’’ගෝඨා’’ යනතුරු සරසවි අරින්නේ නැද්ද?


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ගෝඨා" යන තුරු විශ්වවිද්‍යාල අරින්නේ නැද්දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්  මන්ත්‍රී තුෂාර ඉඳුනිල්  මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) ප්‍රශ්න කළේය.

විශ්වවිද්‍යාල නැවත විවෘත නොකරන්නේ අරගලයේ යෙදෙන කණ්ඩායම් පෝෂණය වෙන නිසා  බවට සමාජයේ  කතාවක් යන බව කී මන්ත්‍රීවරයා අරගල කරන අයගේ මූලික තේමාව  "ගෝඨා ගෝ හෝම්" යන්න බවත් ගෝඨා යන තුරු යන්නේ නැතැයි අරගලකරුවන් පවසන බවත් පැවසීය.

තමාට ඉතිරි වී ඇති අවුරුදු දෙකහමාර පිරෙන තුරු යන්නේ නැතැයි ජනාධිපති තුමා කියන අතර ඒ අනුව අවුරුදු දෙක හමාරක් යන තුරු විශ්වවිද්‍යාල අරින්නේ නැතුව ඉන්නට කල්පනා කරනවා දැයි තුෂාර ඉදුනිල් මහතා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ දැනටමත් විශ්වවිද්‍ය  විවෘත කොට ඔන්ලයින් දේශන පැවැත්වෙන බවයි.විශ්වවිද්‍යාල සිසුන් යනු අසාධාරණයට විරුද්ධව කටයුතු කරන පිරිසක් බව කී අමාත්‍යවරයා ඒ තරුණ ජවයට කිසිදු බාධාවක් නැතැයි ද අධ්‍යනය කටයුතු කරන ගමන් තරැණයන්ට ඒ කටයුතු වල යෙදෙන්නට ද හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපතිතුමා යනවාද නැද්ද කියන ප්‍රශ්නයට තමාට උත්තර කියන්නට බැරි බව ද ඒ ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ ජනාධිපතිතුමා බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.