’’රට ගමන් කරන දිසාව වෙනස් කරනවා’’


(යොහාන් භාසුර)

රට ගමන් කරමින් තිබූ දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

ජාතික විද්‍යා පදනම විසින් සංවිධානයෙන් කොළඹ වෛද්‍ය පිඨයේ අද (6) පැවති ඩිජිටල් පුස්තකාල සමුළුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.

පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් ලෙස සළකන අතරම රජයේ සංවර්ධන වැඩපිලිවෙළට පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය යැයි විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාවටම වෙනස්කර නව මාවතකට රට යොමු කිරීම රජයේ අභිප්‍රාය බව කී අග්‍රාමාත්‍යවරිය එය පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම් විය යුතු බව ද සඳහන් කළාය.  

විශේෂයෙන් ඉහළම මට්ටම්වල තීරණ ගැනීමේදී  විද්‍යාව මත පදනම්ව, සාක්ෂි මත පදනම්ව, දත්ත මත පදනම්ව තීරණ නොගැනීම පසුගිය වසර කිහිපය තුළ අප මුහුණ දුන් විශාල ගැටලුවක් බවත් එබැවින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ පර්යේෂණ ප්‍රජාව වඩාත් සමීපව එකට වැඩ කළ යුතු බවත් ඇය කීවාය.