’’ෆයිසර්’’ ලක්ෂ 04ක් මෙරටට


( ටී.කේ.ජී.කපිල )

ලෝක සෞඛ්‍ය සංවිධානයේ "කොවැක්ස් " පහසුකම යටතේ , ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ " ෆයිසර් " එන්නත් මාත්‍රා ලක්ෂ 04ක් අද (30) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එවා ඇති බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍යය අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

කිලෝ ග්රැම් 5,356 ක් බරැති මෙම එන්නත් තොගය , පෙට්ටි 77 ක අසුරා තිබුණි .

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය ගුවන් මගින් මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත එවා තිබුණි .

ඉන්පසුව මෙම එන්නත් තොගය එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් අද (30) උදෑසන 08.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

 ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .