
“වෙන්න තියන අභාග්‍ය සම්පන්නම සිද්ධිය වෙලා ජීවිත බින්දුවටම වැටුණු අපිට මුදල් නෙවෙයි වැදගත් වෙන්නෙ. මානසික පීඩනය මෙපමණයි කියන්න බැහැ. ඒත් අපි දෑත් එකතු කරලා ඉල්ලන්නෙ මාසයක් යන විට මේවා අමතක නොකර මේ ලංකාව තුළ යළි එවැනි ඛේදවාචක වෙන්න ඉඩතියන්න එපා කියලයි........”
මේ විලාපී ස්වරය ඇසුණේ කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ දෑත් සහ පා වෙලා ඇඳක් මත වැතිර සිටින අපේම ආදරණීය සිසු දරුවෙකුගේ සත්කාර සේවයට ළඟ සිටින පියෙකුගේ මුවිනි.
පසුගිය 27 වැනිදා හිමිදිරි උදෑසන පාසල් දරුදැරියන් 15 දෙනෙකු කුලියාපිටිය පාසල් කරා රැගෙන යමින් සිටි වෑන් රථයක් කුලියාපිටිය- උඩුබද්දාව මාර්ගයේ පල්ලෙවෙල පාලම මතදී අධික වේගයෙන් හා නොසැලකිලිමත්කමින් ඉරිදියට ආ වැලි ටිපර් රථයක රියැදුරෙකුගේ නොහික්මීම පාසැල් වෑන් රථය මෙන්ම අහිංසක දරුවන් ගේ අපේක්‍ෂාවන් බලාපොරොත්තු හීන සියල්ලක්ම කුඩුපට්ටම් කරමින් පල්ලෙවෙල පාලමට නුදුරු කෙසෙල් පඳුරක නතරවී තිබිණ. එම අනතුරට මුහුණදුන් පාසල් වෑන් රථයේ රියැදුරු මෙන්ම මල් කැකුළුවන් දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි විය.
අනතුර පෙරවරු 7 පසුවී සුළු මොහොතකින් සිදුවූ බව එය ඇසින් දුටුවන් පවසන්නේ මරුමුවට පත් රියදුරු රාජා මහතා සහ දුවා දරුවන් සීසීකඩ වැටී සිටි අයුරු තම මතකයෙන් අමතක කරගත නොහැකි අන්දමට පැලපදියම්වී තම ජීවිත ද මූසල සුසුම් පිටවන සෙයක් දැනෙන බවයි.
මෙම අනතුරින් එකම ගමේ අඹ යාළුවන් දෙදෙනෙකු වූ කට්ටිමහන, පන්සල අසල, පදිංචිව සිටි 12 හැවිරිදි රිෂිනි නෙතුපමා කුලරත්න දියණිය හා පල්ලිය අසල පදිංචි දහතුන්හැවිරිදි මිහිඳි සෙනායා නිල්නෙතු දියණියන් දෙදෙනා මෙන්ම වෑන් රථය පැදවූ මෙම දරුවන්ට දෙමාපියන්ට පසු සෙනෙහස පෑ, රැකවරණය දුන් රාජා මාමා නොහොත් නිලන්ත අතුකෝරළ මහතාට ද සදහටම මෙලොවින් සමුදෙන්නට ටිපර් රථයේ සැඟව සිටි මාරයාට හැකිව ඇත. මෙම දියණියන් දෙනොම කුලියාපිටිය සුරදූත බාලිකාවේ 7, 8 ශ්‍රේණිවල ඉගෙනුම ලැබූවන් ය.
වෙනදා පාසැල නිමවී පාසැලේ හා වෑන් රථයේ මග දිගට වූ රසමුසු සිද්ධීන් එකින් එක ගිරවියන් මෙන් ආවර්ජනය කරන කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ රිෂිනි නෙතුපමා කුලරත්න දියණිය හා මිහිඳි සෙනායා නිල්නෙතු දියණියන් බදාදා උදෑසන පාසල් යන්නට නිවසින් සිනහව බ‍්‍රහස්පතින්දා නිවෙස්වලට පැමිණියේ යළි කිසිදිනක මතකයන් ආවර්ජනය කළ නොහැකි නිසල දේහයන් විලසිනි.

මෙය ජාතික ඛේදවාචකයක් බවට පත්ව ඇති බව දැනෙන්නේ එම වියෝවූ දියණියන් ගේ දෙමාපියන් සමීපතමයන්ට පමණක් නොව පාසැල් ප‍්‍රජාව, කුලියාපිටිය දුම්මලසූරිය ප‍්‍රදේශයේ ජනතාව, වයඹ මෙන්ම සමස්ත දිවයිනම නියෝජනය කරන අයවලූන් ශෝකය පලකිරීම වෙනුවෙන් එම නිවෙස් වලට පැමිණීම දැකීමෙන් පසුවය.
එසේ එම දැරියන් නිධනප‍්‍රාප්තව සිටියදීත් සිදුවූයේ කුමක්දැයි තවමත් නොදන්නා දැරියෝ සිහිසුන්ව රෝහල් ගතව ප‍්‍රතිකාර ලබති. ඇතැම් දැරියන් සමීපයේ සිටින මවුවරුන් මාතෘත්වයට එහා ගිය දිව්‍යමය කැපකිරීම් කරති. තම එක් දියණියක් නිවසේ නිසල දේහයක් ලෙසින් වැතිර සිටින විට අනෙක් දියණිය ගේ ආරක්‍ෂාව වෙනුවෙන් රෝහලේ කල් ගෙවීමට සිදුවීම නූතන පටාචාරාව පිළිබඳ යළිත් සිහියට නගන බව නොකියා බැරිය. ඇතැම් විට රෝහලේ ප‍්‍රතිකාර ලබන සිසුවිය, තම සහෝදරිය මේ වනවිටත් මෙලොව හැර ගිහින් බව නොදන්නීය.
පල්ලිය අසල පුංචි මිහිඳි දියණිය නිවසට අප යනවිටත් ඇයට ආදරය කරන බොහෝ දෙනාගෙන් නිවස පිරි තිබිණි. මිහිඟි දියණියගේ සොහොයුරු නෙත්ම පුතණුවන් දරාගත නොහැකි වේදනාභරිත ස්වරයෙන් මෙසේ පැවසීය.
“මමත් මේ පාසැල් වෑන් එකේ ගිහින් තියනවා. අපේ නංගිට ඒ වෑන් එකේ යන හැම කෙනෙක්ම ආදරෙයි. එයා කා එක්කත් හොඳයි. මගේ සහෝදරිය වුණත් දකින අය හිතන්නෙ අපි හොඳම යාළුවො කියලයි. ඒ තරම් අපෙ සම්බන්ධය හරිම දැඩි එකක්. කට්ටිමහන ප‍්‍රදේශයේ අපිට හරිම සුවිශේෂ උත්සවයක් තමයි ශාන්ත ආනා දෙව්මැදුරෙ පැවැත්වෙන කරත්ත මංගල්ලය. අපේ නංගි හරිම උද්‍යෝගයෙන් ඒවාට සහය දක්වනවා පමණක් නෙවෙයි මේ පාර රට ඉන්න තාත්තා ලංකාවට ඇවිත් නිසාම ඒකට සහභාගී වෙන්න පුදුම සූදානමක් තිබුණෙ. තාත්තා ඒ මංගල්ලෙන් පස්සෙ යළි විදේශගත වෙන්න කළින් පවුලක් විදිහට අපි ගොඩාක් ගමන් යන්න ආදී වැඩ කටයුතු සැලසුම් කරගනයි හිටියෙ. එදා නංගි ඉස්කෝලෙ යන්න බැහැ කියලාත් ආයෙ නෑ ඉස්කෝලෙට යන්නම වෙනවා කියලා ගියේ. එහෙම හිනාවෙලා ගිය නංගි තමයි මේ පෙට්ටියක ඇවිල්ලා තියෙන්නේ. අපි අමාරුවෙන් හදාගත්ත ජීවිත ආය බින්දුවටම වැටුනා"
මිහිඳි දියණියගේ නිවසට පෙනෙන දුරකින් පිහිටා ඇති රිෂිනි දියණිය ගේ නිවසේද සුදු කොඩි වැල් වලින් සැරසී තිබුණේ ඇගේ දේහය රැගෙන එන තෙක්ය.
මේ රිෂිනි දියණියගේ ලොකුඅම්මාගේ හඬයි.

“අපේ දුව සතුන්ට දක්වන්නේ පුදුම කරුණාවක්. එයා වෑන් එකෙන් බහින කොට ගෙදර බල්ලො දඟලලා දුවලා යනවා එයාව පිළිගන්න. සතුන්ට වාගෙම තමයි කොයිකාටත් ලෙන්ගතුව තමයි එයා හිටියෙ. කාට හරි බැන්නොතින් අඬන්නෙ එයා. එදත් ඉස්කෝලෙ යන්න කලින් ගවුම මාරු කරගෙන පරක්කුත් වෙලා තිබුණෙ. අයෙ ගවුමක් මාරු කරගන ඇඳගන කොහොම හරි දුවගෙන ගියා ඉස්කෝලෙ වෑන් එකට පරක්කුයි කියලා.”
මංගල කීර්ති මෙම පාසැල් සේවය කලින් සිදුකළ මෙම දැරියන් රැගෙන ගිය පාසැල් වෑන් මාමායි. ඔහු සමගින් කළ කතාබහේ දී අනාවරණය වූයේ මෙවැන්නකි.
“මම තමයි මේ දරුවන් කලින් පාසැල් රැගෙන ගියෙ. මේක හරිම වගකීමක් සහිත රැකියාවක්. මම මේ රැකියාවට සමුදුන් නිසා මීට වසර කිහිපයකට කළින් මටත් වඩා වගකීමෙන් එම රාජකාරිය කරන රාජා මාමා නොහොත් නිලන්ත අතුකෝරළ මහත්තයාට භාර දුන්නා. එයා ඒක දේවකාරියක් වගෙයි කරගෙන ගියේ. ළමයිනුත් රාජා මාමා එක්ක මහා ලොකු බැඳීමක් තිබුණා. එතුමා ගෙ බිරිඳ මිය ගිහින්. දරුවන් ඉන්නෙ විදෙස්ගවයි. තනිව නිවසෙ හිටියත්, වෙලාවට කලාවට සිසුන් පාසැල්වලට රැගෙන යාම අකුරටම කළ අයෙක්. එදාත් රාජ අයියා මේ අනතුර පෙනි පෙනී සිසු දරුවන් ගලවා ගන්න ලොකු උත්සාහයක් දරලා තියන බව පොලිස් පරීක්‍ෂණවලින් කියැවුණා. පාලමේ ඇන්දෙ හේත්තු වෙන තරමටම අයින් කරලා තිබුණා. ඒ එයාට පුළුවන් උපරිමයයි. ආයෙ රාජ අයියලා වැනි පියවරුන් බිහිවෙන්නෙ නැහැ.”
ඒ සියල්ලම සමගින් සිදුවීම වූ මොහොතේ දී අමතක කළ නොහැකි සිදුවීමක් මෙහිලා කිවයුතුය. මේ සියලු දරු දැරියන් ගේ හිමිකාරිය කීවාට දොසක් නොවන කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා බන්දුලානි බස්නායක තමන් ද ආදරණීය මවක ලෙසින් හැඬූ කඳුළින් කදිම යෝජනා කිහිපයක් කළේ සිදුවීම වූ අවස්ථාවේම රෝහලට දිව ආ අවස්ථාවේ දීය. එතුමිය මෙසේ කීවාය.

“කොතන හිටියත් කොහොම හිටියත්, මේ අපේ දරුවෝ. මේ අපේ අනාගතය. දරුවන්ගේ රුකවරණය ආරක්‍ෂාව සලසාදිය නොහැකි නම් මේ කිසිදු තනතුරු තානාන්තරවලින් ඇති පලක් නැහැ. මේ රටේ අනාගතය තීරණය කරන දුවා දරුවන් අපි මල් වගේ නෙවෙයි පණමෙන් රැක ගතයුතු නිසාම ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා සියලූ නිලයන් ගෙන් ඉල්ලීමක් මේ මොහොතේ කළයුතුයි. කුලියාපිටිය ප‍්‍රධාන පාසල් රැසක් තියනවා. ඒ හැම එකකම සිසුන් දහස ඉක්මවූ ඒවා ඇතැම් පාසැල් සිසුන් හාර දහසේ සීමාවෙ ඉන්නෙ. ඒ කිසිදු දරුවෙක් ගෙ පමණක් නොවෙයි රටේ කිසිදු දරුවෙකු ගෙ ජීවිත මෙහෙම මහපාරෙ ඉරණම විසෙඳන්න බැහැ. එහෙම වෙනවා නම් එය වැඩිහිටියන් වුණ අපේ අවුලක් මිස ඒ අහිංසක දරුවන් ගෙ අවුලක් නෙවෙයි. දරුවන් ගෙ ජීවිත කාලයෙන් 1/4ක් සුන්දර ළමාකාලයයි. අපි තේරුම්ගත යුතුව තියනවා අනාගතයට නිවැරදිම දරුවෙක් ගොඩ නගන්න පාසැල ගන්න වෙහෙස ටිපර් රියදුරෙකු විසින් ලේසියෙන් උදුර ගන්න දෙන්න බැහැ. මේ හැම දරුවෙකුගේ ම ජීවිත ඇතුළාන්තය මොන තරම් විවිධ ද විෂම ද? දිවි ඇතිතෙක් අපේ මානූෂීය බව රැක ගන්නම වෙනවා. සෑම පුරවැසියෙක්ම ස්වයංව විනයවත් වෙනවා නම් මේ ගැටලුවලින් ලොකු ප‍්‍රතිශතයක් ඉවරයි. අන්න ඒ නිසා අවම වශයෙන් උදේ 6 පටන් 8 දක්වාත්, යළිත් මධ්‍යාහ්න 12 පටන් සවස 2 දක්වාත් අවදානම් සහිත බරවාහන ගමනාගමනය මුළුමනින්ම නවතාලීමට බලධාරීන්ගේ නෙත් යොමුවිය යුතු යැයි අපි යෝජනා කරනවා.”

පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ සැකකාර ටිපර් රථ රියදුරා කඩිනමින් රෝහල් ගතකර අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කර තිබූ රියදුරු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර තිබුණේ ද යන්න පරීක්‍ෂා කරවා ගෙන තිබිණ. බැලූ බැල්මෙන් එසේ මත් බවක් නොපෙණුනද වැඩිදුර පරීක්‍ෂාව සඳහා සැකකාර රියදුරා ගේ ලේ හා මුත‍්‍රා සාම්පල ලබා ගෙන තිබිණ.
සැකකාර රියදුරා අධිකරණය හමුවට පැමිණ වූයේ ඉනික්බිතිවය. එහිදී පොලිසිය මහේස්ත‍්‍රාත් රන්දික ලක්මාල් ජයලත් හමුවේ ඉතාම වැදගත් කරුණු රැසක් ගෙනහැර පෑවේය. අදාළ රියැදුරා පුරා පැය 24ක් නිදි වර්ජිතව රියැදුරු සේවයේ යෙදී තිබූ බව එහි ලොමු ඩැහැගැන්වෙනම කරුණයි. තවද සැකකාර රියැදුරා වයස අවුරුදු 23ක් වූ අයෙකු බවද, ඒ අනුව අත්දැකීම් අවම අයෙකු බවද, එහිදී අනාවරණය විය. පොලිසිය අධිකරණය හමුවේ මෙය නොසැලකිලිමත්ව සිදුවූවක් ද නොඑසේ නම් චේතනාන්විතව හිතාමතා කළ දෙයක්ද යන්න නිගමනයකට එළැඹීම වෙනුවෙන් පවා පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බව අධිකරණයට කියමින් ඇප සම්බන්ධව පොලිසිය දැඩිව විරුද්ධ බවද කීය. මරණයට පත් දැරියන් ගේ පාර්ශ්වය නියෝජනය කළ නීතිඥවරුන් ද කියා සිටියේ මෙය ප‍්‍රදේශයේ පමණක් නොව රටේම දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මකව ප‍්‍රධාන පුවත් මැවූ සිදුවීමක් බවයි. එම නිසා සැකකරුට ඇප ලදහොත් මහජන කැළඹීම් පවා සිදුවිය හැකි පසුබිමක් පවතින බවද ඔවුහු පැවසූහ. සැකකාර රියදුරා වෙනුවෙන් අධිකරණයෙන් ඇප ආයාචනා කළ නීතිඥයන් මෙම රියදුරු වසර ගණනාවක් රියදුරු වෘත්තියේ නියැලෙන්නෙකු බවත්, මීට ඉහත දී එවන් අනතුරු කිසිවක් වාර්තා වී නැති බවත්, පවසමින් ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම මහේස්ත‍්‍රාත් වරයා විසින් ප‍්‍රතික්‍ෂේප කරමින් මූදුකටුව මාරවිල පදිංචි 23 හැවිරිදි සැකකාර රියදුරා සැප්තැම්බර් මස 8 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
කවුරුන් කෙසේ තීන්දු තීරණ ගත්ත ද රිශිනි සහ මිහිඳි යන දැරියන් යළි කිසි දිනක ඒ පල්ලේවෙල පාලම මතින් පැමිණ කුලියාපිටිය සුර දූතිකාවන්ගේ තුරුලට නොඑනු ඇත. රෝහල් ගතව සිටින ආදරණීය දුවා දරුවන් ගේ තත්වය යහපත් ද අයහපත් ද යන කරුණට මේ වනවිටත් පුරෝකථන සිදුකළ නොහැක.
කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර
ඡායාරූප - ආර්ය නිර්වාන්
