(ඉන්දිකා රාමනායක)
රටේ උද්ගත වී ඇති තත්ත්ව වළක්වා ගැනීමට පවතින නීති රාමුව තුළ හමුදාවට තනිව කි‍්‍රයාකිරීමට බලයක් නොමැති බවත් පොලිසිය නොමැතිව පුද්ගලයන් පරීක්ෂා කිරීමේ, අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා දින කිහිපයකට හෝ හමුදාවට බලය ලබා දිය යුතු බවද හමුදාපතිවරයා අද (22) කියා සිටියේය.
මෙම සිද්ධියේදී බුද්ධි තොරතුරුවලද පැහැදිලි අඩුවක් දක්නට තිබූ බවත් මේ සම්බන්ධයෙන් හමුදාව දැනුවත් කර නොමැති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ අද (22) කොළඹ අගරදගුරු නිල නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් හමුවීමට ගොස් සිටි අවස්ථාවේදීය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ආරක්ෂාව හා ආරක්ෂක කවුන්සලයේ පැවැත්වූ සාකච්ඡා ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
එම සාකච්ඡාව නිමවී එහි සිටි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හමුදපතිවරයා මේ බව සඳහන් කළේය.
හමුදාවට බුද්ධි තොරතුරු ලැබෙන නමුත් එම තොරතුරු අනුව කි‍්‍රයාත්මක වීමේමේ දී හමුදාවට බලය නොමැති බවත් එම තොරතුරු තවත් පාර්ශ්වයකට ලබාදීම ගැටළුවක් බවත් ඔහු කියා සිටියේය.
මෙම සිද්ධියේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කිසිවකුටත් දොස් පවරන්නේ නැති බවත් ඉදිරියේ දී තමන් ඉල්ලා සිටින්නේ තනි තනිව බුද්ධි අංශ මෙහෙය වනවාට වඩා සියලු දෙනා ඒකාබද්ධව එම කටයුතු සිදුකිරීම බවත් මෙවැනි සිද්ධියක් මුල්කර ගෙන 83 කාලයේ සහ දිනග ප‍්‍රදේශයේ සිදුවූ සිද්ධීන් නැවත ඇති වන්නට කිසිසේත් ඉඩලබා නොදෙන බවත් හමුදාව රටේම ආරක්ෂාව තහවුරුකර ඇති බවත් හමුදාපතිවරයා කියා සිටියේය.
රටේ ජනතාව හමුදා කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

