“චාමිකා ටීචර් දැන් වේලාව1.15 යි. මම මීඩියා රූම් එකට ගිහින් ඉස්කෝලෙ අරින්න ළඟ නිසා ගාථා දාන්න සුදානම් කරන්න යන්නම්...”
ඒ කිවිර හිරුජය පුතුගේ හඬයි.
පසුගිය පාසල් දිනක දී 12 ශ්‍රේණියට මාධ්‍ය හා සන්නිවේදනය විෂය උගන්වමින් සිටි චාමිකා අමරසේන ගුරුතුමිය වෙතින් කෙරුණු විමසුමකි.
ඊට අවසර ලැබීමත් සමග හිරුජය තමාට මෙවර පළමු වරට ශිෂ්‍ය නායකයෙකු වශයෙන් පැවැරී තිබූ රාජකාරියට පිටත් විය. පාසල නිමා කිරීමට ශබ්ද වාහිනී යන්ත්‍ර ආදී තාක්ෂණික මෙවලම් සියල්ල සූදානම් කළ කිවිරට, පන්ති කාමරයේ සිට එන විට සිය පාසල් පොත් බෑගය රැගෙන ඒමට අමතකව ඇති බව සිහිවුණි. වේලාව 1.20ය. කඩිනමින් ලහි ලහියේ පන්ති කාමරය වෙත යමින් සිටි හිරුජයට, පන්තිය ආසන්නයට එන විටම දැකගත හැකි වූයේ - ඇදහිය නොහැකි භ්‍රාන්තිය දනවන දසුනකි. එය නම් - ශාලාව ඉදිරියේ ඇති බෝධීන් වහන්සේගේ අත්තක් කැඩී වේගයෙන් ශාලාව දෙසට පාත් වන බවයි.
“ඒයි.... හැමෝම දුවන්න. අත්තක් කඩාගෙන වැටෙනවා..” යි මහ හඬින් විලාප තබමින් කෑගැසූ හිරුජය 11 පන්තියේ සිටි සොයුරෙකුගේ අතින් ඇද තල්ලු කළේය. ඒ ඇසිල්ලෙන් ශාලාවේ තිබූ බාල්කයක් කිවිර මත පතිත වී ඒ ක්ෂණයෙන් බිම ඇද වැටුණි.
මේ පසුගියදා බළන්ගොඩ රජවක මහා විද්‍යාලයේ සිදු වූ අනපේක්ෂිත අනතුරයි. පාසල් කාර්යාලය, සංගීත කාමරය, පුස්තකාලය ගුරු විවේකාගාරය, 11 ඊ ශ්‍රේණිය, හා 12 කලා ශ්‍රේණිය පිහිටා තිබුණේ එකම ශාලාවේය. ඒ 1933 සැප්තැම්බර් මස 15 වැනිදා පාසල ආරම්භ කරන අවධියේ සිටම පවතින ඉංග්‍රීසි පාලන සමය තුළ ගොඩනැඟූ එවක රජවක ගම්සභා උසාවිය පවත්වා ගෙන ආ ස්ථානයයි. එම අනතුරින් එක් දරුවෙක් ජීවිතක්ෂයට පත්වී සිසුන් 18කට තුවාල සිදු විය. ගුරුවරියක් ද තුවාල ලැබුවාය.
ශිෂ්‍ය නායකයෙක් වශයෙන් හා පාසලේ වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස තම වගකීම ඉහටත් උඩින් සිදුකරමින් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක ගේ ජීවිත බේරා ගනිමින් තම ජීවිතය පූජා කළ ඩබ්. ඒ. කිවිර හිරුජය පුතණුවන් පිළිබඳ කඳුළු කතාව අප සමග මුලින්ම බෙදා හදා ගත්තේ 11 ඊ ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක ඩී. එම්. විහඟ කෞශාන් පුතණුවන්ය.
 |
විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ශිෂ්‍ය නායක කමිටු සාමාජික යු. ඩබ්. ලසන්තිකා ප්‍රියදර්ශනි ගුරුතුමිය මෙසේ කීවාය.
|
“අපි දෙන්නා හැමදාම එකම බස් එකේ ඉස්කෝලෙට එන්නේ උදේ 6.30ට. ශිෂ්‍ය නායකයන් විදිහට අපට පැවරිලා තියෙන වැඩ ටික කරන්න ඕනි නිසා උදේම එනවා. එදා අටවෙනි පීරියඩ් එකේ නවෝදා මිස් අපට ඉංග්‍රීසි උගන්වමින් සිටියෙ. ඒ අතර එක පාරටම ශබ්දයක් ආවා. වහලයට රිළව් පනිනව වගේ මට හිතුණෙ. ඒ එක්කම පිටි පස්ස බලන කොට “කිවිර අයියා මගේ පිටි පස්සෙ හිටියා. හැමෝම දුවන්න අත්තක් කඩාගෙන එනවා” කියල එයා කෑ ගැහැව්වා. එතකොටම කට්ටිය දිව්වා. ඒ සමගම සීට් එකක් කඩාගෙන වැටුණා. කිවිර අයියා මගේ අතින් අල්ලල මාව තල්ලු කළා ඉස්සරහට. මමත් ඒ එක්කම බිම වැටුණා. ඊට පස්සෙ පරාලයක් වැටිල මගේ අත යට වුණා. කිවිර අයියා මාව තල්ලු කළ නිසා මාව බේරුණා. නමුත් එතකොටම එයාගෙ ඇඟට ලොකු බාල්කයක් කඩා වැටුණා. එයා කෑගැහැව්වෙ නැත්නම් අපි ගොඩක් දෙනෙකුගේ ජීවිත එදා නැති වෙන්න තිබුණා. කිවිර අයියා හොඳ නායකයෙක්. නිහතමානී කෙනෙක්. කවදාකවත් බං බොලන් කියලවත් කතා කරන්නෑ. එයා අපට නැති වීම ගැන ගොඩක් දුකයි.”
“හත ශ්‍රේණියේ ඉඳලම මම ඒ පංතියට ඉතිහාසය ඉගැන්නුවා. කිවිර ඒ කාලෙ ටිකක් දඟකාර චරිතයක්. එයා සා. පෙළ සමත් වෙලා උසස් පෙළට ආවට පස්සෙ ලොකු උනන්දුවකින් වැඩ කළා. එදා උදේ තුන හතර පීරියඩ් දෙකේ මම ඒ පංතියට ඉගැන්නුවෙ. ටීචර් අද මට නෝට් ලියන්න බැහැ වගේ. අපි ශිෂ්‍ය නායක උත්සවයේ වැඩසටහන සකස් කරමු කියල මා ළඟට ආවා. අනෙක් ළමයින්ට නෝට් එක ලියන්න දීල මම කිවිරත් එක්ක පංතියේදිම උත්සවයේ ලිපි ලේඛන ටික සකස් කළා. හෙට ශිෂ්‍ය නායක උත්සවය නිසා අද තාත්තාත් ගෙදර එනව කිව්වා කියල එයා කිව්වා.
 |
 |
ආච්චි අම්මා |
විහග කෞශාන් |
මම කිව්වා උත්සවය හෙට කරන්න වෙන්නෑ. අපට කල් මදි ඒ නිසා ලබන සතියෙ කරන්නෙ කියල. ආයෙ හත්වන පීරියඩ් එකෙත් මෙයා ඇවිත් එදාට තොරණ ගහන්න ඕනි විදිහත් කතා කළා. එදා දවසෙම මේ දරුවගේ හිතේ තිබුණෙ ඒ ශිෂ්‍ය නායක උත්සවය ගැනමයි. මේ අවුරුද්දෙ කරපු නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ගගන නිවාසයෙ නායකයාත් එයා. ඒ වගකීමත් ඉතා හොඳින්ම ඉටු කරල තිබ්බා. හැම දෙනා ගැනම හොයල බැලුවා. පසුගිය දවසක පංති කාමරේක කොන්ක්‍රීට් දාන කොට කිවිරයි ලක්ෂිතයි තමයි ඒක කළේ දෙමාපියන් එක්ක. එදා රෑ වෙනකම්ම ඒ වැඩේ කළා.”
“පසුගිය දවසක මෙයාල ශිෂ්‍ය නායක වශයෙන් පත් වුණ නිසා හැමෝටම ආශීර්වාද කරල බෝධි පූජාවක් කලා ඔය බෝධිය ළඟ. අෂ්ටපාන ගිලන්පස මල් වට්ටි ගොඩක් පුජා කරල හරිම ලස්සනට ඒක කළා. එදත් මේ පුතා ඒකට ගොඩක් මහන්සි වුණා. මේ දරුවාට ශිෂ්‍ය නායක පදවිය ලැබුණා කියල ඒ දවස් ටිකේ හරිම සතුටින් හිටියෙ. බෙල් එක ගහන්න විනාඩියක් පරක්කු වුණත් ඒකත් හොයල බලනව. අපි කිවිරට මාධ්‍ය ඒකකයේ වැඩ ටික භාර දීල තිබුණෙ. ඒවා හරියටම කළා. පුදුම කැප වීමකින් වැඩ කරපු දරුවෙක්. ඒ වගේ දරුවෙක් පාසලට අහිමිවීම විශාල පාඩුවක්.”
ලොවක් අවදි කළ පුතෙක්
 |
අනතුරුව අප වෙත අදහස් දැක්වූයේ විදුහල්පති එම්. ජී. එස්. ජයතිලක ය. |
“මේ දරුවා මුලින්ම ගිහින් තිබෙන්නේ හ/දම්මුල්ල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයටයි. එම පාසලේදි මේ දරුවා ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙක් වශයෙන් ඉඳල තියෙනවා. එහෙන් 2017 දි ශිෂ්‍යත්ව විභාගය කඩයිම් ලකුණ සමත් වෙලා බෙලිඅත්ත මහා විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා. අටේ පන්තියට සමත් වෙලා තමයි අපේ පාසලට ආවෙ. තාත්තා කොළඹ රැකියාවක් කරන නිසා රජවක බිබිලේවෙල අම්මාගෙ මහ ගෙදර දරුවා නතර කරල ආච්චි අම්මා ළඟ ඉඳල තමයි පාසලට ආවෙ. අම්මා ළඟ නැති නිසා වෙන්න ඇති කිවිර ඒ කාලෙ ටිකක් දඩබ්බරකම් කළා. දඟකාර චරිතයක්. හරිම ක්‍රියාශීලියි. ඒ අතර මම කිහිප අවස්ථාවක මේ දරුවාට පෞද්ගලිකව කතා කරල උපදෙස් දුන්නා. අම්මා තාත්තා ළඟ නැති නිසාත් පවුලෙ එකම පිරිමි දරුවා විදිහට තමාගේ වගකීම් යුතුකම් පිළිබඳව අවබෝධ කරල දුන්නා. හොඳට විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් අරගෙන රැකියාවක් කළ යුතු බවත්, තාත්තාත් බලාගෙන ඉන්න වෙන බවත් කියා දුන්නා. ඒ සියල්ල තේරුම් අරගෙන ඔහු 2023 වසරේදි සාමාන්‍ය පෙළ ලියල B 01 යි, C 06 යි. S 01 යි වශයෙන් විභාගය සමත් වුණා. එය තමයි කිවිර පුතාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය වුණේ. උසස් පෙළට ආවට පස්සෙ එයාගෙ ලොකු පරිවර්තනයක් සිදු වුණා. දඩබ්රකම් නැති වුණා. පාසලේ විෂය සමගාමී විෂය බාහිර සෑම අවස්ථාවකදීම ක්‍රියාශීලීව ඉතාමත් උනන්දුවෙන් වගකීමෙන් වැඩ කළා. මෙයා යාළුවෙකුට කියල තිබ්බා අපි ගොඩක් කාලෙකින් ලොකු සර්ගෙන් කෑවෙ නැහැ. දැන් අපි හොඳ වෙලා වෙන්න ඇති නේද කියල.”
- තාත්තාගේ හා ආච්චි අම්මාගේ සෙනෙහස
“තාත්තා ළඟ සිටියෙ නැති වුණාට දරුවා ගැන හොයල බැලුවා. සතියක් දෙකක් යන කොට ගෙදර එනවා. ඒ ආපුවහම පාසලටත් ඇවිත් දරුවා ගැන අහනව. තාත්තා පාසලට වෙන්න ඕනි හැම දෙයක්ම කළා. ආච්චිත් ඒ සියල්ලම හොඳින් හොයල බලල කළා. නිතරම වගේ ගෙදර ඉඳල පයින්ම පාසලට එනවා. සවස පංති තියෙන වෙලාවට ඇවිත් එක්කන් යනවා. රාත්‍රී කාලෙ පුද්ගලික පන්තියක් තිබ්බත් රෑ වුණත් ඉඳල දරුවාව පරිස්සමට එක්කන් යනවා ගෙදරට යන පාරෙ අලි එහෙමත් ඉන්න නිසා.”

“එදා ඉඳලම තියෙන ඒ ගම්සභා ගොඩනැගිල්ල තිබූ ශාලාව අපි අවස්ථා තුනකදී ප්‍රතිසංස්කරණය කළා. ඒකත් ශක්තිමත්ව තිබ්බා. බෝධියත් හොඳට සශ්‍රීකව තිබ්බා. බෝධියෙ ගැටලුවක් පිළිබඳව දෙමාපියොවත් කොට්ඨාස කලාප පළාත් අධීක්ෂණයක දීවත් දැව සංස්ථාවෙන් ආපු වෙලාවකදීවත් බෝධියෙ වෙනසක් ගැටලුවක් අනතුරක් පිළිබඳව දැක්කෙ නැහැ. නොසිතූ අවස්ථාවක නොසිතූ දෙයක් තමයි සිද්ධ වුණේ. මේක ස්වාභාවික අනතුරක්. මීට කලින් අවස්ථාවක මම දෙමාපියන්ට කිව්වා බෝගසේ අතු ටිකක් කපල ඉවත් කරන්න ඕනි කියල. පසුදා ආවෙ එක තාත්තා කෙනයි. අයියෝ සර් බෝධියේ අතු කපන්න අපට බැහැ කියල මිනිස්සු ඒකට කැමති නැහැ, අපේ සංස්කෘතියත් එක්ක. ඉතින් මම ඒ තාත්තයි ළමයි කිහිප දෙනෙක් එක්ක ඒ අනාරක්ෂිත අතු ටික කපල ඉවත් කළා. ඒක මම අවස්ථා කිහිපයක කරල තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම පාසල් භූමියෙ තිබුණු අනතුරුදායක ගස් කිහිපයක් කපල ඉවත් කරල තියෙනවා.”
“මේ බෝධිය එදා ගම්සභා ගොඩනැගිල්ල හදන දවසේම හිටවපු එකක් කියලයි ගමේ අය කියන්නේ. එදා ඉඳල මිනිස්සු වැඳුම් පිදුම් කරනව. ඒ අයටත් ලොකු ආශීර්වාදයක් වුණා මේ බෝධින් වහන්සේ. අපිත් පාසලේ කරන හැම වැදගත් විශේෂ වැඩකදි පඬුරක් ගැට ගහල භාරයක් වෙනවා. ඉතින් ඒ වැඩවලදි බෝධීන් වහන්සේගේ ලොකු ආශීර්වාදයක් ලැබුණු අවස්ථා අත්දැකීමෙන් තියෙනවා. අපට වැස්සෙන්වත් කරදරයක් වුණේ නැහැ ඒ වගේ වෙලාවන්වලදි. ඒ වගේම අපට ලෙකු සිසිලසක් වාතාශ්‍රයක් ලැබුණා බෝධියෙන්.”


“මේ සිදුවීමත් එක්ක බළන්ගොඩ අධ්‍යාපන කලාපෙ වගේම ලංකාවෙම අවධානය යොමු වුණා, පාසල් භූමියේ තියෙන ගස් පිළිබඳව. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙනුත් විවිධ රටවලිනුත් කතා කරල මේ සිදුවීම පිළිබඳව අමාත්‍යාංශයෙන් විමසීම් කරල තිබුණා. ඒ නිසා ලංකාවෙ බොහෝ පාසල් වල තිබුණු අනතුරුදායක ගස් ඔක්කොම දවස් කිහිපයක් ඇතුළත ඉවත් වුණා. ඒක තවත් බොහෝ දරුවන් ගේ ජීවිත හා පාසල්වල දේපල ආරක්ෂා කිරීමට හේතුවක් වේවි. මේ සිදුවීම සිදු වූ මොහොතේ සිට කලාප අධ්‍යක්ෂ තුමා ඇතුළු නිලධාරීන් පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැව සංස්ථාවේ පිරිස ඇතුළු රජයේ නිලධාරීන් විශාල පිරිසක් ඇවිත් අවශ්‍ය දේ සොයා බැලුවා. අපේ දුක සැප සොයා බැලුවා. කූරගල නායක හාමුදුරුවෝත් වැඩම කරල අනතුරට පත් වූ දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන බව ප්‍රකාශ කළා. ඉදිරියේදි අපේ කල්තොට ප්‍රදේශයේ පාසල්වලිනුත් වගේම තවත් බොහෝ පාසල්වලින් සහ බොහෝ ආයතනවලින් අනතුරට පත් වූ දරුවන් වෙනුවෙන් සහ පාසල වෙනුවෙන් උදව් කරන්න සූදානම් බව දැන ගන්න ලැබිල තියෙනව.”
1970 දශකයේදි මෙම පාසලට බළන්ගොඩ සිට පැමිණි අන්‍යාගමික විදුහල්පති වරයෙක් පාසලේ පිහිටි මෙකී බෝධීන් වහන්සේ කපා ඉවත් කළ යුතු බැව් කියූ නිසා එතුමාට රැඳී සිටීමට ඉන්න බැරි තත්ත්වයක් උදා වූ බවත්, විවිධ කරදර පැමිණි බවත්, ඉතා ඉක්මනින්ම එතුමාට ආපසු යන්න සිදු වූ බවත්, ගමේ පැරැන්නෝ පවසති. කෙසේ වෙතත් අද වන විට දැනට අවුරුදු 150ට පමණ ආසන්න වන මෙම බෝධීන් වහන්සේ ඉවත් කිරීම පිළිබඳ ගමේ සමහරුන්ගේ ඇත්තේ චකිතයකි. එය ගමට හොඳක් ද නරකක් ද යන්න ගැන පසුවෙන දෙගිඩියාවකි. භක්තියට ඉඩ නොදී බුද්ධියට මුල් තැන දිය යුතු බව ඇතමුන්ගේ අදහසයි.
 |
මියගිය දරුවාගේ පියාණන් වන ඩබ්. ඒ. අජිත් චන්ද්‍රසිරි “ඉරිදා ලංකාදීප” හා එක් වෙමින් මෙසේ අදහස් දැක්වීය. |
“මම කොළඹ පුද්ගලික ආයතනයක ආරක්ෂක අංශයේ රැකියාව කරන්නේ. පුතා ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ එයාට අම්මාගෙ සෙනෙහස අහිමි වුණා. ඊට පස්සෙ පොඩි කාලේ පුතා ගොඩක් මුරණ්ඩුයි. ඒ නිසා පුතා කොහොම හරි හොඳට හදා ගන්න ඕනි කියල මම ඉඩ කඩ ලැබෙන හැම අවස්ථාවකම පුතා බලන්න ආවා. එයාට ඕනි කියපු හැම දෙයක්ම මම අරන් ආවා. කිසිම අඩුවක් කළේ නැහැ. එයා මට කිව්වෙ මම ලොකු වෙලා හොඳ රැකියාවක් කරල තාත්තා හොඳින් බලා ගන්නවා කියල. 13 වැනිදා ශිෂ්‍ය නායක බැජ් පලඳන උත්සවය තියෙනව කියල මට කෝල් කරල කිව්වා. මම ඒකට තමයි 12 වැනිදා කොළඹ ඉඳල ආවෙ. එයාට ඔරලෝසුවක් ඕනි කියල තිබ්බා. එදා මම ඒකත් අරන් ආවෙ. උත්සවයට අලුත් ඇඳුමක් ඕනි කියල ඒකත් රජවක කාෂන් හංදියේ ටේලර් සාප්පුවට දීල තිබ්බෙ මහන්න. මම බස් එකෙන් බහින කොට 01.30 ට විතර ඇති. එතකොටම ආරංචි වුණා ඉස්කොලෙ මෙහෙම කරදරයක් වෙලා කියල. මම ඉක්මනටම ඊළඟ බස් එකේ බළන්ගොඩ ඕලුගංතොට රෝහලට ගියා. පොඩ්ඩක් වෙලා ගියාට පස්සෙ වෛද්‍යවරු කිව්වා පුතා මිය ගියා කියල.”
කෙසේ වෙතත් දැන් සියල්ල සිදු වී හමාරය. කිවිර පුතු මෙලොව හැර ගොසින්ය. මේ ලෝකයේ ඉතා හොඳ යහපත් පුද්ගලයන්ට වැඩි ආයුෂ නැති බව පොදු සමාජ සම්මතයයි. කිවිර පුතුට ද අත් වුණේ එම ඉරණම ද? යහපත් දරුවෙක් ලෙස පළමු වරට ශිෂ්‍ය නායක පදවිය දරා ලොකු වැඩ කොටසක් කරන්න සූදානම්ව සිටි බව සහෝදර සිසුහු පවසති. මේ බව ඔහු අවසාන දින ටිකේම පවසා ඇත. නමුත් ලෝකයේ අපි සිතන හැම දෙයක්ම සිදු නොවේ. නොසිතු දේවල්ම සිදු වේ. බුදුරදුන් ගේ අනුශාසනය ද එසේමය.
කල්තොට බුදුගල
සෝමරතන හිමි