ලංකාවේ නාමය ලෝ පුරා බබළවන විශිෂ්ට අනාවරණයක් නොබෝදා සිදු විය. උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේය. ඒ ශ්‍රී ලංකාවේ තරුණ විද්‍යාඥයකු වන ආචාර්ය හිමේෂ් ජයසිංහ විසින් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් තිබූ සපුෂ්ප ශාක විශේෂ 177 න් 100 කට වැඩි ප්‍රමාණයක් නැවත සොයාගැනීමත් සමගය.
එපමණක් නොව, මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කිසිදා වාර්තා නොවූ සපුෂ්ප ශාක විශේෂ 210 ක් පමණ ආචාර්ය ජයසිංහ අලුතෙන් සොයා ගැනීමත් සමග මෙහි විශිෂ්ටත්වය ඉහළ ගොස් තිබේ.
මේ නව අනාවරණයේ දී සියවසකට ආසන්න කාලයක් වාර්තා නොවීම නිසා වඳ වී ගොස් තිබූ බව පිළිගත් ශාක විශේෂ පහෙන් තුනක් සහ වනයේ වඳ වී ගොස් ඇති බවට කලින් සැක කරනු ලැබූ ශාක විශේෂ දෙකක් නැවත සොයාගන්නට ඔහු සමත් වීමත් අපූරුවකි.
වෘත්තියෙන් ඉංජිනේරුවකු වූ ආචාර්ය හිමේෂ්, ශාක ප්‍රජාවන්ට විශිෂ්ට වූ විශේෂිත වාසස්ථාන සොයා වන වැදීමට ආසක්ත වූ දුර්ලභ ළැදියාවක් සහිත විද්වතෙකි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ වෙනත් ගවේෂකයන් පය තැබීමට මැළි වන තැන් ය. ඒවායින් බොහොමයකට පහසුවෙන් ප්‍රවේශවීමට අපහසුය. එනම් කඳු මුදුන්, ගල්කුළු සහිත දුර්ග බිම්, ගස් මුදුන්, දිය ඇලි, සැවානා සහ තෙත් බිම් වැනි දුෂ්කර ස්ථානයන් ය. නමුත් එහි ප්‍රතිඵලය වූයේ අලුත් සොයාගැනීම් රැසක් නොසිතූ වේගයකින් ගලා ඒමයි.
“ඉරිදා ලංකාදීප”ය සමග කතාබහට එක් වූ ආචාර්ය හිමේෂ් ජයසිංහයන් තම සොයාගැනීම් ගැන විස්තර කළේ මෙසේය.
“ලංකාව කියන්නේ නිතර වැසි සහිත දූපතක් වීම විශේෂ වාසියක්. වායුගෝලය තුළ ආර්ද්‍රතාව නිතරම ඉහළයි. මේ වගේ පරිසරයක ඇති වැසි වනාන්තර හඳුන්වන්නේ වියළි කාලයක් නැති පෙර්-හුමිඩ් රෛන්ෆොරෙස්ට් වනාන්තර හැටියට. ලංකාවේ ඇරුණම මේ වගේ තැන් ඇත්තේ ඉතා සීමිතව. ඒ බොර්නියෝවේ සහ මැලේසියාවේ වගේ දුරක. ඉතින් මේ වගේ සරුසාර පරිසර තුළ ජෛව විවිධත්වයත් ඉතා සරුයි. ඉහළයි”.
ශ්‍රී ලංකාව සතු මේ අද්විතීය ජෛව සම්පත ගවේෂණය සඳහා පොලඹවන සුළු කුතුහලය වඩවන සැඟවූණු නිධානයක් බඳු බව ඔහු පෙන්වා දෙයි.
මේ නන් විසිතුරු ජෛව විවිධත්වය අතික්‍රමණය කිරීමට වන වැදුණු ඔහු - සිය දිගු කාලීන අධ්‍යයනයන් මගින් රැස්කළ කරුණු සංගෘහිත කොට සැකසූ නවතම කෘතියක් උද්භිද විද්‍යා ක්ෂේත්‍රයට තිළිණ කිරීමට හෙතෙම නොබෝදා කටයුතු කළේය. ඒ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සහ ඩිල්මා සමාගමේ සහායෙන් ලත් පන්නරයෙන් සවිමත් වෙමිනි.
ආචාර්ය හිමේෂ් ජයසිංහගේ සපුෂ්ප ශාක ගැන අලුත් කරුණු රැස්කර ඇති මෙම මූලික කෘතිය - ශ්‍රීලාංකේය උද්භිද විද්‍යා ඉතිහාසයේ සුවීශේෂි හැරැවුම් ලක්ෂයක් ලෙස මහඟු වැදගත් කමක් දරන්නකි. 1800 ගණන්වල හෙන්රි ට්‍රීමන් විද්වතාගෙන් පසුව සිදු වූ සුවිශාල ශාක සංඛ්‍යාවක් හඳුනාගැනීමේ ප්‍රයත්නය ලෙස ද මෙය නිසැකවම වැදගත් වනු ඇත.
මුලින් ඉංජිනේරුවකු ලෙස උපාධි ලබා සේවය කළ ද, කුඩා කල සිටම අවට පරිසරයට වන ගහනයට සතා සීපාවාට මහත් ළැදියාවක් දැක් වූ හෙයින්, තමන් උද්භිද අධ්‍යයනයන්ට යොමු වූ බව ඔහු අප හා කීය. මෙයට පෙර ලංකාවේ සමනලුන් ගැන අධ්‍යයනයක යෙදී ඒ සම්බන්ධ ග්‍රන්ථ දෙකක් සම්පාදනය කිරීමට ද සමත් ව ඇති ආචාර්ය හිමේෂ් හට ශාක අධ්‍යයනය සඳහා මූලික අඩිතාලම වැටී ඇත්තේ ද ඒ අතරතුර දී ය.
සමනලුන් සම්බන්ධව සිදු කෙරුණු ගවේෂණයන්හි දී කෘමී කීටයන්ගේ ආහාර සඳහා වැදගත් වන ශාක හඳුනා ගැනීමට යොමු වූ ජයසිංහයන්ට - උද්භිද විද්‍යාවට ආකර්ෂණය වීමට එය අභිප්‍රේරණයක් වී ඇත.
1980 සහ 2006 අතර ප්‍රකාශයට පත් කරන ලද වෙළුම් 15 කින් යුත් සංශෝධිත අත්පොත වන ශ්‍රී ලංකාවේ ශාක පිළිබඳ සම්මත කෘතිය හරහා හඳුනාගත නොහැකි ශාක ඇති බව ඔහු ඉක්මනින්ම සොයා ගත්තේය.
මේ අඩුපාඩුව සපුරා ගැනීම සඳහා ඔහු ජාතික රතු ලැයිස්තු තක්සේරුව සිදු කරන විශේෂඥ කමිටුවේ සභාපති සහ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (….....ණ්අයිඑෆ්එස්) මහාචාර්ය සිරිල් විජේසුන්දර වෙත යොමු විය. විජේසුන්දරයන් මේ තරුණ පර් යේෂකයා සතු උනන්දුව කැපවීම සහ ශක්‍යතාව වටහා ගත් අතර, ඒ වන විට ඉංජිනේරු උපාධිධාරියකු වන මොහු, උද්භිද විද්‍යා ආචාර්ය උපාධි වැඩ සටහනකට ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු 2022 දී සිය ආචාර්ය උපාධිය ලබාගත් අතර, ඉන් ටික කලකට පසු ජාතික මූලික අධ්‍යයන ආයතනය-ණ්අයිඑෆ්එස්........., ඔහු පූර්ණ කාලීන පර් යේෂකයකු වශයෙන් බඳවා ගත්තේය. මේ අතර, ඩිල්මා සමාගම ඔහුගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා අඛණ්ඩ ප්‍රදානයක් ලබා දෙමින් සහාය වීමට ඉදිරිපත් විය.
ආචාර්ය හීමේෂ් තමන් අපට හඳුන්වා දුන්නේ ශාක සුබේදුකරණ විද්‍යාඥයකු ඨඤොනොමිස්ට්..........., හැටියටය. එය භාර ධූර කාර්යයකි. එළිමහන් පරිසරයේ දීර්ඝ කාලීනව කෙරෙන ව්‍යාප්ති සමීක්ෂණ සහ සමීප සජීවි අධ්‍යයනයන් මගින් ඡායාරූප වාර්තා සමග ස්වභාවික සාම්පල රැස්කිරීමේ සිට ශාක වෙන් කොට හඳුනාගැනීම, වර්ගීකරණය, ශාක නාමකරණය පමණක් නොව ශාකයන්හි ව්‍යාප්තිය සහ පරිණාමය ඇතුළු සම්පූර්ණ තෝම්බුවක් වාර්තා කර තැබීම දක්වා පුළුල්ව විහිද ගිය රාජකාරියකි.
ලංකාව සිය භූමිය තුළ ඇති ශාක විශේෂ පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයක් සහ වාර්තා තැබීමක් සහිත ලොව රටවල් අතළොස්ස අතරින් ප්‍රධාන තැනක් ගෙන තිබේ. 4 වැනි සියවසටත් එහා ඉතා පුරාණ කාලයේ සිට ශාකයන්හි ඖෂධීය සහ ආර්ථිකමය වටිනාකම ගැන අපේ රටේ දේශීය වෛද්‍ය කර්මය මගින් වාචිකමය සහ පුළුල් ප්‍රායෝගික භාවිතමය දැනුම් සම්භාරයක් රැස්කර අනාගත පරපුර වෙනුවෙන් ගබඩා කර තිබේ.
පසු කාලීනව ලෝකයේ ප්‍රධාන පෙළේ ශාක සුබේදුකරණ සහ නාමකරණ විද්‍යාඥයන් සිය පර් යේෂණ සඳහා - ලංකාවේ සරුසාර, මේ රටටම සුවිශේෂී වූ අද්වීතීය උද්භිද සම්පත සහ ඒ සම්බන්ධ පාරම්පරික දැනුම සිය කටයුතුවල දී නොමසුරුව භාවිත කර තිබේ. මෙහි දී විශේෂයෙන් ඖෂධීය ගුණ ඇති ශාක සඳහා සාම්ප්‍රදායිකව ඇති සිංහල නම් භාවිත කරන ලදී. මෙම නම් ආයුර්වේද පිළිවෙත් සඳහා වැදගත් වූ අතර දේශීය ඖෂධ සොයන යුරෝපීයයන් විසින් ද එලෙසම හඳුනා ගනිමින් භාවිතයට ගන්නා ලදී.
ඉන්පසු ලංකාවේ ශාක සම්බන්ධ විද්‍යාත්මක තෝම්බුවක් සැකැසී ඇත්තේ 17 -18 සියවස්වලදී ලන්දේසි යුගයේ දීය.
ලන්දේසි වෛද්‍යවරයෙකු සහ උද්භිද විද්‍යාඥයෙකු වන පෝල් හර්මන් - ලංකා වෘක්ෂලතාදිය පිළිබඳ මුල් කාලීන පරීක්ෂණ සිදුකළ ප්‍රමුඛ විද්‍යාඥයකු වන අතර, ඔහු විශේෂ 1000 කට වඩා නිදර්ශක එකතු කර තිබුණි. මේ සම්බන්ධව ඔහු රැස් කළ දැනුම ඔහුගේ කෘතිය වන “මියුසියම් සෙයිලානිකම්“සහ පසුව කාල් ලිනේයස් විසින් රචිත“ෆ්ලෝරා සෙයිලානිකා“ සඳහා පදනම විය.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය (18-20 සියවස්) තුළ ලංකාවේ ශාක පිළිබඳ පුළුල් අධ්‍යයනයන් සිදුව ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. ජීවීන් නම් කිරීමේ නවීන ක්‍රමය වන ද්විපද නාමකරණය විධිමත්ව ඉදිරිපත් කළ එහෙයීන්ම නූතන සුබේදුකරණයේ පියා - “ෆාදර් ඔෆ් මොඩෙර්න් මැක්යෝනොමි“, ලෙස හැඳින්වෙන ස්වීඩන් ජීව විද්‍යාඥයෙකු සහ වෛද්‍යවරයෙකු වන කාල් ලිනේයස් ලංකාවේ පළමු ශාක සුචිය නිර්මාණය කිරීම සඳහා හර්මන් ගේ ශාකාගාරය හෙවත් සජීව නිදර්ශක එකතුව භාවිත කළේය.
18 වන සහ 19 වන සියවස්වල දීම හරමානිස්, විලියම් සහ ජෝර්ජ් ද අල්විස් වැනි කලාකරුවන් කැපී පෙනෙන කෘති නිර්මාණය කරමින් උද්භිද විද්‍යාත්මක චිත්‍ර සටහන් රූප සහිත නිදර්ශන ගණනාවක් තිළිණ කර තිබුණි. ඉන් පසු දැනටත් ශාක අධ්‍යයනයේ දී භාවිතයට ගන්නා වැදගත්ම ප්‍රකාශනය වන්නේ හෙන්රි ට්‍රිමන් විද්වතාගේ ලංකාවේ ශාක සඳහා අත්පොත ය. 1893 දී ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය, පෙර නිදර්ශන සහ සුබේදුකරණ අධ්‍යයනයන් ගේ කූටප්‍රාප්තියයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යාත්මක නිදර්ශකවලින් සියයට 85 ක් පමණ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී නම් කරන ලද බව ඉතිහාස ගතව තිබේ.
නිදහසින් පසු ද ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පිළිබඳ අඛණ්ඩ පර් යේෂණ සහ ලේඛනගත කිරීම් සමග උද්භිද විද්‍යාත්මක සුබේදුකරණය අඛණ්ඩව පරිණාමය වෙමින් පැවතීයේය. ජාතික උද්භිද උද්‍යානය (ඪ්ණ්ඹ්ඝ්.........) : ශාක සංරක්ෂණය, පර් යේෂණ සහ සත්‍යාපනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
මේ අතර ශ්‍රී ලංකාව සහ සිංහල භාෂාව උද්භිද නාමකරණ ක්ෂේත්‍රයට සරු දායකත්වයක් ලබා දී ඇත. සියලුම දේශීය ශාක විශේෂ අතුරින් (ඇන්ජියෝස්පර්ම්: 3,087 + ටෙරිඩොෆයිට්: 350), නිදර්ශක 223 ක් ම රටේ නම, දේශීය ජනතාවගේ නම්, ප්‍රදේශ වර්ග සහ ස්වදේශීය නම් නිශ්චිත නාම පද ලෙස දරයි. රටේ නමින් ශාක විශේෂ 162 ක් නම් කිරීම මගින්ම මෙරට පොහොසත් උද්භිද උරුමය ලොවට පිළිබිඹු කර ඇති අතර උද්භිද නාමකරණ ක්ෂේත්‍රයට සැලකිය යුතු විශිෂ්ට දායකත්වයක් සපයා ඇති බව(වෙනත් රටවල සමාන තක්සේරුවක් සිදු කර නොමැති බැවින්, අගයන් සැසඳිය නොහැකි වුවද) බොහෝ දුරට තහවුරුව තිබේ.
මේ අතර ආචාර්ය හිමේෂ් ජයසිංහ මෑත කාලීන සිය අඛණ්ඩ පර් යේෂණ මගින් රැස්කර ඇති සංරක්ෂිත නිදර්ශක 3,700 කට වඩා ඇති නවතම උද්භිද නිදර්ශක එකතුව හෙවත් ශාකාගාරය මෙන්ම ශ්‍රී ලංකාවේ දැනට දන්නා සපුෂ්ප ශාක විශේෂ 2,850 න් 2,600 ක් පමණ නියෝජනය කරන ඡායාරූප පුස්තකාලයක් ද ජාතික ශාකාගාරයේ තැන්පත් කර අනාගත පර් යේෂකයන් හට දායාද කරදීමෙන් නව විශේෂ හඳුනාගැනීමේ මහඟු අවස්ථාවක් උදාකර දී තිබේ. එය ඉතිහාස ගතවන කැපී පෙනෙන දායකත්වයකි. උද්භිද විද්‍යා ක්ෂේත්‍රය වෙත කළ මහඟු පරාර්ථකාමී පරිත්‍යාගයකි.
“මම තවමත් ශාක අධ්‍යයනයට ගොස් නැති බොහෝ ස්ථාන තිබේනවා. ඉතින් මට හැකි තාක්කල්, මම ගවේෂණය දිගටම කරගෙන යනවා. ඊට පස්සේ සමහර විට මම නියම සුබේදකරණ විද්‍යාඥයෙක් හැටියට ශාකාගාරයේ වාඩි වී විධිමත් වර්ගීකරණ කටයුතු අරඹන්න සිතා ඉන්නවා.
නමුත් ජීවිත කාලයකට වඩා වැඩි වැඩ කොටසක් මෙහි දී කළ යුතුව තියෙනවා. ඒ නිසා මම අනෙකුත් විද්‍යාඥයින් සහ ශාක සුබේදකරණ විද්‍යාඥයන් මෙහි පැමිණ මෙම එකතු කිරීම් සමග වැඩ කරනවා නම් ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. ඒ නිසා මම මගේ මුළු එකතුවම - සංරක්ෂිත නිදර්ශක 3,700 කට වඩා, ඒවායින් බොහොමයක් අනාගත …...ඪ්ණ්ඒ විශ්ලේෂණය සඳහා විශේෂයෙන් සකස් කර ඇති - ශ්‍රී ලංකා ජාතික ශාකාගාරයේ තැන්පත් කරන්නට කටයුතු කළා . මගේ දත්ත කට්ටලය සහ ඡායාරූප සම්බන්ධයෙන් ගත් කල, මම ඒ සියල්ල මගේ පොත හරහා පොදු දැනුම් සම්භාරයට ඇතුළත් කළා.“
“ඩිස්කවරි: ඇඩිෂන්ස් ටු ද ෆ්ලෝරා ඔෆ් සිලෝන්- ඪිස්සොවෙර්ය්: ඒඩ්ඩිටිඔන්ස් ටො තෙ එෆ්ලොර ඔෆ් සීඑය්ලොන්“, නම් එම පොත මේ වනවිට ජනගතව ඇති අතර පිටු 680 කට වඩා දිගුය. එය විශේෂ 210 ක් පමණ විස්තර කර නිදර්ශනය කරයි. විධිමත් වර්ගීකරණයට දශක ගණනාවක් ගත වන බැවින්, ආචාර්ය හිමේෂ් ජයසිංහ විසින් නව විභව විශේෂ නම්කිරීමට තෝරා ගෙන ඇත්තේ සාමාන්‍ය නාමයකින් පසුව අංකයක් යෙදීමෙනි. උදාහරණයක් ලෙස මෙසිලෝන් එස්පී 1, එස්පී 2, ආදි හැටියටය.
ආචාර්ය හිමේෂ් ජයසිංහ අප හා පැවැසූවේ මේ ග්‍රන්ථය දොරට වැඩි පසුද තවත් ශාක ගණනාවක්ම අලුතෙන් හඳුනාගන්නට හැකි වූ බවය.
“මෙම අලුතින් සොයාගත් විශේෂ බොහොමයක් පටු පරාසයකට ආවේණික වූ ඒවා , “ඒවාට ඇත්තටම තිබෙන්නේ කුඩා ප්‍රාදේශීය ව්‍යාප්තියක්, සමහර විට වර්ග කිලෝමීටරයකට වර්ග සැතපුම් 0.4 ට වඩා අඩුයි. අනෙක් ඒවාට පුළුල් ව්‍යාප්තියක් තිබෙන නමුත් ඒවා බොහෝ විට විශේෂිත ක්ෂුද්‍ර වාසස්ථානවලට සීමා වෙලයි ඇත්තේ , නැතහොත් ඒවා වනාන්තර වියනෙහි ඉහළට වැඩෙන අපි ශාක හැටියටයි ඇත්තේ. ඉතින් දැනට, මගේ ප්‍රමුඛතාව වන්නේ හැකි තරම් ඒවා සොයාගැනීමයි. එවිට රජයට සහ පරිසර සංවිධානවලට සංරක්ෂණ ක්‍රියා මාර්ග ආරම්භ කළ හැකිය. වඩාත් කාලයක් ශ්‍රමයක් වැය වන විධිමත් වර්ගීකරණ කටයුතු පසුව ඇරැඹිය හැකිය.“
මේ සොයාගැනීම් තහවුරු කරන්නේ ශ්‍රී ලංකාව සතු සරුසාර ජෛව විවිධත්වයේ අරුමයයි. උද්භිද ඉතිහාසයේ මුල් පර් යේෂණ සමීක්ෂණ සිදුකළ ශතවර්ෂ ගණනකට පසුව දැන් අප සතුව ඇත්තේ ඒ කාලයේ තිබූ වන බිම්වලට සාපේක්ෂව සියයට 5ක තරම් වූ වන බිම් සොච්චමකි. නමුත් මේ කුඩා ඉඩ කඩ තුළ ද උද්භිද ලෝකයේ මෙතෙක් අනාවරණය කර නොගත් වටිනාම සම්පත් ගොන්නක්ම සුරැකිව පවතින බව ට මේ සොයාගැනීම් දෙස් දෙයි.
ශ්‍රී ලංකාව වැනි හොඳින් ගවේෂණය කරන ලද නිවර්තන රටකින් පවා අනපේක්ෂිත ලෙස නව ශාක විශේෂ විශාල සංඛ්‍යාවක් සොයාගැනීමට තවමත් ප්‍රබල හැකියාවක් ඇති බව මෙම සොයාගැනීම් ඉඟි කරන අතර, ජෛව විවිධත්ව සුචිගත කිරීමට සහ සංරක්ෂණය කිරීමේ අරමුණු සඳහා දැන් විධිමත් භූ ස්ථානීය නිදර්ශක සහ ඡායාරූප මගින් තහවුරු කිරිම බොහෝදුරට ප්‍රමාණවත්වීම නිසා විධිමත් වර්ගීකරණයක් කරා යාමද ඉක්මන් සහ පහසු වී ඇති බව මේ ක්ෂේත්‍රයේ සම්මානිත ප්‍රවීණයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ පෙන්වා දෙයි.
නිශා තල්වත්ත