
කොළඹ, පිටකොටුව, කුමාරවීදියේ “ඇස් කණ්ණාඩි වෙළෙඳාම” පිළිබඳව ඉකුත් සතියේ අපි ඔබ හමුවේ තොරතුරු ගෙන ආවෙමු. එම නිසා කුමාර වීදියේ කණ්ණාඩි වෙළෙඳාමේ දිග පළල පිළිබඳව දළ අදහසක් මේ වන විටත් ඔබ සතුව පවතිනු ඇත.
කෙසේ නමුත් මෙවර ඉන් ඔබ්බට ගොස් අපගේ අවධානය යොමු වූයේ, කුමාර වීදියේ සිට ලංකාවටම “අක්ෂි කාච” නිපදවන කර්මාන්ත ශාලාවක් පිළිබඳවය. විශේෂයෙන් විදෙස් රට වලින් අක්ෂි කාච ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කරන දේශීය ව්‍යාපාරයක් වශයෙන් නිසැකවම නම් කළ හැකි “අනුර ඔප්ටිකල්ස්” හි හිමිකරු වන අනුර සංජය සමග අපි කතාබහක නිරත වූවෙමු.
“මම ඇස් කණ්ණාඩි ආශ්‍රිත ආයතනයක වසර 16ක් සේවය කර 2016 දී ඉන් ඉවත්ව මගේම කියා ආයතනයක් 2016 දී පිටකොටුව, කුමාර වීදියේ ’අනුර ඔප්ටිකල්ස්’ නමින් ආරම්භ කළා. ආරම්භයේ සිටම මට අවශ්‍ය වුණේ පාරිභෝගියාට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදනයක් ලබාදීමටයි. ආනයනය කරන සමහර අක්ෂි කාච පාරිභෝගිකයාට සියයට 100ක් ගැලපෙන්නේ නැති අවස්ථා තිබෙනවා. මේ නිසාම මුල සිටම මම තීරණය කළා පාරිභෝගිකයාට ගැළපෙනම අපේ නිෂ්පාදනයක් ලබාදෙන්න. මුල කාලයේ තරමක් අසීරු කටයුත්තක් වුණත්, අපි සෙමෙන් සහ ස්ථාවර ගමනක් යමින් ඒ කටයුත්ත සාර්ථක කර ගත්තා. මේ වනවිට දිනකට කණ්ණාඩි 1000ක් සඳහා අක්ෂි කාච නිපදවීමේ හැකියාව තිබෙනවා. ලෙන්ස් නිපදවීම සහ ෆිටින් ප්‍රොසෙස් එක සඳහා අති නවීන තාක්ෂණය යොදා ගන්නවා.”
“මුලින්ම ලෙන්ස් එකේ පැතිලි පැත්ත ග්‍රයින්ඩ් කරලා කස්ටමර්ට අවශ්‍ය පවර් එක අරගෙන, පොලිෂ් කරලා ඔවුන් කැමති ෆ්‍රේම් එකට සවිකරලා දෙන එක තමයි මෙතන දී කරන්නෙ. සාමාන්‍යයෙන් කර්ව් එකෙන් තමයි පවර් එකක් ක්‍රියේට් වෙන්නෙ. ඒ වගේම ෆ්‍රේම් එක ස්කෑන් කරලා කටින් මැෂින් එකට ෂෙයාර් කලහම ලෙන්ස් එක සියයට 100ක් නිවැරදිව ෆ්‍රේම් එකේ ප්‍රමාණයට කැපිලා එනවා. ඒ සඳහා විනාඩි 5ක වගේ කාලයක් තමයි ගතවෙන්නෙ. ඇස් කණ්ණාඩියක් සම්පූර්ණයෙන් සාදා නිම කිරීමට අපට ගතවන්නේ පැයක් වැනි කාලයකුයි. අපි මෙරට බහුතරයක් අලෙවි ආයතන සඳහාත් ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කරනු ලබනවා. සාමාන්‍යයෙන් මසකට කණ්ණාඩි කුට්ටම් 10,000කට වැඩි සංඛ්‍යාවක් අප නිපදවනු ලබනවා.”

“දැන් ඉස්සරට වඩා ඇස් කණ්ණාඩි දමන මිනිසුන් ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. මේ නිසා ඉල්ලුමත් වැඩිවෙලා. ඒ වගේම පාරිභෝගිකයන් පෙරට වඩා ලෙන්ස්වල නිරවද්‍යතාව පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම මිල කියන සාධකය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලබනවා. අපි ලෙන්ස් සහ කණ්ණාඩි අපේම රටේ නිපදවන නිසා අඩු මුදලකින් නිපදවිය හැකි වෙනවා, ආනයනය කරන ඇස් කණ්ණාඩිවලට වඩා. ඒකෙන් විදේශ විනිමයත් ඉතිරි කර ගත හැකිවනවා.”
පාරිභෝගික කැමැත්ත
“අපි ළඟට ලංකාවෙ සතර දෙසින්ම පාරිභෝගිකයන් පැමිණෙනවා. සමහරක් පාරිභෝගිකයන් දවසක් මිඩංගු කර හෝ අප වෙත එන්නේ එවෙලේම තම අවශ්‍යතාව සපුරා ගත හැකි නිසයි. ඒ වගේම ඕනෑම කෙනෙකුට අපි ඇස් කණ්ණාඩි නිපදවන ආකාරය බලන්න පුළුවන්. අපි කිසිම දෙයක් හංගලා කරන්නේ නැහැ. පාරිභෝගිකයාට තමන්ගේ ඇස් කණ්ණාඩිය හදන ආකාරය බලන්න පුළුවන්. වෙන තැන්වල හදන්න බැහැ කියන ඕනෑම වර්ගයක ඇස් කණ්ණාඩියක් අපිට හදලා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රියැදුරන්ට අවශ්‍ය විශේෂ ඇස් කණ්ණාඩි, පරිගණක භාවිත කරන්නන්ට අවශ්‍ය විශේෂ ඇස් කණ්ණාඩි හදලා දෙන්න පුළුවන් හැකියාව අපට තිබෙනවා.”
“විශේෂයෙන් ශල්‍යකර්ම සිදුකරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහාම සුවිශේෂී ඇස් කණ්ණාඩි අප නිපදවනවා. මාස 06 පමණ ළදරුවන්ගේ සැත්කම් සිදුකරන වෛද්‍යවරු තමයි එම කණ්ණාඩි වැඩි වශයෙන් පලඳින්නේ. එවැනි සියුම් දෘෂ්ටි පථයක් සහිත ඇස් කණ්ණාඩි පවා නිපදවීමේ හැකියාව අප සතුව තිබෙනවා.”
“අපි වැඩි වශයෙන් නිපදවන්නේ ප්‍රෝගෙසිව් ලෙන්සස්. ඉන් දුර, මැද දුර, රීඩින් කියන නිර්ණායක 3ම තනි ලෙන්ස් එකකට ගත හැකි වනවා. ඒකෙ කට් එකක් පේන්නේ නෑ. පරිගණක ආශ්‍රිතව රැකියා කරන්නන්ට වඩාත් ගැළපෙනවා. මේ වකවානුවේ වැඩි ඉල්ලුමක් පවතින්නේ එවැනි ලෙන්සස් සඳහායි. අපි එවැනි ලෙන්සස් වර්ග 6ක් නිෂ්පාදනය කරනු ලබනවා.”
“අප සතුව ජංගම ඇස් පරීක්ෂණාගාරයක් තිබෙනවා. විශාල ප්‍රමාණයේ ඇස් පරීක්ෂා කිරීමේ කඳවුරු සඳහා එම රථය භාවිත කරනු ලබනවා. ඒ වගේම උපන් දින හෝ වෙනත් සමරුම් හෝ ආයතන විසින් සිදුකරනු ලබන අක්ෂි සායන මගින් ඇස් කණ්ණාඩි ලබාදීමේ කටයුතු සඳහා අපි සුවිශේෂී සහන ලබා දෙනු ලබනවා.”
“දැනට මෙම ආයතනයේ 25දෙනෙක් පමණ සේවය කරනවා. ඉන් බහුතරයක් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත සේවකයනුයි. නවක සේවකයන්ටත් අවශ්‍ය නිසි පුහුණුව අපි නිරන්තරයෙන් ලබා දෙනවා. මොකද අපි උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ට නිවැරදි සහ කාර්යක්ෂම සේවයක් සලසා දීමටයි.”
මිල ගණන්
“අප ආයතනයෙන් ඇස් කණ්ණාඩි ෆ්‍රේම් රුපියල් 2000 සිට ඉහළ මිල ගණන් යටතේ සහ ලෙන්සර්ස් රුපියල් 2000 සිට අලෙවි කරනවා. එසේම මෙම මිල ගණන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. විශේෂයෙන් කලර් චේන්ජ් සහිත ලෙන්සර්ස් රුපියල් 4500 පමණ සිට ඉහළ මිල ගණන් යටතේ ලබාගත හැකියි. එසේම අපි නිපදවන ඇස් කණ්ණාඩි කුට්ටමක් සඳහා වසරක වගකීමක් ලබාදෙනවා. නමුත් මම කැමති නැහැ වසරක වගකීමකින් පමණක් එම බැඳීම අවසන් කරන්න. ඒ නිසා අපෙන් ඇස් කණ්ණාඩියක් ගත්තොත් ලයිෆ් ටයිම් බලා ගන්නවා කියන කාරණය තමයි මෙතනදී අවධාරණය කළ යුත්තෙ.”
“ඇස් කණ්ණාඩිවලට යොදන ලෙන්සර්ස් සාමාන්‍යයෙන් අවුරුදු 2 -3ක් තුළ මාරු කළ යුතුයි. නමුත් ඇතැම් පුද්ගලයන් අවුරුදු 5ක් පමණ එකම කණ්ණාඩිය දානවා. ඇස් කණ්ණාඩිය පේනවා නම් කාච මාරු කරන්න ඕනෑ නැහැ. ඔය කාලය තුළ ෆ්‍රේම් එක කැඩුණොත් එය හදලා දෙන්න පුළුවන්.”

“අනික් කාරණය තමයි මුදල් ඉස්සරහට දාගෙන අපි ඇස් කණ්ණාඩි විකුණන්නේ නැහැ. යම් කෙනෙකුට අවශ්‍ය ඇස් කණ්ණාඩිය සකස් කරවා මිලට ගැනීමට ඔහු සතු මුදල ප්‍රමාණවත් නැත්නම්, අපි ඒ ගැන නොසිතා එය සකසා දෙනවා. පාසල් දරුවන් උදෙසා මේ සද්කාර්ය අපි විශේෂයෙන් සිදු කරනවා. අපේ සංකල්පය වෙන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩයක්ව පවතින ඇස් කණ්ණාඩි කුට්ටමක් ලබා දීමට හැකි උපරිමයෙන් උපකාර කිරීමයි. විශේෂයෙන් රජය අමුද්‍රව්‍ය සඳහා සහනයක් ලබා දෙනවා නම් අපට ඇස් කණ්ණාඩියක් ඉතා අවම මිලකට ලබාදිය හැකියි.”
නිසි ලෙස ඇස් කණ්ණාඩි භාවිතය
“ඇස් කණ්ණාඩි කුට්ටම නිසි ලෙස පිරිසිදු නොකිරීම ඒවා භාවිතා කරන්නන් අතර බහුලව දක්නට ලැබෙන ගැටලුවක්. විශේෂයෙන් දහදිය පිස දැමීම නිසි ලෙස සිදු කරන්නේ නෑ. අවම වශයෙන් සතියකට වරක් වත් ඔබ ඔබේ ඇස් කණ්ණාඩි යුවළ ලික්විඩ් යොදා පිරිසිදු කරනවා නම් හෝ අවම වශයෙන් සබන් යොදා ජලයෙන් හොඳින් සෝදනවා නම් ගැටලුවකින් තොරව ඇස් කණ්ණාඩි යුවළ කාලයක් භාවිත කළ හැකියි. විශේෂයෙන් දූවිලි බැඳී ඇති විට රෙදි කැබැල්ලකින් පිසදනවා වෙනුවට ලික්විඩ් හෝ ජලයෙන් සෝදා හැරීමට මතක තබාගන්න.”
ඇස් කණ්ණාඩි භාවිතය ඉහළයෑම
“හතළිස්ඇඳිරිය පැමිණි පසු ඇස් කණ්ණාඩි භාවිතයට යොමුවීම අතීතයේ දක්නට ලැබුණු ප්‍රවණතාවක්. නමුත් මේ වනවිට ඇතැම් කුඩා දරුවන්ට පවා ඇස් කණ්ණාඩි භාවිත කිරීමට සිදුව තිබෙනවා. එසේ වීමට හේතු වී තිබෙන්නේ ජංගම දුරකතන භාවිතය ඉහළ යාම හා පරිගණක භාවිතය ඉහළ යාම නිසා ඇතිවන තත්ත්වයි. මීට අමතරව ජානමය තත්ත්වයන් ද බලපානවා.”
“චීනයේ සහ සිංගප්පූරුවේ දක්නට ලැබෙන කුඩා දරුවන් ගෙන් සියයට 90ක් පමණ ඇස් කණ්ණාඩි දැමීමේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අපේ රට තුළත් ඇති වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබෙනවා.”
ඉල්ලන කණ්ණාඩි
“ඇස් කණ්ණාඩි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා විවිධාකරයි. සමහරුන් ෆැෂනබල් කණ්ණාඩි ඉල්ලා සිටින අතර, තවත් පිරිසක් කල්පවතින ආකාරයේ ඇස් කණ්ණාඩි යුවළක් මිලදී ගැනීමට උත්සුක වෙනවා. මේ කුමන ආකාරයේ ඉල්ලීමක් ඉදිරිපත් කළත් ඔවුන් ඉල්ලන ආකාරයේ ඕනෑම ඇස් කණ්ණාඩි වර්ගයක් නිෂ්පාදනය කිරීමට අපට හැකියාව තිබෙනවා.”
ඉදිරි නිෂ්පාදන
“අපි මේ වනවිට නිපදවන්නේ නැති කෝට්න් එකක් සහිත ලෙන්සර්ස් නිපදවීමට මේ වෙන විට සැලසුම් සකස් කර තිබෙනවා. එහි ප්‍රොසෙස් එක තරමක් සංකීර්ණයි. එම ලෙන්සර්ස් නිපදවීම ඇරඹූ පසු ලෝ ප්‍රකට මිල අධික ලෙන්සස් තවදුරටත් ආනයනය කිරීමට සිදුවන්නේ නෑ”.
දේශීයව ලෙන්සර්ස් නිපදවා ඇස් කණ්ණාඩි කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ බදු සහන සැලසීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් කණ්ණාඩි සඳහා විදෙස් රටවලට ගලායන විදෙස් විනිමය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීමට මග පෑදෙනු ඇත. ඒ වෙනුවෙන් බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ ඇස් යොමු වේවා යනුවෙන් අපි ද ප්‍රාර්ථනා කර සිටිමු.
නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා