අවසන් තරගයක් ගැන සිහින


ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක වටය වන සුපිරි හතර  දෙනාගේ වටය ඇරඹෙන්නේ ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සුපිරි හතර දෙනාගේ වටය අරඹමින් තරග වදී. 

සමස්තයක් ලෙස පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකාව යම් ආකාරයක ඉදිරියට පැමිණීමක් පෙන්වීය. විශේෂයෙන්ම බංග්ලාදේශයට එරෙහි තරගය ඉතා හොඳින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහෙත් හොංකොං කණ්ඩායමට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකාව “අසාර්ථක වීමට නොහැකිය” යන සිතුවිල්ලෙන් ක්‍රීඩා කිරීම නිසා යම් අසීරුවකට පත්විණ. ජාත්‍යන්තර පිටියේ තමන්ට වඩා බොහෝ පහළින් සිටින කණ්ඩායම් සමග ක්‍රීඩා කරන විට මෙවැනි තත්ත්වයන් ඇති වේ. එම පසුබෑම ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ දී දැක ගත නොහැකි වුවද අවසන් ඕවර දෙකේ දී ලකුණු පනහක් ලබා දී ශ්‍රී ලංකාව තරගය බරපතළ කර දුණි. මෙහිදී මොහොමඩ් නබී විසින් දුනිත් වෙල්ලාලගේට එල්ල කරන ලද ප්‍රහාරය අතිශය බරපතළ එකක් විය. එකම ඕවරයකදී හයේ පහර පහක් එල්ලවීම මේ තරුණ ක්‍රීඩකයාට දැඩි කම්පනයක් වූවාට සැක නැත. එහෙත් ඊට එහා ගිය කම්පනයක් දුනිත්ට දැනෙන්නට ඇත්තේ තරගයෙන් පසුව ලද ආරංචියෙනි. හෘදයාබාධයකට ලක්ව දුනිත්ගේ පියා මියයෑම මේ තරගයට වඩා ක්‍රිකට් ලෝකය පුරා පැතිර ගිය ආරංචියකි. දුනිත් මෙතෙක් පැමිණි ගමනේ ප්‍රධාන බලවේගය වූ ඔහුගේ පියා මෙසේ මියයෑම මේ තරුණයාට මහත් කම්පනයක් එක්කළ සිදුවීමක් වන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. මේ සටහන කියවන ක්‍රිකට් රසිකයන් සමග එක්ව අප දුනිත්ගේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 

ඇෆ්ගන් තරගයේ දී කුසල් මෙන්ඩිස් ක්‍රියාත්මක විය. ඊට පෙර පැතුම් නිස්සං ක ක්‍රියාත්මක විය. එහෙත් දැන් අවශ්‍ය වන්නේ චරිත් අසලංක සහ දසුන් ශානක ක්‍රියාත්මක වීමයි. ඉදිරි සතිය මේ පිතිකරුවන්ට වැඩ බහුලවන ප්‍රබල තරග පැවැත්වෙන සතියක් බව පැහැදිලිය. ඒ නිසා මේ දෙදෙනා සූදානමින් සිටීම වැදගත්ය. එසේම වෙල්ලාලගේ ක්‍රීඩා නොකරන්නේ නම් කණ්ඩායමට පැමිණෙන මහීෂ් තීක්ෂණ තමන්ගේ උපරිමයෙන් පන්දු යැවීම කළ යුතුව තිබේ. තීක්ෂණගේ රිද්මය යම් ආකාරයකින් ගිලිහී ගොස් ඇති බව පෙනේ. එහෙත් ඔහු සුපුරුදු රිද්මයට පැමිණීම අත්‍යවශ්‍යය. 

මේ තරගාවලියේ මෙතෙක් කතාබහට ලක්වූ ප්‍රධානම තරගය වූයේ  ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයයි. මේ තරගයට පෙර සුපුරුදු පරිදි ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති විරුද්ධවාදීකමට උසි ගැන්වීම් සිදුවූයේ  එම තරගය යළිත් වරක් මාකට් කර ගැනීමටය. එහෙත් අයි.සී.සී. තරගාවලිහිදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර බොහෝ තරග ප්‍රේක්ෂකයන් ක්‍රීඩා කරන තරග විනා පිටියේ දැඩි තරගකාරීත්වයක් ඇති තරග නොවීය. බොහෝ විට එම තරගවලින් ඉන්දියාව පහසුවෙන් ජයගත්තේය. මේ නිසා ආසියානු කුසලාන මුල්වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයට දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් නොවීය. තරගය වෙනදා මෙන්ම ඉන්දියාව පහසුවෙන් ජයගත්තේය. එහෙත් තරගයෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයන් පාකිස්ථාන ක්‍රීඩකයන්ට අතට අත දීමට අකැමැති වීම බොහෝ ප්‍රශ්න ඇති කළේය. ක්‍රීඩාවේ ජීව ගුණයට සාම්බාරු වැටීමක් බඳු වූ මේ සිදුවීම ඉන්දියාව සාධාරණය කළේ ඉන්දියාවේ පල්ලෙගාම් වෙත එල්ල කළ ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස මෙය හඳුන්වා දෙමිනි. එය ඉන්දියාව පැත්තෙන් නිවැරදි යැයි කෙනෙකුට කියන්නට හැකිය. මේ වනවිට අයි.සී.සී. ප්‍රධානියාව සිටින්නේද ඉන්දියානුවෙකු නිසා මේ අවස්ථාව ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වනු ඇත්තේ එංගලන්තයේ උපන් මහත්වරුන්ගේ ක්‍රීඩාව නම් වූ ක්‍රිකට් සම්පූර්ණයෙන්ම ඉන්දියානු ආක්‍රමණයට යටත් වූ අවස්ථාව ලෙසය. මින් මතු මහත්වරුන්ගේ කතා කියන්නට ඉන්දියාව එන්නේ නම් ඒ සඳහා කැමති පිළිතුරක් දීමට අනෙක් කණ්ඩායම්වලට හැකිය. 

ඉන්දියාව සහ පාකිස්ථානය අතර දෙවැනි තරගය පැවැත්වෙන්නේ ඉරිදා දිනයේ දීය. පෙර කී සිදුවීමෙන් පසු මේ තරගය දැන් මාකට් වී ඇති බව පැහැදිලියි. මේ නිසා ඉරිදා දිනයේ පිටියේ කුමක් වේද යන්නට වඩා තරගයෙන් පසු ඉන්දියාවේ සහ පාකිස්ථානයේ හැසිරීම කෙසේ වේද යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇතුවාට සැක නැත.

ශ්‍රී ලංකාව දෙවැනි වතාවට බංග්ලාදේශය හමුවන්නේ ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. පළමු වටයේ දී ශ්‍රී ලංකාව පහසුවෙන් බංග්ලාදේශය පරාජයට පත් කළේය. එහෙත් දෙවැනි වටයේ දී එය එසේම වේ යැයි සිතා ක්‍රීඩා කිරීමට නොහැකිය. විශේෂයෙන්ම බංග්ලාදේශය තමන්ගේ ගෞරවය වෙනුවෙන් සහ විස්සයි20 ලෝකයේ තමන්ගේ නම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් උපරිමය කරනු ඇත. මේ තරගයේ දී ශ්‍රී ලංකාව අමතක නොකළ යුත්තේ නසුම් අහමඩ් ගේ පැමිණීමයි. ඔහු ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඉතා විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. මේ නිසාම ඔහු ශ්‍රී ලංකාවට එරෙහිවද පන්දු යැවීම ආරම්භ කරනු ඇත. වමත් පා දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහුගේ තර්ජනය අපට අමතක කළ නොහැකිය. අනෙක් අතින් තව්හිද් රිදෝයි මෙතෙක් සුවිශේෂ ඉනිමක් දියත් කළේ නැත. ශමිම් හුසේන්, ලිටන් දාස් සහ තන්සිද් හසන් යන තිදෙනාම සිටියත් රිදෝයි අප අවධානය යොමු කළ යුතුම ක්‍රීඩකයා වෙයි. පන්දු යවන්නන් අතරින් ශ්‍රී ලංකාව කවදත් අමාරුවේ වැටෙන රිෂාඩ් හුසේන් දෙස ශ්‍රී ලංකාව වඩාත් අවධානය යොමු කළ යුතුය. ඔහු ඇෆ්ගනිස්ථානය හමුවේ ඉතා හොඳින් පන්දු යැව්වේය. 

ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය අඟහරුවාදා පාකිස්තානය සමග පැවැත්වෙයි. පාකිස්තානයේ රිද්මය අනුව මේ තරගය ඔවුන් ජයග්‍රහණයක් සොයන තරගයක් වීමට ඇති ඉඩ වැඩිය. සයිම් ආයුබ්, ශාහින් අෆ්රිඩි යන දෙදෙනාම ඉතාම හොඳ රිද්මයකින් පන්දු යවයි. ආයුබ් ගේ ඉරියව්ව ශ්‍රී ලංකාව අතීතයේ සිටම අසරණ වන පන්දු යැවීමේ ඉරියව්වකි. ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුත්තේ ආයුබ් දෙසටය. අනෙක් අතින් පන්දුවට පහරදීමෙන් පාකිස්තානය සිටින්නේ දුර්වල රිද්මයකය. මේ රිද්මය කොයි මොහොතේ හෝ නිවැරදි කර ගැනීමට සියලු පිතිකරුවන් සමත් වනු ඇත. විශේෂයෙන්ම ඔවුන් ඉන්දියාව හමුවේ අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකාව හමුවේ සාර්ථක වීමට ඇති ඉඩ වැඩිය. ඒ නිසා මේ වටයේ ශ්‍රී ලංකාවේ අසීරුම තරගය පාකිස්තානය සමග යැයි ලියාතැබිය හැකිය. එම තරගය ජයගතහොත් අවසන් තරගය කරා යෑමට ශ්‍රී ලංකාවට ඉතා හොඳ අවස්ථාවක් තිබේ. 

එසේ නම් සිකුරාදා දිනයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉන්දියාවට එරෙහි තරගය අසීරු නැති දැයි කෙනෙකු ප්‍රශ්න කරනු ඇත. එය කිසිසේත් ලෙහෙසි නැත. ඔවුන්ගේ රිද්මය ගැන මෙන්ම දක්ෂතා ගැනද අමුතුවෙන් ලියන්නට විග්‍රහ කරන්නට දෙයක් නැත. එහෙත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට ඉඩ වැඩිය. එය දක්ෂතා සසඳා බලා කිව හැකි දෙයක් නොවේ. මේ කණ්ඩායම් ක්‍රීඩා කරන ආකාරය දෙස බලා සහ ප්‍රතිවාදියා හමුවේ ඇති අනෙක් කණ්ඩායමට ඇති මානසික නිදහස ගණනය කර කරන පුරෝකථනයකි. අපට දැනෙන දෙය නම් ශ්‍රී ලංකාවට මේ තරගය ජයගත හැකි බවයි. එය සැබෑවන බලාපොරොත්තුවක් වේවා! 

කාංචන දසනායක