
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කරගැනීමට පියවර ගතයුතු බවත්, ඒ සඳහා මන්ත්‍රීකම, වයස බාධාවක් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(25) පැවසීය.
මන්ත්‍රීවරයෙකු වූ පමණින් විශේෂ සැලකිල්ලක් සමාජයෙන් නොලැබෙන බවත් සෑමවිටම පාර්ලිමේන්තු සභාවාරයන්ට සහභාගී වෙමින්, පුස්තකාලය පරිහරණය කරමින්, වෘත්තීමය කටයුතු වැඩිදියුණු කරගැනීමට කටයුතු කළ යුතු බවත්, අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 9 වැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු කටයුතු හා පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
“මට මතකයි මගේ පියා කිව්වා 1945 එතුමා ප්‍රථම වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආපු වෙලාවේ, බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුව වටේ එක්කන් ගිහින් පෙන්නලා ඒ පිළිබඳව දැනුවත් කරපු විදිහ. ඔබ සියලු දෙනාට පාර්ලිමේන්තුව තුළින් තමයි අත්දැකීම් ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබට ඒ අත්දැකීම ලැබෙනවා.
අපි බලන්න ඕනේ මේ වතාවෙ ජනතාව ඡන්දය දුන්නේ කාටද කියලා. මොන දේශපාලන පරපුරකින් පැවත ආවත් වැඩක් නැත්නම්, වැඩ බැරි නම් ගෙදර යැව්වා. උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්න කියල හිතන්නත් බෑ. උගත්කම වගේම රටට ආදරේ නම්, වැඩ කරන්න පුළුවන් නම් පමණයි මිනිස්සු ඡන්දය දෙන්නේ. උගත් උනාට වැඩක් නෑ ජනතාව පවරපු රාජකාරිය හරියට කරන්නෙ නැත්නම්. ලොකු ද පොඩි ද කියලා බලන්නේ නැතිව, වරාය ද ගුවන් සේවා ද මැටි ද කියලා බලන්නේ නැතිව ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ. ජනතාවට ඕනේ වැඩ කිරීම, ඔවුන් එක්ක සම්බන්ධතාවය තබා ගැනීම.
මං පාර්ලිමේන්තු යන අතරතුර නීති විද්‍යාලයටත් ගිහිල්ලා ඉගෙන ගත්තා. එදා අන්තර්ජාල පහසුකම් තිබුණේ නෑ. අද මෙහේ ඉඳන් විදේශීය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා හරි ඉගෙන ගන්න පුළුවන්. ඒ කිසි දෙයක් නැති කාලේ මන්ත්‍රිවරු හැටියට අපි විභාගවලට වාඩි වුණා. අන්තිමට 1977 පැරදුනු වෙලාවේ ඉතිරි වුණේ ඉගෙන ගත්ත දේ. මොකද හැමදාම දිනනවා කියලා නෑ. පැරදුණු කාලේ නීති විද්‍යාලයට ගිහිල්ලා නීතීඥවරයෙක් වෙච්ච ප්‍රයෝජනය මට ගන්න පුළුවන් වුණා.
දැන් පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමැතිකමක් බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය ඇමතිකමක් බලාපොරොත්තු වෙනවා. අපිට රටට වැඩ කරන්න පුළුවන් ඇමතිකමක් දෙන්න කියනවා. එහෙම බලාපොරොත්තු වෙන එක හොඳයි. හැබැයි මතක තියාගන්න ජනතාව පාර්ලිමේන්තුවට තෝරලා එවන්නේ ඇමැති කෙනෙක්ව නෙමෙයි, මන්ත්‍රී කෙනෙක්ව. ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදාගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හදන්න. මොන බලසම්පන්න ඇමතිකම තිබුණත් තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහොතේ වැදගත්.
ඒ වගේම මතක තියාගන්න ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි කෙනාට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඇමැතිකමටම දේශපාලනය කළ කෙනාට මන්ත්‍රීකමේ වගකීම් ඉටු කරන්න බෑ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ. අපි සියලු පෞද්ගලික න්‍යායපත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තුව මුලින්ම ඉටු කරන්න ඕනේ. 1977 ඉඳන් මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කරපු ව්‍යවස්ථාවක් තියෙන්නේ. මේක කාලීනව සංශෝධනය විය යුතුයි.
ව්‍යවස්ථාව කියන්නේ එක පාර්ශ්වයක උරුමයක් නෙමෙයි. ඒක අපි කාටත් බලපාන මූලික නීතිය. ඒකේ තියෙන හැම කොමාවක්ම, නැවතීමේ ලකුණක්ම අපේ ජීවිතයට බලපානවා. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියේ දී දේශපාලන පක්ෂ භේදයක් තියාගන්න එපා. මේක අපේ වගකීමක්. මෙතෙක් තිබුණ ව්‍යවස්ථාවේ සාධනීය සියලු දේ අපි උකහා ගන්න ඕනේ. ඒවාට සද්භාවයෙන් තමන්ගේ අදහස් , සහය පළකරන්න ඕනේ” යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තුවට තේරි පත් වූ නවක හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 115කට ආසන්න පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වී සිටියහ.

