(මුදිතා දයානන්ද සහ විනීතා එම්.ගමගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි කල්පනා කළ යුත්තේ විස්සයි විස්සේදී ජනාධිපති කවුද කියන එක ගැන නෙවෙයි අගමැති කවුද කියන එක ගැනයි. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මීළගට පත්වෙන ජනාධිපතිට නොව බලය තිබෙන්නේ අගමැතිට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (03) පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68වන සංවත්සර සමුලූව අමතමිනි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ 68වන උපන්දිනයද අදය.
තවදුරටත් අදහස් දැක්වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
‘‘මේ දවස්වල ගොඩක් දෙනා ජනාධිපතිවරණය ගැන කතා කරනවා. විස්සයි විස්සේදී පත්කළ යුතු ජනාධිති කවුද? එක එක පක්ෂවල අපේක්ෂකයෝ කවුද කියලා කතා කරනවා. එහෙත් දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අනුව විස්සයි විස්සේදී පත්වන ජනාධිපතිට කරන්න පුලූවන් දෙයක් නැහැ. බලය තියෙන්නේ අගමැතිට.
පෑගුණු, දුක්විඳින, වැඩකරන නිර්ප‍්‍රභු පංතියේ නැත්නම් නිර්දන පංතියේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ හැකි දේශීයත්වය අගයන, දේශීය සංස්කෘතිය අගයන, බෞද්ධාගම මත පදනම් වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස් වලට එකට ජිවත් විය හැකි ඔවුන්ට සාධාරණත්වය ඉටුකරන රටක් නිර්මාණය කළ හැකි නායක්තවයක් තමයි අපි පත්කර ගත යුත්තේ.
තමන් වෙනුවෙන් නොව රට ගැන හිතා දේශපාලනය කරන දූෂණයට වංචාවට එරෙහිව කටයුතු කරන්න සුදානම් දේශපාලනඥයන් කී දෙනාද අද අපේ රටේ ඉන්නේ? කියන්න කණගාටුයි අද අපේ රටේ දේශපාලනය අවුල්සහගතයි. අනුවේදනීයයි. ඒක හරියට ශෝකාලාපයක් වගේ.‘‘

