ආර්ථික මධ්‍යස්ථාන ඉවරද?


දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන  පෞද්ගලිකකරණය සඳහා පිඹුරුපත් සකසනවා යැයි මේ වෙන විටත් රට පුරා කතාබහකට ලක්ව තිබේ . එම  ආන්දෝලනාත්මක සිද්ධියේ ඇතුළාන්තය සොයා ඉරිදා ලංකාදීපය ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය  සහ ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය, ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසල් බදුකරුවන් ආදී පිරිසකගෙන් විමසීමක් කළෙමු.

එහි සම්පූර්ණ සත්‍ය සිදුවීම මේ හරහා ජනගත කරන්නටද අපි කල්පනා කළෙමු.

ආර්ථික මධ්‍යස්ථාන උපත 

ආර්ථික මධ්‍යස්ථානවල උපත සිදුවූයේ කෙසේදැයි බොහෝ දෙනෙක් නොදනී. ආර්ථික මධ්‍යස්ථාන ක්‍රමවේදය ඇතිවූයේ එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ පාලන සමයේදීය.

මේ පිළිබඳව මතකය අවදි කරන්නට වූයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන වෙළෙඳ සංගමයේ සභාපතිවරයා වූ සී.එස්.සිරිවර්ධනය.

“ආර්ථික මධ්‍යස්ථාන කියන නමක් රටේ ඇතිවෙන්නේ 1998  වසරේ. ’98 අයවැයෙන් තමයි මුදල් වෙන් කෙරුණේ ආර්ථික මධ්‍යස්ථාන ඉදිකරන්න, රුපියල් මිලියන 115ක්.”‍

“දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය  ඉදිවීමේ ප්‍රධානතම හේතුව සහ අයිතිය පැවරෙන්නේ අවට ප්‍රදේශවල ගොවි ජනතාවට. ඒ අය ගොවිතැන් කරලා තමන්ගේ අස්වැන්න දඹුල්ල නගරයට ගෙනල්ලා අලෙවි කරන්න පුරුදු වුණා. එවකට  පැවති යුදමය තත්ත්වයත්  සමඟ වව්නියාව  ප්‍රදේශයේ තිබුණු වෙළෙඳපොළ දඹුල්ලට ක්‍රම ක්‍රමයෙන් සේන්දු වුණා. මේක දිවා කාලයට වඩා රාත්‍රී කාලයේ වෙළෙඳාම ආරම්භ වීමත් එවකට සිදුවූ තවත් පරිවර්තනයක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති සමයේ කථානායකවරයාව සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේ .බී. රත්නායක.එයා දවසක් කොළඹ ඉඳලා අනුරාධපුරේට රෑ යනකොට වාහන තදබදයකට ලක්වෙලා සොයලා බැලු‍ව, මේ වෙළෙඳ ක්‍රමවේදය දැකලා එවකට කර්මාන්ත හා වාණිජ ඇමැතිව සිටි සී.බී රත්නායකට මේ ගැන සඳහන් කරලා තිබුණා. 

ඒ අනුව රත්නායකත් එවකට ජනාධිපතිවරියත් කතානායකතුමාත් යම් මට්ටමක වැඩපිළිවෙළක් සැකසිය යුතු යැයි යෝජනා කරගෙන තිබුණා,  එවකට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර තිබුණේ අනුර දිසානායක. එතුමා අපේ වෙළෙන්ඳන් සමග කතා කළා මේකට සාර්ථක වැඩ පිළිවෙළක් හදන්න ඕනැ කියලා. අනුර දිසානායක  තමයි මේ ක්‍රමවේදය යෝජනා කරලා එවකට හිටපු ඇමතී ජනක බණ්ඩාර තෙන්නකෝන් සමග සාකච්ඡා කරලා ඒ අනුව දිවයිනේ පළමු ආර්ථික මධ්‍යස්ථානය කඩ කාමර එකසිය පනහකින් යුක්තව ඉදිකෙරුණෙ ”‍

“ඒ සඳහා තෝරාගෙන හිටියා වෙළෙන්දන් අනූ හය දෙනෙක්.  නව ව්‍යවසායකයන් සමඟ එකසිය පනහකට වෙළෙඳසල් ලබා දීලා තමයි ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කළේ. එදා තමයි දඹුල්ලට නොනිදන නගරය ලෙස නම් කෙරුණේ.  1997 03.31  අරම්භ කරලා    අපි වෙළෙඳාම් කටයුතු පටන් ගත්තේ අප්‍රේල් පළවෙනිදා. එදා සිට දඹුල්ලට එළවළු පලතුරු සියල්ල එන්න පටන් ගත්තා. ඒ  අනුව තමයි ආර්ථික මධ්‍යස්ථාන උපත සිද්ධ වුණේ”‍

“ඒ විතරක් නෙවෙයි, ආර්ථික මධ්‍යස්ථානයේ විවිධ ඉදිකිරීම් සඳහා අපේ ව්‍යාපාරිකයෝ කැප කිරීම් කරලා තියෙනවා. මේ වෙනකොට විශාල වහලය සෙවිලි කිරීම සඳහා අපේ වෙළෙන්දන්ගේ පෞද්ගලික මුදල් රුපියල් කෝටි දහයක් පමණ අපි ලබා දීලා තියෙනවා.”‍

ආර්ථික මධ්‍යස්ථානය පරිපාලන ව්‍යුහය සැකසීම

ආර්ථික මධ්‍යස්ථානය දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑම සඳහා එවකට මහ බැංකුවේ සිටි පී බී ජයසුන්දර ඇතුළු කණ්ඩායම ඉතා ශක්තිමත් කළමනාකරණ  භාරයක් මේ සඳහා ස්ථාපිත කළා. වෙනස්කම් ඇවිල්ලා මේ කළමනාකරණ  භාරයේ පරිපාලන කටයුතු වෙනස් වුණා. කොහොම වුණත් මේ වෙන විට  පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය මගින් , කළමනාකරණ භාරයේ සභාපතිවරයා වන්නේ නිල වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා. ලේකම් ධුරය හිමිවෙන්නේ ප්‍රාදේශීය කම්වරයාට.ඒ අනුව ගොවි සංගම් නියෝජිතයන්, සහකාර පොලිස් අධිකාරීවරයා, වෙළෙඳ සංගම් නියෝජිතයින්,  රාජ්‍ය නිලධාරීන්,  අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකු ඇතුළු එකොළොස් දෙනකුගෙන් යුක්ත කළමනාකරණ භාරයක් තමයි පවතින්නේ.  කිසිදු අයෙකුට මෙහි අයථා ගනුදෙනුවක් සිදු කිරීමට හෝ ලැබෙන මුදලක්  ලබාගැනීමට හෝ හැකියාවක් නැහැ .එහි ලැබෙන සියලු‍ම ආදායම් නඩත්තු කටයුතු සහ එහි පරිපාලන කටයුතුවලට දාලා තියෙන්නේ. කොහොම වුණත් මේවෙන විට ඉතාමත් ශක්තිමත්ව එම පරිපාලන කටයුතු සිදු වෙමින් පවතිනවා.”‍

එසේ පරිපාලනය පිළිබඳව සඳහන් කරන්නට වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් සුසන්ත ප්‍රේමලාල්ය .

මේ වෙන විට පවතින අර්බුදකාරී තත්ත්වය

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දහ අටකි.  ඉන් හතරක් තවමත් නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ නොමැත, ආර්ථික මධ්‍යස්ථාන දාහතරක් ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. පරිපාලන කටයුතු විධිමත් කිරීම සහ මහා භාණ්ඩාගාරයට ලැබෙන ආදායමෙන්ම කිසිදු මුදලක් නොලැබීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය   වසන්ත සමරසිංහ පසුගිය මැයි මාසයේ  හත් වෙනි දින කැබිනට් මණ්ඩලයට  අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කොට තිබිණි, එහි සඳහන්ව  ඇත්තේ ‘‘පොහොසත් රටක්  - ලස්සන ජීවිතයක්’’ රජයේ ප්‍රතිපත්ති රාමුව ප්‍රකාරව එය අනෙකුත් කරුණු අතර සවිමත් කෘෂි ව්‍යවසායකත්වය සහ ස්ථායී වෙළෙඳපොළ සඳහා පහසුකම් සැපයීම සඳහා මෙම නව පරිපාලන ක්‍රියාවලිය සිදුකරන බවය.

කෙසේ වෙතත් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන්ව ඇති සමාගමට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පවරනු ලැබූ දිනයේ සිට මාස හයක් ඇතුළත සියලු‍ මූල්‍ය සහ මූල්‍ය නොවන වත්කම් තක්සේරු කර විස්තරාත්මක වාර්තාවක් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත, ඔහුට එය අමාත්‍ය මණ්ඩලයට සහ සමාගමේ කොටස්කරුවන්ට වාර්තා කිරීමට හැකිවන පරිදි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

කෙසේ වෙතත් මෙම කැබිනට් සංදේශයේ පෞද්ගලික සමාගමක් ගැන සටහනක් නොමැත. එහි තුන දෙක තුන   ලෙස සඳහන් කොට ඇත්තේ  විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වත්මනෙහි පවත්වාගෙන යන ඉඩම් කොටස් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම පිණිස යෝජිත සමාගමට උකස් කිරීමේ අයිතිය සහිතව වසර තිස්තුනක් සඳහා බදු දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ  දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ට උපදෙස් දෙන ලෙස අදාළ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් වෙත නියම කිරීම යන්න සඳහන් කොට තිබේ .කෙසේ වෙතත් මෙම සමාගම යනුවෙන් සඳහන් කොට ඇති ආයතනයේ   ව්‍යවස්ථාවලියේ  නාමය ලෙස සඳහන් කොට ඇත්තේ පුද්ගලික සමාගමක් බව පෙන්වා. ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගම් එකමුතුව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලයට පෞද්ගලික සමාගමක් ලෙස නම් කර නොමැතිව සමාගමේ ව්‍යස්ථාවේ   නම‘‘ නැෂනල් ඇග්රි මාර්කට් පුද්ගලික සමාගම’’ ලෙස  සඳහන් කොට තිබෙන බවය.

එහි කිසිදු ඡේදයකින් වචනයකින් හෝ ආර්ථික මධ්‍යස්ථානය වෙළෙන්දන් සහ ගොවි ජනතාවට සහනයක් නොමැති බවද ඔවුහු අවධාරණය කිරීම විශේෂත්වයකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථාන දාහතරක ඒකාබද්ධ වෙළෙඳ සංගම් දැඩි විරෝධය ප්‍රකාශ කරමින් සඳහන් කර සිටින්නේ, ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය ඉතා කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙද්දී ඔවුන් සතු වත්කම් ලබාගැනීම සඳහා දරන උත්සාහයක් බවය.

දීවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දාහතරක රුපියල් කෝටි 500ක මුදලක්  ව්‍යාපාරිකයන් විසින් ආරක්ෂා කොට තැන්පත් කර තිබෙන බවත් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික සමාගමක් හරහා  එම මුදල  ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව ඇමතිවරයා ක්‍රියා  කරන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං  වෙළෙඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර  පැවසීය.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමකට පවරා සමාගමේ අධ්‍යක්ෂවරු පත්කොට ඒ අයට වැටුප් දීමනා ආදී වශයෙන් එම සංරක්ෂිත මුදල ලබා ගැනීම සඳහා දරන උත්සාහයක් බවද හෙතෙම පැවසිය. රාජ්‍ය සේවකයන්, ගොවි සංගම් වෙළෙඳ සංගම් නියෝජිතවරුන් ලෙස ඉතා ශක්තිමත්ව කළමනාකරණ භාරයක් හරහා ආර්ථික මධ්‍යස්ථාන පවත්නා අතර පුද්ගලික සමාගමකට ලබාදීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි බව ද කීය .

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දහ අටක් පවතින බවත් ඒ  අතරින් වවුනියාව ,කිලිනොච්චිය, යාපනය, සහ මඩකළපුව ස්ථාපිත කර ඇති විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හැර මේ  වෙන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙන තඹුත්තේගම ,මීගොඩ, කැප්පිටිපොළ, දඹුල්ල, වැලිසර, කන්ද හන්දිය, ඇඹිලිපිටිය, පිළියන්දල, වේයංගොඩ, නුවරඑළිය, රත්මලාන, කුරුඳුවත්ත, නාරාහේන්පිට, ආදී  ආර්ථික මධ්‍යස්ථාන සියල්ල මෙවන විටත්  නැෂනල් ඇග්රි පුද්ගලික සමාගම නමැති සමාගමක් යටතට පත් කිරීමට  රජය තීරණය කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව දිගින් දිගටම දින ගණනාවක් තිස්සේ විෂය භාර අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමක් කළද කිසිදු පිළිතුරක් ලැබී නැති බවද හෙතෙම පැවසීය.

මෙහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින්, ලංකාවේ පිහිටා ඇති ආර්ථික මධ්‍යස්ථාන දහ අටෙන්  දාහතරක් පෞද්ගලික සමාගමකට පවරා දීමට වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල සංදේශය වහාම හකුළාගන්නා ලෙසත් එසේ නොකරන්නේ නම් පසුගිය ආණ්ඩුවලට සිදු වූ විපත මෙම රජයටත් සිදුවෙන බවත් තබුත්තේගම  ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න  රජයට අනතුරු අඟවන ලදී .

”‍අපි තමයි මේ ආණ්ඩුව හැදුවේ. ජනාධිපතිතුමා අපිට කිව්වේ ඔප්පුටික දීලා වෙළෙඳාම් කටයුතු කරගෙන යන්න කියලා. අපිට පේනවා මේ සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා.  ආර්ථික මධ්‍යස්ථාන කාටවත් බරක් නැහැ . අපි ඉතා හොඳට කරගෙන යනවා. වෙළෙඳපොළේ අඩුපාඩුකම් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන  වෙනත් පුද්ගලික සමාගමකට පවරලා  වැඩ වරද්ද ගන්න එපා කියලා අපි රජයට අභියෝග කරනවා. ”‍

”‍පුළුවන්නම් මේක කරල පෙන්වන්න. අපි ඊට මුහුණ දෙන්න සියලුම වෙළෙඳ ව්‍යාපාරිකයන් සූදානම් වෙලා ඉන්නේ, ගොවියෝ ඉන්නේ අපිත් එක්ක. කම්කරුවෝ ඉන්නේ අපිත් එක්ක. හැබැයි අපි ගොවියෝ කම්කරුවෝ ව්‍යාපාරිකයෝ සියලු‍ දෙනාම අරගෙන පාරට බහින දවස වැඩි ඈතක නෑ. ඒ නිසා අපි ජනාධිපතිතුමා කෙරේ විශ්වාසයක් තබල තියෙනව, තවමත් එතුමා මේකට මැදිහත් වෙලා සාධාරණයක් ඉටුකරයි කියලා.”‍

තබුත්තේගම  ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න  වැඩිදුරටද එසේ පැවසිය .

කෙසේ වෙතත් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍ය මණ්ඩල සංදේශය  2025.05.07 දින ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන තිබේ
ආර්ථික මධ්‍යස්ථාන   ආරම්භ කිරීමේ පළමු පරමාර්ථය බවට පත්ව තිබුණේ ගොවිපොළ   කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිලදී ගැනීම, ගබඩාකිරීම, බෙදාහැරීම, ගොවීන් හට සාධාරණ මිලක්, පාරිභෝගිකයන්ට සාධාරණ වෙළෙඳපොලක්  ක්‍රියාත්මක කිරීම සඳහා බවද පෙන්වා දෙනසභාපතිවරයා, ආර්ථික මධ්‍යස්ථාන මේ ආකාරයෙන් පෞද්ගලික සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය බරපතළ ප්‍රශ්න රැසක් ගෙන දෙන්නක් බවත්,  අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති   පුද්ගලික සමාගමේ ව්‍යවස්ථාව  ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කොට  කිසිදු සිංහල අකුරක් හෝ සටහන්ව නොමැති බවත් එම ව්‍යවස්ථාව ලබාගෙන ඒවා   පරිවර්තනය කිරීමේදී ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් සහ ගතයුත්තක් නැති බව  සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං  වෙළෙඳ සංගමයේ  ලේකම් රොෂාන් කුරේ පැවසිය .

ඔහු පෙන්වා දුන්නේ, ඉතා ස්වාධීනව, රජයට බරක් නොමැතිව පවත්වාගෙන ගිය ආර්ථික මධ්‍යස්ථාන සියල්ල පෞද්ගලික හිමිකරුවන්ට පැවරීම සිදුවෙන බවය .  ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් නොකළහොත් සමස්ත ආර්ථික මධ්‍යස්ථාන පද්ධතියම අකර්මණ්‍ය වෙන බවද කිවේය.

අප මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ ගෙන් විමසීමේදී සඳහන් කළේ මෙහි කිසිදු  පෞද්ගලික ආයතනයකට විකිණීම හෝ පැවරීමක් සිදු නොවන බවය.මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මහා භාණ්ඩාගාරයේ සහ අමාත්‍යංශ ලේකම්වරු හතරදෙනෙක් වගේම ඇමතිවරයා විසින් පත් කරන අධ්‍යක්ෂකවරු තුන්දෙනෙකුගෙන් සමන්විතව සියයට සියක් රජය සතු සමාගමක් බව පැවසිය.

කෙසේ වෙතත්  සියයට සියයක් රජය සතු  සමාගමක් නම් පුද්ගලික නමක් යොදා ඇත්තේ ඇයි දැයි අප කළ විමසීමේදී ඇමති වසන්ත සමරසිංහ කීවේ එය පුද්ගලික සමාගමක් ලෙස නම් කොට තිබීම ගැටළුවක් නොවන බවය.

ආර්ථික මධ්‍යස්ථාන සියල්ල  නව සමාගම වන නැෂනල් ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ්  සමාගම සමග ඉදිරියේ දී වැඩ කිරීම සිදුවෙන බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගම් නියෝජිතයන් එහි නිසි අවබෝධයක් නොමැතිව කරන ප්‍රකාශ බවද සඳහන් කළේය .

රුපියල් කෝටි 500ක මුදල ආර්ථික මධ්‍යස්ථාන ගිණුම්වල පවතින්නේ නම් ඒවා රජය සතු මුදල් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දඹුල්ල-කාංචන කුමාර ආරියදාස