’’පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා   කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන  බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

රනිල් වික්‍රමසිංහ ගහන සියලු දහම්ගැට පරාජයට පත් කරන බවද ඔහු කීවේය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.

ගේම් වලින් බලයට ඉන්න උත්සාහ දරන අගමැතිවරයා ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ඉතිහාසයේ  කුණු කූඩයට වැටෙන බවත් ජනතාවට එරෙහිව ගේම් ගැහුවොත් ජනතාවත් අනිවාර්යෙන්ම ගේම් එකක්  දෙන්නේ යැයි ස්ථිර බවත්  ඔහු පැවසුවේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක ඒකට අවහිර වෙන්න අලුත් නීති  සම්මත කරනවා. ගෝඨාභය රාජපක්ෂට ව්‍යවස්ථාවේ බලතල ජනවරමකින් ලැබිලා තිබුණා.  නමුත් ජනතාවගේ විශාල නැගිටීම් හරහා ඒ සියල්ල සුනුවිසුනු වී ගියා. මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන්න බැරිනම් සියයට  50 කින් අඩු කරන්න. අපි ඒකට එකඟයි. හරි අඩකින් බැරිනම් සියයට 75කින් අඩු කරන්න. අපි ඒකටත් එකඟයි.