ඇසෙන් ලෙඩ අඳුර ගන්න දැන් ලංකාවෙත් පුළුවන්


අක්ෂි විචක්ෂණය (Iridology) යම් තරමකින් ආගන්තුක වුවද ලෝකයේ බොහෝ රටවල් මේ ආශ්‍රයෙන් රෝග හඳුනා ගැනීමක් කල් නොගැනීමත් කල් ඇතුව සිදු කෙරේ. 2015 වසරෙ දී මෙම පරීක්‍ෂණය මෙරටට හඳුන්වාදීමත් සමගම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශය මේ සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩි උනන්දුවක් දැක්වීය. මේ වනවිට දකුණු ආසියාවේ සිටින එකම Iridology උපදේශකවරයා වන්නේ ද ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන වෛද්‍ය තරිඳු ප්‍රනාන්දු ය. 

ප්‍ර අක්ෂි විචක්ෂණය යනු කුමක් ද...?

ඉංග්‍රීසි භාෂාවෙන් Iridology නමින් හඳුන්වන්නේ අක්ෂි විචක්ෂණයයි.

එනම් ඇසේ තාරා මණ්ඩලය පරීක්ෂාකොට එම තාරා මණ්ඩලයේ ඇති ලක්ෂණයන්, රටාවන්, වර්ණයන්, ආශ්‍රයෙන් කෙනෙකුගේ සෞඛ්‍ය පිළිබඳ පුළුල් විග්‍රහයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ඒ කෙනාගේ ශරීරයේ දැනට පවතින සෞඛ්‍ය ගැටලු, පරම්පරාවෙන් ආ හැකි සෞඛ්‍ය ගැටලු මෙන්ම ශරීරයේ තිබෙන දුර්වල අවයව හා පද්ධතියන් මෙන්ම ශක්තිමත් අවයවයන් හා පද්ධති ගැන සියලුම දේ ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

ප්‍ර අක්ෂි විචක්ෂණය,  මේ වචනය ආගන්තුකයි නේද....?

2015 වසරේදී Iridology විෂය මුලින්ම ලංකාවට හඳුන්වා දෙද් දී එයට සිංහල වචනයක් තිබුණේ නැහැ. නමුත් මේ සඳහා සිංහල වචනයක් තිබිය යුතු යැයි අපි සිතුවා. ඒ අනුව අපි ඇස දිහා බලා මුළු ශරීරයම විශ්ලේෂණය කරන ක්‍රියාවලියක් නිසා මෙයට “අක්ෂි විචක්ෂණය” යන නම කිහිප දෙනෙකුගේ යෝජනාවෙන් යොදන්නට  තීරණය කළා. මේ නම මේ විෂයට සාධාරණයයි මමත් හිතනවා. අක්ෂිය තුළින් මුළු ශරීරයම  විචක්ෂණය වීමක් මේ තුළින් සිදුවෙනවා. ලංකාව තුළ අක්ෂි විචක්ෂණවේදය ගැන දන්න අය, පරීක්ෂණය සිදුකර ගත් අය ගෙන් මේ වෙද්දී ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙනවා.

ප්‍ර ඇස  පරීක්ෂා කිරීමෙන් රෝගයක් හඳුනා ගන්න පුළුවන් ද?

ඇස පරීක්‍ෂා කිරීමෙන් කොඳුඇට පෙළ ආශ්‍රිත ගැටලු සහ ස්නායු ගැටලු, වකුගඩු, සමෙහි, හෘදයාබාධ, ආදී බොහෝ රෝග ප්‍රමාණයක් ආවරණය කෙරෙන අයුරින් මෙම පරීක්ෂාවන් සිදුවෙනවා. මෙමගින් ශරීරයේ බොහෝ රෝග ප්‍රමාණයක් කල් ඇතුව හඳුනා ගැනීමට අවස්ථාව තිබෙනවා.

ප්‍ර යම් ලෙසකින් ඇසේ සැත්කමක් හෝ ඇසේ සුද ඇති වුණ කෙනෙකුගේත් මෙම පරීක්ෂාවෙන් සාර්ථක රෝග විනිශ්චයකට එළඹිය හැකියි?

අක්ෂි විචක්ෂණය මගින් ඇසේ ස්වාභාවිකව පිහිටා ඇති රටාවන් සහ පරීක්‍ෂණයන් මගින් තාරා මණ්ඩලය විශාලනය කර බැලීමෙන් එහි කඳු, වළවල්, ගැටිති, හෙල් වැනි ආබාධයන් දක්නට ලැබෙනවා. මේවා පිහිටන ක්‍රමවේදය හා ඒ ආශ්‍රයෙන් බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ රෝගී තත්ත්වයන් පිළිබඳව තීරණය කර ගන්නට හැකියාව ලැබෙනවා. යම්කිසි විදිහකින් ඇසට හානියක් සිදුව ඇත්නම් මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵලය නිවැරදි නොවන්නට පුළුවන්. ඒ නිසා ඇසට යම් සැත්කමක් සිදුකර ඇත්නම් එවැනි අපහසුතා සංකූලතා ඇතිවීමට පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රවීණ දැනුමැති වෛද්‍යවරයකුට ඇස පරීක්ෂා කොට මෙය සැත්කමකින් සිදුවූ හානියක් ද, උපතේදීම තියෙන තත්ත්වයක් ද යන්න පිළිබඳව නිවැරදි නිගමනයකට පැමිණීමට පුළුවන්.

ප්‍ර ඇසේ පවතින වර්ණයත් සමග ඇතිවිය හැකි රෝග තත්ත්වවල වෙනසක් තිබෙනවා ද...?

සාමාන්‍යයෙන් නිල් පැහැති ඇස් හිමි අයට වසා පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. සෙම වැඩිවීම, ඇදුම රෝගය ඇතිවීමට පුළුවන්. ඒ වගේම දුඹුරු පැහැති ඇස් හිමි අයට ඛනිජ ලවණ, යකඩ අවශෝෂණයේ අඩුවීම වැඩියි. ඒ අතරේ දුඹුරු සහ නිල් පැහැති මිශ්‍ර ඇස් ඇති අයටත් ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවයත් වැඩියි. මේ අනුව යම් විදියකින් ඇසෙහි පවතින වර්ණයත් සමගම ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් වෙනස් වීමටද හේතු වෙනවා.

ප්‍ර මෙම පරීක්‍ෂණය මගින් සිදුවන්නේ රෝග විනිශ්චයක් සිදු කිරීම පමණක් ද...?

ලෝකයේ බොහෝ Iridology වෛද්‍යවරුන් ඉදිරියේ දී ඇතිවිය හැකි ලෙඩ රෝග ගැන හඳුන්වා දී එම රෝගවලින් පරිස්සම් වීමටත් වැළකී සිටීමටත් උපදෙස් ලබලා දෙනවා. මේ ක්‍රමවේදය Iridology වෛද්‍යවරුන් අතරේ එකිනෙකට වෙනස් වෙනවා. මේ අනුව වෛද්‍යවරු අතරේ එයට ලබලා දෙන ප්‍රතිකාර වෙනස් වෙනවා.

ප්‍ර මෙම පරීක්‍ෂණයට විශාල මුදලක් වැය වෙනවා ද..?

නැහැ... සාමාන්‍යයෙන් මේ ඉතා වැදගත් පරීක්‍ෂණයක්. මෙයට ගනු ලබන මුදල සාපේක්ෂව අඩුයි. එක් රෝගියෙකුගෙන් රුපියල් හත්දාස් පන්සියක් වැනි මුදලක් මේ සඳහා වැය වෙනවා. සාමාන්‍යයෙන් ස්කෑන් පරීක්ෂණයක් වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. එම ස්කෑන් පරීක්ෂණයෙන් එක ප්‍රදේශයකට පමණයි සීමා වෙන්නේ. නමුත් මෙම පරීක්ෂණයෙන් පුළුල් පරාසයක පරීක්ෂාවක් සිදු කරනවා. ඒ වගේම ඒ හඳුනා ගන්නා සෞඛ්‍ය ගැටලුවලට, ඉදිරියට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු වළක්වාගෙන ඒ සඳහා සහ කළ යුතු දෑ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීමක් කරනු ලබනවා.

ප්‍ර මෙම පරීක්‍ෂණය  සිදුකර  කොපමණ කාලයකට පසුව නැවතත් එම පරීක්ෂණය කළ යුතු ද...?  

සාමාන්‍යයෙන් සම්පූර්ණ ශරීර පරීක්ෂාවක දී (Full body checkup) අපේ ශරීරයට රෝගය ඇතුළු වුණාට පසුවයි රෝගය හඳුනාගත හැකි වන්නේ. ඒ හැර මුත්‍රා පරීක්‍ෂණයක දී රෝගයක් ඇතිවී ඇති බවට හඳුනාගන්නට පුළුවන්. නමුත් මෙම Iridology මගින් රෝගය වැළඳීමට පෙර මෙවැනි රෝගයක් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බවට නිගමනය කළ හැකියි. සාමාන්‍යයෙන් ජීවිත කාලයට අඩුම තරමින් එකම වතාවක්වත් Iridology පරීක්ෂණය කළ යුතුයි. එමෙන්ම හැකියාවක් ඇත්නම් අවුරුදු පහකට වතාවක්වත් මෙම පරීක්ෂණය කළ යුතු වෙනවා. ඒ තුළින් කුමක් හෝ සෞඛ්‍ය ගැටලුවක් ඇතිවීමට හැකි ද යන්න පිළිබඳව සංසන්දනය කළ හැකි වෙනවා.

දිශානි ජයමාලි කරුණාරත්න