“නව වයිරසය ආපු තැන හොයාගන්න බෑ’’


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් නව වයිරසය මේ රටේ පැතිර ගොස් ඇති බවත් එය ආණ්ඩුවේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ආරක්ෂක අංශවල වරදකින් සිදු වූවක් නොවන බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5 )පැවසීය.

ඉන්දියාවේ පැතිර ඇති වයිරස ප්‍රභේදය මෙරටින් මෙතෙක් හමු වී නැතැයි රාජ්‍ය ඇමතිවරයා එම වයිරසය මෙරටට ඇතුළුවීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ඔහු කීය.

ඔහු මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.

බ්‍රිතාන්‍ය ප්‍රභේදය අද ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද ඉන්දියානු ප්‍රභේදය වෙනස්වීම්දෙකකට ලක්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය .

ලෝකයේ ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මෙම බ්‍රිතාන්‍ය ප්‍රභේදය නිසා යැයි ද ජයසුමන මහතා පැවසුවේය.

අත්‍යවශ්‍ය ඖෂධ රටේ නැතැයි විපක්ෂය නගන චෝදනාව අමූලික බොරුවක් යැයි කී ජයසුමන මහතා අත්‍යවශ්‍ය ඖෂධ 646න් හිඟයක් පවතින්නේ නමයක පමණයි ද ප්‍රකාශ කළේය.

මේ කලාපයේ එන්නත් කරන වැඩපිළිවෙල මුලින්ම ආරම්භ කළේ ශ්‍රී ලංකාව යැයි ද ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස එන්නත් ඉක්මනින්ම ලබා ගැනීමට හැකි වූ බව ද ඔහු කීවේය .

ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වය නිසා අප ගැටලුවකට මුහුණ දී ඇති බව සත්‍යය යයිද එන්න ලක්ෂ හයක අඩුවක් ඇතැයිද මහාචාර්යවරයා පැවසුවේ ය.

ඇස්ට්‍රාසෙනිකා එන්නතලබාගැනීමට ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යන බවදඔහු ප්‍රකාශ කළේය.