’’2019 රට තිබූ තැනට ලබන අවුරුද්දේ යන්න පුළුවන්’’


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව  2019 තිබූ ආර්ථිකයට ලබන වසරේදී ළඟා වීමට හැකි යැයි විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ශ්‍රී ලාංකික හමුවකදී පැවසීය.

සාමාන්‍යයෙන්  ආර්ථික කඩා වැටීමකදී රටකට අහිමි දශකයක් නිර්මාණය වන බව ආර්ථික විශේෂඥයින් සඳහන් කරන නමුත් තව කෙටි කලකින් රට පෙර පැවති තත්ත්වයට ගැනීමට හැකි බවට දත්ත සහ සංඛ්‍යා මත  පුරෝකථනය කළ හැකි බව සඳහන් කළේය.

තමා බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

මීට වසරකට පෙර රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේදී කිසිවෙකුගේ බලපෑම්වලට යටත් වීමට සූදානම් නැති බවද  දිසානායක මහතා අවධාරණය කළේය.

 ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ජනාධිපතිවරයාගේ මෙම හමුව නිව්යෝර්ක් නුවර ස්ටැටන් අයිලන්ඩ් කලා විද්‍යාල මධ්‍යස්ථානයේ දී පෙරේදා  (25) පස්වරුවේ පැවත්විණි. 

නිව්යෝර්ක් නුවර  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධානය කර තිබූ මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තීයවේදීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 

රටේ ආර්ථික ස්ථාවරත්වය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම සහ වංචා දූෂණ අවසන් කිරීම, මත්ද්‍රව්‍ය සහ බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සහ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී වසරක් වැනි කෙටි කාලයක් තුළ තීරණාත්මක හැරවුමක් වත්මන් රජය සනිටුහන් කර තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී කීය.

සියලු ක්ෂේත්‍රයන්හි ලැබූ ජයග්‍රහණ ඉදිරියටම ගෙන යනවා මිස කිසිසේත් ආපසු නොහරවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.