‘සජිත් එනවා’ තෙවැනි රැළිය කුරුණෑගල


(නිමල කොඩිතුවක්කු)

‘සජිත් එනවා’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ තුන්වන රැළිය කුරුණෑගල සත්‍යවාදී පිටියේ හෙට (5) පස්වරු 2.00 සිට පැවැත්වෙන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

කුරුණෑගල ඉතිහාසයේ දැවැන්තම ජන රැළිය බවට මෙම රැළිය පත්වනු ඇතැයි ද අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, අමාත්‍යවරුන් වන  මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා අශෝක් අබේසිංහ යන මහත්වරුන් මෙම රැළියේ දී ජනතාව ඇමතීමට නියමිතය.

මෙවර රැළියේ දී එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විවේචනය වන කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීමට තීරණය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය හිමිවන තෙක්ම සජිත් එනවා රැළි ඉදිරියේදි දිවයින පුරා පැවැත්වීමට සංවිධානය කර ඇති බවත් අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පවත්වන රැළි මාලාවේ පළමු රැළිය අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ සංවිධානයෙන් බදුල්ලේදීත් දෙවැනි රැළිය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංවිධානයෙන් මාතරදීත් පැවැත්විණි.

කුරුණෑගල රැළියේ සංවිධාන කටයුතු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ මහතාට පැවරී ඇත.