’රටේ ප්‍රශ්න විසඳන හැටි ලෝකයාට කියන්න ඕන නෑ’


විනීතා එම් ගමගේ
 
ජනාධිපතිවරයා ලෙස රටේ පවතින ප‍්‍රශ්න විසඳීමට තමන් ගන්නා පියවර සියල්ලක්ම ජාත්‍යන්තරයට කීමට අවශ්‍ය නැතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා වටහා ගත යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.


පවතින්නේ රට අභ්‍යන්තරයේ ඇති දේශපාලන අර්බුදයක් වන බැවින් එය විසඳා ගැනීමට කරන්නේ කුමක් දැයි තානාපතිවරුන්ට මහ කොමසාරිස්වරුන්ට හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයට කිය කියා යායුතු නැතැයි ද අමරසේකර මහතා කීය.


ශ්‍රී ලංකාව කිසිදු රටක කොළනියක් නොව ස්වාධීන රාජ්‍යයක් බව එකී විජාතික බලවේගවලට කියා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතම කියා සිටියේය.


පවතින්නේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් වන බැවින් එය ඔවුන්ටම විසඳා ගන්නට ඉඩ දෙන්නැයි චීන තානාපතිවරයා පමණක් ප‍්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අමරසේකර මහතා විජාතික බලවේග බොහොමයක් එදා ප‍්‍රභාකරන් බේරාගන්නට පැමිණියාක් මෙන් රටේ ප‍්‍රශ්නවලට මැදිහත් වී සිටින්නේ යැයි ද පැවසීය. 

අමරසේකර මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය, ජාතික සංවිධාන එකමුතුව ප‍්‍රධාන කාර්යාලයේ අද (1) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

රණවිරු සංවිධානය වෙනුවෙන් එම මාධ්‍ය හමුව ඇමතූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේ කවර අයුරකින් හෝ කලබලයකින්, ලේ ගැලීමකින් තොරව යහ පාලනය පෙරලීමට හැකි වීම පිළිබඳව තමන් සතුටු වන බවය.


යහපාලන ආණ්ඩුව විසින් විනාශ කළ ආර්ථිකය වැනි සමහර කෙෂත‍්‍ර යථා තත්ත්වයට ගත හැකි නමුත් ඔවුන් විසින් කරන්නට ගිය රටේ සම්පත් විකිණිම, ව්‍යවස්ථාවෙන් රට බෙදීම වැනි සමහර දුෂ්ඨ ක්‍රියා සිදුවූයේ නම් ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වන්නේ යැයි ද වීරසේකර මහතා කීය. 


මේ වනවිට විජාතික බලවේග සමඟ යහ පාලකයෝ පවසන්නේ මේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් වන බව නමුත් ඔවුන් උල්ලංඝණය කළ බව කියන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කළ හැටි රටේ ජනතාව හොඳින් දන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. 


එකී සංශෝධන කෙටුම්පත පිළිබඳ අදහස් දැක්වීම රාත‍්‍රී 7.46 ට ආරම්භ වී රාත‍්‍රී 11.10 අවසන් වූයේ යැයි ද බොහොමයක් තවත් සංශෝධන රිංගවනු ලැබුයේ මෙම අවස්ථාවේ යැයි ද පැවසූ වීරසේකර මහතා එම කාරක සභා අවස්ථාවේ බොහොමයක් ලිපි ලේඛන මන්ත‍්‍රීවරුන්ට නොලැබුණු බව ද කියා සිටියේය.