ජීවිත සීතල කරන “අයිස්”


“අයිස්” හෙවත් “මෙතැම්ෆෙටමින්” මත්ද්‍රව්‍යය භීතිකාව මේ දිනවල සමාජය තුළ පැතිර යන, සංවාදයට ලක්වන මාතෘකාවකි. මෙය අද වන විට මාරාන්තික මත්ද්‍රව්‍යයක්  බවට පත්ව ඇති අතර මෙමගින් ඇතිවන ව්‍යසනය එක් පුද්ගලයෙකුට පමණක් නොව මුළු මහත් සමාජයටම එල්ල වන බැව් සත්‍යයකි. මේ පිළිබඳව ලෝකයේ විවිධ රටවල විවිධාකාරයෙන් කතා බහට ලක්වන පසුබිමක ලංකාවේ ද ජාතික   අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැනි ආයතන මත්ද්‍රව්‍යය නිවාරණය සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. අද වන විට වත්මන් තරුණ පරපුර වැඩි වශයෙන් මෙවැනි  අන්තරායකාරී දෑ වලට නැඹුරුතාවක් දක්වන අතරම, මේ ඒ හා සම්බන්ධව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර කොහොලනේගෙදර ගෙන් කළ විමසුමේ දී ඔහු මතුකළ අදහස් ය.

මෙතැම්ෆෙටමීන්’ හෙවත් අයිස් යනු මොනවා ද?

සාමාන්‍යයෙන් අයිස් කියල හඳුන්වන්නේ රසායනාගාරයේ නිපදවන උත්තේජක ඖෂධයක්. එහි විද්‍යාත්මක නාමය ‘මෙතැම්ෆෙටමීන් (methamphetamine) යන්නයි. මෙම ‘අයිස් මත්ද්‍රව්‍යය CRYSTEL, METH, TINA, CHRISSY, ICE. SPEED, GLASS… වැනි විවිධ නම්වලින් ලොව පුරා හඳුන්වන අතර අප රටේ එය ‘ICEයන නමින් ප්‍රසිද්ධ වුණා. ‘අයිස් වගේ පෙනෙන කුඩා, ඝන පැහැදිලි ස්ඵටික ස්වරූපයෙන් තිබෙන නිසා මේවා ‘අයිස්’ ලෙස හඳුන්වනවා. ඇත්තටම කියනවනම් මේක ඖෂධයක්.  සාමාන්‍යයෙන්  ඇම්පටමයින් කාණ්ඩයේ ඖෂධ නිකුත් කරන්නේ ඌන අවදානම් අධි ක්‍රියාකාරී සහිත රෝගී තත්ත්වයන්ට වගේම අනෙකුත් අවපීඩන පීඩන ගණයේ මානසික තත්ත්වයන්ට යි. නමුත් මෙම අයිස්වලට  විශාල වශයෙන් වෙනත් කෙමිකල් වර්ග භාවිත කිරීම නිසා එහි ඖෂධීය වටිනාකම ගිලිහිලා තියෙනවා. මෑත කාලීනව මෙම අයිස් කියන ද්‍රව්‍ය වීදිවල සකස් කරලා මත්ද්‍රව්‍යය මට්ටමෙන් අනීතිකව වෙළෙඳපොළට නිකුත් කරන මට්ටමට පත්වෙලා.

මෙම රසායනිකය ප්‍රභේද ගණනාවකින් යුක්තයි. නමුත් ලංකාවේ බහුලව භාවිත වන්නේ අයිස් කැට ලෙසයි.  ඊට අමතරව  දියර වශයෙන් වගේම පෙති වශයෙන් ද මෙම අයිස් කියන මත්ද්‍රව්‍යය පවතිනවා. 

මෙම මත්ද්‍රව්‍යය අන්තරායදායක වන්නේ ඇයි?

අයිස් (Ice / Crystal Methamphetamine) කියන්නේ ලෝකයේ පවතින උද්දීපක මත්ද්‍රව්‍යය කාණ්ඩයට (Stimulants / Central Nervous System Stimulants) අයත් මත්ද්‍රව්‍යයක්. ඉක්මනින් ශරීරය හා මනස දැඩිව විනාශ කරන, අධික මාත්‍රාවක් ගත් විට මරණයටත් හේතු වන නිසයි. ඉතාමත් අන්තරාදායක මත්ද්‍රව්‍යයක් ලෙසයි මෙම අයිස් මත්ද්‍රව්‍යය හඳුන්වන්නේ. ඒ වගේම අද වන විට අයිස් කියන මත්ද්‍රව්‍යය ලොව පුරා ප්‍රචලිත වීමේ අවදානමක් පවතිනවා. එම  මත්ද්‍රව්‍යයවල ස්වභාවය තමයි ඇබ්බැහි වීම, දුර්භාවිත ගුණය වගේම කිසිදු විදියකින් වෛද්‍යමය වශයෙන්  භාවිත කිරීම සුදුසු බවට සනාථ කර නොතිබීම. ඒවා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍යය හා අපරාධ කාර්යාංශ ලැයිස්තුවේ අංක එකේ පවතින මත්ද්‍රව්‍යයක් ය. මෙම කාණ්ඩයට අයත් මත්ද්‍රව්‍යයන් සාමාන්‍යයෙන් වගාකිරීමට, ගබඩා කිරීමට, ප්‍රවාහනය කිරීමට වගේම භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අයිස් එහෙමත් නැත්නම් මෙතැම්ෆෙටමීන්(methamphetamine) මත්ද්‍රව්‍යය අන්තරාදායක මත්ද්‍රව්‍යයක් ලෙස හඳුන්වනවා.

අයිස් මත්ද්‍රව්‍යය භාවිත කිරීම නිසා ඇතිවන ශාරීරික හා මානසික ආබාධ මොනවා ද?

අයිස් මත්ද්‍රව්‍යය භාවිතා කිරීමෙන් ශාරීරික හා මානසික ආබාධයන්  ඇතිවෙන්න පුළුවන්. ‘මෙතැම්ෆෙටමීන් නොහොත් ‘අයිස් මගින් අප ශරීරය තුළ ‘ඩොපමයින් (dopamine) හෝමෝන ක්‍රියාකාරී මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා 1,000 ගුණයක් දක්වා වැඩි කරනවා. මෙහි දී මධ්‍ය ස්නායු  උත්තේජක ප්‍රදේශවල අඩංගු ස්නායු සම්ප්‍රේෂණ නිදහස් කිරීමෙන් අධික වේගයෙන්  ඩොපමින් ක්‍රියාවලිය නිදහස් කරනවා. එසේ නිදහස් කළ විගසම එයට අනුකූලව අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ඉහළ යාම්, හෘද  ස්පන්දන වේගය වැඩිවීම්, නාඩි වැටීමේ වේගය වැඩිවීම, ශරීර උෂ්ණත්ව වේගය ඉහළ යාම, මුඛය වියළීම, අධික විජලනය, නින්ද නොයෑම, කෑම රුචිය නැතිවීම,  අධික දහඩිය වැගිරීම්, ශරීරයේ  අවයව ප්‍රකෝපකාරී වීම් වගේම පුද්ගල ශරීර අවයව නිසි ලෙස පවත්වා ගෙන යාමේ සංකූලතා මතු වෙනවා. ඒත් සමගම මානසික වශයෙන් නින්ද නොයෑම නිසා ඇතිවන පීඩනය තත්ත්වය, අධික ලෙස කේන්තිය යාම නිසා තමා අවට  ඇති දේවල් නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි වීමෙන් ඇතිවන කෝලභාවය, මානසික වශයෙන් ඇතිවන සහේතුක සැකකිරීම් වගේම  අනාගතය ගැන භයානක සිතිවිලිවලින් පෙළීමටත් පටන් ගන්නවා. 

මෙමගින් දිගු කාලීනව ඇතිවන සංකූලතා?

අයිස් වැනි මත්ද්‍රව්‍යයක්  දිගුකාලීනව භාවිත කිරීමෙන් පුද්ගල ශරීරයේ කෘශ වීම පටන් ගන්නවා. ඒ වගේම  තීරණයක්  ගැනීමට ඇතිවන බිය සහ තාර්කිකව සිතීමට ඇතිවන බිය දිගුකාලීන භාවිතයේ ප්‍රතිඵල ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එමගින් ශරීරයට අවපීඩන තත්ත්වයක්ද ගෙන එනවා. එය වෛද්‍ය විද්‍යාවට අනුව ඩිටෝටැටෝ facts ලෙසයි හඳුන්වන්නේ. ඒත් සමගම යමෙකුට ඇතිවන දැඩි මානසික ව්‍යාකූල භාවය, එපා වීම, කලකිරීම, දුක්මුසුභාවය ඇති වීමත් සමගම අවසානයේ සියදිවි නසා ගැනීම වගේ චේතනාවලට ලක්වීමටද  පටන් ගන්නවා. මෙම මත්ද්‍රව්‍යය භාවිතයෙන් ඇතිවන දිගු කාලීන සංකූලතාව නිසාවෙන් මෙත් මවුත් තත්ත්වය ඇති වීමට පටන්ගැනීමත් සමග දත්වල කුහර, දත්  කළු වීම්, දත් දි‍රායාමට පටන් ගැනීම් ද ඇතිවෙනවා.

ඒ වගේම මානසික වශයෙන් අහේතුක සැකය කියන දේ දිගින් දිගටම වර්ධනය වීමත් සමගම තම සහකාරිය හෝ සහකාරයාව සැකකිරීමට පටන් ගන්නවා. මේ සියල්ල අවසානයේ සිදුවන්නේ පුද්ගලයෙකුගේ පෞරුෂය ඒකාකාරී වීමයි. අනෙක් අතට ලිංගික උත්තේජනයන් ද අඩාළ වෙන්න පුළුවන්. ඒ වෙනුවට යමෙකු ගේ සිතේ ගොඩ නැගෙන්නේ වෛරය යි. අධ්‍යාපන කටයුතුවල නිරත වෙන පුද්ගලයෙකු නම් එම කටයුතු ද බිඳ වැටෙනවා. මේ සියල්ල  අවසානයේ ජීවිත කාලය පුරාවටම විෂාදය රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු බවට පත්වෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව 2025 වසරේ ජූලි දක්වා කාලය තුළ විවිධ වූ මත්ද්‍රව්‍යය භාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස කොපමණ ද?

තරුණ ප්‍රජාව අතර තමයි මෙම අයිස් මත්ද්‍රව්‍යය භාවිතය ඉහළ ගිහින් තියෙන්නේ. 2025 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් දිවයින පුරා හෙරොයින් කිලෝග්‍රෑම් 924.9 ක්, ගංජා කිලෝග්‍රෑම් 10,923.7 ක් සහ මෙතැම්ෆෙටමින් කිලෝග්‍රෑම් 1,390.5 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම 2025 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මත්ද්‍රව්‍යය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 113,708 කි. මෙයින් හෙරොයින් සඳහා 33,697 ( සියයට29.6), ගංජා සඳහා 36,814 (සියයට32.4), මෙතැම්ෆෙටමින් සඳහා 41,016 (සියයට36.1), මනෝචිකිත්සක ද්‍රව්‍ය සඳහා 1,602 (සියයට1.4), කොකේන් සඳහා 52 සහ හෂිෂ් සඳහා 527 ක් විය.

අයිස් මත්ද්‍රව්‍යය භාවිත කිරීම සම්බන්ධව පැමිණිලි ලැබී ඇත්තේ කුමන වයස් කාණ්ඩවල පුද්ගලයන් ගෙන් ද?   

අයිස් භාවිතය ලොව පුරාම ප්‍රචලිත දෙයක්. නමුත් අපේ වගේ රටක මුල් කාල‍යේ අයිස් භාවිත කළත් වාර්තාවීම්වලට අනුව නම් අවුරුදු 16ත් 18ත් අතර පුද්ගලයන් පිළිබඳව බොහෝ වාර්තා ඉදිරිපත් වෙනවා. පුද්ගලයෙකු අයිස් භාවිත කරනවා නම් එය මුල් කාලයේ  හඳුනාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද කල්ගත වූ පසුවයි එහි සංකූලතා මතුවන්නේ. ඒ වගේම ඒ පිළිබඳව වාර්තා වීම් ද අසන්නට ලැබෙන්නේ පුද්ගලයින් අත්අඩංගුවට ගත් පසුවයි. අද වනවිට මේ සම්බන්ධයෙන්  වයස  අවුරුදු 18ටත් 25ත් අතර වයස් කාණ්ඩවල අයගෙන් බොහෝ සිදුවීම් වාර්තා වෙනවා.

වැඩිපුරම වාර්තා වන්නේ කුමන ප්‍රදේශවලින් ද ?

මෙවැනි සිදුවීම් බොහෝමයක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතරම ඊට අතිරේකව කුරුණෑගල, ගම්පහ, රත්නපුර, අනුරාධපුරය වගේ ප්‍රදේශවලත් ව්‍යාප්තිය සිදුවෙනවා.

පාසල් යන වයසේ සිසුන් අයිස් මත්ද්‍රව්‍යය භාවිතා කළ බවට පාසල් ආශ්‍රයෙන් වාර්තා ඉදිරිපත් වී ඇත් ද?

අයිස්වලට වඩා පාසල් දරුවන් අතර ප්‍රචලිත දුමක් නොනගින මත්ද්‍රව්‍යය භාවිතය. අයිස් වගේ දේකට යන්න පාසල් දරුවෙක් තුළ පොඩි දෙගිඩියාවක් පවතිනවා. මොකද ඒක අනුකරණයක් වුණත් ඒ අනුකරණය අපිට සුදුසු ද නැද්ද කියල පොඩි දෙගිඩියාවක් තියෙනවා. මේ පිළිබඳව රිසර්ච් එකකට යා යුතුයි. සිදුවීම් තියෙනවා නමුත් සිදුවීමක් තිබූ පමණින් අපිට වාර්තා ගත දත්ත නැතුව ප්‍රකාශයට පත් කරන්න අමාරුයි. පාසල් දරුවන් අතර පාසල් කාලය තුළ මේ අයිස් කියන මත්ද්‍රව්‍යය භාවිතාව පිළිබඳව. ඒ වගේම ගැහැනු  ළමයින් අයිස් භාවිතා කිරීම පිළිබඳවත් වාර්තා වීම සිදුවෙන්නේ නැහැ. මොකද ගැහැනු ළමයෙකු අයිස් මත්ද්‍රව්‍යය භාවිතා කළොත් ඕවඩෝස් වීමේ ප්‍රතිශතය ඉතා ඉහලයි. නමුත් එවැනි සිදුවීම් වාර්තා වන්නෙත් නැහැ. මොකද එවැනි පුද්ගලයෙක් එක වරම නොදැනුවත්කමින් අයිස් භාවිත කරල මැරෙන්න වුණත් පුළුවන්. නමුත් එවැනි වාර්තා වීමක්වත් අපි සතුව නැහැ. නමුත් බස්රථ රියැදුරන්, බර වාහන පදවන රියදුරන් වැනි බොහෝ දෙනා අයිස් මත්ද්‍රව්‍යය භාවිත කිරීම පිළිබඳව නම් සිදුවීම් වාර්තා වෙනවා.

අයිස්වලට අමතරව වෙනත්  මත්ද්‍රව්‍යය භාවිතාව පිළිබඳව පාසල් ළමුන් ආශ්‍රිත සිදුවීම් වාර්තා වනවා ද? සහ ඒ කුමන මත්ද්‍රව්‍යයන් පිළිබඳව ද?

අයිස් කියන්නේ අන්තරායකර මත්ද්‍රව්‍යයක්. ඒක  අපි හැමෝම දන්නවා. සාමාන්‍යයෙන් පාසල් යන වයසේ ළමුන් අතර මේ දිනවල වඩාත් ජනප්‍රිය මත්ද්‍රව්‍යයක් තමයි තූල් කියන්නේ. මේක දුම්කොළ භාවිතා කරන ලද  මත්ද්‍රව්‍යයක් ලෙසයි භාවිත වන්නේ. සාමාන්‍යයෙන් බුලත්විට සකස් කිරීමේදී අපි භාවිතයට ගන්නේ අමුද්‍රව්‍ය හතරක් වුවත් තූල් සකසා ගන්නේ අමුද්‍රව්‍ය දෙකකින් පමණයි. මෙම  මත්ද්‍රව්‍ ය පාසල් දරුවන් අතර ඉතා ජනප්‍රිය මත්ද්‍රව්‍යයක්. දැන් මේක පාසල් ළමුන් අතර ට්‍රෙන්ඩ්  එකක් බවට පත් වෙලා. ඒ නිසා ළමයින්ගේ තොල් පැළීම්, තොල් දියවී යාම්, දත් දිරායාම් වගේ සිදුවීම් වාර්තා වෙනවා. ඒ වගේම පාසල්වලට කසිප්පු, අරක්කු වගේ දේවල් රැගෙන ගිය සිදුවීම් පිළිබඳව පුළුල්ව වාර්තා වී නැතත් යම්කිසි මට්ටමකින් එවැනි සිදුවීම් වාර්තා වෙනවා.

අයිස් මත්ද්‍රව්‍යය භාවිතය නිවාරණය  සම්බන්ධයෙන් ඔබ පාර්ශ්වයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග?

සාමාන්‍යයෙන්  මත්ද්‍රව්‍යය නිවාරණ ධාරා හයක් තියෙනවා. මේ හයේම අපි වැඩ කටයුතු කරනවා.  පාසල් පාදක මත්ද්‍රව්‍යය නිවාරණය, පවුල් පාදක, රැකියා ස්ථානය පාදක කරගත්, ප්‍රජා පාදක, මාධ්‍ය පාදක කරගත් මත්ද්‍රව්‍යය නිවාරණයයි. මෙම ධාරාවන් තවත් අපි කොටස් කරලා තියෙනවා.  ඒ කියන්නේ පාසල් පාදක කරගත් කොටස ඇතුලේ ප්‍රධානම ලෙස අවධානය යොමු කරන්නේ පාසල් දරුවන් වෙතයි. පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහිදී බොහෝ වෙලාවට සෞඛ්‍ය විෂය භාර ගුරුවරුන්, ජිම් එක භාර ගුරුවරුන් සහ බොහෝ වෙලාවට උපදේශන සඳහා ද සිටින ගුරුවරුන්  සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

ඉන්පසු නයිටා , වී.ටී.ඒ. වැනි ආයතනත් ඉන් පරිබාහිරව විශ්වවිද්‍යාලවල ළමුන්ගේ සිට ඉහළ අධිකාරිය දක්වාම දැනුවත් කිරීම් මෙන්ම පුහුණු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා.

මදූශා දිල්ශානි.