
(මුදිතා දයානන්ද)
“සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර මගේ ගණන් බැලීම අනුව 2019 අප්‍රේල් එකොළොස්වැනිදා වන විටත් 15,000ක පමණ පිරිසක් දැන ගෙන සිටියා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (19) පැවසීය.
රටේ තීන්දු තීරණ ගත යුත්තන් කිසිවෙක් එය දැන සිටියේ නැතැයි දැන් පවසන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
“තානාපති කාර්යාල පවා දැනගෙන සිටි ඒ කාරණය රටේ තීන්දු තීරණ ගත යුතු ප්‍රධානීන් පමණක් දැන සිටියේ නැතැයි කියනවා. ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරින් දැන සිටි කාරණාව මැතිඇමතිවරුන්ට නොකියා සිටියාද යන්න හිතාගත නොහැකි ” යැයිද ජයවර්ධන මහතා පැවසීය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශමිල් පෙරේරා මහතා විසින් ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරිණි.
එහිදි විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරෙහි වැදගත් පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන්ව තිබියදී ඒ ගැන පල්ලිවලට දැනුවත් කිරිමට කටයුතු නොකළේ ඇයිද යන්න සම්බන්ධයෙන් නීතිඥ පෙරේරා කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
තමන්ට ලද තොරතුර පොලිස්පතිවරයාට යොමු කළ පසු ඔහු විසින් එය පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, බස්නාහි පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, ප්‍රභූ ආරක්ෂක අංශයට, රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දුන්නේ නම් එම අංශ යටතේ සේවය කරන නිලධාරීන් සළකා බැලූ විට 15,000ක පමණ පිරිසක් දැන සිටින්නට ඇතැයි විශ්වාස කරන බව ජයවර්ධන මහතා පැවසීය. මීට අමතරව එදින තානාපති කාර්යාලවලින්ද තමන්ට අමතා මේ තොරතුර කුමක්දැයි විමසා සිටි බවද ඔහු පැවසීය.
“පොලිසියේ මෙපමණ පිරිසක් දැන සිටි තානාපති කාර්යාලත් දැනගෙන සිටි කාරණය අපේ රටේ තීන්දු තිරණ ගතයුත්තන් දැනගෙන සිටියේ නැහැ කියනවා. මං දන්නේ නැහැ ඒක කොයිතරම් දුරට ඇත්තද කියලා. අන්තිමට සියල්ලේ වැරදි කාරයා නිලන්ත” යැයිද ඔහු පැවසීය.

