‘පාවිච්චි නොකළ විකිරණ යන්ත්‍ර අප්‍රේල් මාසයට පෙර භාවිතයට ගන්න’


(ජයන්ත සමරකෝන්)
 
මහරගම අපේක්ෂා රෝහල මෙතෙක් ප්‍රයෝජනයට නොගත්, විකිරණ යන්ත්‍ර තුනක් අප්‍රේල් මාසයට පෙර වහා භාවිතයට ගන්නැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට උපදෙස් දී තිබේ.
 
මෙම විකිරණ යන්ත්‍ර තුන රුපියල් කෝටි 120ක් පමණ වන අතර, 2014 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය මගින් විදේශ රටකින් ගෙන්වා තිබිණි.
 
මේ වනතෙක් එම යන්ත්‍ර කාඩ්බෝඩ් ආවරණයෙන් ඉවත් කර ප්‍රයෝජනයට ලබා නොගැනීම පිළිබඳව අමාත්‍යවරිය සිය විමතිය පළ කර තිබේ.
 
මෙම විකිරණ යන්ත්‍ර පරිහරණය සඳහා ට්‍රාන්ස්ෆෝමරයක් ඉදිකිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 31ක් වෙන්කර දීමටද අමාත්‍යවරිය කටයුතු කර තිබේ.
 
මෙතෙක් රෝහලේ විකිරණ පරීක්ෂණ සඳහා යොදාගෙන ඇත්තේ විකිරණ යන්ත්‍ර දෙකක් වන අතර එමගින් රෝගීන් 60දෙනෙකු දිනකට පරීක්ෂණයට ලක්කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා අමාත්‍යවරියට පෙන්වා දී තිබේ. නව යන්ත්‍ර තුන සවිකිරීමෙන් පසු රෝගීන් 150දෙනෙකු දිනකට පරීක්ෂණයට ලක්කිරීමේ හැකියාව ඇතැයිද අධ්‍යක්ෂකවරයා පවසා ඇත.