‘මොරගහකන්දේ කාන්දුව දින 10 කින් සම්පුර්ණයෙන් නැවැත්විය හැකියි’


(කාංචන කුමාර ආරියදාස)

මොරගහකන්ද ජලාශයේ වේල්ලේ හටගෙන තිබූ ජල කාන්දුව තව දින 10 ක් තුළ සම්පුර්ණයෙන් නවතා දැමිය හැකි බව කළුගඟ සහ මොරගහකන්ද ජලාශ බාර ව්‍යාපෘති  අධ්‍යක්ෂක ඩී.බී.විජේරත්න මහතා සඳහන් කළේය.

ජල කාන්දුවෙන් විනාඩියකට ජලය ලීටර් 200 ක් පිටව ගිය බවත් දැනට එම තත්ත්වය විනාඩියකට ලීටර් 130 දක්වා අඩු කිරිමට හැකි වූ බවත් ව්‍යාපෘති  අධ්‍යක්ෂකවරයා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද  යාපා අබේවර්ධන, රොෂාන් රණසිංහ යන මහත්වරු මෙන්ම මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුහ.

එම කණ්ඩායම මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ හටගෙන තිබෙන ජල කාන්දුව නිරික්ෂණයට ගිය අවස්ථාවේ දී ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේය.

පසුව වේල්ල බාරව කටයුතු කරන චීන සමාගම්වල නියෝජිතයන් හා ඉංජිනේරුවරුන් සමඟ ද රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් පිරිස සාකච්ඡාවක නිරත වූහ.

පසුගිය 25 දින ප්‍රථමයෙන් මෙම ජල කාන්දුව දුටු බවයි. ඒ පිළිබඳව විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවරුන් සමඟ සාකච්ඡා කර බැලූ බවත් එහිදී වේල්ලට හෝ ජලාශයට පහළ නිම්නවල ජනතාවට බිය විය යුතු නැති බවත්  මොරගහකන්ද ජලාශ බාර ව්‍යාපෘති  අධ්‍යක්ෂක ඩී.බී.විජේරත්න මහතා මෙසේ පැවසීය.

වෙනත් ස්ථානයකින් එවැනි ජලය පිටවුවහොත් සොයාගැනීමට නොහැකි නිසා ජලය පිටවන ස්ථානයට ප්ලාස්ටික් බට දමා වේල්ලෙන් පිටතට ජලය ගලායාමට සැලැස්සු බව කීය.

සාමාන්‍ය පරිදි වේලිවල මේ ආකාරයෙන් පවතිද්දීත් විශාල ජලය ප්‍රමාණයක් මෙසේ එළියට කාන්දු වන ක්‍රමය  ප්‍රශ්නයක්  නොවන්නේද යන්න  මාධ්‍යවේදීන් මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ජලය පිටතට ගලා ඒම ප්‍රශ්නයක් පවතින බවත් එම ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බවත් මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.