ඇල්ලෙන් රළ නගන කඳුළු රුල්ල


  • මරණ 15ක්
  • තුවාල ලැබූ 18දෙනෙක්
  • රෝගීන් 7 ක් බරපතළ තත්ත්වයේ

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 වැනි සැතපුම් කණුව ආසන්නයේදී 4 වැනිදා බ්‍රහස්ප්‍රතින්දා රාත්‍රි 9.30 පමණ සිදුවූ බස් රථ අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයන්18 දෙනෙකුට තුවාල ලැබූ අතර 15 දෙනෙකුට ජීවිතය අහිමි විය.  මෙලෙස අනතුරට පත්ව තිබුණේ තංගල්ල  ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක නිරතවූ 34 දෙනෙකු රැගත් පෞද්ගලික බස් රථයකි. අනතුරට පත්වූවන් තංගල්ල නගර සභා කාර්ය මණ්ඩලයේ සේවක පිරිසක් වන අතර අනතුර සිදුව ඇත්තේ නුවරඑළිය බලා ගොස් නැවත තංගල්ල බලා යමින් සිටියදී ය.  බස් රථය ප්‍රපාතයට පෙරළීමට පෙර මෙම බස්රථය ජීප් රථයක ගැටී ඇති බවත් එම ගැටීමත් සමඟ බස් රථය මාර්ගයෙන් පිටතය ධාවනය වී ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන අඩි 500 ක් පමණ පහළ ප්‍රපාතයට පෙරළුණ බවත් අනතුර ඇසින් දුටුවකු ප්‍රකාශ කළ බව ඉරිදා ලංකාදීප අප වාර්තාකරු පැවසීය. 

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ  ප්‍රදේශවාසීන් හා එම ස්ථානය ආ යුද හමුදා කණ්ඩායම් ප්‍රපාතය බැස බස් අනතුරේ සුන්බුන් ගොඩ අතරින් මළ සිරුරු සහ තුවාල කරුවන් කඩිනමින් මුදා ගැනීමට කටයුතු කර ඇත. 

අඩි 550ක් පමණ ප්‍රපාතයේ මෙම බස් රථය පෙරළුණ ස්ථානයට ළඟා වීම අතිදුෂ්කර කටයුත්තක් විය. කඹවල ආධාරයෙන් ඒ ස්ථානයන්ට ළඟා වෙමින්  4 වැනිදා  රාත්‍රිය පුරාම යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් ඇතුළු සියලුම සහන කණ්ඩායම් මෙන්ම විදේශ  සංචාරකයන් පවා මෙම අවස්ථාවට පැමිණ මේ රෝගීන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරූහ. පසුදින දහවල් දක්වාම මෙම මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ බවත් අනතුරින් මියගියවුන්ගේ මළසිරුරු සහ රෝගීන් ප්‍රපාතයෙන් ගොඩට ගැනීමට පැය ගණනාවක් මහත් පරිශ්‍රමයක් දැරූ බවත් මේ වන විට ආරක්ෂක අංශය අනතුරට පත් වූවන්ගේ බෑග් සහ පසුම්බි සෙවීමට දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කර බවත් අපගේ වාර්තාකරු පැවසීය.

තංගල්ල නගරසභා කාර්යමණ්ඩල සේවක පිරිසෙන් 22 ක්  චාරිකාවට සහභාගි වෙලා

අනතුරින් මිය ගිය 15 දෙනා  අතරට තංගල්ල මහනගර සභාවේ ලේකම් ඩී. ඩබ්ලිව්. කේ. රූපසිංහ මහතා, ඇතුළු එම නගර සභාවේම සේවයේ නියුතු සේවක මහත්මා මහත්මීන් 12 දෙනෙකු ඇතුළත්ය. මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ පරිපාලන ලිපිකාරිනියක වන ආර්. එල්. තුෂාරි මහත්මිය සහ ඇගේ පුතු වන තංගල්ල රුහුණු විජයබා ජාතික පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තේජාන්  (එකම පවුලේ මව පුතු) ජීවිතක්ෂයට පත්ව ඇත. 

අනතුරින් තුවාල ලැබූ 18 දෙනා බදුල්ල ශික්ෂණ රෝහලටත් , දියතලාව මූලික රෝහලටත්, බණ්ඩාරවෙල මූලික රෝහලටත් කඩිනමින් අතුළත් කළ බවත් මේ වෙන විට රෝගීන් 7 දෙනෙකු බරපතළ තත්වයේ සිටින බවත් ඉන් එක් අයකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි. මෙම දුෂ්කර මොහොත පිළිබඳ වෛද්‍යවරයා අදහස් දක්වා සිටියේ මෙලෙසය.  

ඡායාරූපය: ලුණුගල- ප්‍රසන්න පද්මසිරි

“රාත්‍රි 9.30 ට පමණ මට මුලින්ම කෝල් එකක් ආවා බස් එකක් ප්‍රපාතයට ගිහින් කියලා. බස් එකේ හැටියක ඔහු අනුමාන කරලා කිව්වා මගින් 60 පමණවත් ඇති කියලා. නමුත් තැනවත් හරියට අහගන්න ලැබුණේ නැහැ. කතා කළ කෙනා කිව්වා බස් එකවත් පෙන්නේ නැහැ. ඒ තරම් පහළට ගිහින් ගියලා. කොහොම වුණත් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. මම වට්සැප් ගෘප් හරහා වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා. ගිලන් රථ, හෙද හෙදියන් සුළු සේවක කාර්ය මණ්ඩලය සූදානම් වුණා. දියතලාව  සහ බණ්ඩාරවෙල රෝහල්වලින් උදව් ඉල්ලුවා. විශේෂයෙන් කියන්න ඕන දීර්ඝ නිවාඩුවක් වගේ වෙලාවක වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලයේ 100ක් පමණ මේ කාර්යය වෙනුවෙන් එකතු වුණා. 

අපි ක්ෂණයෙන් ඒ ස්ථානයට ගියා. බස් එකේ ඡායාවක්වත් උඩට පේන්නේ නැහැ. යන්න පාරක් නැහැ මහා අගාධයක්. හමුදා නිලධාරීන්, විශේෂකාර්ය බලකාය එතනට ඇවිත් පහළට බසිමින් සිටියේ. මා ඇතුළු අපේ ටීම් එකත් හමුදා නිලධාරීන්ගේ උදව්​‌වෙන් කඹ ආධාරයෙන් පහළට බැස්සාම තිබුණේ සුන්බුන් ගොඩාක් විතරයි. මගේ බෑග් එකේ තිබුණ බෙහෙත්වලින් 7 දෙනෙකුට වගේ සේලයින් දිලා ලේ වහනය නතර කරලා රෝහල් වෙත කඩිනමින් පිටත් කළා. අවසන් තුවාලකරුවාත් උඩට ගත්තාට පස්සේ තමයි අපි උඩට ආවේ. කඹ ආධාරයෙන් මේ රෝගීන් උඩට ගන්න යුද හමුදාව වගේම ගම්වාසීන් පුදුම වෙහෙසක් ගත්තේ. පොලිසිය, ත්‍රිවිධ හමුදාව වගේම ප්‍රදේශවාසීන් කළ ඒ කැප කිරීමට මම හදවතින්ම ගරු කරනවා. එළිය නෑ කියනකොට පන්දාහක් විතර ෆෝන් වල චෝච් එකෙන්ද මන්දා එළිය දුන්නා. උදව් ඕන කියලා කෑගහද්දි ප්‍රපාතය ගැඹුරුද කියලාවත් නොබලා මිනිස්සු පුදුම විදියට එකතු වුණා. 

තුවාල කරුවන් බේරාගැනීමේදී දෙදෙනෙකු අනතුරට ලක් වුණා. එක් අයෙක් නිවාඩු ඇවිත් සිටි රණවිරුවෙක්. ඔහුගේ ඔළුවට ගලක් වැටිලා ඔළුව පැලිමකට ලක් වුණා. තවත් පුද්ගලයෙක් කඹය කඩාගෙන වැටීමෙන් ඔළුව ගලක වැදිලා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම රෝගීන් 7 ක් බරපතළ තත්ත්වයේ ඉන්නවා. ඔවුන්  අතුරින් ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසුව කිහිප දෙනෙකු දැඩිසත්කාර ඒකකය වෙත යැවීමට අවශ්‍ය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ඇල්ල බස් අනතුරින්  මියගිය තංගල්ල නගර සභාවේ ලේකම් - රූපසේන තල්පාවිල

ඇල්ල බස් අනතුරෙන් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයාද සිටී.

අම්බලන්තොට පොලියර්වත්ත ප්‍රදේශයේ පදිංචි  ටී.ඩබ්.කේ රූපසේන තල්පාවිල මහතා (50) තිදරු පියකි. ඔහුගේ බිරිඳ හම්බන්තොට මහා රෝහලේ සේවය කරයි. ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ එක් පිරිමි දරුවෙකුගෙන් යුත් මෙම ගැහැනු දරුවන් දෙදෙනාම අධ්‍යාපනය ලබති.

රූපසේන තලපාවිල මහතා ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය සමාජශීලී පුද්ගලයකු බව ඥාති සොහොයරියක් වූ කේ.ජී.කේ දීපිකා සඳහන් කළාය

“මල්ලි රාජ්‍ය සේවයේ අවංකව වැඩ කරන කෙනෙක්. ගමේ කා අතරත් ඉතාම සුහදශීලීව කටයුතු කළා.. හම්බන්තොට මහ නගර සභාවේ ලේකම් වරයා ලෙස සේවය කළා. තංගල්ල මහ නගර සභාවේ ලේකම් වරයා ලෙස සේවය කරමින් සිටියේ. මහ නගර සභාවේ සේවක පිරිස් සමඟ විනෝද ගමනකට සහභාගී වි සිටිය දී තමයි මේ අනතුර සිදු වුණේ.  ”                                    

අම්බලන්තොට-  සනත් ගමගේ


 ඒ වගේම මේ වෙනකොට පශ්චාත් මරණ පැවැත්වීමට අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගේ ඉල්ලීම පරිදි දියතලාව බණ්ඩාරවෙල මෘතශරිරාගාරවල තැන්පත් කර ඇති මළසිරුරු බණ්ඩාරවෙල රෝහලට ගෙනෙන්නට කටයුතු යොදා තිබෙනවා. “ 

අනතුරින් තුවා ලබා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයකු  තමන් මුහුණ දුන් සිදු වීම ගැන කියා සිටියේ මෙවැන්නකි, 

4 වැනිදා පාන්දර 3.30 තමයි තංගල්ලෙන් පිටත් වුණේ. නුවරඑළි ගිහින් එදාම නැවත තංගල්ල බලා යද්දි රෑ 9.30 තමයි මේ අනතුර වුණේ. අපි කට්ටටිය හරිම විනෝදෙන් ආවේ . මම හිටියේ බොනට් එක උඩ ඩ්‍රයිවර් මහත්තයා එක්ක කතා කර කර. බදුල්ල හරියෙදි වංගුවක් ගනිද්දි එකවරම ඩ්‍රයිවර් මහත්තයා කිව්වා බ්‍රේක් නැහැ කියලා. ඒ වෙලාවේ කොන්දොස්තර මහත්තයාත් හිනා වුණා. ඒ ළඟ සීට්වල ඉඳපු අයත් ඇහුව්වා විහිළුවට නේද කියන්නේ කියලා. ඒත් දෙවෙනි වංගුව ගනිද්දි ඩ්‍රයිවර් මහත්තයා කිව්වා නැහැ ඇත්තටමයි කියන්නේ බ්‍රේක් පෑගෙන්නැහැ කියලා. ඒ එක්කම වගේ තව වාහනයක වදිනවාත් එක්කම ප්‍රපාතයට බස් එක ඇදිලා ගියා. මම හිතුවෙම මම මැරුණා කියලා. මට කොහොම හරි පොඩි වෙලාවක් සිහිනැති වෙලා තිබුණා. එක පාරටම පොඩි එක්කෙනෙක්ගේ අඬන සද්දෙට තමයි මගේ ඇස් දෙක ඇරුණේ .මම ඒ දරුවා ළඟට බඩ ගාගෙන ගියා. ක්ෂණයෙන් එස් ටී එෆ් එකේ අයයි ගම්වාසීනුයි එනතු වුණා. “

"බදුල්ල හරියෙදි වංගුවක් ගනිද්දි එකවරම ඩ්‍රයිවර් මහත්තයා කිව්වා බ්‍රේක් නැහැ කියලා. ඒ වෙලාවේ කොන්දොස්තර මහත්තයාත් හිනා වුණා. ඒ ලඟ සීට්වල ඉඳපු අයත් ඇහුව්වා විහිළුවට නේද කියන්නේ කියලා. ඒත් දෙවැනි වංගුව ගනිද්දි ඩ්‍රයිවර් මහත්තයා කිව්වා, නැහැ ඇත්තටමයි කියන්නේ බ්‍රේක් පෑගෙන්නෑ කියලා. ඒ එක්කම වගේ තව වාහනයක වදිනවාත් එක්කම ප්‍රපාතයට බස් එක ඇදිලා ගියා.”

අනතුරින් තුවාල ලැබූ තරුණයෙක්

වසර 23කට පෙරත් මෙවැනිම බිහිසුණු අනතුරක්

බණ්ඩාරවෙල සිට අම්පාර දක්වා ගමන් ගත් ලංගමයට අයත් මගී බස් රථයක් මේ ස්ථානයේම ප්‍රපාතයට පෙරළීමෙන්21ක් දෙනෙකුට ජීවිත අහිමි වෙන්නේ මීට වසර 23 කට පෙරය. එම අනතුර සිදුවී සැප්තැම්බර් 4 වැනිදාට  හරියටම වසර 23 කි. මෙම ස්ථානයේ තවත් අනතුරු රුසක් සිදුව ඇති බවත් නිතරම මෙම ස්ථානයේ අනතුරු බහුල බවත් මෙම ස්ථානය දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක් බවත් ඇල්ල පොලිසිය පවසයි.  

ගලවාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූවන්ගේ අත්දැකීම් 

"මම මගේ මිතුරෙක්ගේ නිවසට ගිහින් නැවත නිවස බලා යනකොට තමයි මේ අනතුර දැක්කේ. ඒ විලාපය ඇහෙන කොට මට අහක අත්දෙක බැඳන් උඩට වෙලා ඉන්න හිත දුන්නැහැ.  පොඩි දරුවොත් කිහිප දෙනෙකුම හිටියා. දරුවෝ ළතෝනි තියලා අඬනවා. එක් දරුවෙක් මිය ගිහින් කියලා දැනගන්න ලැබුණා. සීතල ටිකක් තදටත් තිබුණා. ඒ වෙලාවේ . ඒවා බැලුවේ නැහැ. මිනිස්සු ඇඳන් හිටිය ඇඳුම් ගලවලා සමහර මළ සිරුරු වහන්න දුන්නා. මුදා ගැනීම පටන් ගනිද්දි කිසිම උපකරණයක් තිබුණේ නැහැ. මෙතන එකතු වුණ ගොඩාක් දෙනා බහිමු බහිමු කියලා කෑ ගැහුව්වා. ඒත් අංශක 90 විතර කඳුබෑවුමක් කඹයක් නැතුව බහින්න බැහැ. ගුවන් හමුදාවේ නිලධාරීන් ක්ෂණිකව කඹ දැම්මා.

අනතුරුට පෙර ගත් සමූහ ඡායාරූපයක්

ඒ කඹ ගැට ගගහා ඉන්න වෙලා තිබුණේ නැහැ. කඹේ ශක්තිමත්ව අල්ලගන්න  තුන් හාරසීයක් විතර එකතු වුණා. සමාජ මාධ්‍යයේත් කවුරු හරි පෝස්ට් එකක් දාලා ඒක දැකලාත් ගොඩාක් අය  එකතු වුණා.  ඒ අවස්ථාවේ බදුල්ල බණ්ඩාරවෙල, දියතලාව, වැල්ලවාය රෝහල්වල වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය අවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගෙන එතැනට ආවා.  වෛද්‍යවරුයෙකුත් පහළට බැස්සා. පළමු රෝගියා ගොඩ ගැනීමට ම පැයක විතර කාලයක් ගියා. මේ වගේම ප්‍රදේශයේ ඉන්න ගම්වාසීන් තමන්ගේ ගෙදර තිබුණු සාරි සරම් ඇඳුම් පවා ගෙනල්ලා අනතුරට පත්වූවන් මුදා ගැනීමට උපකාර කළා. සමහර තැන්වලින් මළසිරුරු උඩට ගොනාවේ  සාරිවල ඔතලා. ඇතැම් අය තමන් ඇඳ ගෙන හිටපු කමිසේ ගලවලා අනතුරට පත්වූවන්ගේ තුවාල  ආවරණය කරන්න දුන්නා. තව සමහර අය මළසිරුරු සාරිවලින් පිටට තියලා බැඳලා උඩට අරන් ආවේ. ඒ හරිය රක්ෂිතයක්. ඇවිත් හිටපු මිනිස්සු මෙතනින් වාහනවලින් ගිය, එහෙම නැත්නම් කිලෝමීටර් ගාණක් දුර ගම්වල ජිවත් වුණ අය.” 

සුරාජ් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය. 

නදීශා අතුකෝරළ
තොරතුරු සහය - තංගල්ල පද්මසිරි ගාර්දියවසම්, ලුණුගල- ප්‍රසන්න පද්මසිරි