අලි ඇතුන් කියන්නේ ඩොලර් ගේන මැෂින් එකක්


වනඅලි ඝාතනය වීම දිනෙන් දින ඉහළ යමින් පවතී. පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් පවසා සිටියේ වසරේ ගත වූ මාස6 තුළ පමණක් වන අලි 219ක් ඝාතනය කර ඇති බවය. එසේම ආදිවාසී නායක වන්නිලඇත්තන් ද පසුගිය දා පවසා තිබුණේ අතීතයේ පැවති අලි - මිනිස් ගැටුම වෙනුවට අද පවතින්නේ මිනිස් - අලි ගැටුමක් බවය.

කෙසේ නමුත් වනඅලි රටට වැදගත් වන්නේ කවරාකාරයකින් ද යන්න ගැන සේම - වනඅලි ඝාතනය වැළැක්වීම, වනඅලි රැකගැනීම පිළිබඳව කතාබහක නිරත වීමට අපි දශක ගණනාවක් වනඅලි සහ වනාන්තර පරිසරය සමග බද්ධව දිවිගමන ගෙනයන හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යවසායකයෙකු වන අබේපාල පෙරේරා සම්බන්ධ කර ගතිමු. 

අබේපාල පෙරේරා මහත්මා මේ වන විට ජොන්කීල්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සේම සිනමන් යාල විලේජ්, ඇඩ්වෙන්චර්ක් හා සිනමන් වයිල්ඩ් හෝටල සමූහයේ සභාපති ලෙස කටයුතු කරයි.

“මම පරිසරයට ගොඩක් ආදරය කරමින් වනාන්තරයත් එක්කම ජීවත් වෙච්ච මනුස්සයෙක්. මගේ ජීවිතය අවුරුදු දාසය දාහත කාලේ ඉඳන්ම අවුරුදු පනස් පහ විතර වෙනකම් කැලේම ජීවත් වෙලා තියෙනවා. එනිසා කැලය හා වන සතුන් ගැන විශාල අවබෝධයක් මට තියෙනවා වගේම    මම අලින්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ගොඩබිමේ ඉන්න විශාලතම සත්වයා වන අලියා කිසිම කෙනෙකුට හිංසාවක් නොකරන සතෙක්. එයා කොච්චර ශීලවන්ත ද කියනව නම් එයා ළඟ ඉඳ ගෙන කන කොට ගෝනෙකුට, හාවෙකුට කවදාවත් ගහන්නේ නෑ.” 

“කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ආභරණයක් වූ අලි ඇතුන් ඝාතන සිදුවන්නේ සංවිධානාත්මකව වෙන්නත් පුළුවන්, ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා වෙන්නත් පුළුවන්. අලි ඇතුන් කියන්නේ ඩොලර් උපයාගත හැකි මැෂින් එකක්. විශාල සම්පතක්. විදෙස් සංචාරකයන් ගමන් කරන ජීප් රථයකට අලි රංචුවක් වටවුණහම ඔවුන් තුළ ඇතිවන ළෙන්ගතුකම මම දන්නවා. අනේ, අපිට මෙහෙම සතුන් නැහැනෙ කියන හැඟීම ඔවුන් තුළ තිබෙනවා. අපට හැබැයි අගයක් නෑ”.

අලි -මිනිස් ගැටුමට මුල පිරූ මහවැලිය

“ලංකාවේ අලි පරපුර විනාශ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මහවැලි ව්‍යාපාරය. මහවැලි ව්‍යාපාරය ඇතිවෙන්න පෙර යාල වනෝද්‍යානයේ සිටි අලි එලිපන්ට් පාස් (අලිමංකඩ) දක්වා ගමන් කළා. මම ඒ මාර්ගයේ ගමන් කර තිබෙනවා. ඒ නිසා මට ඕනි වෙලාවක එම මාර්ගය සාධක සහිතව ඔප්පු කර පෙන්වන්නත් පුළුවන්. යාල සිට ගමන් අරඹන අලි ඒ ඒ කාලයට වහින පැතිවලට ගිහින්, ආහාර පාන ඉතා පහසුවෙන් ලබා ගෙන, ඒ ඒ පැතිවල සිටින ශක්තිමත් අලි සමග සංසර්ගයේ යෙදිලා පැටවුන් බිහි කරන සංස්කෘතියක් පැවතුණා. නමුත් මහවැලි ව්‍යාපාරය නිසා මේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන් ඇහිරිලා ගියා.” 

“නමුත් මෙම ගැටලු‍ව හඳුනා ගත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මාදුරුඔය, වස්ගමුව, මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යාන ඇති කළා. ඒ නිසයි අද අප දකින අලි ඇතුන් ටිකවත් ඉතිරි වුණේ. නමුත් මේ පවතින තත්ත්වය අනුව තව අවුරුදු 10-15කින් දරුවෙකුට ඇතෙක් පෙන්වන්න වෙන්නේ පොතකින්. මේක අපේ රටට විශාල අපකීර්තියක්. අවනම්බුවක්.”

“යාල, කුමන, විල්පත්තු වනෝද්‍යාන තුළ පිහිටි සංචාරක බංගලා හැම වෙලේම පිරිලා, විදේශිකයන්ට යන්න අවස්ථාවක් නෑ.

“කොහොම වුණත් මහවැලිය නිසා මිනිස්සු සහ අලි අතර ලොකු ගැටුමක් මේ වන විට ඇති වෙලා තිබෙනවා. අලි තම නිජබිම් කියලා හිතන ප්‍රදේශවලට හැම විටම ඇතුළුවීමට උත්සාහ කරනවා. ගම්මු තමන් සිටින භූමිය අලින් ගෙන් රැක ගැනීමට උත්සාහ කරනවා. මේ තුළ ලොකු ඝට්ටනයක් ඇතිවෙලා. නමුත් මොන දේ වුණත් ගම්වල මිනිස්සු අලින්ට ආදරෙයි. මම ඒක පුද්ගලිකවම ඕන තරම් අත්විඳලා තිබෙනවා. භාතිය ඇතා මැරුණ වෙලේ ගමේ මිනිස්සු ඇඬුවා. සමහර අය කිව්වා “අනේ පුතේ, ආයිත් දළ ඇතෙක් වෙලා ඉපදෙන්න එපා” කියලා. ඔහුන් ඒ තරමට අලි ඇතුන්ට ආදරෙයි.” 

ගමක ඉන්න සියයට1 - 2ක් පාපතර මිනිස්සු හැරෙන්න ඉතිරි පිරිස අලින්ට රැකවරණය දෙනවා. 

අලි ඇතුන් ගහනය පහත වැටිලා

“කවුරු මොනවා කිව්වත් ලංකාවේ අලි ජනගහනය අඩුයි. 2011 අලි සංගණනයෙන් පස්සේ මෑත කාලීනව සිදුකළ සංගණනයේ නිල ප්‍රතිඵල තවම නිකුත් කර නෑ. ඔය මොනවා වුණත් මගේ අදහස නම් ලංකාවේ දැනට ඉන්නේ අලි ඇතුන් 2500ක පමණ ප්‍රමාණයක් යන්නයි. මින්නේරියට ගියාම පිට්ටනිවල අලි 100ක් විතර ඉන්නවා. කවුඩුල්ලට ගියාමත් ඔවැනිම ප්‍රමාණයක් එක් කලාපයක දකින්න පුළුවන්. නමුත්  වස්ගමුවෙන්, සෝමාවතියෙන්, හබරනින්, දඹුල්ලෙන්, සීගිරිය වටේම ඉන්න අලි තමයි මින්නේරියට එන්නෙ. නමුත් මම දන්නා පරිදි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ස්ථිර පදිංචිව අලි 5ක් වත් නැහැ. ඒ ඉන්නෙත් වයසට ගිය අලියි.” 

“යාල වනෝද්‍යානයට මම මීට වසර 30කට පෙර යන විට සිටි අලින් ගෙන් 1/10ක් අද නෑ. අද සමහර සංචාරකයන්ට උදේ සිට හැන්දෑවෙන තුරු කාලය ගත කළත් අලියෙක් දැක ගන්න ලැබෙන්නෙ නැති අවස්ථා තිබෙනවා. වාහන වලින් කන්න බොන්න පුරුදු වුණ අලි දෙතුන් දෙනෙක් දැක්කම මිනිසුන් තුළ මතයක් ඇති වෙලා තිබෙනවා කතරගම පාරේ අලි ඉන්නවා කියලා. නමුත් සත්‍යය ඒක නෙවෙයි.”

“කලා වැව ජාතික වනෝද්‍යානයට කුරුණෑගල, නිකවැරටිය, අඹන්පොළ හා දඹුල්ල පැත්තෙන් මීට වසර 3කට පෙර ජුනි, ජූලි හා අගෝස්තු කාල සීමාවේදී ඇත්තු 15 -20ක් විතර ආවා. අද වෙන කොට මේ ඇත්තු ප්‍රමාණය 3කට පමණ සීමා වෙලා. ඉතිරි පිරිසට ඉතා කනගාටුදායක ඉරණමක් අත්වෙලා.”

වගකිවයුතු පිරිස්

“මේ තත්ත්වයට වගකිවයුතු විශාල පිරිසක් ඉන්නවා. අපි මුලින්ම  වනජීවි දෙපාර්තමේන්තුව ගත්තොත් මේ රටේ භූමියෙන් 1/5ක් එනම් සියයට20ක් අයිතිය හිමි රාජ්‍ය ආයතනයක්. නමුත් මේ මුළු භූමි ප්‍රමාණයම ආරක්ෂා කිරීමට ඔවුන් සතුව ඉන්නේ 2000කට අඩු සේවක පිරිසක්. ඒ වගේම වනෝද්‍යානවල වැඩ කරන උද්‍යාන භාරකාරතුමා  ඇතුළු කම්කරුවා දක්වා පිරිස ඉතාම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ. ඔවුන් උදේ සිට සවස දක්වා සිය ශක්ති ප්‍රමාණයෙන් උද්‍යාන බලා ගන්නවා. විල්පත්තු හා යාල වැනි විශාල වනෝද්‍යාන වල සිටින සේවක පිරිස ගත්තම බොහෝම කනගාටුදායකයි.  

ඒ වගේම වනජීවියේ ස්වේච්ඡාවෙන් වසර 20-25 සේවය කරන සේවකයන් සිටිනවා. ඔවුන්ට දවසකට ගෙවන්නේ රු.1000යි. ඔවුන්ට වනෝද්‍යානය තුළට එන්න, කන්න බොන්න කොතරම් මුදලක් වැය වෙනව ද? සමහර අය කානු කපන්න, මුර සංචාර යන්න ආදි සේවා කරන්න සිදුවෙලා. ජීවිතය පරදුවට තබා සේවය කරන මොවුන් ගැන රජය මීට වඩා සොයා බලා පිළියම් යෙදිය යුතුයි.”
“ඊළඟට පරිපාලනය ගත්තම දැනට ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි ඒ සඳහා සුදුසුම පුද්ගලයා බව මගේ අදහසයි. නමුත් මගේ අදහස නම් මේ පරිපාලනය සඳහා මණ්ඩලයක් පත් කළ යුතුය යන්න යි. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දංගොල්ල වැනි මහත්වරුන් ඒ සඳහා පත් කළ යුතුයි.”

රෝහලට නොඑන්න වග බලා ගැනීම

“මම මේ ඇතිවෙලා තිබෙන ගැටලු‍කාරී තත්ත්වය ගැන මේ රජයට දොස් කියන්නේ නෑ. භාතිය ඇතාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වීම ගැන පරිසර අමාත්‍යවරයා පිළිගත්තා. ඒක එතුමා ගේ මහත්මා ගතිය. හැබැයි එතුමා අලි ඇතුන් සඳහා රෝහලක් ඇති කරන බව කිවුවා. ඒකත් හොඳ වැඩක්. නමුත් මම එතුමාට යෝජනා කරනවා, රෝහලක් දාන එක හොඳ දෙයක් නමුත් අලි ඇතුන්ට රෝහලට එන්න වෙන වැඩ අවම කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. සතෙකුට රෝහලට එන්න වෙන්නෙ වෙඩි තිබ්බොත් නේ. ඒ නිසා රෝග නිධානයට ප්‍රතිකර්ම කරන්න. 

අලි ඝාතන

“අලි ඝාතනය කරන ක්‍රම කීපයක් තිබෙනවා. බහුලවම සිදුවන්නේ වෙඩි තබා ඝාතනය කිරීමයි. අලි ඝාතන වැළැක්වීමට නම් අනවශ්‍ය පුද්ගලයන්ට ලබාදී ඇති ගිනි අවි යළි රජයට ලබාගත යුතුයි. ඒ වගේම හක්කපටස් තබනවා. හක්කපටස් හැපුවම අලියාෙග් මුළු හක්කම කුඩුවෙලා වතුර ටිකක්වත් බොන්නට නොහැකි වෙලා මිය  යනවා. ඒ වගේම වට්ටක්කා ගෙඩිවලට වස දමා අහාරයට ලබා දී මරා දමනවා.”

“ඊළඟ ප්‍රශ්නය තමයි දුම්රියේ ගැටී මිය යාම. අලි දුම්රියේ ගැටී මියයාමේ සිද්ධිවලට එම නිලධාරීන් සියයට 100ක් වැරදිකරුවන් යැයි මම කියන්නේ නැහැ. නමුත් තමුන්ට උනන්දුවක් තිබෙනවා නම් තමුන් ගේ වේගය අඩු කරලා ගියා නම් මේ මරණ වළක්වා ගැනීමට තිබුණා. දුම්රිය රියැදුරන්ගේ නොසලකිල්ල නිසා මේ මරණ සිදුවුණා නම් ඔවුන්ට මේ පාපයෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. රජය මේ ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට නව ක්‍රම සොයා ගන්න ඕනි.” 

“ඒ වගේම අලි ඇතුන් සම්බන්ධ සොයා බැලීම් ගම්මුන්ට, පරිසර සංවිධානවලට, පාසල් සිසුන්ට භාරදිය හැකියි. විශේෂයෙන් වනෝද්‍යාන වටා තිබෙන සියලු‍ පාසල්වල උසස් පෙළ දරුවන් සම්බන්ධ කරගෙන ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කළ යුතුයි.  අපි මෙම දරුවන්ට පුහුණුවක්, හැදෑරීමක් ලබා දෙන්න ඕනෑම වේලාවක සූදානම්. ඔවුන්ට වනෝද්‍යානය රැකගැනීමේ වැදගත්කම ගැන දේශනයකුත් මේ සමගම අපි ලබා දෙනවා. ඒ හරහා ඔවුන් තුළ වනෝද්‍යානය හා වන සතුන් රැක නොගත්තේ ඔබේ පවුලේ, ඥාතීන්ගේ හා සමස්තයක් ගමේ රටේ ආදායම අහිමිවන බව මේ හරහා දැනුවත් කළ හැකියි. හැබැයි මේ දරුවන් සිදුකරන සුවිශේෂ සේවය වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට, රජයේ රැකියා ලබාදීමේ දී විශේෂ ලකුණු ලබාදීමේ ක්‍රමයක් රජය ඇති කළ යුතුයි.”

“වන අලි ඝාතනය ගැන නිසි ලෙස තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස යාල ජාතික වනෝද්‍යානය ගත්තොත් කිරින්ද - කතරගම ප්‍රදේශයෙන් පටන් ගත්තට අවසන් වෙන්නේ ලාහුගල ප්‍රදේශයෙන්. ඔය අතරතුර බ්ලොක් 2, බ්ලොක් 3, බ්ලොක් 4 සහSNR නම් මිනිසුන්ට සම්පූර්ණයෙන් ඇතුළුවීම තහනම් ප්‍රදේශයක් තිබෙනවා. ඔයSNR කලාපය තුළ කොතරම් නම් සතුන් ඝාතනය වනවා ඇත්ද?, මොන තරම් දඩයක්කාරයෝ එම කලාපයේ ඇතුළේ ඉන්නවා දැයි සිතා ගන්න බැහැ. එසේ ඝාතනය වන සතුන් කිසිදු සංගණනයකට ඇතුළත් වෙන්නේ නෑ. ඒ නිසා එම කලාපයටත් කුඩා නිලධාරී කණ්ඩායම් සකසා යෙදවිය යුතුයි. එසේම එම කණ්ඩායම් පිළිබඳවත් නිරන්තරයෙන් නිරීක්ෂණය කළ යුතුයි.” 

“ඒ වගේම මේ වසා දමා ඇති කලාපය විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර ටෙන්ට් සයිට් සඳහා ලබාදීම සිදු කළ හැකියි. විශේෂයෙන් සංචාරකයන් රැගත් ජීප් රථ එම කලාපයට නිතර යන එන විට ඇතුළත සිදුවන දේ ඔවුන්ටත් පේනවා. ඒ තුළ දඩයක්කරුවන්ට ක්‍රියාත්මක වීමට නොහැකි වනවා සේම විශාල විදේශ විනිමයකුත් ලබාගත හැකියි.”

වරදකරුවන්ට දඬුවම්

“අද අලියෙක් මැරුවොත් අවුරුදු 8 - 10ක් නඩුව අහලා වසර 2ක සිර දඬුවමක් හෝ රු. 50,000ක හෝ රු.100,000ක දඩයක් ගෙවන්න සිදුවෙයි. නමුත් ඔය දඩයක්කරුවන්ට ඕක ගැටලු‍වක් නෙවෙයි. මොකද ඇත් දළයක වටිනාකම ඕයිට වඩා විශාලයි. මේ නිසා මගේ පුද්ගලික අදහස වන්නේ මේ සතුන්ට කරන අපරාධයට වරදකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි යන්නයි. ඒ විතරක් නෙවෙයි මේ රජය මුලින්ම කළ යුත්තේ වන සතුන්ට හානි සිදු කරන්නන් සඳහා දැනට පවතින දඬුවම් සම්පූර්ණයෙන්ම වැඩි කිරීමයි.”

එසේම සංවිධානාත්මක ලෙස මේ වනවිට සිදුවෙන අලි ඝාතන කිරීම් හැකි ඉක්මණින් නවතා දැමීමට ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.”

වන සතුන්ගේ ආරක්ෂාව

“වන සතුන්ගේ ආරක්ෂාවට යොදන සේවක පිරිස ඉහළ නැංවිය යුතුයි. මේ සඳහා ග්‍රාමාරක්ෂකයන් අනුයුක්ත කිරීමේ යෝජනාවක් තිබුණත්, එය කොතරම් උචිත ද යන්න යළිත් සිතා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ගිරිතලේ පිහිටි වනජීවි දෙපාර්තමේන්තුවට අයත් දැවැන්ත පුහුණු මධ්‍යස්ථානය හරහා වන සතුන්ට ආදරය කරන පිරිසක් බඳවාගෙන පුහුණු කළ හැකිය. ඒ වගේම වන සතුන්ට හානි සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසියට, එස්.ටී.එෆ්.ට, යුද හමුදාවට ලබාදිය යුතුයි.”

පලක් නැති කමිටු

“පත් වූ සෑම රජයක් විසින්ම අලි මිනිස් ගැටුම වැළැක්වීමට විවිධ වර්ගයේ කමිටු පත් කළත්, ඒ කිසිවකින් පලක් වී නැහැ. මම අවුරුදු විසි ගණනක් වනජීවියේ ගරු අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කළත් එහි දී ලබාදුන් කිසිදු උපදේශයක් ඇමතිවරු විසින් ක්‍රියාත්මක කළේ නැහැ. එතන දී ඇමතිවරයාටත් කරන්න දෙයක් නැහැ. මුදල් අමාත්‍යංශයෙන් මුදල් පාස් කරන්නේ නැහැ. අනික පත් කරන බොහෝ කමිටු අර බංගලාවේ, මේ බංගලාවේ සිට විනෝද වෙලා එනවා හැර වෙන කරපු දෙයක් නෑ.” 

එසේම සංවිධානාත්මක ලෙස මේ වනවිට සිදුවෙන අලි ඝාතන කිරීම් හැකි ඉක්මනින් නවතා දැමීමට ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.”

“නමුත් සිදුවිය යුත්තේ අපි රජයෙන් කිසිවක් ලබා නොගෙන අවංකවම ඉදිරිපත් වෙලා විසඳුම් සෙවීමයි. මෙතැනදී වනෝද්‍යානය තුළට පිවිසීම හෝ ඒ තුළ රැඳී සිට පරීක්ෂණ සිදු කිරීමේ අවසරය ආදිය රජයේ පාර්ශ්වයෙන් ලැබුණාම ඇති. හරි උපදේශන කමිටුවක් පිහිටුවලා ඒක වනජීවී දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධ කරලා වැඩ කළොත් පලදායි ලෙස මෙම ගැටලු‍ව විසඳීමේ මාර්ගයක් සකසාගත හැකියි.” 

හීලෑ අලි

“ලෝකයේ ලස්සනම අලි සිටින්නේ ආසියාවේ යි. එයිනුත් හොඳම අලි ඉන්නේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ යි. නමුත් ලංකාවෙ කොහේවත් හීලෑ අලි කියා ප්‍රභේදයක් නෑ. වනඅලි අල්ලාගෙන තමයි හීලෑ අලි බවට පත් කරගන්නේ. ලංකාවේ සංස්කෘතික කටයුතු සඳහා අලි අවශ්‍ය නම් එය පින්නවල හෝ ඇඹිලිපිටියේ ඇත්තුරු සෙවණින් ලබාගත හැකිය. හැබැයි ඒ දේවල් නීත්‍යනුකූලව සිදුවිය යුතුයි.”

විදේශ විනිමය

“මෑතක දී යාල වනෝද්‍යානයේ පමණක් සංචාරකයකයන්ගෙන් ලත්  ආදායම රු.මි.300ක් බව පැවසුණා. ජාතික වනෝද්‍යාන අවට ජීවත්වන පවුල්වල සියයට90කගේ ජීවනෝපාය සැකසී තිබෙන්නේ වනෝද්‍යානය සමගයි. යාල පමණක් ජීප් 700 - 800ක් තිබෙනවා. මේ ජීප් රථ අලු‍ත්වැඩියා කරන ආයතන, අමතර කොටස් විකුණන ආයතන ආදි ලෙස ගත්තම ඒ තුළින් පවුල් 1000ක් පමණ ජීවනෝපාය සකසා ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශයේ සංචාරක හෝටල් නිසා තවත් කොතරම් පවුල් ප්‍රමාණයක් රැකෙනව ද? කතරගම, තිස්සමහාරාම, කිරින්ද, යාල හෝටල් 300-400ක් පමණ තිබෙනවා. ඒ ආශ්‍රිතව ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය කොතරම් ද?”

“ඒ නිසා අලි ඇතුන් ඇතුළු වන සතුන් නැරඹීමට එන සංචාරකයන්ගෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා වගේම එය තවත් වර්ධනය කරගත හැකියි. විශේෂයෙන් සංචාරකයන් අතරමග දී තැඹිලි බොනවා, කිරි හට්ටි ගන්නවා, පොඩි පොඩි රෙස්ට්වුරන්ට් වලින් ආහාර පාන ලබා ගන්නවා. අපේ සිනමන් වයිල්ඩ් හොටලයේ වැඩ කරන ළමයෙක් සමහර මාසවල රුපියල් ලක්ෂයක සර්විස් චාර්ජ් එකක් උපයනවා. ඔවුන් සියලු‍ දෙනා ඒ අවට ප්‍රදේශවල ජීවත් වන අයයි. මේ සියලු‍ දේ සිදුවන්නේ අලි ඇතුන් නිසයි.”

“මේ වනවිට ගල්ඔය, කුමන හා විල්පත්තු ජාතික වනෝද්‍යාන විනාශ කිරීම වැළැක්වීම නව රජයේ වගකීමක්. මොකද මේ වනෝද්‍යාන ටික හරියට පවත්වගෙන ගියොත් ඒ ලැබෙන ආදායම ඇති රට දියුණු කරන්න. දැන් කෙන්යාව, ටැන්සානියාව වැනි රටවල ජාතික ආදායමෙන් සියයට 20 ක් පමණ උපයන්නේ ඒ රටවල අලි ඇතුන් හා බැඳුණු සංචාරක කර්මාන්තය හරහා යි. එසේම කෙන්යාව, ටැන්සානියාව, දකුණු අප්‍රිකාව, බොස්ට්වානා වැනි රටවල හොඳම සංචාරක හෝටල් පිහිටා තිබෙන්නේ වනෝද්‍යාන ඇතුළතයි. මසේමාරා ගංගාව ආශ්‍රිතව ඇති විශාල රෙස්ට්වුරන්ට් ප්‍රමාණයක් සහ වැසිකිළි ප්‍රමාණයක්  ඉදි කරලා තිබෙනවා.  

අපේ රටේ වනොද්‍යානයකට ඇතුල් වෙන්න විදේශිකයෙකුගෙන් රු. 15,000ක් අය කරනවා නම් කෙන්යාව තුළ එය රු. 30,000 -40,000 වැනි අගයක් ගන්නවා. ඒ වගේම වනෝද්‍යාන හා බැඳුණු හම්බන්තොට, මොනරාගල, මඩකලපුව, අම්පාර සංචාරක ව්‍යාපාරය තුළින් දියුණු කළ හැකිය. නිල්ගල, රතුගල, මකරෙ, ගල්ඔය කියන්නේ අලින්ගෙ නිජබිම්, ඒ වගේම ජලයෙන් වටවුණු වනාන්තර සඳහා බෝට්ටු පද්ධති, මාර්ග සැකසුවොත් අති විශාල ආදායමක් රටට ඉපයිය හැකිය. කැලය තුළ අති විශාල ක්‍රොන්ක්‍රීට් බංගලා ඉදිකළ යුතු නෑ. ඒ සඳහා විනාශ වුණු ගස් ආදියම යොදා ගත හැකියි.” 

“යාල, කුමන, විල්පත්තු වනෝද්‍යාන තුළ පිහිටි සංචාරක බංගලා හැම වෙලේම පිරිලා, විදේශිකයන්ට යන්න අවස්ථාවක් නෑ. ඔවුන්ටත් ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. එසේ නැත්නම් පුද්ගලික සමාගම්වලට ඒ සඳහා බංගලා සැකසීමේ හෝ ටෙන්ට් ඉදිකිරීමේ අවස්ථාව ලබාදිය යුතුයි. එවිට බදු තුළින් විශාල ආදායමක් රජයට ලැබෙනවා. මම නියෝජනය කරන ජෝන් කීල්ස් සමාගම මේ සඳහා ඕනෑම වේලාවක සූදානම්. විශේෂයෙන් මේ තුළ වන සතුන්ටත් ආරක්ෂාවක් සැකසෙනවා. සෙනඟ ගැවසෙන විට දඩයක්කරුවන් ඒ ප්‍රදේශ තුළ රැඳෙන්නේ නැහැ.”

නව තාක්ෂණය සහ විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ කර ගැනීම

“වනෝද්‍යාන තුළ සිටින සතුන් සොයාගැනීමට දකුණු අප්‍රිකාවේ, ඇමරිකාවේ දියුණු ක්‍රම භාවිත කරනවා. අපි අපේ විශ්වවිද්‍යාල සිසුන්ට මේ තාක්ෂණය සහ වනජීවීන් ගැන පාඨමාලාවක් ලෙස හදාරන්නට අවස්ථාව සලසා දී ඔවුන් පුහුණු කරලා ඔවුන්ට වනෝද්‍යාන තුළ තිබෙන ගැටලු‍ නිරාකරණය කිරීමට අවස්ථාව සැලසුවොත් ඒක රැකියා ප්‍රශ්නය විසඳුම්ක් වගේම වනසතුන්ට, පරිසරයට හා ආර්ථිකමය වශයෙන් රටට වාසිදායක වනවා. වනජීවියෙන් පමණක් මේ රට සුරපුරයක් කළ හැකියි”‍.    

නිරෝෂාන් ප්‍රේමරත්න