“පාසල් දරුවන්ගෙන් සියයට 18ක් මානසික අවපීඩන තත්ත්වයට ලක්වෙලා. ඒ වගේම ලංකාවේ සියදිවි නසාගැනීම්වලින් පළමු තැන අරන් තියෙන්නේ අවුරුදු 15 ත් 25 ත් අතර දරුවන්” (වෛද්‍ය එන්. කුමාරනායක)
“හොඳම දේ දරුවන්ට”
ඒ මෑත අතීතයේ දේශපාලන වේදිකාවෙන් ඇසුනු ආකර්ශණීය තේමා පාඨයකි. වර්තමානයේ ඒ පරයමින් ඊටත් වඩා රසබර එහෙත් ජුගුප්සාව ද දනවන තේමාපාඨ නව සංකල්ප ද ඇසේ. ළමා අපයෝජන ළමා හිංසන ළමා මෙහෙකාර සේවයේ යෙදවීම ඇතුළු විවිධාකාරයේ ළමා අයිතීන් උල්ලංඝණය කීරීම් පිළිබඳව අප්‍රසන්න තීරණ තොරතුරු සමුදායක් මධ්‍යයේ සියලු අකටයුතුකම් සියල්ල ක්ෂණයෙන් අමතක කර අප මේ කතාකරන්නේ ළමා දිනය සැමරුමට සූදානම් වන අසිරිමත් මොහොතකය. අප මේ කතා කරන්නේ ළමා දිනය පමණක් නොව ළමා කාලයම උදුරා ගනිමින් ළමා ලෝකයම අහිමි වූ දරුන්ගේ සෝ සුසුම් මැදය.
මේ වසරේ ගත වූ මාස නවයක කාලයෙහි ළමා අතවර සිදුවීම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව තොරතුරු හා දත්ත පරිශීලනය කරනවිට පෙනී යයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරුවන් 206 දෙනෙකු අත්අඩංගුවට ගැනීම්, ලිංගික අපයෝජන හේතුවෙන් ගැබ්බර වූ ළමා මව්වරු 33ක්, පාසල් පද්ධතියෙන් දරුවන්ට සිදුවු හිංසන සිදුවීම් 269 ක් වාර්තා වෙයි. මෙම සිදුවීම්වලින් සිදුවීම් 117 ක් ළමා කෘරත්වය සම්බන්ධ සිදුවීම් බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
දරුවන්ගේ සුන්දර ලෝකය ගැන අපූරු කතා ඇසෙන මොහොතක මේ එ් ලෝකයේ අඳුරු පැතිකඩය. රටේ ජීවනාලිය දරුවෝ ය. රටක අනාගතය තීරණය කිරීමෙහි ලා ඉතාමත් වැදගත් හා ප්‍රබලතම සාධකය වන්නේ දරුවන් බැවින් ඔවුන් සඳහා සුරක්ෂිත සමාජ වටපිටාවක් සකස් කරලීම සියලු දෙනාගේ ම යුතුකමක් හා වගකීමක් වන්නේය.
එනමුත් පිපෙන්නට කලින් තැළී පොඩි වී මිලින වී යන පුංචි මල් කැකුළු ගැන සෝචනීය පුවත් රුසක් ගතවුණ කාලයෙහි සිදුව ඇත්තේ දරුවන් රටේ ජීවනාලිය යැයි ලෝකය ඉදිරියේ මහා ඉහළින් කතාකරන සමාජ වටපිටාවක ය.
සහකම්පනයක් නැති රටක දරුවන් ගැන අනාගතයක් සිතිය හැකිද?
මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ මනෝ උපදේශිකා බුද්ධිමා දිසානායක යි.
දරුවකුගේ ජීවිතය විනාශ කෙරෙන මුල් අවස්ථාව තමයි මානසික අපයෝජනය. ගොඩක් දෙනා ළමා අපයෝජනය කිව්වම හිතනවා දරුවකුට හානි වෙන්න පුළුවන් කායික අපයෝජනයකින් පමණයි කියලා. නමුත් ළමා අපයෝජනය ප්‍රධාන ආකාර 4ක් ඔස්සේ සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දෙනවා. ඒ, ශාරීරික අපයෝජනය, මානසික අපයෝජනය, ලිංගික අපයෝජනය හා නොසලකා හැරීම යන ඒවායි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දෙනු ලබන දත්ත මත පදනම් ව බලන විට දරුවන් ඉහත කී ක්‍රම හතර ඔස්සේ ම තමන්ගේ පවුල තුළින් අපයෝජනයට ලක්වෙන බව පෙනෙනවා. දරුවන්ගෙන් සියයට 75 ක් ම ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් යන ක්‍රම ඔස්සේ අපයෝජනයට ලක් වෙන බව පේනවා.
පාසල් දරුවන්ගෙන් සියයට 60 ක්ම මානසික අපයෝජනයට ලක්වෙන්නේ නිවස තුළින්මයි.
නිවස තුළ දරුවන් පාලනය කර ගැනීමට බිය කියන සංකල්පය යොදා ගන්නවා. ඒ කියන්නේ දරුවාගේ යම්කිසි හැසිරීමක් පාලනය කිරීමට ඒ දරුවා බිය වෙන කෙනෙකු මතක් කරනවා. “ඉන්නකෝ, මම තාත්තට කියන්නම්, නැත්නම් බාප්පට කියන්නම්.” වගේ දරුවා බියක් දක්වන අයෙකු මතක් කරනවා. පිටතින් නොපෙනුණාට දරුවන් තුළ ඒ නිසා මානසික පීඩනයක් ඇති වනවා.
අනෙක් ප්‍රධානත ම කරුණක් තමයි, දෙමව්පිියන්ගේ පවුල් ආරවුල්. අම්මගෙයි, තාත්තගෙයි පවුල් ආරවුල් වෙන්වීම්,පහර දීම් නිසා දරුවන් මානසික අපයෝජනයට ලක්වීම ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. ලංකාවේ බහුතරයක් දරුවන් ලිංගික අපයෝජනයන්ට පවා ගොදුරු වීමේ ප්‍රධාන සාධකය දෙමාපිය අවධානයෙන් දරුවන් ගිලිහීම. ඒ වගේම තමයි දරුවගේ වයසට සාපේක්ෂව සෙසු දරුවන් කිසිම වෙලාවක ඕබේ දරුවා සමග සසඳන්න එපා. මේ තුළින් වන ප්‍රධානම හානිය වන්නේ තම දරුවාගේ ආත්මාභිමානය බිඳ දැමීමයි.
දෙමව්පියන්ගේ ක්‍රියාකලාපය, ඔවුන්ගේ තීන්දු, ඔවුන්ගේ සම්බන්ධතා, ඔවුන් කතා බහ කරන ආකාරය, ඔවුන් අඳින පලඳින ආකාරය පවා පවුලක් තුළ දරුවන් කෙරෙහි බලපානවා. දරුවන්ට අපයෝජනයක් සිදුවෙන්නේ කොහොමද කියන කරුණට දෙන්න තියෙන සරල ම පිළිතුරක් තමයි දරුවා කියන්නේ පවුලේ කණ්ණාඩිය කියන එක. දරුවෙකු තුළ තියෙන ස්වාභිමානය, දරුවන්ගේ සතුට. ඒ දරුවා පන්ති කාමරයෙහි සහයෝගශීලීව හැසිරෙනව ද? එහෙම නැත්නම් කලහකාරී ලෙස හැසිරෙනවාද? ඔය කියන හැම දේකටම පවුලෙන් ලැබෙන පිටිවහල බලපානවා. පවුල තුළ මානසික ලෙස අපයෝජනයට ලක්වන දරුවා අන් අයට පීඩාවෙන ආකාරයට නිතර ම අනික් දරුවන්ට කරදරකාරී ලෙසත් හැසිරෙනවා. ඔවුන් එය හිතා මතා ම සිදු කරන්නක් නෙවෙයි. දරුවන් තුළ වන පීඩනය ඔවුනගේ චර්යාවලින් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. සාමකාමී , නිදහස් , සහනශීලී වටපිටාවක හැදෙන දරුවන් නිතර ම සතුටින් ඉන්නවා. නමුත් අවාසනාවකට වර්තමානය වෙන විට අනෙක් අයට පීඩා කරන දරුවන් වැඩි වෙලා තියෙනවා. අපි ඒකට අපේ හිත හදාගන්න ඕන නිසා ම තාක්ෂණයට වරද පටවනවා. නමුත් සැබෑ හේතුව වෙන්නේ දෙමාපියන් දැන හෝ නොදැන කරන වැරදි නිසා දරුවන් තුළ මානසික පීඩනය වැඩි වීම.
මේ සමාජයේ දකින තවත් වැරුද්දක් තමයි දරුවන්ට ගරු නොකිරීම. අපේ සමාජයේ දරුවන් ඉතා ම නොවටිනා කොටසක් ලෙස තමයි දකින්නේ. පවුල ගත්තත්, පාසල ගත්තත් දරුවන් දකින්නේ ඉතා ම නොවැදගත්, වැඩිහිටියන් කියන විදිහට ම ඉන්න, පාලනය කළ යුතු කොටසක් ලෙස. දරුවන් කියන්නේ වැඩිහිටියන් විසින් පෝෂණය කරන, සුබසාධනය සලසන කොටසක් ලෙස දකින නිසා දරුවන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගන්නේ නැහැ.දරුවාගේ අදහස් නොසලකා නොතකා හරින විට
“මම කිසි වැඩකට නැති කෙනෙක්. මගේ අදහස්වල වටිනාකමක් නැහැ..... මට කවුරුත් සවන් දෙන්නේ නැහැ.මගෙන් ඇති වැඩක් නැහැ. සමානාත්මක අදහස් දරුවන් තුළ නිර්මාණය වෙනවා. දරුවෝ සියදිවි නසාගන්නේ ගෙදරින්ම ඒ දරුවාගේ පෞරුෂය බිඳ දැමීම නිසා.
හොඳ පාසලකට දැම්මා කියලා, හොඳට කන්න දුන්නා කියලා ඕන හැම දේම දුන්නා කියලා යහපත් කායික හා මානසික ව නීරෝගී යහපත් දරුවෙක් බිහිවෙන්නේ නැහැ. දරුවන් හට විවිධ විදියට ආදරය දුන්නත් ප්‍රධාන වන්නේ සංදේශනය වන ආදරය පමණයි. දරුවකුට සමාජයක ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරවීම වැඩිහිටියන්ගේ මූලික වගකීමක්.
ඇතැම් දරුවන් “විශාදයට” ගොදුරු වෙන්නේ ඇයි? මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා අදහස් පළ කළේ මෙලෙසය.
විශාදය හෙවත් Depression යනු නිතරම හුදකලාවී නිමක් නැති හැඬීමම නොවේ. අපේ දෙමාපියන් හිතනවා අපි කන්න අඳින්න දෙනව නම් දරුවන්ට මොනවද තියෙන ගැටලු කියලා. ඒ වගේම ගුරුවරු හිතනවා දරුවන්ට තියෙන එකම වගකීම තමයි ඉගෙන ගැනීම සහ විභාග පාස් කිරීම කියලා. බොහෝ ගුරුවරු විභාගයෙන් තොර ලෝකයක් දරුවන් තුළ දකින්නේ නැහැ. පසුගිය කාලය තුළ ගැටවර වියේ සහ නවයොවුන් වියේ දරුවන් අතර සියදිවි නසා ගැනීම් වැඩි වශයෙන් අසන්නට ලැබුණා. දරුවෙක් මේ තත්ත්වයට පත්වෙන්න දරුවා තුළ තියෙන ගැටලු මෙන්ම පාරිසරික ගැටලු අතිශය බලපානවා. ආර්ථිකය, ජීවත් වන පරිසරය, දෙමාපියන්ගේ සිතුවිලි සහ ඔවුන්ගේ මානසික පීඩනය, බලාපොරෙත්තු සුන් වීම, හැගීම් පාලනයට අසමත් වීම, අනාගතය ගැන අවිනිශ්චිත බව, මත් ද්‍රව්‍යවලට වේගයෙන් ඇබ්බැහි වීම වගේම මෝස්තරයක් ලෙසත් සියදිවි නසා ගැනීම් ලංකාවේ වාර්තා වෙනවා.
අවුරුදු 10- 18 අතර සිටින ගැටවර වියේ දරුවෙක් කියන්නේ මනෝ විද්‍යාවට අනුව හැඟීම් පාලනය කරගැනීමට අපහසු වයස ඔවුන්ගේ හැඟීම් පාලනයට අදාළව වම්පස මොළය වැඩෙමින් පවතින කාලයක. මේ වයසේ දරුවන්ගේ ක්‍රියාකාරී වන්නේ දකුණු පස මොළය. ඒ කියන්නේ ඒ දරුවන් හරිම හැඟීම් බරයි. දරාගැනීමේ ශක්තිය අඩුයි.
සෞඛ්‍යය අමාත්‍යංශය පාසල් දරුවන් සහභාගි කරගෙන සිදුකළ සමීක්ෂණයකදි හෙළි වෙලා තියෙනවා පාසල් දරුවන්ගෙන් සියයට 18ක් මානසික අවපීඩන තත්ත්වයට ලක්වෙලා කියලා.
මට මුණ ගැහෙන බොහෝ දරුවන් මට කියන්නේ "අනේ මව්පියන් අපිව තේරුම් ගන්නේ නෑ" කියලා. ඒ කතාව සහතික ඇත්ත. මානසික ප්‍රතිකාරවලට එන බොහෝ දරුවන් ඒ මානසික පීඩාකාරී තත්ත්වයන්ට පත්වීමට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මව්පියන් විසින් දරුවන් තේරුම් නොගැනීම කියන කාරණය.
ඒ කියන්නේ ජීවිතය එපා වීම, කලකිරීම, සතුටක් නොමැති වීම, අනාගතය පිළිබඳ අවිනිශ්චිත බව, බය, තරහා යාම, කෑම අරුචිය වැනි ලක්ෂණ පෙන්වීමයි. ඒ වගේම මේ සමීක්ෂණය ඇතුළේම පෙන්වා දෙනවා, පාසල් දරුවන්ගෙන් සියයට 22ක් පාළුව තනිකම කියන දේට ගොදුරු වෙලා තිබෙන බව. දරුවන්ගෙන් සියයට 11 කට නින්දෙහි ගැටලු ඇති වෙනවා. සියයට 7.5 ක දරුවෝ කියනවා අපිට යාළුවෝ නැහැ අපි හුදකලා වෙලා කියලා. මේ මානසික අවපීඩනයන්ගෙන් පීඩා විඳින බොහොමයක් ගැටවර වියේ දරුවන්. ගැටවර විය කියන්නේ හරිම සෙල්ලක්කාර, දඟකාර, සතුටෙන් ඉන්න, යාළුවෝ ආශ්‍රය කරන වගේම හුඟාක් යාළුවො ඉන්න වයසක්. එවැනි වයසක ඉන්න දරුවො තමයි මේ ජීවිතේ කලකිරීම් සහ එපා වීම්වලට ගොදුරු වෙලා ඉන්නේ. මේ වෙනකොට ලංකාවේ සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන අරන් තියෙන්නේ අවුරුදු 15 – 25 අතර දරුවන්.
දරුවන්ගේ නිදහස සීමා කරන්න එපා.
ලංකාවේ තියෙන තවත් ලොකු අසහනයක් හා පීඩනයක් තමයි දරුවන්ට තිබෙන විභාග ආතතිය. මේ විභාග ආතතිය පිළිබඳ යුනිසෙෆ් ආයතනයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත් එකතු වෙලා දිස්ත්‍රික්ක 23ක් ඇසුරෙන් කළ සමීක්ෂණයකින් හෙළි වෙලා තිබෙනවා අවුරුදු 14ත් 18ත් අතර දරුවන්ට සියයට 60 විභාග ආතතිය නිසා ජීවිතේ එපා වෙලා.
මේ පීඩනය නිසා දරුවා ආතතියට පත් වෙනවා වගේම මානසික අවපීඩනයට ලක් වෙනවා. මේකේ ප්‍රධානම හේතුව තමයි විභාගය ෆේල් වෙයි කියන බය . ඒ වගේම ලංකාවේ දරුවන් පැය 5ක් පාසලේ ගත කර පසුව ටියුෂන්වලට යනවා. හරියට කෑමක් වතුර උගුරක්වත් ලැබෙන්නේ නැහැ .මේකෙන් ලොකූ මානසික පීඩනයක් ඇති කෙරෙනවා. මෙය පාසල් යන දරුවෙකුට දරා ගන්න ඉතාම අමාරුයි. ඔහුට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ, යාලුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ, සිංදුවක් අහන්න වෙලාවක් නැහැ, අධ්‍යාපනය විශාල දැඩි අසහනයකාරී තත්ත්වයකට දරුවාව පත් කරලා තියෙනවා. ඒ අතරින් තවත් ලොකු පීඩනයක් තමයි දෙමාපියන් හැසිරීම.
"එක දරුවෙක් මං ලඟට ආවා. ඒ දරුවගේ වයස අවුරුදු 18යි. ඔහු A 8ක් සමග හොඳට ඕලෙවල් පාස් වුණා. ඒ ලෙවල් පන්තියට ගියහම මේ දරුවට ලොකු පීඩනයක් ආවා. කවුරුත් කියනවා මෙයා හරි දක්ෂයි, ගුරුවරු කියනවා ඔයා පළවෙනියා වෙයි, කැම්පස් එකට යයි,වෛද්‍ය පීඨයට යයි, දෙමාපියනුත් ලොකු බලාපොරොත්තු ගොඩනගා ගත්තා.මේ දරුවා දිගටම බැඩ්මින්ටන් ප්ලේ කළා. සාමාන්‍ය පෙළ ලියපු ගමන් ඔහුගේ තාත්තා ක්‍රීඩාව නැවැත්තුවා. මේ දරුවා ඒ ලෙවල් පටන් අරගෙන මාස හය හතක් යන්න ඉස්සෙල්ලා දැඩි ඔලුවේ කැක්කුම, කොන්දෙ අමාරුව, නින්ද නොයාම,තරහා යාම, හැම තිස්සෙම worry වෙනවා මට විභාගය පාස් වෙන්න පුලුවන් වෙයිද, දෙමාපියන්ගේ සිහින ඉටු කරන්න පුලුවන් වෙයිද හිතලා හිතලා අවසානයේ විශාදය තත්ත්වයට පත් වුණා. ඒ දක්ෂ දරුවාට දෙමාපියන් විසින් කරපු ලොකුම හානිය තමයි විභාග කාලය වෙනකොට සියලුම ව්‍යායාම්, ක්‍රීඩා නතර කරපු එක.
ඒ නිසා දරුවාට නිදහස දෙන්න. දෙමාපියන් විසින් දරුවාගේ ලෝකය තේරුම් නොගන්නා තාක් ගුණවත් නැණවත් දරුවකු මුණ නොගැසෙනු ඇත.
නදීශා අතුකෝරළ