(අංජුල මහික වීරරත්න)
රටේ කිසිදු සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව ගොවීන්ගෙන් හොඳ මිලකට වී මිලදී ගන්නටත් එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ලබා දෙන්නටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය මගින් හෙට (1) සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරන බවද කීය.
"යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ 5 කට වඩා ප්‍රමාණයක් වී වගා කොට තිබෙනවා. එයින් මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක අස්වැන්නක් අප බලාපොරොත්තු වෙනවා. එයින් සහල් මෙට්‍රික් ටොන් 1462500ක් ලබාගත හැකියි. එවිට අගෝස්තුවේ සිට ඉදිරි මාස හයක් සඳහා අවශ්‍ය සහල් අප සතුව තිබෙනවා.
ඊට අමතරව දැනටත් මාස එකහමාරක් සඳහා අවශ්‍ය සහල් අප සතුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බවත් මාස හත අටක් සඳහා අවශ්‍ය සහල් තොග අප සතුව තිබෙන බව කිව යුතුයි"යනුවෙන්ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

