‘මළසිරුරු 204ක පරීක්ෂණ අවසන් - සිරුරු 41ක් හඳුනාගෙන නැහැ’


(ඩයනා උදයංගනී)
            

දිවයිනේ ස්ථාන කිහිපයක ඊයේ (21) සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මියගිය 290 දෙනාගෙන් 204 දෙනෙකුගේ සිරුරු පිළිබඳ මරණ පරීක්‍ෂණ අද (22) පස්වරුව වන විට අවසන් කෙරුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
            
කොළඹ ජාතික රෝහලෙහි තිබූ මළ සිරුරු 140 න් 89 ක්, මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලෙහි තිබූ මළ සිරුරු 102 න් 92 ක්, මඩකළපුව ශික්ෂණ රෝහලෙහි තිබූ මළ සිරුරු 29 න් 23 ක් මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමෙන් අනතුරුව අද ඥාතීන්ට බාරදුන් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.
            
මහේස්ත‍්‍රාත්වරුන් සහ අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් යටතේ මෙම පශ්චාත් මරණ පරික්ෂණ සිදු කළ බව ද අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
            
කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති මළ සිරුරු 35 ක් සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ තැන්පත් කර ඇති මළසිරුරු 6ක් හඳුනාගැනීම සඟහා මෙතෙක් කිසිවෙකු නොපැණීම ගැටළුවක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
 
            
එමෙන්ම කොළඹ ජාතික රෝහලේ විදේශීය ජාතිකයින්ගේ මළ සිරුරු 20 ක් තිබෙන බව කී ජාසිංහ මහතා එම මළ සිරුරු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන බවත් තුවාල ලබා  කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි විදේශකයින් 22 දෙනෙකු මේ වන විට ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් කියා සිටියේය.
             
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ලැබී තිබූ මළසිරුරු 10 ක පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇති අතර මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ එම මළ සිරුරු තැම්පත් කර තැබීම සඳහා ප‍්‍රමාණවත් තරම් ශීතාගාර පහසුකම් නොමැති වූවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ජංගම ශීතාගාර දෙකක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත විට ලබා දුන් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.
බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූ රෝගීන් 480 ක් කොළඹ ජාතික රෝහල, මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහල, කොළඹ උතුර හා දකුණ මහ රෝහල්වල සහ මඩකළපුව මහ රෝහලේ තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
            
ඉන් රෝගීන් 29 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද සාමාන්‍ය තුවාල ලැබූ රෝගීන් ප‍්‍රතිකාර ලබා නිවෙස් කරා පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.