
(අනීෂා මානගේ)
අගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී ජනතාවට කොළඹ සිට සිය ගම්බිම් බලා යාමට මෙම මස 31 වැනිදා සිට සියලු ප්‍රවාහන කටයුතු මේ වන විටත් සූදානම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(29) අඟුණකොළපැලැස්සේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙම මස 31 වැනිදා සිට ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පරිදි ලංගම බස්රථ, පෞද්ගලික බස්රථ සහ දුම්රිය ධාවනය කිරීමට ගමනාගමන මණ්ඩලය, ගමනාගමන කොමිසම සහ දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
ජනතාව විශාල පිරිසක් මෙවර මැතිවරණ සමයේදී ගම්බිම් බලා යන බවට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා නුවර, අනුරාධපුරය, හම්බන්තොට සහ නුවරඑළිය ආදී සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.
තවද අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ ප්‍රමාණය වැඩි කිරීමටත් දුම්රිය ගමනාන්ත දීර්ඝ කිරීමටත් දුරබැහැර ප්‍රදේශවල සිට ජනතාවට නැවත කොළඹ ඒමට අගෝස්තු මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා අවශ්‍ය පරිදි බස් රථ සහ දුම්රිය යොදවන්නත් මේ වන විට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

