඩකරන්න හැකියාව නැහැ කියලා. නමුත් නාවික හමුදාව කියන්නෙ සන්නද්ධ හමුදාවක් වුවත් එහි නිලධාරීන් හා නාවිකයන් අපට ශක්තිමත්ව වැඩ කරන්න ලොකු ශක්තියක් සහ සහයෝගයක් ලබාදෙනවා. ඒ තුළ සමාජයේ පවතින හුදු මතවාද ප්‍රතික්ෂේප වී යන අතරම කාන්තාවක් ලෙස මෙවැනි ක්ෂේත්රයක වෘත්තීයමය ලෙස සේවය කරන්න ලැබීම ලොකු භාග්‍යයක් ලෙස මම දකිනවා”.
බල කාන්තා ලිපිකරු ඩබ්. පී. යූ. එම්. එස්. වීරසිංහ (32)
“මම නාවික හමුදාවට සම්බන්ධ වුණේ 2014 වර්ෂයේදීයි. මම මූලික පුහුණුව හැදෑරුවේ නාවික හමුදා ශික්ෂා ආයතනයෙන්.
TRINEX නාවික අභ්‍යාසයේදී මට පැවරී තිබුණු කාර්යභාරය වුණේ අවට බලන්නාගේ කාර්යභාරයයි. ඉදිරියේ තිබෙන ලොකේෂන්, වෙෙළඳ නෞකා හා වෙනත් යාත්‍රා පිළිබඳව වාර්තා කිරීම තමයි මට පැවරී තිබුණු රාජකාරිය වුනේ. නෞකාවක් තුළ එවැනි රාජකාරියක නිරත්වීමේ මගේ පළමු අත්දැකීම මෙයයි.
කාන්තාවන් විදිහට හැමෝටම නෞකාවක රාජකාරි කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. මම කාන්තාවක් විදිහට ගොඩක් වාසනාවන්තයි, ශ්‍රී ලංකා නාවික හමුදාවේ යුද නෞකාවක සේවය කරන්න ලැබීම ගැන. ඒ වගේද දැවැන්ත නාවික අභ්‍යාසයකට සම්බන්ධවීමට ලැබීම ගැනත් ලොකු ආඩම්බරයක් හා සතුටක් තිබෙනවා.
සන්නද්ධ හමුදාවක යුද නෞකා, වේග ප්රහාරයක යාත්‍රා සහ සෙසු යාත්‍රා යොදාගෙන සිදුකරන නාවික අභ්‍යාසයක් මම මීට පෙර දැකලා නැහැ. ඒක මම දැන් ඇස් දෙකෙන් දැක්කා, වගේම ඒ සඳහා දායකත්වය ලබාදුන්නා. ගොඩක් අත්දැකීම් ලබාගත්තා. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා. කාන්තාවන් ලෙස අපි නෞකාවක සේවය කිරීම ගැන භාහිර සමාජයේ කාන්තාවන්ටත් සතුටක් ඇති. ඒ වගේම ඔවුන්ටත් බලාපොරොත්තුවක් ඇති අපි වගේම යුද නෞකාවක් තුළ සේවය කරන්න. නාවික හමුදාව සමග සම්බන්ධ වුණොත් ඔහුන්ටත් ඒ අත්දැකීම විඳගන්න පුළුවන් වේවි”.
බළකාන්තා වෛද්‍ය සහායක එන්. එම්. ආර්. යූ. කුමාරි (23): “මම නාවික හමුදාවට සම්බන්ධ වුණේ 2018 වසරේදීයි. මම ගජබා නෞකාවට වසරකට වැඩි කාලයක් තිස්සේ වෛද්‍ය සහායිකාවක ලෙස සම්බන්ධ වෙලා කටයුතු කරනවා.
දිවයින වටා මුහුදු තීරයේ ආවේක්ෂණ කටයුතු සිදුකරන විට නීතිනීති විරෝධී ජාවාරම් සිදුකරන කුඩා මාළු බෝට්ටු අල්ලනවා. ඒවායේ සිටින ගිලන්ව සිටින හෝ අසනීප තත්ත්වයෙන් පසුවන්නන් සඳහා අපි ප්‍රතිකාර ලබාදෙනවා. ඒ වගේම සුළු ශල්‍යකර්ම වුවත් සිදු කරනවා. වෛද්‍යවරයෙක්, මම සහ තවත් වෛද්‍ය සහායකයෙක් මේ නෞකාව තුළ සේවයේ නිරත වෙනවා. මෙහිදී වෛද්‍යවරයා තීරණය කළොත් ශල්‍යකර්මයට ඔබ්බට ගොස් ප්‍රතිකාර කළ යුතුයි කියලා ගුවන් නියමුවාව සම්බන්ධ කරගෙන රෝගියාව ළඟම රෝහල වෙත ගෙනයනු ලබනවා.
මේ නාවික අභ්‍යාසය තුළ චොපර් එකක් භාවිතයෙන් ගිලන් වූ කෙනෙක් රෝහල් ගත කිරීම හා නෞකාව තුළ ශල්‍යකර්මයක් සිදුකිරීම ආදි අංග ගණනාවක් අපි මෙහිදී නිරූපණය කළා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සම්බන්ධ වෙලා මේ දුර්ලභ අවස්ථාව ලබාගැනීමට මම ගොඩක් වාසනාවන්ත වුණා.
නාවික හමුදාවට සම්බන්ධවෙන්න හිතන තරුණියන්ට කියන්නේ නාවික හමුදාව තුළ ඔබට හොඳ අවස්ථා රැසක් තිබෙනවා. ඒ නිසා නාවික හමුදාව සමග එක්ව ජීවිතය ජයගන්න”.
බළකාන්තා සංඥා එච්. වී. ජාගොඩ (24)
‘‘මම 2021 තමයි නාවික හමුදාව සමග සමබන්ධ වුණේ. මම සංඥා නාවිකයෙක්. නෞකා සහ වේග ප්‍රහාරක යාත්‍රා සඳහා මෙහෙයුම් සඳහා එකින් එකට අවශ්‍ය විධාන ලබාදීම සහ ඒවා හසුරවන ආකාරය ගැන ඔවුන්ව දැනුවත් කිරීම තමයි සිදුකළේ. මීට පෙර ගොඩබිම් ආයතන තුළ රාජකාරි කර තිබුණත් මම නෞකාවක් තුළ රාජකාරි කළේ පළමු වතාවටයි.
ඇත්තටම ඒ වගේ අවස්ථාවක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව කාන්තා නැවියන් මෑතකදී තමයි යාත්‍රාවල සේවය සඳහා සම්බන්ධ කරගැනීම ඇරඹුණෙ. මේ වගේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වීමත්, නෞකාවක සේවයට එක්වීම ගැනත් ලොකු සතුටක් තියෙනවා.
කාන්තාවක් විදිහට එකම රාමුවකට කොටුනොවී අපට පිරිමි පුද්ගලයන් සමග උරෙන් උර ගැටී අපේ හැකියාවන්, දක්ෂතාවන් විදහා දැක්වීමේ අවස්ථාව නාවික හමුදාව තුළ තිබෙනවා. ඒ නිසා ඔබේ අනාගතය සාර්ථක කරගන්න, පවුලට අභිමානයක් එක්කරන්න නාවික හමුදාව සමග එක්වන්න කියලා දැනුම්දීමක් කරනවා”.
සාමාන්‍ය කාන්තා නැවි ඩී. එම්. ඒ. සංජීවනී (24): “මම නාවික හමුදාවට සම්බන්ධ වුණේ 2023දීයි. මගේ රාජකාරිය වන්නේ අවට බලන්නාගේ රාජකාරියයි. ඒ තුළ නිරීක්ෂණය වන දේවල් නෞකාවේ පාලක මැදිරිය දැනුවත් කරනවා. අපි ලබාදෙන තොරතුරු මත තමයි නැවේ ඉදිරි තීරණ ගන්නේ.
TRINEX නාවික අභ්‍යාසය බොහෝ දෙනෙකුට අඩුවෙන් ලැබෙන අත්දැකීමක්. එවැනි අත්දැකීමක් ලබාගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.
නෞකාවක අත්දැකීම් විඳගනිමින් රටට සේවයක් කරන්න නාවික හමුදාව සමග එක්වන්න කියලා මම ඔබටත් ආරාධනා කරනවා.’’
සාමාන්‍ය කාන්තා නැවි සිල්වා (23): “මම ගජබා නෞකාවේ සේවයට එක්වෙලා මාස 2ක් පමණ වෙනවා.”
නෞකාව තුළ අපි ගොඩක් අභියෝගාත්මක ජීවිතයක් තමයි ගත් කරන්නේ. අපේ ප්රධානිතුමිය සමග තරුණියන් 7ක් මේ නැවේ සේවය කරනවා. ගොඩබිම් පරිසරයට වඩා වෙනස් පරිසර තත්ත්වයක් තමයි නැව තුළ තිබෙන්නේ. නමුත් අපි දැන් ඒ සඳහා අනුගත වෙලා තිබෙනවා.
මම අවට බලන්නන්ගේ රාජකාරිය තමයි සිදුකරන්නේ. පරිසර තත්ත්වය කුමක් වුවත් අවදානයෙන් යුතුව ඒ කටයුත්ත කළ යුතුයි.
මේ නෞකාවේ රාජකාරි කිරීම ලොකු ආඩම්බරයක්. අලුතින් නාවික හමුදාව සමග සම්බන්ධ වෙන අයටත් මේක හොඳ අත්දැකීමක් වෙයි. ඒ අත්දැකීම් විඳගන්න නාවික හමුදාව හා සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා”.
ලෝකයේ සියලුම රටවල් වරින් වර තම නෞකාවල ශක්තිය, වෘත්තීයභාවය, මෙහෙයුම් සඳහා ඇති සූදානම පිළිබිඹු කරනවා මෙවැනි අභ්‍යාස හරහා සෙසු රටවලට ප්‍රදර්ශනය කරනවා. ‘TRINEX 25’ නාවික අභ්‍යාසය අපේ සම්පත්වලින් අපේ තිබෙන සූදානම, වෘත්තීයමයභාවය, පිළිබිඹු කරනවා. කාන්තා නිලධාරීන් හා කාන්තා නාවිකයන් ලෙස ගොඩබිම් කඳවුරු ලෙස සේවය කරමින් සිටි අතරේ පැරෂුට් ජම්පින්, කිමිදුම් සඳහාද සිය දායකත්වය ලබා දෙනු ලබයි.
නමුත් මේ වන විට ඔවුන් ඉන් පියවරක් ඉදිරියට ගොස් නෞකා තුළ නිලධාරියන් හා කාන්තා නැවියන් ලෙස කටයුතු කරමින් සිටිති. මුහුදේ මධ්‍යවේ සිට රාජකාරී කිරීම අභියෝගාත්මක වුවත් මුහදේ අභියෝග ජයගැනීමට තමන් ශක්තිමත් හා හොඳ දැනුමකින් සන්නද්ධ පිරිසක් බව නාවික හමුදා කාන්තා නිලධාරියන් හා කාන්තා නැවියන් ඔප්පු කර හමාරය.
නාවික හමුදාව තව නොබෝ දිනකින් සිය 75 වැනි සංවත්සරය සමරන අතරේ කාන්තා බළගණය කොතරම් ඉදිරියට ඇවිත් තිබෙනවාද යන්න ‘TRINEX 25’ නාවික අභ්‍යාස තුළ ඔවුන් විසින් සනාථ කරනු ලැබුණි.
එසේම සමස්තයක් ලෙස නාවික හමුදාව දැනුමින්, නාවික මෙහෙයුම් අතින් කෙතරම් ඉදිරියට ඇවිත් තිබෙනව ද යන්න සේම නාවික හමුදා යාත්‍රා කෙතරම් ඉහළ තලයට පැමිණ තිබෙනව ද, නාවික හමුදාවේ අන්තර් සම්බන්ධතා කොතරම් දියුණු වෙලා තිබෙනව ද කියන කාරණය මානවින් සනාථ කරනු ලැබුනි.
විශේෂ ස්තුතිය - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මාධ්‍ය අධ්යක්ෂ කමාන්ඩර් බුද්ධික සම්පත්ට.
නිරෝෂාන් ප්‍රේමරත්න
කිමිදුම් කටයුතු
බර වැඩ කරමින්...
සැලසුම් සකසමින්...
ගුවන් සංඥා මෙහෙයවමින්...
නිරීක්ෂණ කටයුතු කරමින්...
කාර්යාල කටයුතු මෙහෙයවමින්...