සිය නිල නාමය, නිල ලාංඡනය සහ ලිපි ශීර්ෂ අවභාවිත කරමින් සමාජ ජාලා හරහා බෙදා හැරුණු ව්‍යාජ ලේඛන කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය ඉරිදා පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. මෙයට පාදක වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ බැව් හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍ය ජාලා හරහා ව්‍යාජ ලේඛනයක් සංසරණය වී යැයි කියන සිද්ධියකි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කීර්ති නාමයට හානි කිරීමේ දේශපාලන අරමුණින් සිදු කරන මෙවන් මඩ ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම්වලට එරෙහිව දැඩිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ද එම සංගමය නිවේදනය කොට ඇත.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න වැඩි මුදලට අලෙවි කළ බව කියන උපකරණ භාවිතයෙන් අගතියට පත් වූ 77 දෙනෙකු ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තහවුරු කොට ඇත. ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් මිලදී ගැනීමට සලස්වා එමගින් රෝගීන්ට අලාභ සිදු කිරීම ඇතුළු තවත් චෝදනා කීපයක් සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් දා විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
වර්තමානයේ වඩාත් කනගාටුදායක කරුණ වන්නේ රජයේ රෝහල් වල පවා නිසි පරිදි නීත්‍යනුකූලව අවසර නොලැබූ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සේවයෙහි යෙදී සිටීමය. පෞද්ගලික වෛද්‍ය සේවයෙහි යෙදී සිටින ‘’හොර දොස්තර’ ගෙන් පරෙස්සම් වීමට මහජනයාට යන්තම් වත් අවස්ථාවක් ලැබෙන නමුත්, රජයේ රෝහලක නිසි පුහුණුවක් නොලබා වෛද්‍ය සේවයෙහි යෙදී සිටින කෙනෙකු ගෙන් ගැලවීමට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැත.
එම උපකරණ භාවිතයෙන් අගතියට පත්වූවන් සහ එම උපකරණ සම්බන්ධයෙන් කර ඇති අක්‍රමිකතා පිළිබඳව දන්නා පුද්ගලයන් සිටී නම් ඒ පිළිබඳව තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කෙටි අංකයට ලබා දෙන ලෙස එම කොමිෂන් සභාව ඉල්ලා සිටියේ පසුගිය සතියේ ය.
මේ ප්‍රවෘත්ති දෙකෙන් කියවෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල නාමය, නිල ලාංඡනය, ලිපි ශිර්ෂ අවභාවිතාව හා රජයේ වෛද්‍යවරියක ශල්‍ය වෛද්‍ය උපකරණ වැඩි මිලට විකුණා රාජ්‍ය දේපළක් අවභාවිත කළ අන්දමය. මේ ප්‍රවෘත්ති වලින් තහවුරු වන්නේ හොර දොස්තරවරුන් පිරිසක් සහ දොස්තරවරුන්ගේ හොරකම් නිසා සමස්ත වෛද්‍ය සේවයේ බොහෝමයක් දෙනා ජනතා අවමානයට ලක් වී ඇති බව නොවේ ද? රජයේ යටිතල පහසුකම් යටතේ හිඳිමින් වැඩි මුදලට ශල්‍ය උපකරණ විකිණීම වර්ගීකරණයට ලක්කළ හැක්කේද හොර දොස්තර ක්‍රියාවක් ලෙසින්මය.
ලංකාවේ ඉංග්‍රීසි ප්‍රතිකාර කරන්නාට කියන්නේ ‘දොස්තර’ කියාය. සිංහල බෙහෙත් කරන්නන් හඳුන්වන්නේ ‘වෙදා’ ලෙසය. කෙතරම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුට වූවද ‘හොර වෙදා’ යනුවෙන් ගැරහීම ඉංග්‍රීසි ප්‍රතිකාර ගන්නන් ගේ පුරුද්දය.
ලෝක ප්‍රකට හොර වෙදුන් අතර ප්‍රසිද්ධම පුද්ගලයා වශයෙන් සැලකිය හැක්කේ පාර්ඩිනන්ඩ් ඩෙමරා නමැති ඇමරිකානු ජාතිකයාය. කොරියන් යුද්ධය පැවැති සමයේ කැයුගා (ක්‍්හමට්) නමැති කැනේඩියානු යුද නැවේ ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් හොර සහතිකයක් ඉදිරිපත් කොට සේවයට බැඳුණු ඩෙමාරා තුවාල ලත් නාවිකයන් රැසකගේ දිවි ගැලවීමට සමත්විය. වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැති අවස්ථාවක නිව් බ්‍රන්ස්වික්හි වෛද්‍ය ජෝසප් සයිර් නමින් වංචනිකව පෙනී සිටින ලදී. කැනේඩියානු නාවික හමුදාව පර්යිනඩ් ඩෙමාරාගේ දක්ෂකම් පිළිබඳව නිකුත් කරන ලද නිල ප්‍රවෘත්ති නිවේදනයක් නිසා අවසානයේ දී ඩෙමාරා හොර දොස්තරවරයෙකු වශයෙන් ජනතාවට හෙළිදරව් වූයේ ඔහුගේ සමකාලීනයින් ඔහුගේ පැටිකිරිය හෙළිදරව් කළ නිසාය. අවසානයේ තහවුරු වූයේ ඩෙමාරා කිසි දින විධිමත් ලෙස ශල්‍ය වෛද්‍ය විද්‍යාව මෙඩිකල් කොලේජ් එකකින් හදාරා නැති තක්කඩියෙකු බවය.
හොර දොස්තරලා, හොර වෙදුන් ගැන අප සමාජයේ ‘ගහෙන් වැටුණ මිනිහත් වෙදා’ යනුවෙන් ප්‍රකට කියමනක් ඇත. මේ හොර දොස්තරලා මෙරට ග්‍රන්ථකරණයේ පවා දක්නට ලැබේ. මේ අතරින් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් ලියන ලද ‘ගහෙන් වැටුණු මිනිහත් වෙදා’ නමැති කෙටිකතා වෙන් කියැවෙනුයේ දිගු කලක් තිස්සේ රෝහලක ඔත්පළව සිටි ගැමියෙකු ක්‍රමයෙන් සාත්තු සේවයට හා ඉන්පසුව හොර දොස්තරවරයෙකු වූ අපූරු කතා පුවතකි.
වර්තමානයේ වඩාත් කනගාටුදායක කරුණ වන්නේ රජයේ රෝහල් වල පවා නිසි පරිදි නීත්‍යනුකූලව අවසර නොලැබූ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සේවයෙහි යෙදී සිටීමය. පෞද්ගලික වෛද්‍ය සේවයෙහි යෙදී සිටින ‘’හොර දොස්තර’ ගෙන් පරෙස්සම් වීමට මහජනයාට යන්තම් වත් අවස්ථාවක් ලැබෙන නමුත්, රජයේ රෝහලක නිසි පුහුණුවක් නොලබා වෛද්‍ය සේවයෙහි යෙදී සිටින කෙනෙකු ගෙන් ගැලවීමට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැත. රජයේ බලධාරීන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම කරුණ ගැන බොහෝ කලක් සිය අවධානය යොමු නොකිරීම අවාසනාවක් වන්නේ, වසර විසි පහක් තිස්සේ හොර දොස්තරලා අත්අඩංගුවට ගෙන සිරගත කරනවා යැයි කිවූවත් සිරගත කළ හොර දොස්තරවරයෙකු නැති නිසාය.
රටේ නීති හදන පාර්ලිමේන්තුවෙන් පවා කලකට ඉහත වාර්තා වූයේ එහි වෛද්‍ය මධ්‍යස්ථානයේත් හොර වෛද්‍යවරියක දෙසතියක්ම ප්‍රතිකාර කරන ලදැයි කියන සිදුවීමකි.
බරපතළ කාරණය වූයේ පාර්ලිමේන්තුවට ඇතුළුවීම සඳහා අවසර පත්‍රයක් හෝ පත්වීම් ලිපියක් හෝ නොලත් වෛද්‍යවරියක් එහි වෛද්‍ය මධ්‍යස්ථානයේ දෙසතියක පමණ කාලයක් සේවයේ නිරත වූ ආකාරය යි. මෙම වෛද්‍යවරියට එහි සේවය සඳහා අවස්ථාව ලැබී ඇත්තේ එම මධ්‍යස්ථානයේ ස්ථිර වෛද්‍යවරයා විදේශයකට යාම සඳහා නිවාඩු ලබාගෙන සිටි නිසාය. හොර වෛද්‍යවරිය වැඩ භාරගත් පසු පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වටිනා බෙහෙත් වර්ග සහ එහි තුළ තිබූ කථානායක ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන් ගේ පාවිච්චිය සඳහා වූ ලිපි ශීර්ෂ තොගයක් පිටකර ගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් ගැන පරීක්‍ෂණ පවත්වන්නට ද පාර්ලිමේන්තු පොලිසියට සිදුවිය.
පාර්ලිමේන්තුවේ දී ස්ථිර වෛද්‍යවරයා නිවාඩු යන විට වැඩ බැලීම සඳහා වෛද්‍යවරයකු එවනු ලබන්නේ කළුබෝවිල වෛද්‍ය සේවා අංශයෙනි. වෛද්‍යවරුන් දෙදෙනෙකු එකම දිනයේ වැඩ භාරගැනීම සඳහා පැමිණ ඇති අතර, එක් අයකු කළුබෝවිල වෛද්‍ය සේවා කාර්යාලයෙනුත් අනෙක් වෛද්‍යවරිය මාළිගාවත්තෙනුත් වැඩ භාර ගැනීමට පැමිණ තිබේ.
මාළිගාවත්තෙන් පැමිණි වෛද්‍යවරිය වැඩ භාර ගෙන කටයුතු කරගෙන යන අතර, හොර වෛද්‍යවරිය සමග හටගත් බහින්බස් වීමක දී මෙම වෛද්‍යවරිය හොර වෛද්‍යවරියක බව අනාවරණය විය. රටේ නීති හදන තැන මැති ඇමතිලාට ප්‍රතිකාර කරන්නට තරම් අපේ මේ හොර දොස්තර සේවය බලවත් වීම මෙරට සෞඛ්‍ය සේවයේ ඛේදවාචකයක් නොවන්නේ ද?
ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියට චෝදනා එල්ල වෙද්දී අප මතකයට නැංවුණේ පානදුර රජයේ රෝහලේ වසර එකහමාරක් ප්‍රතිකාර කළ බොරු දොස්තර පුවතය.
පානදුරේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පිටස්තර පුද්ගලයෙකු වසරකට ආසන්න කාලයක් රජයේ රෝහලක සේවයේ යෙදී සිට අතුරුදන් වීම එම සිදුවීමය. මෙම හොර දොස්තර වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෙකු ලෙසින් අසල නිවසක වසරකට වැඩි කාලයක් නේවාසිකව සිට ඇති අතර, ඉගෙනුම ලබන අතරේ පානදුර මූලික රෝහලේ සේවය සඳහා පැමිණි බව එම නිවැසියනට පැවසූ බව අධිකරණයේ දී තහවුරු විය.
රජයේ රෝහල්වල දොස්තරලා හොර දොස්තරලා දැයි බලන්නට හැඳුනුම්පත ඉල්ලා සිටීමට රෝගියෙකුට බලයක් ඇතත්, කවුරුත් එය නොඉල්ලන්නේ දොස්තර මහතාගේ රෙස්පෙක්ට් බහින නිසාය.
මෙම නිවසේ නේවාසිකව සිටින අතරේ ඔහු එම නිවෙස් හිමියාගේ දියණියක විවාහ කරගෙන තිබෙන බව ද, අධිකරණයේ දී අනාවරණය විය. එම තරුණයා ගැන සැක සිතුණු මාමණ්ඩිය කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගොස් ඔහු ගැන විපරම් කරද්දී එකී නම සඳහන් ශිෂ්‍යයෙකු එහි නොමැති බව රෙජිස්ට්‍රාර්වරයා ගෙන් දැන ගන්නට ලැබී ඇත. රහස එළි වී ඇති බව දැනගත් සැකකරු ඉන්පසු නිවසින් හිටි අඩියේ අතුරුදන් වී තිබේ. නිවෙස් හිමිකරු විසින් මේ සම්බන්ධව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සැකකරු සේවය කරමින් සිටියේ යැයි කියන පානදුර මූලික රෝහලේ වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී තමා එම වාට්ටුවේ වැඩ භාර ගැනීමට පෙර සිට සැකකරු එහි සේවය කොට ඇති බවත්, පසුව ඔහු අතුරුදන් වූ බවත්, එනිසා තමා ඒ සම්බන්ධව කිසිවක් කීමට නොදන්නා බවත්, පවසා තිබේ.
පසුව මේ හොර දොස්තර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු නමුත්, ඔහුගෙන් ප්‍රතිකාර ගත් රෝගීන්ට අත් වූ ඉරණම ගැන නම් වාර්තා වී නැත.
හොර දොස්තරලා රජයේ රෝහල් වල සේවය කිරීමේ සිද්ධි පිළිබඳව බොහෝ විට හෙලිදරව් වන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පුවත් වාර්තා වූවාට පසුවය. කලකට ඉහත මෙවැනි හොර දොස්තර වරයෙකු ගැන වාර්තා වූයේ මහනුවරිනි. වෛද්‍යවරයෙකු ලෙස මහනුවර මහ රෝහලේ වාට්ටුවක රෝගීන් පරීක්‍ෂා කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ලියෝන් සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හාර දහසක ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදැයි වාර්තා වුණි.
මහනුවර මහ රෝහලේ අංක 48 වාට්ටුවට ඇතුළු වුණු මෙම ව්‍යාජ වෛද්‍යවරයා වෙද නළාවක් ද ඇතැතිව රෝගීන් පරීක්‍ෂා කර තිබේ. ඔහුගේ රෝගී පරීක්‍ෂාවක් සම්බන්ධව සැක සිතූ වාට්ටු භාර හෙදි නිලධාරිනිය ඒ බව රෝහල් පොලීසියට දැනුම් දුන් අතර, ව්‍යාජ වෛද්‍යවරයා ගැන සොයාබැලීමට පොලීසිය පැමිණෙන විට ඔහු රෝහලින් පිටතට දිව ගොස් ඇති අතර, ඔහු පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු ව්‍යාජ වෛද්‍යවරයෙකු බව හෙළි විය. මෙකී ව්‍යාජ වෛද්‍යවරයා රාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු වෛද්‍යවරයෙකු බව පවසා කඩුගන්නාව ප්‍රදේශයේ නිවසක පදිංචි ව සිටින බවත්, එම නිවසේ තරුණිය සමග මෙම ව්‍යාජ වෛද්‍යවරයා ප්‍රේම සබඳතාවක් ද ගොඩනගා ගෙන ඇති බවත්, පරීක්‍ෂණවලදී අනාවරණය වූ අතර - සමහර තරුණයින් ලොකු පවුල්වලින් විවාහ කර ගැනීමට හොර දොස්තරවරු ලෙස පෙනී සිටින බව අධිකරණයේ දී තහවුරු වීම් සිදුවී ඇත.
රජයේ රෝහල්වල දොස්තරලා හොර දොස්තරලා දැයි බලන්නට හැඳුනුම්පත ඉල්ලා සිටීමට රෝගියෙකුට බලයක් ඇතත්, කවුරුත් එය නොඉල්ලන්නේ දොස්තර මහතාගේ රෙස්පෙක්ට් බහින නිසාය. හන්දියක් හන්දියක් ගානේ සිටින ඇතැම් හොර දොස්තරලා කිසිදු වෘත්තීය සුදුසුකමක් ප්‍රදර්ශනය නොකර ප්‍රතිකාර කරති. වසර 32 ක් නොහොත් දශක තුනක් ඇල්පිටියේ දත් ගැලවූ දත් දොස්තර වරයෙකු අත්අඩංගුවට පත්වූයේ මේ අතරය. අද මේ සිද්ධි බොහෝ දෙනෙකුට අමතක වීම කනගාටුවට කරුණකි.
සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු ළඟ කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටිය දී එම වෛද්‍යවරයාට අයත් උපකරණ පැහැර ගෙන ඇල්පිටිය නගරයට පලා අවුත් වසර 32 ක් මුළුල්ලේ දහස් ගණනකගේ දත් ගැලවූ හා ප්‍රතිකාර කළ බව කියන හොර දත් දොස්තර කෙනෙකු අවසානයේ ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
මීට හේතු වූයේ දත් ගැලවීමේ දී හක්කට තුවාල සිදුකිරීම, නරක් වූ දත් වෙනුවට හොඳ දත් ගැලවීම, දත් ගැලවීමෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීම, එය වැළකීමට ප්‍රතිකාර නොකිරීම, වැනි චෝදනා මෙම තැනැත්තාට විරුද්ධව පොලීසියට නිතිපතා ලැබීමය.
මෙම හොර දොස්තර සැකකරු මීට වසර ගණනාවකට කලින් දත් දොස්තර කෙනෙකු ගෙන් පැහැර ගෙන ආ උපකරණ කට්ටලය ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ලදී . අධිකරණයේ දී අනාවරණය වූයේ දත් දොස්තර කෙනෙකු ලෙස ලියා පදිංචි වී නොමැති සැකකරු දන්ත කාර්මිකයෙකු සේ ලත් අවිධිමත් දැනුමේ මුවාවෙන් දන්ත වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇති බවය.
මේ හොර දොස්තර විසින් දත් ගලවන ලද ඇතැම් පුද්ගලයන් අසාධ්‍ය තත්ත්වයට පත්ව රජයේ රෝහල් වලට ඇතුළත් කර ඇති අතර, මොහුගේ දෛනික අදායම රුපියල් දොළොස් දහසක් පමණ වී ඇත. ඔහු ගෝලයන් දෙදෙනෙකු ගේ සේවය ද ලබාගෙන ඇත. වසර 32 ක් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ.
මීට විසි පස් වසරකට පෙර වෛද්‍යවරයෙකු ගේ මරණයේ දී මළසිරුර භාර ගැනීමට කෙනෙකු නොමැති වීමක් පිළිබඳව වාර්තා වූයේ රුග්ගහවිල ප්‍රදේශයෙනි. වසර 19 කට ආසන්න කාලයක් බටහිර වෛද්‍යවරයෙකු වශයෙන් පෙනී සිටිමින් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කළ අයෙකු හදිසියේ මියගිය පසු ඔහු වෛද්‍ය විභාගය සමත් වී නැති අයකු බව එම හදිසි මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය විය.
රුග්ගහවිල කහටෝවිට පදිංචිව සිටි පාදුක්කගේ දොන් කුමාරසිරි මාපටුන (45) යන අයගේ මරණය පිළිබඳව පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේ දී මෙම තොරතුරු හෙළිදරව් වී තිබුණි. මෙම මියගිය අය කේ.එම්.ඒ. ගුණවර්ධන යන නමින් පෙනී සිටිමින් රජයේ ලියා පදිංචි වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස 1981 වර්ෂයේ සිට මියයන තුරුම රාජාංගනය, රණ්පොකුණගම සහ කහටෝවිට යන ප්‍රදේශවල අවුරුදු 19 ක් පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදී ඇත. ඉන් අවුරුදු 15 කට අධික කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදී ඇත්තේ රුග්ගහවිල කහටෝවිට ප්‍රදේශයේ බව ගම්වාසීන් පවසා තිබේ.
ආඥාපනතේ 105 ජේදයේ 68 වගන්තිය සංශෝධනය කරන බවත්, ඒ අනුව එවැනි ව්‍යාජ වෛද්‍යවරුන්ට දඩ මුදල් සමගම අනිවාර්‌යයෙන්ම සිරදඬුවම් නියම කිරීමට නව සංශෝධන මගින් අධිකරණයට බලය පැවරෙන බවත්, මංගල සමරවීර පැවසූ බවට ඉතිහාසයට එක් වී තිබේ.
කාමරයක් කුලියට ගෙන කහටෝවිට ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇති මොහු හදිසියේම මියගොස් තිබිණි. සහෝදර සහෝදරියන් කිසිවකු හෝ මව්පියන් හෝ ජීවතුන් අතර නොසිටීම නිසා, ඔහු ගේ මෘතදේහය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන්, දේහය වතුපිටිවල රෝහලේ මෘත ශරීරගාරයේ පුරා දින 5 ක් තිබීම විශේෂත්වයකි.
මේ අතර මෘතදේහය භාරගැනීමට කිසිදු ඥාතියෙකු ඉදිරිපත් නොවීම නිසා මියගිය වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ලබා ඇති රුක්ගහවිල සහ කහටෝවිට ප්‍රදේශයේ පදිංචි කෘතවේදී විශාල පිරිසක් ඉදිරිපත් වී රෝහලෙන් දේහය ලබාගෙන රුක්ගහවිල කඹුරාගල්ල පොදු සුසාන භූමියේ දී මිහිදන් කළ අතර මේ ‘හොර දොස්තර’ ගැන ගුණකථන වලින් තහවුරු වූයේ ඔහු ගෙන් ප්‍රතිකාර ගත් අය ‘වන්ෂොට්’ සුවපත් වී ඇති බවය.
මේ හොර දොස්තරලා අත්අඩංගුවට ගැනීමට නිසි ක්‍රමවේදයක් නැති නිසා අසරණ වන්නේ මෙරට රෝගී ජනතාව ය. වරක් වාර්තා වූයේ හොර දොස්තරලා ගේ ප්‍රතිකාර වැරදීම නිසා එක් මාසයක් තුළ පමණක් රෝගීන් 17 දෙනෙකු ගේ අත් පා කපා දමන්නට රජයේ රෝහල්වලට සිදු වී ඇති බවය. එමෙන්ම සියයකට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වී ඇති බවය.
මතුගම, රාගම, පොළොන්නරුව, නුවර වැනි ප්‍රදේශවලින් මෙම පැමිණිලි සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ප්‍රාදේශීය සෞඛ්‍ය ලේකම් කාර්යාලයටත් ලැබී තිබුණි. මේ පිළිබඳව මතුගම ප්‍රධාන සෞඛ්‍ය බලධාරියා ඒ අවස්ථාවේ පැවසුවේ හොර දොස්තරලා ගේ ප්‍රතිකාර වැරදීමෙන් අනතුරුව රෝහල්වලට ඇතුළත් කරන රෝගීන් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ කිසිවක් කළ නොහැකි බවකි.
ප්‍රාදේශීය සෞඛ්‍ය ලේකම් කාර්යාල මගින් මෙම තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට ද කිහිප විටක්ම පැමිණිලි කර ඇතත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අද වන තෙක් ගෙන නොමැති වීම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමභාවය ගැන කදිම සාක්‍ෂියකි.
විශේෂඳ වෛද්‍යවරුන් යැයි කියා ගන්නා සුදුසුකම් නොලත් විදේශීය වෛද්‍යවරුන් 18 දෙනෙකු මෙරට පෞද්ගලික රෝහල්වල සේවය කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හඳුනා ගෙන ඇති බව හෙළිදරව් වුණි. මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ හඳුනාගත් විදේශීය වෛද්‍යවරුන් 184 දෙනෙකු පමණ පෞද්ගලික රෝහල්වල සේවය කරමින් සිටි අතර, විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට ඔවුන්ට ඇති සුදුසුකම් සනාථ කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ අවස්ථාවේ තහවුරු කරන ලදී.
විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කළ මේ 18 දෙනා අක්ෂි, නාරිවේද, ස්නායු, ශල්‍ය කායික වෛද්‍ය නිර්වින්දන, ව්‍යාධිවේද, ඇස කන නාසය, ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කළ අය බව ද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා හෙළිදරව් කළ අතර, මේ වෛද්‍යවරුන්ගෙන් රෝගීන්ට සිදුවන හානිය වළක්වා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කළ බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කරන ලදී.
මේ තාක්ෂණික කමිටුව ක්‍රියාත්මක වීමට පටන් ගත් පසු එමගින් මේ 18 දෙනා හඳුනා ගෙන තිබේ. මෙරටට පැමිණ සේවය කරන විදේශීය වෛද්‍යවරුන්ට මාස හයක් තාවකාලික ලියාපදිංචියක් ලබා දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරයි. නව ක්‍රමවේදයට අනුව මාස හයක තාවකාලික ලියාපදිංචිය අවසන් වන වෛද්‍යවරුන්ට මෙරට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට ඇති සුදුසුකම් පෙන්වා දීමට සිදුවේ. එහිදී ව්‍යාජ ලෙස මෙරට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන පුද්ගලයන් හඳුනා ගැනීමට හැකිය.
විශේෂඥ සුදුසුකම් සපුරා නොමැති මේ පුද්ගලයන් 18 දෙනාට මෙරට දිගටම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස විවිධ දේශපාලන බලපෑම් ද වෛද්‍ය සභාවට ඒ අවස්ථාවේ එල්ල විය.
මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති යුගයේ හොර දොස්තරලාට සිර දඬුවම් දීමට සූදානමක් ගැන වාර්තා විය. සුදුසුකම් නොමැතිව වෛද්‍ය වෘත්තියේ යෙදෙන හොර වෛද්‍යවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කර සිර දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය නීතිරීති ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව එදා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර කළ ප්‍රකාශය කාටත් අමතකය.
මෙවැනි හොර වෛද්‍යවරුන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනපතාම වැඩිවන බැවින්, මෙසේ නව නීති සකස් කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක තැපැල්, විදුලි සංදේශ හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේ පැවති ජනමාධ්‍ය සාකච්ඡාවක දී එකල ප්‍රකාශ කොට තිබූණේ දැනට පවත්නා නීතිය යටතේ හොර වෛද්‍යවරුන්ට එරෙහිව නීති මගින් නියම කරන දඩ මුදලට අමතරව සිර දඬුවමක් ද නියම කළ හැකිවන පරිදි වෛද්‍ය ආඥාපනත සංශෝධනය කරන බවද එදා මංගල ඇමැතිවරයා විසින් පවසන ලදී.
වෛද්‍ය වෘත්තික ආඥාපනත යටතේ එම සුදුසුකම් නොමැති ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නියම කළ හැක්කේ රු. 5,000 දඩයක් පමණක් බවත්, එය ප්‍රමාණවත් නොවන හෙයින් එම දඩයට අමතරව එවැනි පුද්ගලයින්ට සිරදඬුවම් ලබාදීමට නව නීති මගින් බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා කීය.
මේ සඳහා වෛද්‍ය ආඥාපනතේ 105 ජේදයේ 68 වගන්තිය සංශෝධනය කරන බවත්, ඒ අනුව එවැනි ව්‍යාජ වෛද්‍යවරුන්ට දඩ මුදල් සමගම අනිවාර්‌යයෙන්ම සිරදඬුවම් නියම කිරීමට නව සංශෝධන මගින් අධිකරණයට බලය පැවරෙන බවත්, මංගල සමරවීර පැවසූ බවට ඉතිහාසයට එක් වී තිබේ.
අමාත්‍ය මංගල සමරවීර ගේ මේ ප්‍රකාශයට එරෙහි හඬක් නැගුවේ ප්‍රදේශීය ඖෂධ හා ආහාර පරීක්‍ෂකවරුන් පිරිසකි. එකී පරීක්‍ෂකවරයෙකු නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක මෙසේ සඳහන් කරන ලදී. ඔහු අසා ඇත්තේ “හොර දොස්තරලා සිර දඬුවම් දෙන්නේ උසාවි නොගෙන්වා ද?” යනුවෙනි. එහි මෙලෙස සඳහන් වේ.
හොර දොස්තරලා සිර දඬුවම් දීමට හැකිවන අයුරින් වෛද්‍ය ආඥාපනතට සංශෝධන ගෙන ඒමට රජය ගත් තීරණය ඉතාමත් වැදගත් මහජන සෞඛ්‍ය සුරැකීමේ තීරණයකි. එහෙත් එම වෛද්‍ය ආඥා පනත යටතේ එකම බලයලත් නිලධාරීන් වශයෙන් ක්‍රියා කළ හැක්කේ රජයේ වෛද්‍ය නිලධාරීන්ට පමණි. මගේ සේවා කාලය ඇතුළත මා ලංකාවේ ප්‍රදේශ කිහිපයක සේවය කර ඇතත්, රජයේ කිසිම බටහිර වෛද්‍ය නිලධාරියෙකු මෙම පනත යටතේ කිසිම හොර වෛද්‍යවරයෙකුට නඩු පවරා නැත. ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට මෙම වෛද්‍ය ආඥාපනත යටතේ වෛද්‍ය නිලධාරීන්ට මෙම කටයුත්ත සඳහා උදව් කිරීමට චක්‍ර ලේඛනයක් ඇතත්, කිසිම වෛද්‍ය නිලධාරියෙකු උසාවි ගෙන යෑමට නොහැකි වූ බැව් ඉතාමත් කනගාටුවෙන් දැන් වීමට කැමැත්තෙමි.
රජයේ වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික බෙහෙත් ශාලා පවත්වන ස්ථානවල ඉදිරිපිට හෝ ඒ ආසන්නයේම හොර දොස්තරලා අනන්තවත් ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරතව ඇතත්, මොවුන් ගත් කිසිම ක්‍රියා මාර්ගයක් නොමැත. එහෙත් ආහාර පනත යටතේ බලයලත් නිලධාරීන් ලෙස සෞඛ්‍ය පරීක්ෂක හා ආහාර හා ඖෂධ පරීක්ෂකයන් හා සෞඛ්‍ය නිලධාරීන් පත්කොට ඇත. මින් ආහාර පනත යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් අධිකරණය හමුවට එන බලයලත් නිලධාරීන් වනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් පමණි. එබැවින් මෙම වෛද්‍ය ආඥා පනත යටතේ ද තවත් බලයලත් නිලධාරීන් කිහිප දෙනෙකු පත් කරන්නේ නම් ප්‍රයෝජනවත් වන බව දැන් වීමට කැමැත්තෙමි.
ඒ නිසා මෙම වෛද්‍ය ආඥා පනත සංශෝධනය කොට සිර දඬුවම් දීමට ගෙනෙන සංශෝධනය පනතට පමණක් සීමා වීමට ඉඩ නොදී විපුල ඵල ප්‍රයෝජන ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් ඉහත සඳහන් තොරතුරු ක්‍රියාත්මක වීම අවශ්‍ය වේ. යනුවෙන් එම නිවේදනයේ අවසානයේ සඳහන්ව ඇත.
කවුරුත් දැන් කතා කරන්නේ හොර දොස්තරලා ගැනය. එහෙත් හොර දොස්තරලා ලෙස සේවය කොට විශ්‍රාම වැටුප් පවා ලබා ගත්පුද්ගලයන් වාර්තා වන්නේ ඔවුන් අත්අඩංගුවට ගත් පසුවය. මෙතෙක් හෙළිදරව් නොවූ මෙවැනි විශ්‍රාම වැටුප් ගන්නා හොර දොස්තරලා කෙතරම් සිටිය හැකි ද? මෙම සිදුවීම වාර්තා වූයේ කෑගල්ලෙනි.
රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ බවට ව්‍යාජ ලියවිලි සකස් කොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අනුමැතිය යටතේ විශ්‍රාම වැටුපක් වශයෙන් මසකට රුපියල් 10,928/90 ක වැටුපක් ලබාගන්නා පුද්ගලයෙකු කෑගල්ලේ මහජන බැංකුවේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ කලකට ඉහතදීය.
මොහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපාධිධාරී ගුරුවරයෙකු වශයෙන් සේවය කොට විශ්‍රාම ලැබූවෙකි. එම විශ්‍රාම වැටුපට අමතරව ඔහු කෑගල්ලේ මහා වීදියේ පදිංචිකරුවකු හැටියට ව්‍යාජ නමක් යටතේ ලිපිලේඛන වලින් රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස විශ්‍රාම ලැබූ අයකු මෙන් එම දෙපාර්තමේන්තුවෙන් ද විශ්‍රාම වැටුප් ලබන බවට හෙළිදරව් විය.
මේ හොර විශ්‍රාම වැටුප් මගඩිය යටතේ ඒ වන විට ඔහු විසින් රජයේ මුදල් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් වංචා කොට ඇති බව පොලිසිය අනාවරණය කර ගන්නා ලදී. මේ පුද්ගලයා රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් රුපියල් 14,728/90 ක් විශ්‍රාම වැටුප් වශයෙන් මීරිගම හා කෑගල්ලෙන් ලබන බව අධිකරණයෙන් තහවුරු විය.
අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කෑගල්ලේ දිස්ත්‍රික්ක මහ ලේකම්වරයා මගින් කළ පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදු කළ අතර කෑගල්ල මහේස්ත්‍රාත් ටියුඩර් ගුණරත්න වෙත ඉදිරිපත් කළ සැකකරු පසුව බන්ධනාගාර ගත කරන ලදී.
දැන් අවසානයේ විමසීමට ඇත්තේ - සේලයින් කුප්පි වලට වතුර දැමූ හොර ඉන්ජෙක්ෂන් ආනයනය කළ රටක, හොර දොස්තරලා රජයේ රෝහල්වල ප්‍රතිකාර කරන රටක, හොර දොස්තරලා රජයේ විශ්‍රාම වැටුප් ලබන රටක, රෝගියාට සිදු වී ඇත්තේ ජීවිතයෙන් විශ්‍රාම ගැනීමට සිදුවේ ද යන පැනයට පිළිතුරක් සොයාගැනීම ද යන්නයි.
මහින්ද රණවීර